NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 08

Tharu Mal Viyan තරු මල් වියන් – 08

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ කිරීමට අවස්ථාවක් උදා වූයේ දිවා කාලයේ මාමාත් නැන්දාත් කෙටි වේලාවක් නින්දට වැටුණු පසුවය. මාලක ආලින්දයට වී රූපවාහිනිය නරඹමින් සිටින තැනට ගිය ඈ ඔහු ඉදිරියේ අසුනක හිඳ ගත්තේ ඔහු දෙසම බලානය. ඇයව නොතැකූ ඔහු සිටියේ රූපවාහිනිය වෙතම දැල් වුණු දෑසිනි. නොමනාපයකුත් නොසතුටකුත් සිතට එබෙන විට ඈ ස්ටූලය මත වූ ස්වයං පාලකය ගෙන රූපවාහිනිය ක්‍රියා විරහිත කොට දමා එයත් අසුන මතට දමා නැඟී සිටියේ මාලක කෑ ගසන විටය.

“මොකක්ද ඒ කළේ…?”

“කළේ…ටී වී එක ඕෆ් කරපු එක…”

ඈ හිස ගස්සාගෙන පිටතට පැමිණියේ ඔහුට රවමිනි. මිදුලේ බංකුව මත හිඳගෙන ඈ ඔහේ බලා සිටියාය. අහස පුරා අඳුරු වළාකුළු පෙළගැසෙමින් සිටියේ වැස්සක පෙරනිමිති කියා පාමිනි. පරිසරයේ වූයේද තරමක උණුසුමකි. කොයි මොහොතක හෝ මහ වැස්සක් ඇද හැළෙනු ඇත. කිසිවෙකු තමා සමීපයට පැමිණි බව දැන අංජලී හිස හරවා බැලුවාය. මාලක නිහඬව සිටගෙන ඈ දෙසට බැල්මක් හෙළීය. ඈ වහා ඉවත බලා ගත්තාය.

“මොකද ගස්සන්නේ…?”

රළු හඬකින් ඔහු ඇසීය.

“වැඩේමයි…”

ඇයද පිළිතුරු දුන්නේ එම ස්වරයෙන්මය. මාලක ඈ සමීපයේ හිඳ ගන්නා විට ඈ මඳක් පසෙකට වූයේ නොකමැත්ත අඟවන්නට මෙනි.

“මොකද ඇඟේ වැදුණාම ගෙවෙනවද…?”

“නැහැ…ගිනි ගන්නවා…පේන්නැත්ද මූණේ හැටි…? අබ ටිකක් දැම්මත් පුපුරන සයිස්…”

“ඔව්…ඉතින්…අපි ලස්සන නැහැනේ…ලස්සන අය ඇතිනේ වැඩ කරන තැන…”

ඔහු යළිත් ඇනුම්පදයක් එල්ල කළේය.

“හැම වෙලේම මොකක් හරි කියලා හින්ට් එකක් ගහන්නම තමා බලන් ඉන්නේ…”

“ඇත්ත තිත්තයිලුනේ…”

ඈ නිහඬ වූවාය. ඔහු සමඟ කරන කතා බහෙන් පවා සිදුවන්නේ සිත් රිදීමකි.

“හම්බෙන්නේ නැහැ…කතා කරන්න එන්නේ නැහැ…කෝල් කරන වෙලාවටත් වැඩ…”

මාලක එක දිගට නෝක්කාඩු කියන්නට විය.

“වැඩ කරන වෙලාවට කෝල් ගත්තාම වැඩ පැත්තක තියලා ඔයා එක්ක මල් කඩන්න කියලද කියන්නේ..? එතන මගේ බාප්පාගේ තැනක් නෙවේ…”

ඈ කීවේ සිනහසෙමින් වුවද මාලකගේ මුහුණේ සිනහවක් නම් නොනැඟිණි.

