NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 55

Pini Muthu Palasa පිනි මුතු පලස – 55

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

“ප්‍රේමා…”

චිත්‍රා මිස් පසුපසට පැමිණියේ රථයක් පිටත් වන හඬ ඇසෙන විටය. පැමිණි අය පිටව ගියාක් මෙනි.

“ලොකු නෝනා…”

“අන්න ගේට්ටුව වහලා දාලා එන්නකෝ…කට්ටිය ගියා…”

ප්‍රේමා නැන්දා එසැණින් පිටතට දිව ගියාය.

“වයසට ගි‍යත් තාම කෙල්ල වගේ…”

ඈ දිව යන දෙස බලා චිත්‍රා මිස් කීවේ සිනහසෙමින්ය.

“අනේ මන්දා ළමයෝ…මෙයාලත් ලේසියෙන් අත් හරින්නේ නැති පාටයි…”

පෙර වූ සිනහව අතුරුදහන්ද චිත්‍රා මිස් අලුත් වූ කනස්සල්ලක ස්වරයෙන් කීවේ සුසුමක් මුදා හරිමිනි.

“ඇ…ඇයි මිස්…?”

මා ඇසුවේ නොඅසා බැරි කමටය.

“පුතාට ප්‍රොපෝසල් එකක් ගෙනත්…හොඳ තැනක්ලු කියලා මහ උජාරුවට කියනවා…මොන උගුලක් අටවන්න යනවද දන්නැහැ…”

ඈ කීවේද ප්‍රේමා නැන්දා කී කතාවමය. සොහොයුරිය ගැන වුවද ඇයට විශ්වාසයක් නොමැති ගානය.

“ඉතින්…මිස් මොකද කිව්වේ…?”

“මම මොනවා කියන්නද ළමයෝ…මගේ දරුවගේ සතුට තමා මගේත් සතුට…”

“හොඳ කෙනෙක් නම් බලලා තීරණයක් ගන්න මිස්…”

“හොඳ…! හ්ම්ම්…හොඳයි කියලා ගේ ඇතුළේම තියන්…මගේ දරුවෙක්ට වගේ සළකපු එකිත්…මගේ ඇස් වලට වැලි ගහලා නටපු නැටිළි…නොදන්න උන් ගැන අපි කොහොම කියන්නද මංදාකිණි…”

ඈ කතා කළේ කෝපයත් නොමනාපයත් කළකිරීමත් එකට කැටි වූ හඬකිනි.

“මිස් කේන්ති ගන්න එපා…”

“පුතා ආයෙමත් විභාගේ ගත්තා නම් තමා හොඳයි කියලා මට හිතෙන්නේ…මේ කරදර එක්ක එයාට එග්සෑම් ලියා ගන්නවත් බැරි වුණානේ…එහෙනම් දැන් එයත් ජොබ් එකක් කරනවා…එය ජොබ් එකක් නොකළා කියලත් ප්‍රශ්නයක් නැහැ…මේ තියන දේපළ මදෑ…ඒත් ඉතින්…ඒ ළමයාටත් කියලා ආසාවල් ඇතිනෙ…”

“ඒක තමා මිස්…රජිව් අයියාට තියෙන්නේ ආයෙමත් විභාගේ ලියන්න…”

“ඔව්…මාත් හිතන්නේ එහෙම තමා…ඒත් ඉතින් මං දැන් එයාට කිසිම බලපෑමක් කරන්න නම් යන්නේ නැහැ…පුතාගේ විභාගේ ගැන කියලා මේ මිනිස්සුන්ව මඟාරින්න කියලායි මං ලැහැසිති වුණේ…”

“ඉතින්…?”

