NovelsRath Dothaluරත් දෝතළු - 41

රත් දෝතළු – 41

-

spot_img

රත් දෝතළු – 41

අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු දින කීපය පුරාම ඔහු විනීෆ්‍රීඩා මහත්මියගේ දුක සැප විමසීමට ඇමතුම් දුන් අතර ඒ හැමවරම මා සමඟද කතාබස් කළ නිසාදෝ ඔහු නොමැති අඩුව එතරම් නොදැනුණේය.

“මං නැතුව පාළු ඇති නේද අරවින්දි… රණ්ඩු වෙන්නවත් කවුරුත් නැහැනේ…?”

ඔහු එසේ ඇසුවේ විහිළුවට මෙන් වුවද තිගැස්මක් මා සිතේ ඇති විය.

“ඔව්… මැඩම් නිතරම සර්ව මතක් කරනවා…”

“මැඩම්ට විතරයිද එතකොට මතක් වෙන්නෙ..?”

“ඇයි එස්. ඕ අන්කලුත් මතක් කළා… සමන් අයියාත් ඇහුවා… මං දවල් තේ දෙන්න ගියාම…”

එවිට ඔහුගේ උස් සිනා හඬ මා සවනට ගලා ආයේය.

“සමන් ආව එක නම් හොඳයි… හදිසියේ සුදු මම්මාට කොහේ හරි යන්න වුණොත් එහෙම කියලයි මං සමන්ට එන්න කිව්වේ…”

ඔහු කීය. ඔහුට වුවමනා වන්නට ඇත්තේ මට ඔහුව මතක් වෙන්නේ නැතිද කියා අසන්නට බව නම් මට වැටහිණි. කතාව එසේම මඟ හැරී යෑම හොඳ යැයි මම සිතුවෙමි. කාලය ගෙවී යන්නේ සුළඟ මෙනි. මේ දින කීපයේම මාත් විනිෆ්‍රීඩා මහත්මියත් මුහුදු වෙරළට ගියෙමු. බොහෝ විට අපි යළි ආවේ අඳුර වැටුණාටත් පසුවය. ඈ ඒ කාලය ගතකළේ මහත් සතුටකිනි. කුඩා දරුවෙකු මෙන් ඈ හැසිරුණේ දණහිස් අමාරුවක් ඇති බව හෝ නොතිබූ ගානටය. ඈ ගතටත් වඩා වේදනා විඳිමින් සිටින්නට ඇත්තේ සිතින් යැයි කියා මට සිතිණි. එදින රාත්‍රියේ මා නින්දෙන් තිගැස්සී මෙන් අවදි වූයේ විනීෆ්‍රීඩා මහත්මිය වේදනාවෙන් මෙන් කෙඳිරි නඟමින් මා අමතන හඬ ඇසීමෙනි. මම වහා ඇගේ කාමරයට දිව ගියේ බියෙන් තැති ගනිමිනි.

“මැඩම්… ඇයි… මොකද…?”

විදුලි පහන දල්වාගෙන කාමරයට ඇතුළු වී මම ඇගේ යහන අසල දණ ඔබා ගතිමි.

“අනේ… ළමයෝ… මගේ කකුල් කැක්කුම… අද නම් ඉවසන්නම බැහැ…”

වේදනාව නිසා ඇගේ මුහුණ් හැකිළී මළානික වී තිබිණි. සිතේ ඇති වූ බිය සඟවාගෙන මම ඇයට අධික වේදනාවක් ඇති වුවහොත් කියා දීමට නියම කරතිබූ පෙත්තකුත් නින්ද යෑමට පෙත්තකුත් දී දණහිස් වල වේදනා නාශකයක්ද ආලේප කළෙමි. කෙඳිරි නඟමින් සිටි ඈ නින්දට වැටෙන තුරුම මම ඈ අසලට වී හිඳ ඇගේ දෙපා සෙමෙන් සෙමෙන් පිරිමැදීමි. පසුදින උදය වන විට නම් ඈ යම් තරමක සුවයක් දැනෙන බව කීවද මම ඇයට යහනින් බැසීමට නම් ඉඩ නොදුන්නෙමි.

