ස්ටෙලා (බව්වෙකුගේ කතාවක්!) – Man’s Best Friend
“ස්ටෙලා! ස්ටෙලා! ස්ටෙලා!”
ෆ්‍රෙඩ් මට ඒ නම දී තිබෙන්නේ විහිළුවට බව මට වැටහෙයි. විශේෂයෙන්ම මිදුලේ සිටින මාව නැවත ගෙතුළට කැඳවීමට ඔහු එසේ කෑගසයි. ඒ බව මම දන්නේ ඔහු එසේ කරන සෑම අවස්ථාවකම හයියෙන් හිනැහෙන නිසාත්, අසල්වැසියන්ට එය ඇසුණු විට ඔවුන් හිස දෙපසට වනන නිසාත්ය. කොහොම වුණත් මම ගෙතුළට එන්නෙමි. එවිට ඔහු මට කෑම ලබා දී මගේ වලිගය ආදරෙන් පිරිමදියි.
ඔහුගේ ඇඳුම් දෙස බැලූ විට අද රෑටත් අපි එළියට යන වග මට වැටහෙයි. මම මේ ගමන්වලට බෙහෙවින් ආසා වෙමි. අපි මීට පෙර කිසිදා දැක නැති අසල්වැසි ප්‍රදේශ පුරා ඇවිදින්නෙමු. මට කැමති තරම් තැන් ඉව කරමින් යා හැක. මේ ගමන්වලදී ෆ්‍රෙඩ් සන්සුන් ය. නිදහසේ ඇවිදින්නට ලැබීම ඔහුට සැනසිල්ලක් සේ පෙනේ. ඔහුගේ රැකියාවේ ඇති මානසික පීඩනය නිසා ඔහුට මෙවැනි විවේකයක් අවශ්‍ය බව මම සිතමි.

මිනිසුන්ට කියන ආකාරයට නම් ඔහු හදිසි වෛද්‍ය සේවා නිලධාරියෙකි (EMT). ඔහු අඳින විශේෂිත නිල ඇඳුම්වලට හේතුවත් එය විය යුතුය. ෆ්‍රෙඩ් තම රෝගීන්ගේ කතා හැමෝටම කියයි. ඒවා අසන හැමවිටම ඔවුන් පුදුමයටත් කම්පනයටත් පත් වෙයි. ඔවුන් තවත් විස්තර දැනගැනීමට උනන්දු වෙයි. ඒ අත්දැකීම්වලින් සමහරක් ෆ්රෙඩ්ටද බලපාන බව මට පෙනේ. සමහර අවස්ථාවල ඔහු ගෙදර පැමිණි විගසම තම නිල ඇඳුම සෝදයි. ඇඳුම්වල තැවරී ඇති ලේවල, ශරීර අභ්‍යන්තර අවයවවල බය හිතෙන ගඳ ඉවත් කරගැනීමට ඔහු බොහෝ වේලා ස්නානය කරයි. ඉඳහිට ඔහු තම නිල ඇඳුම දර දහනය කරන උදුනටම දමා පුළුස්සා දමන්නේ ඒ ගැන මතකය පවා සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයැයි සිතන්නාක් මෙනි. එවැනි රාත්‍රීවලදී ඔහු මාව තදින් තුරුලු කරගෙන, තම ඇඳ මත ඔහු අසලම නිදාගැනීමට මට ඉඩ දෙයි. ඔහුට නින්ද යෑමට බොහෝ වේලාවක් ගත වේ. නමුත් මගේ පැමිණීම ඔහුගේ සිත සන්සුන් කිරීමට උපකාරී වන බව මම සිතමි. මම ෆ්‍රෙඩ්ට ආදරය කරමි.
