More
    NovelsMandaramen EhaMandaramen Eha - 27 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 27 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – උදෑසන හය පසුවී තිබුණද,කැලේගම වලව්ව තුනී මීදුමක සහ හීන් අඳුරක ගිලී තිබිණි. වැව දෙසින් හමා ආ සුළඟට වලව් වත්තේ පොල් ගස් “සාස්ස්ස්…” හඬින් රිද්මයකට ඇඹරී ගියේය. රිදී නැන්දා සිය කය එක් පසෙකට බර කරගනිමින් කකුල අද්ද,අද්දා පොල් ගස් අතර ඇවිදිමින් සිටියාය. ඇය ගස් යට ඇති පොල් ගෙඩි, අතු සහ හනසු වත්තේ එක් ගොඩකට රැස් කරමින් සිටියි. ඉස්කෝලෙ මැණිකේ මුළුතැන්ගෙයි සිට එළියට බැස, ඒ ආ දුරම නැවත ආපසු ගොස් කකුල බිම පිසදා රිදී නැන්දා දෙසට පැමිණියාය.

    “රිදී නැන්දේ…”

    ඒ හඬට හිස ඔසවා ඉස්කෝලෙ මැණිකේ දෙස බැලූ රිදී නැන්දා, කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිය කටයුත්තෙහිම යෙදුණාය.

    “කිව්වට අහන එකක්යැ ඉතිං..ඔය කකුලත් බැරි,බැරි ගාතේ මොකෝ මේ පාන්දර ඇහැරගෙන…”

    රිදී නැන්දා පොල් ගෙඩි දෙකක්ද කිහිළි ගන්වාගෙන ඉස්කෝලෙ මැණිකේ වෙත පැමිණියාය.

    “පොල් මුරේ කඩන්න කාලෙ හරි පුංචි අම්මණ්ඩී…නැහ්නං ඒම ඔක්කොම දෙන්ඩ වෙන්නෙ කරපොල් ගානට..”

    “ඒකට ඉතිං ඔය පාළුගම කොල්ලෙක්ව අල්ලගත්තනං අහවරනෙ..රිදී නැන්දට ඇහැකියැ ඔය සුමේ කොරන්ඩ..”

    “ඔය බඩහැළයො, බෙරවායෝ මේ වත්ත මායිමේ වැද්ද ගන්න නාකයි අපෙ මැණිකේ..”

    රිදී නැන්දා එය කියූයේ දැඩිව සහ නොරිස්සුමෙනි. ඉස්කෝලෙ මැණිකේ වුවමනාවෙන් රිදී නැන්දා දෙස බැලුවාය.

    “අර මොකෝ ඒ…වෙනදත් එහෙමනෙ කරේ…”

    රිදී නැන්දා ඉස්කෝලෙ මැණිකේ අසළටම පැමිණ, වටපිට බලා උගුරේ රැල් බුරුල් හැරියාය.

    “මං මේ අපෙ මැණිකෙට කාරණයක් කියන්ඩ අපේ සරලා චූටී එහෙ,මෙහෙ වෙනකං උන්නේ…”

    රිදී නැන්දාගේ හැසිරීම කාලයක් තිස්සේ දන්නා හෙයින්, කැලේගම මැණිකේ ඊට සිනහවකින් ප්‍රතිචාර දක්වා,

    “කියමුකෝ බලන්ඩ හේනං…සරලා මේ අහක නෑනේ දැං..”

    කියා කීවාය. රිදී නැන්දා ඉස්කෝලෙ මැණිකේ සමීපයටම විත් රහසක් කියනා හීන් හඬකින් කතාව ඇරඹුවාය.

    “සරලා චූටි…අර පාළුගම වළංකාරයෙක් එක්ක ඇයි හොඳයියක් තියෙන පාටයි පුංචි අම්මණ්ඩී..”

    “මොන වළංකාරයෙක් ගැනද රිදී නැන්දෙ ඔය කියන්නෙ..”

    “අර සංහිඳේ ඉස්සරහා විසාලෙට මැටි රස්සාවක් කොරන උද්ද්ච්ච බඩහැළයෙක් ඉන්නේ..ආං..ඌ..”

