NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 07

Tharu Mal Viyan තරු මල් වියන් – 07

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා ඉක්මනින්ම පහව ගියේ තුෂරගේ මඟ පෙන්වීමත් තුෂරගේ මව වන වත්සලා මහත්මිය ඔවුනට පෑ මෘදු ගතියත් නිසාවෙනි. දින කීපයක සේවා පුහුණුවක් ලබා දීමට වත්සලා මහත්මිය පත් කර තිබුණේ දීපිකා නම් වූ තරුණියක ය. අංජලී සහ රංගිකා ගිණුම් කටයුතු වලටත් ගයානි දෙවන මහලේ වූ පරිගණක සැළසුම් අංශයටත් යොමු කළේ ඔවුන්ගේ කැමත්ත විමසා බලාය.

“ඔන්න පස්සෙ චුරු චුරු ගාන්න එපා…”

හිමානි අංජලීටත් රංගිකාටත් විහිළු කළේ ගයානි පරිගණක අංශය වෙත යාමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන විටය. එම අංශයේ සිටි මියුරු දුටු සැණින් අංජලී සිතේ ඔහු කෙරෙහි ඇතිවූයේ ලෙංගතු හැඟීමකි. ගයානිට ඔහුව හඳුන්වා දෙන මොහොතේ ඇගේ මුහුණ රත් පැහැයට හැරුණු අන්දම අංජලී දෑසින් මඟ හැරී ගියේ නැත.

“අපරාදේ ගයා ඉරේෂ් එක්ක යාළු වුණේ…”

අංජලී සිතුවේ ගයානි මියුරුගේ අත අල්ලා ගන්නා මොහොතේදීය. දැන් ඉතින් පමා වූවා වැඩිය. මියුරු හොඳ මිතුරෙකු වෙනු ඇතැයි කියා අංජලීට සිතිණි. මියුරුද ගයානි දෙස වඩා වුවමනාවෙන් බලා සිටිනු අංජලී කීප වරක් දුටුවද කිසිවෙකු හා ඒ බවක් පැවසීමට ගියේ නැත. මියුරු පමණක් නොව ඒ අංශයේ සිටි අනෙක් අයද ඔවුන් හා වඩා හිතවත් වූහ.

මාලක බොහෝවිට ඇමතුම් ගත්තේ රාත්‍රී කාලයේදීය. දවස ඉතා කාර්යබහුල වූ බැවින් සමහර දිනක ඇයට නැන්දාට හෝ ඇමතුමක් ගැනීමට අවස්ථාවක් නොලැබුණු තරම්ය. මාලක නෝක්කාඩු කියන්නට වූයේ ඈ ඔහුව අමතක කර දමා ඇති බව කියමිනි.

“ඔයාට මං ගැන ගානක් නැහැ…”

ඔහු ඇමතුමක් ගන්නා සැම විටම එසේ පවසන්නේ පුරුද්දට මෙනි.

“ගානක් නැතුව නෙවේ…වැඩ නිසා මට කතා කරන්න වෙලාවක් නැහැ මාලක…”

ඈ පිළිතුරු දෙන්නේ සිත් තැවුලෙනි. ඔහු සමඟ කරන කතා බහ බොහෝවිට නිම වන්නේ සිත් නොමනාපයෙන් ඇගේ සිතට අමතර බරක් එක් කරමිනි.

“මෙයා මාලක එක්ක කතා කරලා ඉවර වෙලා ෆෝන් එක තියන්නේ මූණ පුළුටු කරන්…ඕක නම් හරියන මඟුළක් නෙවේ අංජු…”

ගයානි කීවේ මිතුරිය කෙරෙහි උපන් අනුකම්පාවෙනුත් මාලක ගැන කළකිරීමෙනුත් යුතුවය.

“ඕක අපි කියන්නේ අද ඊයේ ඉඳන් නෙවේනේ…”

රංගිකාද ඊට පොහොර දැමුවාය.

“අන්තිමේදි නැන්දලාත් ඔයාට දොස් කියන්න බැරි නැහැ…”

ගයානි මතක් කර දුන්නාය.

“ආදිත් කැමති නැහැ ඔයා මාලක එක්ක අෆෙයාර් එක පටන් ගත්තට…ඔයාට ඒක ගැන කියන්න කියලා එයත් මට කීප සැරයක්ම කිව්වා…”

ඒ ඇසූ අංජලී වඩාත් තිගැස්මට පත් වූවාය.

“අනේ…ආදී අයියාත් දන්නවද…?”

ඈ ඇසුවේ මවිතයෙනි.