“එතකොට කියාපි…කතා බහ කරලා තියා ගන්න එකනේ…ඕවා පහු වුණා කියලා පුස් අල්ලනවද කියලා…පුතාගෙන් අහලා කියන්නම් කියලා මං මඟෑරියේ… එතකොටයි ගියේ…”

චිත්‍රා මිස් එසේ කියා ගෙතුළට යන විට මමද කාමරයට පැමිණියෙමි. රජිව්ගේ අනාගතය අඳුරු නොකොට ඔහුගේ ලොකු අම්මා පවසන්නාක් මෙන් මා මේ නිවසින් පිටවිය යුතු යැයි මම තීරණය කළෙමි.

සවස තරුෂි පැමිණියේ මා දස අතේ කල්පනා කරමින් සිටින විටදීය. මිදුලේ කොහොඹ ගස සෙවනේ තබා ගත් පුටු දෙකක හිඳ ගෙන අපි කතාබහ කළෙමු.

“මේ කමල් අයියාත් කරන වැඩ…”

ඈ නොසතුටෙන් කීවේ රජිව් මාරවිල ගිය පුවත දැනය.

“කමල් අයියා කිව්වේ ඇත්තනේ…මම මෙහෙ ඉන්න එක රජිව් අයියාට හොද නැහැ…”

“ඇයි…රජිව් කෙල්ලෙක්ද හොඳ නැති වෙන්න…එයානම් මේවට මූණ දෙන්නේ…වටේ උන්ට මොකක්ද තියන අමාරුව…? මොකද ඔයා මේ ගෙදර ඉන්නේ රජිව් අයියා එක්ක තනියම නෙවේනේ…අනික මිස් ඔයාට යන්න කිව්වනම් ප්‍රශ්නයක් නැහැ…”

තරුෂි කතා කළේ කෝපයෙනි.

“ඒත් තරූ…මට මෙහෙ ඉන්න බැහැ…ඔයාට තේරෙනවනෙ…”

“දැන් එතකොට කොහෙද යන්න හදන්නේ…?”

“මම මොකක් හරි රස්සාවක් හොයා ගන්න ඕන තරූ…”

“ඔයා තීරණයක් ගන්න..හැබැයි…තනියම නෙවේ…මිස් එක්කයි රජිව් අයියා එක්කයි…කතා බහ කරලා…”

මට කළ නොහැකිත් එයමය. රජිව් මට යෑමට ඉඩ නොදෙන බව මම හොඳාකාරවම දැන සිටියෙමි.

“අනේමන්දා…”

“අනේමන්දා කියන්නේ…මේ අහන්න මංදි…මේ ගෙදර ඔයාට තියන ආරක්ෂාව ඔයාගේ අම්මා ළඟවත් ඔයාට තියෙයි කියලා මට නම් කිසිම විශ්වාසයක් නැහැ…ගෙදර ගියත් අම්මා වැඩි දවසක් ඔයාව තියාගන්නෙත් නැහැ…අර මිනිහා ඇවිත් ඔයාව එක්ක යනවා…ඔයාගේ අම්මටවත් බැහැ එයාව නවත්තන්න…තේරුණාද…?”

තරුෂි එසේ කීවේ මා බිය ගන්වන අදහසින් නොවූවද මා සිතේ ඇති වූයේ බියකි. ඈ පවසන දේ සත්‍යයක් බව මටද නොවැටහුණා නොවේ. කුමන තීරණයක් ගැනීමට වුවද මම රජිව් නැවත පැමිණෙන තුරු බලා සිටිය යුතුය. ඈ පිටව ගියේ හදිසි තීරණ නොගන්නා ලෙස මට මඟින් මඟට අවවාද කරමිනි.

“නෝනා ගොඩක් වෙලා ඉඳන් කල්පනා කරනවා…”

මා අසළට ළංව ප්‍රේමා නැන්දා කියන විට මම තිගැස්සුණෙමි.

“හ්ම්ම්…”

මා මුවින් සුසුමක් ගිළිහිණි.

“මං දන්නවා නෝනා කල්පනා කරන්නේ මොනවද කියලා…”

මම පුදුමයෙන් ප්‍රේමා නැන්දා දෙස බැලීමි.