    “ඒ ළමයා කොහොමද පාළුගම මිනිස්සු අඳුරන්නෙ..හා හා පුරා කියලා මෙහෙ ඉන්න ඇවිත් මාසයක්වත් නැතිකොට..රිදී නැන්දා මේ ඔලුවෙ තියං ඉන්න මනස්ගාතද කොහෙද..”

    “අපෙ මැණිකේ…මේක සිද්ධ නොවෙන්ඩ ඕනේ අටෝරාසියක් හෙන කන්දරා වෙච්චි භූමියක්..අර දොරකඩ රැකවල්ලා ඉන්න අපේ වලව්වෙ හාදුරුවො පල්ලා…මං මේ දෑහින් දැක්කා , කණ් දෙකෙන් ඇහුවා….ඒකා අපේ බබාට නම කියලා කතා කෙරුවා…”

    ඇතුළතින් මහා තිගැස්මක් දැණුනද, එය රිදී නැන්දා ඉදිරියේදී පෙන්විය නොහැකි නිසාවෙන්, ඉස්කෝලෙ මැණිකේ ආයාසයෙන් මුවට හිනාවක් නඟා ගත්තාය. සරලා ඇඟ මැළි කඩමින් ඔවුන් අතරට පැමිණියේ ඒ මොහොතේදීය .

    හීන් බණ්ඩාරමැණිකේ ශාරිකගේ කාමරයට එබිකම් කර බැලූයේ කීවෙනි වතාවටදැයි දැන් ඇයටවත් මතක නැත. අද ඔහුගේ නිවාඩු දවසයි. එබැවින් සිය පුතුව ඇහැරවීමට ඇයට ලෝබ සිතිණි. එහෙත් ඇය මේ හිස් හැඟීමට කැමති නැත. සිය ස්වාමි පුරුෂයා මිය ගියදා සිට ඔහු නැති අඩුව ඇය පුරවා ගත්තේ දෙදරුවන් දෙපසෙහි තබා ඒ කං කරච්චලය විඳිමිනි. දැන් සිය ලොකු පුතු රැකියාව ජීවිතය කරගෙනය. සිය එකම දියණිය කැලේගම වලව්වේය. ජීවිතයේ සැඳෑ සමය කෙමෙන් කටුක වෙමින් පවතින බව ඇයට හැඟෙයි. ඒ හැඟීමෙන්ම ඉලපතක් අතට ගත් ඈ ගෙයි ආලින්දය දෙසට ඇවිද ආවාය. ගේට්ටුව ඇරගෙන වත්තට කිසිවෙකු ඇතුළු වන හඬ ඇසීමෙන් හීන් බණ්ඩාර මැණිකේ ඒ දෙසට විමසිලිමත් වූවාය.

    “තාරුකා දූ…”

    එසේ කියාගෙන තාරුකා පෙරමඟට යන්නට තරම් සතුටකින් හීන් බණ්ඩාරමැණිකේ වත සිනහවක් දරා ප්‍රබෝධමත් වූවාය.

    “මං හිතුවා නැන්දම්මා තාම බුදිවත්දෝ කියලා…”

    “මොන..පාන්දර හතර වෙද්දි පුරුද්දට ඇහැරෙනවා දූ…ඒත් ඒ මහ පාන්දර නැඟිටගෙන කරන්න තරම් දෙයක් මට නෑ නේදෝ කියලා හිතෙනකොට නම් ටිකක් දුකයි..”

    සිය නැන්දණියගේ මේ හුරු පුරුදු කරුණාවන්ත පිළිගැනීම තරම් නිවීමක් තාරුකාට සිය නිවස තුළදීවත් දැනෙන්නේ නැත.

    “ලොකූ තාම ඇඳේ..නිවාඩු දවසට ඔහොම තමා දූ..යං..අපි තේ ඩිංගිත්තක් බොමු…මං අද ආප්ප තැනුවා…ලොකූ ආසනෙ මුට්ටියෙ පදම් කරපු ආප්ප කන්ට..”

    තාරුකා සිය නැන්දණිය පසුපස වැටුණේ, ඒ ආදරණීය වචන වලින් දෙසවන් පුරවා ගනිමිනි.