“නැතුව ඉතින්…”

රංගිකා කියන විට අංජලී කළේ දිගු සුසුමක් හෙළීමය. වුවමනාවට වඩා මිතුරියට බල කිරීමට යාමත් සුදුසු නැතැයි සිතූ රංගිකාත් ගයානිත් නිහඬ වූයේ ඈ කලකිරීමට පත්වනු ඇතැයි සිතාය.
——————————————————————————————————
කාලය ගත වන්නේ පියාපත් ලද්දාක් මෙනි. සති අන්තයේ පාඨමාලාවක් හදාරන්නට අංජලී සිතුවේ එය අනාගතයට ප්‍රයොජන්වත් වනු ඇතැයි සිතාය. ඒ අදහසට අනෙක් දෙදෙනද එකඟ වූයේ කැමැත්තෙන්ම ය. මේ හේතුවෙන් මාලක ඈ සමඟ තවත් සිත් නොහොඳ වූයේ ඈ සති අන්තයේවත් නිවසට නොඑන බව දැන ගත් විටය.

“ඔයාට මං ගැන කිසිම හැඟීමක් නැහැ…”

ඈ සිතේ ශෝකී හැඟීමක් ඇති කරමින් මාලක කීය.

“අනේ…එහෙම කියන්න එපා…ඔයා දන්නේ නැහැ…මං ඔයා ගැන හිතන තරම්…”

“හිතන එක පේනවා…ඒකනේ දැන් නිවාඩුදාටත් ගෙදර නෑවිත් ඉන්න හදන්නේ…”

ඔහු කුමක් හෝ තර්කයක් ගෙන හැර පාමින් තම සිත පාරවන්නටම හදයි. ඔහු කතා බහ නිම නොකරම දුරකථනය විසන්ධි කළේය. අංජලී බංකුව මත හිඳගෙන දෑත් බැඳ ගත්තේ සුසුමක් හෙළමිනි. මාලකට කිසිත් තේරුම් කර දීම පහසු නැත. ඔහු කිසිත් තේරුම් ගන්නේද නැත. ඇගේ සිතේ සියුම් පසුතැවීමක් මුසු හැඟීමක් ඇති විය. ඇයට ඔහුව අමතක කරන්නටද නොහැකිය. තම අනාගතය කෙබඳු වේදැයි කියා සිතන විටත් ඈ සිතේ ඇති වූයේ තරමක තැති ගැන්මකි. ඒ ගැන සිතා පලක් නැති මුත් සිතෙන්නේද අනාගතය ගැනමය. රාත්‍රිය නිහඬය. අහසද තද අඳුරක ගිලී තිබුණේ වැහි වලාකුළු නිසා වන්නට ඇත.

“කවදා හරි ඔයාට මාව නැති වුණොත්…ඒත් ඔයාගෙම වරදින් තමා අංජලී…”

දිනක් මාලක කියූ හැටි සිහි වී ඈ මුවින් යළිත් සුසුමක් ගිළිහී ගියේය.

තුෂර සමඟ එක්ව කටයුතු කිරීම අලුත් අත්දැකීමක් විය. අංජලී මුලින් සිතා සිටියේ ඔහු කළ යෝජනාව නිසා ඔහු සමඟ එකට වැඩ කටයුතු කිරීම අපහසු වනු ඇතැයි කියා මුත් ඔහු සුහදව හැසිරුණේ එවන් යෝජනාවක් කළ බවක් හෝ මතකයේ නොමැතිවාක් මෙනි. මේ නිසා අංජලී සිටියේ සැහැල්ලු සිතකිනි. ඇයට තිබූ එකම ගැටළුව මාලකය. ඔහු තම සිත රිදවූ අවස්ථා මිස සිත සැනසූ අවස්ථාවක් නම් නොවූ තරම්ය. නමුත් ඒ ඔස්සේ වුවද ඇයට එතරම් සිතන්නට අවකාශයක් නොලැබුණේ රාජකාරී කටයුතු සමඟ කාර්යබහුල වූ බැවිනි.

“වෙලාවකට ඉරේෂුත් මාලක වගේ…”

දිනක් ගයානි කීවේ කළකිරීම් මුසු හඬකිනි.

“ඇයි…?”

අංජලීත් රංගිකාත් ඇසුවේ මවිතයෙනි.

“නැහැ අනේ…කොයි වෙලෙත් සැකේ…හැම එකටම රංඩු…එපා වෙනවානේ…අයියා දන්නවා නම් අල්ලන් ගහනවා…”

“අයියා ලංකාවේ නැති නිසා හොඳයි…”

රංගිකා කීවාය.

“හ්ම්ම්…”

ගයානි සුසුමක් හෙළුවාය.

“අයියාට මේ ගැන කියලා තිබ්බොත් හොඳ නැත්ද…ගයා…?”

අංජලී ඇසුවේ කල්පනාකාරී හඬකිනි.

“අනේ මන්දා…මට කියන්න බයයි වගේ…එයා අහනකොටත් මං නැහැ කියලා කිව්වානේ…”

“ඒක ඉතින් ඔයාගේ වරද…”

අංජලී කීවාය.

