ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම
කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය
කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක් ඇති කොළඹ 01, ජනාධිපති මාවතේ පිහිටි අක්කර 5.5ක රජයේ වටිනා භූමියක් පෞද්ගලික අංශයේ දැවැන්තයෙකුට සින්නක්කරයට ලියා දුන්නා හා සමාන කුණු කොල්ලයකට බදු දී තිබීමේ මහා පරිමාණ මූල්ය අක්රමිකතාවයක් පිළිබඳ තොරතුරු මේ වන විට කරළියට පැමිණ තිබේ. ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා පාලනය කරන හේලීස් (Hayleys) සමූහ ව්යාපාරයට අයත් ප්රමුඛ පෙළේ තරු පහේ හෝටලයක් වන “ද කිංග්ස්බරි” (The Kingsbury) හෝටලය පවත්වාගෙන යන්නේ මෙම ඉඩම තුළය. දිනකට රුපියල් ලක්ෂ ගණනින් ලාභ උපයන මෙම සුපිරි හෝටලය, රටේ පොදු මහජනතාවට අයිති වටිනා භූමිය වෙනුවෙන් රජයට ගෙවන්නේ සොච්චම් මුදලක් බව හෙළි වීමත් සමඟ මේ වන විට සමාජයීය සහ දේශපාලනික ක්ෂේත්රයන්හි දැඩි ආන්දෝලනයක් හටගෙන ඇත.
මිලියන 325ක තක්සේරුවට දුන් මිලියන 2.5ක “සොච්චම”
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිල දත්ත සහ වාර්තාවලට අනුව, කොළඹ කොටුවේ පිහිටි මෙම අක්කර 5.5ක භූමියේ වත්මන් වාර්ෂික සැබෑ බදු වටිනාකම රුපියල් මිලියන 325කි. නමුත්, පුදුමයකට මෙන් මෙතෙක් කල් මෙම හෝටල් කළමනාකාරිත්වය විසින් රජයට ගෙවා ඇත්තේ වසරකට රුපියල් මිලියන 2.5ක් (ලක්ෂ 25ක්) වැනි හාස්යජනක බදු කුලියකි. එය සරලව ගණනය කළහොත් අක්කරයකට මසකට රුපියල් 38,000ක් වැනි සුළු මුදලකි! සැබෑ වෙළඳපොළ වටිනාකම මෙන් 100 ගුණයකටත් වඩා අඩු මුදලකට රටේ ජාතික සම්පතක් මෙලෙස පෞද්ගලික සමාගමක ලාභ ලෙලි ගැසීම සඳහා පවරා තිබීම පිටුපස පැහැදිලි දේශපාලන අනුග්රහයන් පැවති බවට තොරතුරු මතු වේ.

ඇස් බැඳිල්ලක් බඳු “මිලියන 5” සංශෝධනය
පසුගිය රජය සමයේ එවකට සංචාරක අමාත්යවරයාව සිටි හරින් ප්රනාන්දු ගේ මැදිහත්වීමෙන් හෝටල් කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කර, මෙම වාර්ෂික බදු කුලිය රුපියල් මිලියන 5ක් දක්වා “දෙගුණයකින්” වැඩි කිරීමට එකඟතාව පළ කර තිබුණි. පිටතින් බලන විට බදු කුලිය දෙගුණයකින් වැඩි කර ඇති බව පෙනුනද, එය හුදෙක් මහජන ඇසට වැලි ගැසීමක් පමණක් බව පෙනී යන්නේ තක්සේරු දෙපාර්තමේන්තුවේ මිලියන 325ක වටිනාකම ඉදිරියේ මෙම මිලියන 5 ද ඉතාමත් නොගැලපෙන සුළු මුදලක් වන බැවිනි. රජයට වසරකට අහිමි වන සැබෑ ආදායම තවමත් රුපියල් මිලියන 320කට වඩා වැඩිය.
