NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 51

Tharu Mal Viyan තරු මල් වියන් – 51

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

මහවැලි ගඟ පිස හමා ආවේ නැවුම් සුළඟකි. නිවාඩු දිනයක් වූ බැවින් අංජලී සිටියේ නිවසෙහිය. ගඟට මුහුණ ලා වූ බංකුව මත හිඳගෙන ඈ ගලා යන ගංගාව දෙස බලා සිටියේ අරමුණකින් තොර වූ දෑසිනි. මිතුරියන් ගෙන් වෙන්ව පැමිණ දැන් වසරකට ආසන්නය. ඈ පැමිණි පසු එක්වතාවක්වත් ඔවුනට ඇමතුමක් නොදුන්නාය. පැරණි සිම්පත ඉවත දමා තිබූ බැවින් ඔවුන් කිසිවෙකුගේ අංකයක්ද නොවීය. එසේ තිබුණද ඈ ඇමතුමක් නොගෙන ඉන්නට ඉඩ තිබිණි. පැමිණියේ සියල්ල හැර දමාය. නැවත නැවත ඔවුන් ඇමතීමෙන් වුවත් සිදුවන්නේ සිත් වේදනාව අලුත් වීම පමණය. ඇගේ මුවින් සුසුමක් ගිළිහී ගියේ නොදැනුවත්වමය. බීම වීදුරුවක්ද සාදාගෙන පැමිණි මෙරිටාව පවා ඈ නොදුටුවේ සිත ඔහේ ඉබාගාතේ පාව යමින් තිබූ නිසාය. ශාමින්ද සිහි වී ඇගේ සිත අලුතින් පෑරිණි. ඔහුව අමතක කරන්නට උත්සාහ දරන සෑම මොහොතකම ඔහු සිතට එබෙන්නේ සිත හිරිවට්ටවමිනි. දැන් නම් ඔහු තමා අමතක කර දමා ඇතිවා වන්නට ඇත. ගයානිගෙන් ඔහු මේ වන විටත් තමා පිළිබඳව දැන සිටිනවා වීමට පුළුවන. තමාට වඩා හොඳ අයෙකු ඔහුට ලැබිය යුතුය. ආතක් පාතක් නැති තමා වැන්නියකට ඔහු වැන්නෙකු කවදාවත් ගැළපෙන්නේ නැත. ඇරත් ඔහුගේ මාපියන් වුවද එවැන්නකට ඉඩ නොදෙනු ඇත.

“දුව…මෙන්න මම බීම එකක් හදන් ආවා…”

මෙරිටාගේ හඬ ඇසී අංජලී ගෙළ හරවා ඈ දෙස බැලුවේ තිගැස්මෙනි. ඒ දෑස් වල යාන්තමට දිලිසෙන කඳුළක් මෙරිටාගේ දෑසට හසු විය. ඈ අංජලීට බීම වීදුරුව පිරිනමමින්ම ඈ පසෙක හිඳ ගත්තාය.

“හරි ෂෝක් නේද මෙතන…විකී ගෙදර නැති වෙලාවට මාත් මෙතන්ට ඇවිත් ගඟ දිහා බලන් ඉන්නවා…”

සුසුමක් හෙළමින් මෙරිටා කීවාය. අංජලී ඈ දෙස බැලුවේ අනුකම්පා මුසු වූ සිතිනි. ඇයට සිය මිය ගිය පුතා සිහි වූවා වන්නට ඇතැයි කියා ඈ අනුමාන කළාය.

“හිතේ තියන හැමදේම අමතක වෙලා යනවා ගඟ දිහා බලන් ඉන්නකොට…”

නැවතත් සුසුමක් මුදා හරිමින් අංජලී කියන විට මෙරිටා වුවමනාවෙන් ඇ දෙස බැලුවාය.

“ඔයාගේ හිතේ නොකියන මොනවා හරි දුකක් තියනවා නේද ළමයෝ…?”

ඈ ඇසුවේ මෘදු හඬකිනි. අංජලී වහා මෙරිටා දෙස බැලුවාය.

“ජීවිතේම දුකක් තමා ආන්ටි…”

ඈ ශෝකී හඬකින් කියන විට මෙරිටා ඇගේ අතක් තරයේ අල්ලා ගත්තාය.

“බලකරලා අහන්න බැහැ…ඒත් ඔයා කැමති නම් ඒ ගැන කතා කරන්න…මං අහන් ඉන්නම්…සමහරවිට මට විසඳුමක් දෙන්න බැරි වුණත් ඔයාගේ හිතට හරි සැනසීමක් දැනෙයි…”

අංජලී හිස බිමට නැඹුරු කොටගෙන මොහොතක් සිතන්නට වූවාය. සමහරවිට ඈ පවසන්නේ සත්‍යයක් විය හැක. යළිත් හිස එස වූ අංජලී පහත් හඬකින් කතා කළාය.