මෙම කතාව කියන්නේ එක් අවස්ථාවකදී මම ඔහුව බේරාගත් ආකාරය ගැන කියන්නයි. මම ලොකු බල්ලෙක් නොවෙමි. නමුත් අවශ්‍ය වූ විට දරුණු ලෙස සටන් කිරීමට මට පුළුවන. ෆ්‍රෙඩ් කියන හැටියට මම ජැක් රසල් ටෙරියර් වර්ගයේ සුනඛයෙකි. ඒ නම මටනම් තේරෙන්නේ නැත. මොකද කිව්වොත් ජැක් යනු පිරිමි ළමයෙකුගේ නමකි. මම ගැහැණු කෙනෙක්මි. මේ සිදුවීම සිදු වූයේ මීට මාස කිහිපයකට අප වෙනත් නිවසකට පදිංචියට යෑමට පෙරය. එදින අපගේ රාත්‍රී ඇවිදීම ගැන ෆ්‍රෙඩ් වෙනදාටත් වඩා උද්යෝගයෙන් සිටියේය. අපි එදින මහල් නිවසක් ඉදිරිපිට නතර වූයෙමු. එම නිවසින් අමුතු ගන්ධයක් හමමින් තිබුණේය. කවුරුන් හෝ පිටතට පැමිණ ෆ්‍රෙඩ්ට කෑගසන තුරුම මම නිවසේ ඉදිරිපස වටේම ඉව කරමින් උන්නෙමි. ෆ්‍රෙඩ් තම Hoodie එක හිසට දමාගෙන මට “එන්න බල්ලෝ ” කියා කීවේය. ඔහු මට කිසිදා “බල්ලා” යනුවෙන් කතා කර නැත. ඔහු නිතරම මට කතා කළේ “ස්ටෙලා” කියාය. අපි තවත් ටික වේලාවක් ඒ වටා ඇවිද ගියෙමු. අමුතු ගන්ධයක් තිබූ නිවසට ළං වන සෑම අවස්ථාවකම ෆ්‍රෙඩ් ආපසු හැරී වෙනත් දිශාවකට ගමන් කළේය. මඳ වේලාවකට පසු අපි ගෙදර ආවෙමු. එදින රාත්‍රියේ ඔහු වෙනදාට වඩා නොසන්සුන්ව සිටියේය. මම ඔහු අසල නිදා ගත්තෙමි. ප්රශ්නය මොකක්දැයි නොතේරුණත් ඔහුට නින්ද යන තුරු ඔහුව සැනසීමට මම පුළුවන් හැටියට උත්සාහ කළෙමි.

ඊළඟ දින කිහිපයේද ෆ්‍රෙඩ්ගේ මනෝභාවය යහපත් නොවීය. ඔහු රැකියාවට ගියේය. මට කෑම දුන්නේය. මා සමඟ ඇවිදින්න ගියේය. මගේ හැම අවශ්‍යතාවක්ම ඉටු කළේය. නමුත් ඔහුගේ සිත වෙනත් තැනක තිබෙන බවක් පෙනුණි. ඉන්පසු එක් දිනක ඔහු රාත්‍රී සේවා මුරයකට ගිය අතර පැය කිහිපයකට පසු නැවත පැමිණියේ බොහෝ සේ කලබලයෙනි. දහඩියෙන් නෑවී සිටි ෆ්‍රෙඩ් වේගයෙන් හුස්ම ගත්තේය. ඉන්පසු සිය ඇඳුම් උනා දමා උදුනට විසි කර, වේගයෙන් පඩිපෙළ දිගේ ඉහළට දිව ගොස් නාන කාමරයට ගියේය. ඔහු හොඳටෝම කලබල වී සිටියේය. වෙනදා නම් ඔහු ගෙදර ආ හැටියේම මට මිදුලට යන්නට දෙයි. නමුත් එදා ඒකවත් කළේ නැත.
මිනිත්තු කිහිපයකට පසු කවුදෝ දොරට තදින් තට්ටු කරන ශබ්දයක් ඇසුණි. මම ගොරවන්නට පටන් ගත්තෙමි. ඒ තැනැත්තා දිගටම දොරට තට්ටු කළේය. ෆ්‍රෙඩ් තවමත් නාන කාමරයේය. එකවරම දොර විවෘත වී නිල ඇඳුම් ඇඳගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළට ආවෝය. ඒවා ෆ්‍රෙඩ්ගේ නිල ඇඳුම නොවුණත් මම මීට පෙර එවැනි නිල ඇඳුම් දැක තිබුණෙමි. මම දත් විලිස්සා පෙන්වමින් දිගටම බිරුවෙමි. ඔවුන්ගෙන් එක් අයෙක් පඩිපෙළ දෙසට ගමන් කළේය. මම ඔහුගේ මාර්ගය හරස් කළෙමි. ඔහු මාව අල්ලා ගැනීමට හැදුවත් එයට ඉඩ නොදුන්නෙමි. ඉන්පසු අනෙක් පුද්ගලයා උදුන දෙසට ගමන් කළේය. ඔහු උත්සාහ කළේ ෆ්‍රෙඩ්ගේ ගිනි ගනිමින් තිබූ නිල ඇඳුම සොරකම් කිරීමටය. මම වහාම එතැනට දිව ගොස් ඔහුව නතර කළෙමි. පඩිපෙළ මුදුනේ සිට ෆ්‍රෙඩ්ගේ කටහඬ මට ඇසුණි. ඔහු කෝපයෙන් හා කලබලයෙන් සිටියේය. අනෙක් නාඳුනන පුද්ගලයා පඩිපෙළ දිගේ ඉහළට ගොස් ෆ්‍රෙඩ් හා වාද කළේය.
