හිස් බෝතල් හිඟය සහ බේබද්දා වැනෙන හේතු
ලංකාවේ මත්පැන් මිල මෑතකදී නැවත වතාවක් ඉහළ ගියේය. සාමාන්‍යයෙන් මිලක් වැඩි වූ සැනින් ඊට හේතුව ලෙස කරළියට එන්නේ “හිස් බෝතල් හිඟය”, “ප්‍රවාහන වියදම්” හෝ “නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම” වැනි සුපුරුදු නිදහසට කරුණුය. නමුත් ඇත්ත තත්ත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස්ය. අද වන විට මෙරට සාමාන්‍ය මත්පැන් පාරිභෝගිකයෙකු වීදුරුවකට වත් කරගන්නේ හුදෙක් මත්පැන් ස්වල්පයක් නොව, රජයේ දැවැන්ත බදු බර සහ නිෂ්පාදකයන්ගේ ලාභාංශ පියවා ගැනීමේ පිරිවැයයි. සරලවම කිවහොත්, අද මිනිසුන් බොන්නේ තනිකරම බදුය.
“හිස් බෝතල් හිඟය” පිටුපස ඇති සැබෑව
මිල ඉහළ දැමීමට බෝතල් හිඟය ප්‍රධාන හේතුවක් ලෙස දැක්වුවද, එය බොහෝ විට මිල සූත්‍ර වෙනස් කිරීමට යොදාගන්නා පලිහක් පමණි. ප්‍රතිචක්‍රීකරණය නිසි ලෙස සිදු නොවීම, වීදුරු නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම සහ මෑතකදී සිදුකළ බෝතල් තැන්පතු ගාස්තු වැඩිවීම් (භාග බෝතලයක් රු. 70ක් සහ කාල බෝතලයක් රු. 30ක් දක්වා) පාරිභෝගිකයාට අමතර බරක් එකතු කර තිබේ. එහෙත් වෙළඳපොළේ සිදුවන මිල අධික ඉහළ යාම සාධාරණීකරණය කිරීමට එම හේතුව ෂොට් එකක් තරම්වත් ප්‍රමාණවත් නැත.

බදු වදින හැටි
ලංකාවේ මත්පැන් බෝතලයක මිල තීරණය වීමේදී රජය බදු අය කරන්නේ ඉතා සංකීර්ණ, නමුත් පාරිභෝගිකයාට අතිශය අවාසිදායක ක්‍රමවේදයකටයි. ලංකාවේ මත්පැන් සඳහා බදු අය කරන්නේ බෝතලයේ ප්‍රමාණයට පමණක් නොව, එහි අඩංගු ශුද්ධ මධ්‍යසාර ප්‍රතිශතය (LAA – Litre of Absolute Alcohol) මත පදනම්වයි. උදාහරණයක් ලෙස වෙළඳපොළේ බහුලවම විකිණෙන මිලිලීටර් 750 සාමාන්‍ය අරක්කු (Special Arrack) බෝතලයක් ගනිමු. එම බෝතලයේ මිල සකස් වන හැටි බලමු.
මධ්‍යසාර මත සුරාබද්ද (Excise Duty)
සාමාන්‍ය අරක්කු බෝතලයක සාමාන්‍යයෙන් 33.5%ක මධ්‍යසාර ප්‍රතිශතයක් (ABV) අඩංගු වේ. රජය විසින් පනවා ඇති සුරාබදු අනුපාත අනුව, පිරිසිදු මධ්‍යසාර ලීටරයකට (LAA) රුපියල් 7,244කට අධික බද්දක් අය කෙරේ. ඒ අනුව එක් බෝතලයක අඩංගු මධ්‍යසාර ප්‍රමාණයට පමණක් රුපියල් 1,800කට ආසන්න මුදලක් සුරාබද්ද ලෙස වදී. වක්‍ර බදු (VAT සහ SSCL): මෙම සුරාබද්ද එකතු කළ අගය මත, නිෂ්පාදකයාගේ පිරිවැය ද දමා නැවත 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද (SSCL) සහ 18%ක එකතු කළ අගය මත බද්ද (VAT) පනවනු ලබයි.
බදු මත බදු ගැසීම
මෙහි ඇති සැබෑ ඛේදවාචකය නම් රජය VAT බද්ද (18%) ගණනය කරන්නේ භාණ්ඩයේ මුල් නිෂ්පාදන පිරිවැය මත නොව, කලින් සඳහන් කළ දැවැන්ත සුරාබද්ද ද එකතු කිරීමෙන් සෑදෙන මුළු මුදල මත වීමයි. සරලවම කිවහොත් පාරිභෝගිකයා මෙහිදී බදු සඳහාද බදු ගෙවයි (Tax on Tax). මෙම දත්තයන්ට අනුව රුපියල් 3,600කට අධික මිලකට විකිණෙන සාමාන්‍ය අරක්කු බෝතලයකින්, රුපියල් 3,000කට ආසන්න ප්‍රමාණයක්ම තනිකරම රජයේ බදුය. නිෂ්පාදකයාගේ පිරිවැය, හිස් බෝතලයේ මිල, ප්‍රවාහන ගාස්තු සහ ලාභාංශ සියල්ල අඩංගු වන්නේ ඉතිරි රුපියල් 600 – 700ක වැනි සුළු මුදල තුළයි.

බේ බදු බර
රජය සිය ආදායම් මාර්ග තර කරගැනීම සඳහා පහසුම ඉලක්කය කරගන්නේ සුරාබදු ඉහළ නැංවීමයි. හිඟ මුදල් පියවා ගැනීමට සහ අයවැය හිඟය පියවීමට මත්පැන් මත පනවන බදු නිරන්තරයෙන් සංශෝධනය වෙයි.
නිෂ්පාදකයාගේ සැන්ඩි
බදු වැඩි වූ සැනින් එහි බර නිෂ්පාදන සමාගම් විසින් දරාගන්නේ නැත. ඔවුන් කරන්නේ රජයේ බදු ප්‍රතිශතයට සමානව, නැතහොත් ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් අවසාන විකුණුම් මිල (MRP) ඉහළ දැමීමයි.
අවසාන ගොදුර
මේ සියලු ආර්ථික සෙල්ලම්වල අවසාන ගොදුර බවට පත්වන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා හෙවත් ව්‍යවහාරික භාෂාවෙන් කියන “බේබද්දා” ය. රජයේ බදු මෙන්ම නිෂ්පාදකයාගේ ලාභය ද ඇතුළු සමස්ත බරම පැටවෙන්නේ ඔවුන්ගේ කරපිටය. පාරිභෝගිකයෙකු මත්පැන් මිලදී ගැනීමට වැය කරන සෑම රුපියල් 100 කින්ම රුපියල් 80කට වඩා යන්නේ කෙළින්ම ආණ්ඩුවේ බදු ගිණුමටයි.
බාල බඩු වටේම
මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමේ භයානකම ප්‍රතිඵලය වන්නේ පාරිභෝගිකයා විකල්ප සෙවීමට පෙළඹීමයි.