“මාව අරන් හදා ගත්ත ළමයෙක්…”
——————————————————————————————————
මාලක විදෙස්ගත වූ බවක් සංචලා දැන ගත්තේ තෙමසකුත් ඉක්ම ගිය පසුවය. දැන් ඇගේ ජීවිතය අපායක් හා සමානය. මවගේ වදයෙන් බේරෙන්නට නොහැකි තැන ඈ රැකියා කීපයකට ඉල්ලුම් පත් යොමු කළද සුදුසු රැකියාවක් සොයා ගන්නට ඇයට හැකි නොවීය. නොඑසේ නම් අත්දැකීමක් පවා නොවූ නිසා ඇයට රැකියා අවස්ථා පවා මඟ හැරී ගියේය. සංචලා පසු වූයේ තමා කෙරෙහිම ඇතිකරගත් කළකිරීමකිනුත් කෝපයකිනුත් යුතුවය. පියා දැන් තමාගේ මුහුණ බලන්නේ හෝ නැත. මව එල්ල කරන ඇනුම්පදවල කෙළවරක් නොමැත. සියල්ල දමා ගසා කොහේ හෝ යන්නට ඇත්නම් කියා ඇයට සිතුණේ වරක් දෙවරක් නොවේ. අවසානයේ ඇයද තීරණය කළේ විදෙස්ගත වන්නටය. එයට මව හෝ පියා අකමැත්තක් පළ නොකළේ එයින් ඇයටද යම් හොඳක් සිදුවනු ඇතැයි සිතාය.

” මුන් ඔක්කොම රට පනිනවා…මගේ කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නැහැ…”

ඉන්ද්‍රාණි කෝපයත් ශෝකයත් මුසුව කෑ ගැසුවේ සංචලාද විදෙස්ගත වූ බව සැළවය.

“අම්මා කේන්ති නොගෙන ඉන්නකෝ…අපි හොයා ගන්න බලමුකෝ…”

මේනක කීවේ මව අස්වසන හඬිනි.

“අවුරුද්දක් තිස්සේ හොයනවානේ…හමුවුණාද…සේරම කරලා ඉවරවෙලා අන්තිමේදි මේකිත් රට පැන්නා…මට බැරි වුණානේ ඕකිගේ හොම්බ තලන්න…”

ඈ කෑ ගැසුවේ පැසුතැවිල්ළෙනි.

“ලංකාව පුරාම ඉන්න යාළුවන්ට නංගිගේ ෆොටෝ යවලා තියෙන්නේ කොහෙදි හරි දැක්කොත් කෝල් එකක් දෙන්න කියලා…”

“කොහෙදි හරි දකින්න පාරේ හිටන් ඉන්නවාද…වෙන ක්‍රමයක් නැත්ද…?”

“වෙන කොහොමද අම්මා හොයන්නේ…?”

ඉන්ද්‍රාණි අසුනක ඇදවැටුණේ කිසිත් සිතා ගන්නට නොහැකිවය. මේ ගෙවුණ කාලය පුරාම ඈ දවස් ගතකළේ ශෝකයෙන් හඬ හඬාය. බොහෝ රාත්‍රීන් වල ඇයට නින්දක් පවා නොවීය. ඈ එවන් විටක යහන මත හිඳගෙන කල්පනා කරන බවක් හේෂාන් වුවද දැන නොසිටියේය.

“ඉන්න තැනකින් කෝල් එකක් දුන්නා නම් මට ඒකත් හිතට සැනසීමක්…”

අලුත් වූ කඳුළු කම්මුල් තෙමමින් ගලා යන විට ඉන්ද්‍රාණි කීවේ වහා වහා කඳුළු පිසිමිනි.
——————————————————————————————————
අංජලී මේ තරම් සිත් වේදනාවක් සිතේ සිරකරන් සිටි බවක් නොදැන සිටි වික්‍රම බිරිඳ පැවසූ දෙයින් පසුව ඈ ගැන සිතුවේ අනුකම්පා මුසුවය. ඇය වෙනුවෙන් කුමක් කළ යුතුද කියා ඔහුට පවා සිතා ගන්නට නොහැකි විය. නැවත නිවසට යන්නට ඇගේ සිතේ කැමැත්තක් නොවූ බව ඈ පැවසුවාය.

“මට හිතන්න බැහැ දැන් ඒ අය මගේ කියලා…මට හිතෙන්නේ මගේ හිතට දැනෙන්නෙම දැන් මට එයාලා හැමකෙනාම ආගන්තුක විදියට…”

ඈ වික්‍රමත් මෙරිටාත් සමඟ කීවාය. එය සිතා ගැනීමට අපහසු නැත.මෙතරම් කාලයක් ගත වීත් ඇගේ සිත තවමත් යථා තත්වයට පත්ව නැත. තව කොපමණ කාලයක් ගෙවී ගියත් එය සුවපත් වනු ඇතැයි කියා සිතිය නොහැකිය.

“හොඳම දේ ඔයා ගිහින් එයාලව බලල හරි එන එක…”

වික්‍රම කළේ යෝජනාවක් නොව විධානයකි.

“ඒක ඇත්ත…අඩුම තරමේ එයාලා හිතවත් හදාගනියි…කවුද දන්නේ දුව ඒ මිනිස්සු මොන හිතේ ගින්දරකින් ඉන්නවද කියලා…”

මෙරිටාද සැමියාගේ කතාව අනුමත කරමින් කීවාය. අංජලී සුසුමක් හෙළුවා විනා කිසිත් නොකීවාය. ඔවුන් ඇයට බල කරමින් කියන්නට නොගියේ ඇයටම සිතන්නට යමක් ඉතිරි කරමිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you