එළඹි සති අන්තයේ අමතර නිවාඩුවක් දමා අංජලී මාමාගේ නිවසට පැමිණියේ බොහෝ දිනකින් නොපැමිණි නිසාය. මාලක දකින්නට ඇයටද වුවමනා වී තිබුණේ බොහෝ දිනකින් ඔහු නොදුටු නිසාය. ඈ නිවසට එන විටත් ඔහු පැමිණ නොසිටියේය.

“කොච්චර කාලෙකට පස්සෙද දුව ආවේ…”

මාමා කීවේ සැබෑවටම ඈ නොමැතිව දැනුණු පාළුව නිසාය.

“දැන් ඉතින් ජොබ් එකත් එක්ක යන්න එන්න වෙලාව කොහෙද…නිවාඩු දාට තියන වැඩ කරගන්න ගියාම දවස ඉවරයි…”

ඉන්ද්‍රාණි එය කීවේ සිය අත්දැකීමෙනි.

“ඔව් නැන්දේ…අනික සෙනසුරාද හවස් වෙනකල් ක්ලාස්නේ…”

නැන්දා සාදා දුන් තේ කෝප්පය පානය කරමින් අංජලී කීවාය. මාලක දැන්ම නොඑන පාටය. ඈ එන බවක් හෝ ඔහුට නොදැන්වූයේ ඔහු මවිත කරන්නට සිතාය.

“කෝ නැන්දේ මාලක තාම නැහැනේ…”

නිහඬව හිඳ බැරිම තැන ඈ නැන්දා විමසුවේ මාමා ආලින්දය දෙසට පිය මනින විටය.

“එයා එන්න පරක්කු වෙනවා…දැන් අලුත් තැනකනේ වැඩ කරන්නේ…”

නැන්දා කී ඒ කතාවෙන් ඈ පුදුමයට පත්වූවාය. ඒ බවක් ඔහු ඇයට නොදන්වා තිබූ නිසා ඈ සිතේ ඇති වූයේ සියුම් සිත් තැවුලකි. ඈ මාලක පැමිණෙන තුරු සිටියේ නොඉවසිළිමත් සිතිනි. නැන්දා සමඟ ආ ගිය තොරතුරු කතාබහ කරමින් ඈ නැන්දාට රාත්‍රියට උයන්නට සහාය වූවාය.

“තව මාස කීපයකින් සුදු පුතාත් එයි…”

නැන්දා සිහි කරන විට අංජලීටද ඒ බව සිහි විය. මේනක විදෙස් ගතව දැන් දෙවසර සපිරෙන්නටද ආසන්නය. එය අද ඊයේ මෙනි.

“අවුරුදු දෙකකුත් වෙන්න යනවා නේ නැන්දේ…? අද ඊයේ වගේ…”

“ඒකනේ…ගිම්හානි දුව ඔයා එක්ක කතා බහ කරනවා නේද…?”

“ඔව්…කෝල් කරනවා නිතරම…”

“පුතා ආව ගමන් වෙඩින් එක ගන්න ඕන…”

“ඒක නම් හොඳයි…සුදු අයියා ආයේ යනවද…?”

“නැහැ…ආයේ යන්නේ නැහැ…”

මාලක පැමිණියේ රාත්‍රී අටට පමණය. තමා දැකීමෙන් ඔහු තුළ සතුටක් ඇතිවෙනු ඇතැයි කියා ඈ සිතූ මුත් ඔහු මුහුණේ සිනහ පොදක් නැතුවම කාමරයට වැදුණේ ඇගේ සිත අලුතින් පාරවමිනි. ඔහු තමාගෙන් මෙතරම් පළිගන්නට හදන්නේ තමා කළ කුමන වරදක් නිසාද කියා ඈ සිතුවේ ශෝකයෙනි.

“කවුද මෙයාට පාර කියලා තියෙන්නේ අම්මා…?”

මාලක ඇනුමපදයක් එල්ල කළේ රාත්‍රී ආහාර ගන්නා මොහොතේදීය. මාමා සිටි නිසා අංජලී මුණිවත පිරුවේ සිත යටින් ඔහුට බැන වදිමිනි.

“පාර කියන්න කවුරුවත් මොකටද පුතා…? මොකද දුව පාර නොදන්නවැයි…”

ඉන්ද්‍රාණි කතා කළේ අංජලීගේ පස ගෙනය. මාලක නිහඬ රැවුමක් ඈ වෙත පා කළේය. ඈ ඒ නොදුටුවා සේ සිටියේ සිතේ වූ නොපහන් බව මාමාත් නැන්දාත් ඉදිරියේ ප්‍රකාශ කර ගනු නොහැකිවය.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you