“මොනවද…?”

“නෝනා කල්පනා කරන්නේ අපේ පුංචි මහත්තයා ගැන නේද…? පුංචි මහත්තයා නැතුව පාළුයි…ඒකනේ…මේ තනියම ඉඳගෙන කල්පනා කරන්නේ…”

ඈ මා අසලම හිඳ ගනිමින් එක දිගටම කියවන්නට වූවාය. වරෙක ඇගේ කියවිල්ල හිසරදයක් මෙන් වුවද මම අසා සිටියෙමි. ජීවිතයේ මට අනුකම්පා කළ අතළොස්ස අතරින් මැයද එක් අයෙකි. ඉතින් මා ඈ ගැන කෙසේ අහිතක් සිතන්නද…? ඈ පවසන්නේ සත්‍යයකි. රජිව් නැතිව පාළුය. නමුත් මේ මොහොතේ මා සිතමින් සිටියේ ඔහු ගැන නොවේ. රැකියාවක් සොයා ගත යුතු බවය. වතුර බටය පොල් ගස මුලට දමා ප්‍රේමා නැන්දා කතාවය. මම හිස් දෑසින් ගලා යන ජලය දෙස බලා සිටියෙමි. ප්‍රේමා නැන්දා ගොස් වතුර කරාමය වසා විත් යළි මා අසළම අසුන් ගත්තාය.

“අපේ පුංචි මහත්තයා හරිම හොඳයි නෝනේ…පව්…මේවා එකලාසයක් වුණා නම්…”

“මොනවද ප්‍රේමා නැන්දේ…?”

පුදුමයෙන් මම ඇසීමි.

“නෝනාගෙයි මහත්තයාගෙයි කසාදේ…”

බියපත් දෑසින් මම ප්‍රේමා නැන්දා දෙස බැලීමි.

“නැන්දා මොනව කියනවද මංදා…මට එහෙම හිතන්නවත් බැහැ…මං කවුද…රජිව් අයියා කවුද නැන්දේ…”

“ඇයි…බැරි නෝනේ…අපේ පුංචි මහත්තයා නෝනට හරිම ආදරෙයි කියලා නෝනේ දන්නවනේ…නෝනා බඳින්න යනවා කියලා ආරංචි වෙච්ච දවසේ ගෙදර ඇවිත් නොකා නොබී දහ අතේ කල්පනා කර කර උන්නේ…පස්සේ තමා මට ඔය කතාව කිව්වේ…ඇස් වල කඳුළු…හරියට කෑවේ බිව්වෙත් නැහැ…පාඩම් කළෙත් නැහැ…ඉස්කෝලේ ගියෙත් නැහැ…මට තමා දුක කිව්වේ…ලොකු මහත්තයා අහනවා මොකද මේ පුතාට වෙලා තියෙන්නේ කියලා…ඒ දවස් වල ඔය ලොකු නෝනාගෙන් එහෙන් මෙහෙන් දැනගෙන හිටියාට ලොකු මහත්තයා වැඩි විස්තරයක් දන්නේ නැහැනේ…පස්සෙ මගෙන් අහත්දී මං විස්තරේ කිව්වාම ලොකු මහත්තයාත් දුක් වුණා නෝනේ ගැන…පව්…ඉගෙන ගන්න වයසේ ළමයෙක්ව බන්දන එක මොන අපරාධයක්ද කියලා මා එක්ක කිව්වා…ලොකු මහත්තයා කියලා කියලා තමා පුංචි මහත්තයා හිත හදන් අන්තිමේදී ඉස්කෝලේ ගියේ…”

මේ කිසිත් මම දැන නොසිටියෙමි. ප්‍රේමා නැන්දා සමඟ මම මගේ විවාහ ජීවිතය ගැන කතා කළේ පළමු වරටය.