“අපි මේ ටිකේම දැඟළුවා වැඩියි… ඒකයි මේ අමාරුව…”

විනීෆ්‍රීඩා මහත්මිය කීවේ මා ඇගේ දෙපාවල වේදනා නාශකය ආලේප කරමින් සිටින විටය.

“අහස් සර් දන්නවා නම් බැනුම් අහගන්න වෙනවා…”

“කවුද ඉතින් එයාට ඕවා කියන්න යන්නේ…?”

ඈ පැවසුවේ මඳහසක් පාමිනි.

“මැඩම්ට කතා කරනකොටම කටහඬින් අඳුනගනියි වෙනස…”

“මම කතා නොකර ඉන්නම්… අරවින්දි ෆෝන් එක ආන්සර් කරන්න… මං කලින්ම නිදාගන්න ගියා කියන්න…”

“එතකොට අහයි… කවදාවත් නැතුව අද මොකද වේලාසන නිදාගන්න ගියේ කියලා… මැඩම් දන්නවානේ අහස් සර් ගැන මට වඩා හොඳට… එයා ප්‍රශ්න අහන්නේ හරියට ලෝයර් කෙනෙක් වගේ…”

වේදනාව අතරින් වුවද ඈ සිනහවක් පෑවාය.

“දැන් මට වඩා හොඳට අරවින්දි අහස් ගැන දන්නවා වගේ…”

ඒ කතාවට නම් මා මුහුණට ලේ පිරී එන අයුරු මටම දැනිණි. ඔහු නමට සරිළනයුරින් අහසක් බඳු අයෙකු වුවද මා ඔහු ගැන ඊට වඩා යමක් නොදන්නා බව කීමට සිත් වුවද මම මුණිවත පිරීමි.
————————————————————————————————————————————
මේ දින කීපයේම විනීෆ්‍රීඩා මහත්මිය දහවල් වන තුරු නින්දට වැටී සිටියේ ඇයට නින්ද යෑමට දුන් බෙහෙත නිසාවෙනි. පෙරට වඩා සුවයක් දැනෙන බවක් කීවද ඇයට යහනින් බැසීමට නම් වුවමනා බවක් පෙනෙන්නට නොවීය. එදිනත් උදෑසනම ආහාර සකසා මම රෙදි සෝදා පිටුපස දොරින් මිදුලට බැස්සේ සේදූ රෙදි ටික පිටුපස වැලට දැමීමටය. තාප්පය අයිනේ වූ ඉද්ද ගස් මලින් පිරී ඇත. ඒවායින් සුවඳක් නොහැමුවද එක පෙළට වූ මලින් පිරුණු ගස් පෙළ දකින්නට ආසා හිතෙන තරම්ය. රෙදි ටික වැලේ වනා මම තවමත් තෙත බේරේන කොණ්ඩය එක් මිටකට ගෙන කරකවමින් ගසා දැමුවේ ගුවන පුරා දිය බිඳු විසිරෙන ලෙසිනි. එයින් මා ලැබුවේ සියුම් සතුටකි. ඒ සමඟම මා දුටු දසුනින් මා සිතේ ඇති වූයේ ලැජ්ජා මුසු හැඟීමක් සමඟ තැතිගැන්මකි. උඩු මහලේ සඳළුතලයේ අත් වැටට බරදී මා දෙස බලා සිටියේ තරුණයෙකි. ඔහු කොපමණ වේලා හිඳ එසේ බලා සිටියාද කියා මම නොදනිමි. හද ගැස්ම වේගවත්ව ගැහෙන්නට වන විට මම වහා ගෙතුළට දිව ආවෙමි. එකත් එකටම ඒ නම් විහඟ විය යුතුය. වෙන කිසිවෙකු මෙහි එන්නට නැත. මා සිතේ ඇති වූ ලැජ්ජ මුසු හැඟීම තවම එසේය. මම දුවගෙන ආවේ විනීෆ්‍රීඩා මහත්මියගේ කාමරයටය. ඈ නින්දෙන් අවදි වී සිටි ඈ යහනේ පහළට දෙපා දමාගෙන බලා සිටියාය.