ෆ්‍රෙඩ් මෙසේ කියනවා මට ඇසුණි.
“මගේ බල්ලට කරදර කරන්න එපා!”
ඒ ඔහුගේ හැටිය. අනතුරකදී පවා ඔහු හිතන්නේ මා ගැනයි. ඔහු පඩිපෙළ බැස පහළට පැමිණියේය. නාඳුනන පුද්ගලයන් ඔහුගෙන් ප්‍රශ්න අසන්න පටන් ගත්තෝය. ෆ්‍රෙඩ්ගේ සිරුරෙන් වතුර බේරෙමින් තිබුණි. ඔහු කෝපයෙන් වෙව්ලමින් ඇඟ වටා තුවායක් ඔතාගෙන සිටියේය. අනතුරුව දොර දෙසට ඇඟිල්ල දිගු කරමින් ඔවුන්ට කෑගැසුවේය. කිසිවෙකු මා වෙතවත් උදුන වෙතවත් ළඟා වූයේ නැත. අවසානයේදී ෆ්‍රෙඩ් ඔවුන් සමඟ යෑමට එකඟ විය. ඔහු ඇඳුම් මාරු කරගන්නා අතරතුර මට මිනිත්තු කිහිපයක් පිටතට යෑමට ඉඩ දුන්නේය. ඉන්පසු නැවතත් මට කතා කළේය.

“ස්ටෙලා! ස්ටෙලා! ස්ටෙලා!”
ආගන්තුකයන් දෙදෙනා මගේ නම අසා හයියෙන් හිනැහුණෝය. ෆ්‍රෙඩ් මට කෑම දී මගේ වතුර බඳුනත් පුරවා ඔවුන් සමග යන්න ගියේය. ඒ රැය පුරාම මම උදුන ඉදිරිපිට සිටගෙන සිටියෙමි. ගින්න ක්‍රමයෙන් නිවී ගියේය. නමුත් මම තවමත් එතැනම වැතිරී එය ආරක්ෂා කළෙමි. එය ඉතා වැදගත් දෙයක් බව මම දැන උන්නෙමි. පහුවදා උදයේ ඔහු නැවත නිවසට පැමිණියේය. ෆ්‍රෙඩ් ඊයේ මෙන්ම කලබලයෙන් සිටි නමුත්, මම උදුන ආරක්ෂා කිරීම ගැන සතුටු විය. ඔහු මම හොඳ ගෑණු ළමයෙක් යැයි කියා රසවත් කුකුළු මස් කැබලි කිහිපයක් දුන්නේය. ඉන් පසු අපි අපි උඩුමහලට ගියෙමු. ඔහු සන්සුන් වී නින්දට සූදානම් වන අතරතුර මම ඇඳට නැඟී ඔහු අසලින්ම සිටියෙමි. ඒ රාත්‍රීවල ඔහු කළ කී දේවල් මම දැන සිටි බව මම ඔහුට කිසිදාක නොපැවසුවෙමි. මට ඒ ගැන කලක සිටම සැකයක් තිබුණි. නමුත් එදින රාත්‍රියේ ඔහුගෙන් සහ ඇඳුම්වලින් හැමූ ගඳෙන් ඒ සැකය තහවුරු විය. ඔහු රැකියාවට ගියේ නැත. ඔහු නැවතත් ගොස් තිබුණේ අර නිවසටමය. ලේවල, ශරීර අභ්‍යන්තර අවයවවල බය හිතෙන ගඳ එදා අපට කෑගැසූ මිනිසාගේ වෙන්නට ඇත. ෆ්‍රෙඩ් රැකබලා ගන්නේ තුවාල ලැබූවන් පමණක් නොවේ. ඔහු ඔවුන්ට තුවාල සිදු කරන අය ගැනත් බලා ගනියි.
මම ඔහුව හැමදාමත් ආරක්ෂා කරමි. ටික කලකට පසු අපට එම ප්‍රදේශයෙන් ඉවත් වී වෙනත් තැනකට යෑමට සිදු විය. දැන් සියල්ල නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත. ෆ්‍රෙඩ් නැවතත් රැකියාව කරමින් සිටියි. රැකියා දෙකම.