“මීට වඩා නිදහස් ජොබ් එකක් හොයා ගන්න තිබුණේම නැහැනේ…”

එවන් රැකියා තිබේදැයි අසන්නට මුව පොපියෑවද ඈ මුණිවත පිරුවේ එකටෙක කියාගෙන යාමෙන් පවා සිත් රිදීමක් ඇතිවන නිසාය.

“කතා කරන හැම වෙලේම ඔයා කරන්නේ මොකක් හරි එකක් ඇදන් මා එක්ක රංඩු වෙන එකනේ…”

සිතේ ඇති වූ ශෝකය නිසා ඈ කෙඳිරුවේ පහත් හඬිනි.

“හරි හරි…ඕකට ඉතින් නහයෙන් අඬන්න ඕන නැහැ…”

මාලක ඈ අතින් අල්ලා ගනිමින් කීය. පොද වැස්සක් ඇද හැලෙන්නට වූ බැවින් ඒ මොහොතේ දෙදෙනාම නැඟිට ගෙතුළට පැමිණියේ ස්වභාදහම කෙරෙහිද ඇති වූ කෝපයෙනි.

සඳු දින අංජලී පැමිණියේ තරමක ප්‍රමාදවය. තුෂර ඒ මොහොතේ කාර්යාලයේ නොවූ අතර ඔහු පැමිණි විගස මහරගමට පිටව ගියේ හදිසි රාජකාරියක් ඇති බව කියමිනි. ගයානිද අංජලී පැමිණි බව කී බැවින් පහත මාලයට පැමිණියේ තේ වේලාව නිසාය.

“කොහොමද මාලක…දැන් ෂේප්ද…?”

“මොන ෂේප්ද…කොයි වෙලෙත් මූණ පුම්බන්…”

අංජලී සිනහවක් මුවට නංවා ගැනීමට තැත් දරමින් කීවාය.

“හායි අංජලී…ගමේ ගිහින් එනකොට මොනවද ගෙනාවේ…?”

කාර්යාල කාමරයට කඩා වැදුණු මියුර ඇසිවේ ඔවුන්ගේ කතා බහට බාධා කරමිනි.

“ඔයාට කියලම බිබික්කන් අරන් ඇවිත්…”

රංගිකා කීවේ ඔහු අවුස්සන්නටය.

“බිබික්කන්…ඒ මොනවද…?”

අසුනක් ඇද හිඳ ගනිමින් මියුර ඇසුවේ තිදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.

“ඔය ජෝක් කරන්නේ මියුර…බිබික්කන් කියන්නේ පොල් කේක් වලට…”

අංජලී සිනහසෙමින් එසේ කියා නැන්දා සාදා දුන් කිරි ටොපි පාර්සලය මියුරට පෑවාය.

“ආහ්…එයාට විතරද…?”

රංගිකාත් ගයානිත් කෑ ගැසුවේ එකටමය. ඒ මොහොතේ සෙනුර සමඟ හිමානිද කාමරයට ආහ.

“වාව්…! කිරි ටොපි සුවඳක් ආවා…”

හිමානි එසේ කියාගෙන මියුර වෙත ළං වන විට ඔහු එය පසෙකට කර ගත්තේය.

“මට ගෙනාවේ…”

කියමිනි.

“මෙන්න මෙහෙට දියන්…උඹට විතරක් නෙවේ ගෙනාවේ…?”

ඔවුනතර සිනහවක් නංවමින් සෙනුර පාර්සලය උදුරා ගත්තේය.

“තුෂරටත් තියන්න…”

අංජලී කෑ ගැසුවාය.

“අම්මේ…තියන්නම්…තියන්නම්…ඒ ආදරේ බලහල්ලකෝ….”

හිමානි කියන විට යළිත් පැතිර ගියේ උස් සිනා හඬකි. අංජලී ලැජ්ජාමුසු හැඟීමෙන් මුහුණ බිමට හරවා ගෙන නිහඬ වූවාය.