“ගැහැණියෙක්ටත් ඉවසන්න පුළුවන් සීමාවක් තියනව නෝනේ…”

අවසානයේ ඈ කීවේ එවැන්නකි.

“අපේ මහත්තයා නම් නෝනෙට ආදරේ කරන්නේ ඇත්තටමයි නෝනේ…”

“මාත් දන්නවා ප්‍රේමා නැන්දේ…ඒත්…මං එයාට සුදුසු කෙනෙක් නෙවේ…මං බැඳපු ගෑනියක්…මාව කොහොමද එයාට ගැළපෙන්නේ…?”

බිඳුණු හඬින් මම කීවෙමි.

“ඉතින් ඕක ලිහලා දාගත්තා නම් ඉවරනේ…”

“ලිහලා දාන්න…?”

“ඔව්…ලිහලා දාගන්න…බැඳන් ඉන්න ඕනද…මං කිව්වේ දික්කසාද වෙන්න…”

ඈ එය ඉතා පහසුවෙන් කියූවද එය ලේසි පහසු දෙයක් වනු ඇතිද…?

“එහෙම කිව්වට ඒක ලේසි නැහ ප්‍රේමා නැන්දේ…පූජිත මට දික්කසාදේ දෙන්නේ නැහැ…”

“ලොකු නෝනට කියලා බලන්න…මහත්තයගේ යාළුවවෝ ඇතිනේ…”

එය එසේ වුවත් දික්කසාද වී මා කුමක් කරන්නද…? ඔහු ලේසියෙන් දික්කසාදය ලබා දේයැයි සිතීම විහිළුවකි. ඔහු මා සමඟ දැඩි වෛරයකින් පසු වනු ඇති බවට සැකයක් නැත.

“පුංචි මහත්තයා අදවත් ඒවිද මංදා…”

ප්‍රේමා නැන්දා හිඳ සිටි තැනින් නැඟිටිමින් කීවාය.

“අනේමන්දා…”

“දැන් දවස් කීයක්ද…ඊයේ රෑත් කතා කළා කිව්වට…එන දවසක් කිව්වේ නැතිලු…”

ප්‍රේමා නැන්දා කරාමය හැර වතුර බටයත් ඇදගෙන ගොටු කොළ පාත්තිය දෙසට යන විට මමද ඈ පසුපස ආවෙමි.

“එහෙට වෙලා කොහොම ඉන්නවද මංදා…ඔය කොච්චර වුණත් නෝනව මතක් වෙනවා ඇති…නැත්ද මං අහන්නේ…?”

ප්‍රේමා නැන්දා කියන විට මසිත හිරි වැටී ගියේය. ඈ පැවසූ දෙයින් මා සිතට සතුටක් නොදැනුණා යැයි කියා මම නොකියමි. නමුත් මට එසේ සතුටු විය හැකිද…? මා වැනි විවාහක ගැහැණියක ඔහු වැන්නෙකුට සුදුසු වන්නේ නැත. මා වෙනුවෙන් ඔහු කළ දෑ කෙරෙහි මම ඔහුට කෘතඥ විය යුතුය. චිත්‍රා මිස්ගෙන් වුවද කිසිදු අනුබලයක් හෝ අවසරයක් ලැබෙන්නේද නැත. ඒ බව දැන දැනත් මා හිස් අහසේ මාළිගා තනන්නට උත්සහ කිරීමෙන් පළක් නොවේ. ආදරය වූ කලී හුදෙක් පරිත්‍යාගයකි. මගේ කියා තදින් බැඳෙන විට ඇතිවන්නේ වේදනාවකි. ඔහු ලබා ගන්නට කියා මම ඔහුට එකල ආදරය නොකළෙමි. මේ මොහොතේ පවා මම ඔහුට ආදරය කරන මුත් එය ආත්මාර්ථකාමී ආදරයක් නොවේ. ඔහු සතුටින් සිටිනවා නම් ඒ දෙස බලා සතුටු වන්නට තරම් මසිත දැන් පරිණත වී ඇතැයි කියා මට සිතේ.

