තිස්ස සර්පයා දුටුවාද ?
වර්තමාන ලාංකීය සමාජ මාධ්‍ය අවකාශය හරියට මංමුලා වූ වන්දනා නඩයක් වැනිය. රටේ පවතින සැබෑ සමාජ – ආර්ථික ප්‍රශ්න නමැති මහා ගිනි කන්ද පාමුල තබාගෙන, ජනතාව ෆේස්බුක් සහ යූටියුබ් නමැති කඩපිල්වල “කනමැදිරි එළි” දෙස බලා හුරේ දමමින් සිටිති. මේ ඩිජිටල් රංග පීඨයේ අද වන විට ප්‍රධාන නළුවන් දෙදෙනෙක් සිංහාසන තනාගෙන ඇත. එක් අයෙක් තිස්ස ජනනායකය. අනෙකා සමාජ මාධ්‍ය භාෂාවෙන් “සර්පයා” ලෙස හඳුන්වන කේ.කේ. සමන් කුමාරය. මේ දෙදෙනාම තමන්ගේම මඩිස්සල තරකර ගන්නා ඩිජිටල් වෙළෙන්දන් මිස අන් කිසිවෙක් නොවේ.
සර්පයාගේ මූලාශ්‍ර රහිත සර්ප බණ
කේ.කේ. සමන් කුමාර හෙවත් සර්පයා බුද්ධාගම සහ ඉතිහාසය ගැන කියවන බණ, නූල කැඩුණු සරුංගලයක් වැනිය. ඒවා කොහේ ගොස් නතර වේදැයි කාටවත් කිව නොහැක. ඔහු ධර්මය සම්බන්ධයෙන් විවිධ මනස්ගාත සහ පෞද්ගලික තියරි මුදාහරින්නේ “අහසින් වැටුණු හොද්දක් හැඳි ගාන්නාක්” මෙනි. ඊට කිසිදු ඓතිහාසික හෝ ශාස්ත්‍රීය මූලාශ්‍රයක් නැත. ඔහුගේ මෙම “අමුතුම දිවිය” නමැති මිරිඟුව පසුපස හඹායන අනුගාමිකයන් පිරිසක් සිටින අතර, ඔවුන් සිතා සිටින්නේ තමන් සම්ප්‍රදායෙන් බැහැර වූ “මහා ප්රගතිශීලීන්” කියාය. නමුත් සැබවින්ම සිදු වන්නේ හිස් කළයකින් තවත් හිස් කළයකට පැන් වැක්කිරීමක් පමණි.

තිස්සගේ ශිෂ්ඨ මහින්දවාදය
අනෙක් අතට, තිස්ස ජනනායක පෙනී සිටින්නේ සාම්ප්‍රදායික බෞද්ධ උරුමයේ “මහා භාරකාරයා” ලෙසය. ඔහුගේ දේශනා විලාසය හරියට පරණ වීදුරු වළලු, රන් මාල ලෙස පෙන්වා විකුණන වෙළඳාමක් වැනිය. ඔහු පෙන්වන “ශිෂ්ඨ මහින්දවාදී” ආර, අනුරාධපුර රජ දවසේ ශ්‍රේෂ්ඨත්වය වර්තමාන ඩිජිටල් පරපුරට ගැලපෙන “නැවුම් මෝස්තරයක්” ලෙස අලෙවි කරයි. මේ දේශනා අසන පිරිස් “අතීත කාමයෙන්” මත්වී, වර්තමානයේ තමන් විඳින දුක අමතක කර දමා රජ දවසේ සිහිනයක අතරමං වෙති.