මූල්ය දත්ත සහ වෙනත් හෝටල් සමඟ සැසඳීම
හේලීස් (Hayleys PLC) සමූහයට අයත් කිංග්ස්බරි හෝටලයේ (The Kingsbury PLC) වත්කම් ප්රමාණය රුපියල් මිලියන 4,300කට වඩා අධිකය. මෙතරම් දැවැන්ත මූල්ය ධාරිතාවක් සහ බිලියන ගණනක පිරිවැටුපක් සහිත සමාගමක්, තමන්ගේ ප්රධානතම ව්යාපාරික පරිශ්රය සඳහා රජයට මෙවැනි සොච්චම් මුදලක් ගෙවීම සාධාරණීකරණය කළ නොහැක. වත්මන් රජය මෑතකදී කොළඹ පිහිටි වෙනත් රාජ්ය බංගලා සහ ඉඩම් පෞද්ගලික අංශයට බදු දීමේදී (රාජ්ය ඉඩම් ආඥාපනත යටතේ) ඉහළම වෙළඳපොළ තක්සේරු මිල, වසර 3ක බදු මුදල් අත්තිකාරම් සහ මාස 6ක තැන්පතු මුදල් අය කරගැනීමට දැඩි කොන්දේසි පනවා ඇත. එවැනි පසුබිමක, කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක පිහිටි කිංග්ස්බරි හෝටලයට පමණක් පැරණි ක්රමයටම අතිවිශාල සහන හිමිවීම බරපතළ පරස්පරතාවයකි.
ධම්මික පෙරේරා සහ “සෑම ආණ්ඩුවකම බලපෑම”
මෙහි ඇති විශේෂත්වය නම් ධම්මික පෙරේරා වැනි මහා පරිමාණ ව්යාපාරිකයන් රටේ පාලනය කුමන පක්ෂයක් අතට පත් වුවද, තම ව්යාපාරික අධිරාජ්යය ආරක්ෂා කරගැනීමට සහ මෙවැනි අසාධාරණ සහන පවත්වාගෙන යෑමට සමත් විමය. පසුගිය රජයන් රැසක විවිධ දේශපාලන සබඳතා පැවැත්වූ ඔහු, මෙවැනි දිගුකාලීන රාජ්ය ඉඩම් ගිවිසුම් හරහා රටේ පොදු දේපළවලින් උපරිම වාණිජමය වාසි ලබාගන්නා බවට එල්ල වන චෝදනා එමටය. වත්මන් රජය පැරණි වංචා සහ දූෂණ සෙවීමට කටයුතු කරන බව ප්රකාශ කර ඇති පසුබිමක, දේශපාලන බලය සහ ධන බලය යොදාගනිමින් සිදුකරන මෙවැනි ව්යාපාරික ගණුදෙනු පිළිබඳවද එකම මට්ටමකින් නීතිය ක්රියාත්මක කරන්නේද යන්න පිළිබඳව සිතිමත් විහිළු සහගතය.

කෝප් කමිටුව සහ වත්මන් රජයේ නීතිමය පියවර
රට දැවැන්ත මූල්ය අර්බුදයකට මුහුණ දී ඇති වටපිටාවක, රාජ්ය ආදායම් උපරිම කරගැනීම සඳහා වත්මන් රජය ක්රියාත්මක කරන ප්රතිසංස්කරණ යටතේ මෙම ගිවිසුම දැඩි විවේචනයට ලක්ව ඇත.
විගණන සහ කෝප් (COPE) අවධානය:
රාජ්ය දේපළ අක්රමවත් ලෙස පරිහරණය කරමින් රජයට බිලියන ගණනක අලාභයක් සිදු කිරීම පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සහ මහජන විගණන අංශවල අවධානය මීට යොමුව තිබේ.
නීතිපති උපදෙස් සහ ගිවිසුම් සමාලෝචනය:
පැරණි දේශපාලන ගිවිසුම්වල පවතින නීතිමය හිඩැස්වලින් ප්රයෝජන ගනිමින් රටට අහිමි කරන බදු මුදල් නැවත අය කර ගැනීමටත්, වත්මන් සැබෑ තක්සේරු වටිනාකම්වලට අනුකූල නොවන මෙවැනි අසාධාරණ දිගුකාලීන බදු ගිවිසුම් (Lease Agreements) අවලංගු කිරීමට හෝ සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීමට ඇති නෛතික ප්රතිපාදන පිළිබඳව රජය මේ වන විට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගනිමින් සිටීන බව පැවසේ.වත්මන් ආණ්ඩුවේ නායකයා සමග ධම්මිකට ඇති සම්බන්ධය අනුව එය කොතෙක් දුරට යථාර්තයක් වනු ඇත්දැයි ගැටළු සහගතය.