    “ඔය කොළොම්බුව උඩ ඈඳිගන්න දූ…අපි ආප්පයක් කාලා කහට ඩිංගක් බොමු..”

    සිය නැන්දණිය එසේ කීවද තාරුකා නූල් පොටක් සේ හීන් බණ්ඩාරමැණිකේ පසුපසම එති,එතී උන්නාය.

    “කාලෙකින් ඒ අහ යාගන්න වුණෙත් නෑ නොවැ, ලොකු අක්කා සනීපෙන්නෙ දූ…”

    “ඔව්, නැන්දම්මේ..සරලා නංගී එන්නෙ කවදද..”

    තමා ද ඇගේ සංවාදයට දායක විය යුතුයැයි සිතා එසේ ඇසුවා මිස, තාරුකාට සිතුණේම ශාරිකගේ කාමරයට වැද, ඔහුව අවදි කර වද දෙන්නටය.

    “ඒකනෙ…අපේ ඉස්කෝලෙ අක්කා නොවෙන්න මෙලාකටත් මං චූටිව ඇන්න ඇවිත්..එයැයි නැතුව මේ ගේ වස පාළුයි දූ..”

    “මං හිතන්නෙ රිසාල්ට් එනකං ඉස්කෝලෙ නැන්දා එන්න දෙන එකක් නෑ…”

    හීන් බණ්ඩාරමැණිකේ ඊට පිළිතුරු ලෙස කිසිත් නොකීවාය. සරම පපුව තෙක් හැඳගෙන හිස කසමින් ශාරික කුස්සියට ඇතුළු වූයේ ඒ කතා බහ අතරතුරය. තාරුකා දුටුවනම, හේ ගැස්සී ගියේය. තාරුකාගේ මුවින් “බකස්” ගා හිනාවක් එළියට පැන්නාය.

    “ආහ්…ඔය ඇහැරිලා තියෙන්නේ..යන්ඩ ගිහිං මූණ කට හෝදගෙන එන්ඩ..”

    ශාරික කිසිත් නොකියාම කුස්සියේ පිටුපස දොරෙන් එළියට බැස්සේය. තාරුකාද ඔහු අනුගමනය කළාය. ඒ යන අතරතුර ඈ සිය ඇඟිල්ලකින් ශාරිකගේ ඉන පෙදෙසට ඇන්නේ,

    “නිදි කුම්බරයා….”

    කියා පවසමිනි. ශාරික ලිහෙන්නට ගිය සරම එහෙ,මෙහෙ දඟලා ගැටගසා ගනිමින් තාරුකා දෙස රවා බැලුවේය.

    “ඇයි..වලිද..” තාරුකා ඇසූයේ සැහැල්ලුවෙනි.

    “නටන්ඩෙපා මෙතන..උස්සලා අතාරිනවා ළිඳට හරිද..”

    ශාරික කීයේ තාරුකා වෙත මවාගත් අමනාපයක් හෙලමින් ය.

    “ඉස්සුවට කමක් නෑ …අතාරින්නෙපා හොඳේ..”

    “උස්සාගෙන ඉන්නම බඩ්ඩ..අහට්‍ට වෙයං මට මූණ හෝදගන්න දීලා…”

    ශාරික එසේ කීයේ උරහිසින් අල්ලා ඇයව පසෙකට කර සිමෙන්ති බැම්ම මත පුරවා තිබූ, වතුර බේසම වෙතට නැමෙන අතරවාරයේය. එසැණින්ම තාරුකා කළේ ශාරිකගේ පසුපස පෙදෙස තදින් මිරිකා දැමීමය. ශාරික වතුර බේසම ඔසවාගෙනම තාරුකා සිටි දෙසට හැරුණේ එය ඇය වෙතට දමා ගැසීමටය. එහෙත් තාරුකා වෙනුවට තුවායද රැගෙන තමා අසළ හුන් සිය මව දුටු ඔහු, බොහෝ ආයාසයෙන් නැවත බේසම කණුව මත තබා තුවාය අතට ගත්තේය. ආදරණීය සිනහවක් මුවට නඟා ගත් හීන් බණ්ඩාරමැණිකේ තමාට මුවාවී සිටි තාරුකාගේ හිස අත ගාමින් ඈ සමඟ කුස්සියට වැදුණාය.