මාලක වෙනස් වී සිටියේ අංජලී මවිත කරමිනි. ඔහු දැන් දැන් ඉතා ආදරයෙන් ඈ සමඟ කතා බහ කරයි. ඇමතුමට පිළිතුරක් නොදෙන අවස්ථාවක් වුවද පසුව ඒ ගන මැසිවිළි නොකියයි. මෙය ඇයට පුදුමයක් වුවද ඈ සිතින් සතුටු වූයේ ඔහු වෙනදාට වඩා තමා ගැන සැළකිළිමත් වීම ගැනය. විවේකයක් ලද විටෙක ඔහු ඇයව බැලීමට පන්තිය අසළටද පැමිණියා සේම ඇයත් සමඟ කතා බහ කිරීමට කෝපි හළකට හෝ කුඩා අවන්හලකට හෝ යෑමට පවා සැදී පැහැදී සිටියේය. ගයානිත් රංගිකාත් ඔහුගේ මේ වෙනස ගැන මවිතයට පත් වුවද අංජලීගේ සිත නොරිදෙන ලෙස කිසිවක් නොකීමට ප්‍රවේශම් වූවෝය.

“මට නම් මාලකව සත පහකට ෂුවර් නැහැ…”

ගයානි රංගිකා සමඟ කීවේ අංජලී අසල නොමැති විටකය.

“මටත්…මේනක අයියාගේ මල්ලීම වුණත් ආදි නම් එයාට කැමතිම නැහැ ගයා…මට හිතෙන්නේ මාලක අංජුට ළං වුණේ බොරුවට…ටයිම් පාස් කරගන්න…එයා චංචලා එක්ක තවම යාළුයි…ඉරේෂ් මොකුත් කියන්නේ නැත්ද මාලක ගැන…?”

ගයානි සුසුමක් හෙළුවාය.

“ඉරේෂ් කවදාවත් යාළුවගේ වරදක් කියයිද…මං ඇහුවත් කියන්නේ නැහැ…”

“දෙන්නගේම හොර ඇති…දෙන්නට දෙන්නා ඒවා හංගනවා…”

රංගිකා කෝපයෙන් කියන විට ගයානි තිගැස්සී ගියාය. ඇගේ සිතට දැනුණේ අනියත බියකි.

“ඔයා වුණත් ඕනවට වඩා ඉරේෂ් විශ්වාස කරන්න එපා…මං නම් කියන්නේ අයියට කියලා තිබ්බා නම් තමා හොඳ…”

ගයානි කල්පනා කරමින් සිටිනු දැක රංගිකා කීවේ ඇගේ සුරත තද කරමිනි. ගයානි මුවට සිනහවක් නංවා ගත්තාය.

“මං එයාව ඕනවට වඩා නම් විශ්වාස කරන්නේ නැහැ…මට බය අංජු ගැන… මාලක නිසා ඒ කෙල්ලට මොන විදියේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද දන්නැහැ… නැන්දලා දැන ගත්තු දාට මොකද කරන්නේ…?”

“ඒක ඇත්ත රංගි…ඒත් ඉතින් අපිටත් අංජුට කියන්න පුළුවන් සීමාවක් තියනවානේ…”

“අනේ මන්දා ගයා…මෙහෙම ගිහින් මොනවා වේවිද කියලා…”

ඒ මොහොතේ අංජලී පැමිණියේ ඉතා ප්‍රීතිමත් මුහුණකින් යුතුවය.

“වාව්…කෙල්ලගේ මූණේ හිනාව…මාලක එක්ක දැන් ලව් එක නැඟලා යනවා වගේ…”

ගයානි විහිළු කළාය.

“ඔව්…ඔව්…එයා දැන් හුඟක් වෙනස් වෙලා…”

යහන මත හිඳගෙන අංජලී කීවේ දෙපා පද්දවමිනි.

“හොඳයි…හොඳයි…සුබ මංගලම්…”

රංගිකා සුබ පැතුවේ සැබෑවටම වුවද ඇගේ සිතේ අංජලී කෙරෙහි ඇති වූයේ අනුකම්පා මුසු හැඟීමකි.

-හෙටත් හමුවෙමු-

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you