Featuresකාවන්තිස්ස දුටු ගැමුණු සහ එළාර

කාවන්තිස්ස දුටු ගැමුණු සහ එළාර

-

spot_img

කාවන්තිස්ස, දුටු ගැමුණු සහ එළාර

ඇතෙක් කියන්නේම රජෙක් වගේ සතෙක්. ඒ නිසාමදෝ පැරැන්නෝ ඇත් රජයයි ආමන්ත්‍රණය කළෝය. මේ දිනවල කතාබහද ඇතෙක් ගැනය. ඇත් රජෙක් ගැනය. නම කාවන්තිස්සය. එයද රාජකීය නමකි. නම තිබ්බේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යැයි කතාවක් ඇත. රජ නමක් තබන්නට ඇත්තේද ඒ නිසා විය හැකිය. ඔහුද මෙරට රජ වන්නට සිහින දකින්නන් අතර කෙනෙකි.

උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයේ වැටී සිටියදී සොයා ගැණුනු කාවන්තිස්ස ඇතා දකුණු පාදයේ ඉදිරිපස ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඔක්තෝබර් මස 16 වෙනිදා මියගියේය. ඇතා මියගි⁣යේ නියමාකාරයෙන් ප්‍රතිකාර නොකළ නිසා යැයිද, එය ආණ්ඩුව පැත්තේ බරපතළ නොසලකා හැරීමක් යැයි ද තදබල චෝදනාවක් පවතී. ඒ ගැන කතා පසෙකට කොට වෙනත් දෙයක් කියන්නේ නම් ඇතාට කාවන්තිස්ස නම තැබූ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාද මේ මොහොතේ සිටිනුයේ කාවන්තිස්ස ඇතා මෙන්ම ආණ්ඩු අත්අඩංගුවේ යැයි කිව හැකිය. එබැවින් නියමිත මාත්‍රාවට වඩා ඔහුට බෙහෙත් ලැබේ යැයි බියක් පවතිනවා නිසැකය. එසේ නොවන්නට රටේ මොන ප්‍රශ්නයක් පැවතියද විපක්ෂය මෙතරම් තද නින්දට වැටෙන්නේ නැත. විපක්ෂයේ ඇතැම් අය හඬක් නැගූවද විපක්ෂ නායක කාවන්තිස්ස ඇතා මෙන් නිදහසේ සරණුයේ ආණඩුවට කිසිදු කරදරයක් නැති ගානටය.

Death of the Kavantissa elephant

ලංකාවේ මේ මොහොතේ දේශපාලනය තුළ කාවන්තිස්ස ඇතා යනු අපූරු සංකල්පයකි. මේ දිනවල ආණ්ඩුවට එරෙහිව සංඝ සමාජයෙන් තදබල විරෝධයක් එල්ල වී ඇත. ඒ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීමට විරුද්ධවය. මුලින් සිවුර ගැලෙව්වාට විරුද්ධ වුවත් දැන් එම විරෝධය ඥානසාර හාමුදුරුවන් නිදහස් කිරිම දක්වා දුරදිග ගොස්ය. ජනාධිපති අනුර දිසානායක නොබෝදා බදුල්ලේ ලලනාවෝ අමතමින් කිවේ ඥානසාර හාමුදුරුවන්ව කිසිසේත්ම නිදහස් නොකරන බවය. එය බදුල්ලේ කාන්තාවෝ උස් හඩින් සැමරාවෝය. ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න යැයි ඉල්ලා සිටින සඟ විරෝධතා මැද ආණ්ඩුව සිටිනුයේ අග්ගලා කෑ ගොළුවෝ ගානට වෙති. එවන් වටපිටාවක කාවන්තිස්ස ඇතු මිය ගියේය.