    කාලිංග “සිරිවර්ධන ෆැන්සි හවුස්” හි ගබඩා කාමරයේ ඔබ,මොබ ඇවිදිමින් සිටියේය. ඔහුගේ ඇස් දිව ගියේ ධාන්‍ය අසුරා තිබූ පෙදෙසට සහ ඒවා පොලිතීන් අසුරන වල මනා ලෙස සකසා ප්‍රවාහනයට සූදානම් කර තිබූ ආකාරය වෙතය.

    “මාත්තියා….”

    ඒ හඬට කාලිංග හැරී බැලීය. ඔහු අසළ සිටියේ සරම සහ බැනියම හැඳගත්, කලු කොට තරබාරු මැදිවියේ මිනිසෙකි. ඒ සිරිවර්ධන මුදළාලිගේ සේවකයා වූ සින්නා ය.

    “ලොකු මාතියා මේ මාතියාට එන්ඩ තමා කීවා…”

    කාලිංග සින්නා අනුගමනය කළේය. ගබඩා කාමරයෙන් එක් තරප්පු පෙළක් නැඟ සින්නා ඔහුව ඉහළ මාලයේ ඇති කාර්‍යාල කාමරයක් වෙත රැඟෙන ගියේය. සිරිවර්ධන මුදළාලී එහි වාඩි වී සිටියේය. කාලිංග දුටුවනම ඔහු යටැසින් නිරීක්ෂණාත්ම බැල්මක් ඔහු වෙත හෙලා, අසුන් ගන්නා, ලෙස අතින් සන් කළේය. එමෙන්ම සින්නා වෙත එක් බැල්මක් හෙලූ සැණින් ඔහු කාමරය හැර ගියේය. එම බැල්මම සිරිවර්ධන මුදළාලී වෙතද හෙළමින් කාලිංග අසුන් ගත්තේය.

    “තමුන් නේද මට ටෙලිෆෝං කරේ..”

    “එහෙමයි..”

    “තමුන්ට මේ ලියන මහත්තැන් වැඩේ කොරගෙන යන්න පුළුවන් කියලා විශ්වාසයිනෙ..”

    “මේක මට නෙවේ මගෙ නංගිට..”

    සිරිවර්ධන මුදළාලිගේ නළල නළියන්නට පටන් ගත්තේය.

    “ගෑණුන්ට හරියන්නෑ අයිසේ මේ වැඩ..තමුන්ට මං කීවෙ කැෂියර් කමටත් පුළුවන් නම් ගෑණියෙක් ගේන්නය කියල විතරනෙ..”

    “ඒ දෙකටම තමා මේ එක ගෑණී..”

    “තමුන් ඒ ඔක්කොම තනියෙන් තීරණය කරලා රස්ස්සාව අරං යන්නද ආවේ එතකොට..”

    “නෑ…අවසර දෙනවනම් ඒක කොරලා පෙන්නනවා කියන පොරොන්දුව දීලා යන්න ආවේ..”

    සිරිවර්ධන මුදළාලි මොහොතක් කල්පනාවේ නිමග්නව සිටියේය. ඔහුගේ මුවට අමුතු සිනහවක් නැඟී ආයේය. මේසය මතට නැඹුරුව ඔහු කාලිංග දෙස සෘජු බැල්මක් හෙලීය.

    “මොකක්ද තමුන්ගෙ නම කීවේ..ටෙලිෆෝං එකෙන් කීවට, මට ඒ හැටි නිච්චියක් නෑ…”

    “කාලිදාස…ගමේ උන් කාලී කියලත් කියනවා…”

    “මොකක්ද ගම..”

    කාලිංග උත්තර දෙන්නට මුව හදද්දීම, එසැණින් කාර්‍යාල කාමරයේ දොර විවෘත වූයේය. සිරිවර්ධන මුදළාලි සහ කාලිංග යන දෙදෙනාම එකවර එදෙස බැලුවෝය. දොරෙන් ඇතුළු වූයේ ලක්මාල් ය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page