“ගුඩ් මෝර්නින් අරවින්දි…”

ඈ මා දැක කීවාය.

“මැඩම් ඇහැරියද… ගුඩ් මෝර්නින්… ඊයේ හොඳට නින්ද ගියාද… දැන් කොහොමද කකුල් කැක්කුම අඩුද…?”

මමද එක දිගටම අසා සිටියෙමි.

“අනේ…අනේ… දැන් අරවින්දිත් අහස් පුතා වගේ වෙලා… එයාත් ගෙට ගොඩ වෙන්නේ දාහක් ප්‍රශ්න අහන්…”

යළි මා සිතේ ඉහිර ගියේ ලැජ්ජා මුසු හැඟීමකි.

“ඒකනේ ඉතින්…”

“නිදි පෙති නිසාද මංදා… මැරුණා වගේ නින්ද යනවානේ… දැන් නම් මට හොඳටම හොඳයි වගේ… අද රෑට නම් මට අර ජරා නිදි පෙත්ත එපා අරවින්දි…”

ඈ කීවේ අපුලෙන් මෙනි.

“කැක්කුම අඩුයි නම් කමක් නැහැ…”

“කලින් තරම් අමාරු නැහැ… ඔයා ඉතින් උදේ හවා බාම් එක ගාලා මසාජ් කළානේ… ඔයාගේ අත්ගුණේ හොඳයි… ඒත් අද නම් මට වීල් චෙයාර් එක ඕන… මේ ටිකේම කාමරේම ඉඳලා එපා වෙලා… අද ටිකක් එළියට යන්න ඕන…”

යහන අසලම තබා තිබූ සැරයටියට බර දෙමින් නැඟිටිමින් ඈ කී අතර මම වහා ඇයට සහාය වීමි.

“මැඩම්… උඩ බැල්කනි එකේ කවුද බෝයි කෙනෙක් හිටියා… විහඟ සර්වත්ද…?”

“ආහ්… වෙන කවුරු වෙන්නද ඉතින්… කුරුල්ල ඇවිත් එහෙනම්…. මිනිහා එනවා දන්නේත් නැහැ… යනවා දන්නෙත් නැහැ… දැන් එයි එහෙනම් පහළට… තේ හොයන්… සේරටම කලින්… මං ගිහින් නාගෙන එන්නම්…”

“මැඩම්… එළවළු මොනවා හරි ගේන්න… වෙයි විහඟ සරුත් ඉන්න නිසා… මං සමන් අයියා ගිහින් එක්ක අරන් එන්නද…?”

“සමන් එක්ක ඔයා තනියම යන්න එපා… මාත් එන්නම්… උදේට කාලා යමු… ඔයා මොනව හරි හැදුවද ළමයෝ…?”

“සුදු බත් උයලා පරිප්පුයි සම්බෝලයි… විහඟ සර් ඒවා කනවද දන්නැහැ… තව මොනවාහරි හදන්න වෙයිද…?”

“අනේ…අනේ… ඔයා වද වෙන්න එපා… එයා කයි… අකමැති නම් මොනවාහරි ඕඩර් කරග්ගන්නේ නැතෑ…”

ඈ එසේ කියා නාන කාමරයට වැදුණාය. මම කෑම මේසයට සියල්ල සූදානම් කර ආපසු හැරෙන විට විහඟ දොර උළුවස්සට බර දී සිටගෙන සිටිනු දැක තිගැස්මක් මා සිතේ ඇති විය. මා ඔහුව සමීපයට දුටුවේ මේ මොහොතේය. සැහැල්ලු ටී ෂර්ටයකිනුත් නූල් ලෙහී ගිය ලා නිල් පැහැ ඩෙනිම් කලිසමකිනුත් සැරසී සිටි ඔහු කෙරෙන් පළවූයේ දඟකාර බවකි.

“සුදු මම්මා…”

ඔහු මෙතනට පැමිණ නම් මඳ වේලාවක් බව මට හොඳටම වැටහිණි. ඔහු එසේ කතා බහ නොකර නිහඬව සිටියේ මන්ද කියා මම සිතුවෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you