Death of the Kavantissa elephant

ඥානසාර හාමුදුරුවන්ගේ පැටිකිරිය කුමක් වුවත් සිවුර ගැලවීම තුළින් කියා පෑවේ සිංහල බෞද්ධ මතවාදය නිරුවත් කිරීමට ආණ්ඩුව ගත් උත්සාහය බව පැහැදිලිය. ඒ නිසාම ඒ මතය කරපින්නා ගත් වුන් පාරට බැසුහ. එය නිබොරුවක් ද නොවේ. මේ ආණ්ඩුව පුන පුනා කියනුයේ ජාතිවාදයට නැවත ඉඩක් නැති බවය. එයට මුලින්ම කළ යුත්තේ සිංහල ජාතිවාදය මුලින් උපුටා දැමීම බව මේ ආණ්ඩුවේ මතයය. ඒ සඳහා දෙන්නම් බැටේ න්‍යාය දැන් ආරම්භ කර ඇත. සිංහල ජාති වාදය ප්ලැට් කිරිම තුළ ඉඹේම දෙමළ, මුස්ලිම් ජාති ආලය ඉහළ යන බව මොවුන් නොසළකති. එය ඉබේටම සිද්ධ වෙමින් පවතී. ඒ නිසාම එක් පිරිසක් මොර දෙන්නේ සිද්ධවෙන යථාර්ථය ඒ බව කියමිනි. දකුණේ සියලු ආණ්ඩු පිහිටුවන්නට ඡන්ද බලය වැඩිපුර ලැබෙන්නේ සිංහල බෞද්ධයාගෙනි. ඒ නිසාම මැතිවරණ කාලයට සිංහල බෞද්ධයා සිටිනුයේ මුරුංග ගහේ මුදුනේමය. වත්මන් ආණ්ඩුවද ඡන්ද ලබා ගත්තේ වැඩිපුරම සිංහල බෞද්ධයා අන්දමිනි. මේ ආණ්ඩුව දැන් එම අවස්ථාව ලබාගෙන අවසන්ය. ඡන්දයේ උවමනාවක් දැන් නොපවති. එයට තව බොහෝ කල් ඇත. එහෙත් මුල්‍යමය වුවමනාව තදින් පවති. ආණ්ඩුවට වැඩිපුරම මුදල් ලබා දෙනුයේ දෙමළ ඩයස්පෝරාව සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් යැයි මතයක් පවතී. එහි සත්‍ය අසත්‍ය තාවය කුමක් වුවත් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත අනුව එහි සත්‍යයක් නැතැයි සිතිමටද අපහසුය. සිංහල යකඩයට උඩ පැන පැන තලන විට දෙමළ, මුස්ලිම් වානේ පන්නරය ලබන බව මේ ආණ්ඩුව නොපිළිගනිති. නැතහොත් උවමනාවෙන්ම අමතක කරති.

Death of the Kavantissa elephant

ඒ සඳහා මේ ආණ්ඩුව තෝරා ගෙන ඇත්තේ කදිම උප්පරවැට්ටියකි. එනම් ඒ අයට අනුව ජාතිවාදය යනු සිංහල බෞද්ධකමය. එය මේ මොහොතේ තනිකරම ලඝු කර ඇත්තේ රාජපක්ෂ වාදයටය. ඥානසාර හාමුදුරුවන්ව හිරේ දැම්මේ සන්ධ්‍යා එක්නැලිගොඩ ගේ සිද්ධියක් සම්බන්ධවය. එනම් උසාවි භූමියේදි ඇයට බැණ වැදීම නිසාය. ඒ හරහා උසාවියට අපහාස කළ බවටය. ඒ දඬුවම ඉවත්කොට ජනපති මෛත්‍රීපාල සිරිසේන ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබා දුන්හ. වත්මන් ආණ්ඩුව විසින් නැවත ක්‍රියාත්මක කර ඇත්තේ ඉහත ලබා දුන් ජනාධිපති සමාව ඉවත් කිරිමය. එහෙත් අද ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් එන විරෝධය ආණ්ඩුව සමාජයට පෙන්නුම් කරනුයේ එය සිංහල ජාතිවාදය බවත් එය මහින්ද රාජපක්ෂලාගේ උසිගැන්වීමක් බවටය. එනම්, මේ මොහොතේ ආණ්ඩුවට එරෙහි වන සියල්ලෝම ජාතිවාදීහු ද රාජපක්ෂවාදීහුද වෙති. ඒ ආණ්ඩුවේ නිර්වචනය වෙති. ආණ්ඩුව නොකියා කියනුයේ ඥානසාර හිමියන්ගේ හැසිරීම කොතරම් කැතද එතරම්ම සිංහල ජාතිවාදයද කැතයි යන්නය. ආණ්ඩුව ඥානසාර තියරිය පාවිච්චි කරමින් සිංහල ජාතිවාදයම හුදු ඥානසාර හාමුදුරුවන්ට ලඝු කර ඇත.