“රජිව් අයියා ගියේ වැඩ වගේකටනේ…ඕවා කල්පනා කරන්න වෙලාවක් එයාට තියේවියැ…”

“හ්ම්ම්…හ්ම්ම්…එහෙම කියලවත් හිත හදා ගමුකෝ…”

ප්‍රේමා නැන්දා උපහාසයට මෙන් කීවාය.

“ප්‍රේමා නැන්දාත් දැන් ගානට ඇවිත්…”

මම සිනහසෙමින් කීවෙමි.

“අපිත් ඔය වයස පහු කරලා තමා ආවේ නෝනා…”

ඈ කීවේද සිනහසෙමිනි.

“ප්‍රේමා…”

චිත්‍රා මිස්ගේ හඬ අපට ඇසුණේ යාන්තමටය.

“ලොකු නෝනා කතා කරනවා…මං දුවලා එන්නම්…”

ප්‍රේමා නැන්දා බටය බිම දමා දිව යන විට මම එය ගෙන අලුත සිට වූ බණ්ඩක්කා පාත්තියට වතුර මල ඇල්ලීමි. පාත්තිය සෑදුවේ රජිව්ය. මාත් ප්‍රේමා නැන්දාත් එකතුව බණ්ඩක්කා ඇට සිටවූයෙමු. දැන් ඒවා හොඳින් වැඩුණු පැළය. සමහර පැළ වල මල් පිපී ඇත. චිත්‍රා මිස්ද මා සිටි දෙසට සෙමෙන් පියවර තබමින් සිටියාය.

“කවුරු හරි ඇවිත්…ආයෙමත් අක්කාද දන්නැහැ…මං ප්‍රේමාට කිව්වා අපි වෙද මහත්තයා ගාවට ගිහින් කියන්න කියලා…”

සිනහසෙමින් කී චිත්‍රා මිස් වත්ත පහළට සෙමෙන් පියවර තැබුවාය. ප්‍රේමා නැන්දා යළි දිව ආවේ ඊටත් සුළු මොහොතකට පමණ පසුවය.

“කවුද ආවේ ප්‍රේමා නැන්දේ…?”

ඈ හතිළන විට මම ඇසුවේ තරමක විමතියකිනි.

“ආයෙමත් අර මිස්ගේ අක්කාද…?”

ඇගේ පිළිතුර පමා වූ බැවින් මම යළිත් ඇසීමි.

“නැහැ නෝනා…ඇවිත් තියෙන්නේ නෝනගේ අම්මා…”

“අම්මා…?”

ඈ යළිත් මා සොයා පැමිණියේ මන්ද….?

“ඔව්…මං කිව්වා වාඩිවෙලා ඉන්න කියලා…ඕක දාලා යන්න…මං ලොකු නෝනා එක්ක එන්නම්…ලොකු නෝනා අම්මා එක්ක කතා කරයි…නෝනා ගිහින් කතා කරන්නකෝ…”

ප්‍රේමා නැන්දා වතුර බටය මා අතින් ගනිමින් කීවාය. මම මිදුල දිගේ නිවස දෙසට පා තැබුවේ දෙගිඩියාවෙනි.

-අප්‍රේල් 7 වන සඳුදා නැවත හමුවෙමු-

Latest news

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...
- Advertisement -spot_img

රත් දෝතළු – 48

රත් දෝතළු - 48 අඳුරු වූ අහසේ යාන්තමට දිස්වන මළානික සඳ එළිය දෙස මා බලාසිටියේ හිස් දෑසිනි. සවස ඇද හැළුණු...

උපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක්

උපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක් - Baby Girl ලොව උතුම්ම පදවිය මව් පදවියයි. දරුවෙක් කුසට ආ දිනයේ සිට මවක් තම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you