Death of the Kavantissa elephant

ඒ නිසාම පවතින ආණ්ඩුවට එළාර පන්නනයේ රජෙකු සිටින ආණ්ඩුවක් යැයි සමාජයෙන්ම මතයක් ගොඩනැගෙන්නේ එබැවිනි. මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහුව බොහෝ අය හැඳින්වූයේ දුටුගැමුණු ලෙසය. දුටුගැමුණු පරම්පරාවෙන් පැවතෙන බවය. මේ නිසා අද අනුර කුමාර එළාර බවට පත්වී දුටුගැමුණු වන මහින්දව පරාජය කිරීමට කටයුතු කරමින් සිටිනු පෙනේ. එදා දුටුගැමුණු වයසක රජෙකු සමග සටන් කොට දින්නේ යැයි අපහාස, උපහාස කළ අයට අද නූතන තරුණයන් එළාර වන අනුර සහ වයසක දුර්වල දුටුගැමුණු වන මහින්ද යුද්දය දැක බලා ගැනීමට අවස්ථාව ලැබී ඇත. එහෙත් පුදුමය නම් අතීතයේ කළ අපහාස උපහාස වෙනුවට අද එය රණකාමී යුද්ධයක් ලෙස අර්ථ ගැන්වීමය.

ඒ අල්ලපනල්ලේ මිය යන ඇතා වුව නමින් කාවන්නතිස්ස විම තුළ පවතින දේශපාලන සෙල්ලමේ දුෂ්ඨ පාර්ශවය නියෝජනය කරන පිලට තල්ලු ව් ඇත. කාවන්තිස්ස ඇතාගේ මරණය හරහාද පිළිඹිබු වුයේ දුටුගැමුණු පාර්ශ්වයේ පසුබෑමම සනිටුහන් කිිරික්මය. සජිත් නම තැබිමත්, නම කාවන්තිස්ස විමත් නිසා මියගොස්ද කප්පරක් කතා අහන්නට ඇතාට සිදුව ඇත්තෙ එබැවිනි. මියගිය ඇතා සිප ගනිමින් ශෝක වනවා හැරෙන්නට විපක්ෂ නායක සජිත්ට මේ මොහොතේ කළ හැකි කිසිවක් නැත. නුතන දේශපාලන පොරපිටිය තුළ කරබාගෙන සිටිනු හැර මහින්ද වෙනුවෙන් කටක් හැරිමට සජිත්ට නොහැකිය. මන්ද මේ මොහොතේ මහින්ද කාවන්තිස්සගේ දඩබ්බර පුතා වන බැවිනි.

Death of the Kavantissa elephant

කාවන්තිස්ස මළා නොව මැරුවා යන්න කතාවක් ඉස්මතු වී ඇත. මේ කාලයේ කවුරු වුව මළා කියා හෝ මරා දැමුවා කියා අමුතු වෙනසක් නැත. ඒ සියල්ලට පශ්චාත් මරණ පරීක්ෂණ කොට මළේ නම් මරන්නටද, මැරුවේ නම් ස්වභාවිකව මළා යැයි කියන්නටද ෆේස්බුක් මරණ පරීක්ෂකවරු පිරිසක් සිටිති. එබැවින් මේ මොහොතේ ආණ්ඩු විරුද්ධ සංවාද ලප් තැනම ලොප් වෙති. එබැවින් ඒවාට ලොකු ආයුෂක් නැත.

මේ මොහොතේ රටේ ලොකු ප්‍රශ්න නැත. ආණ්ඩුව හොරු අල්ලන්නට පටන් ගෙනය. හොරු කීවාට රාජපක්ෂ නම් හොරු ය. කොටින්ම දඩයම පටන් ගෙන හමාරය. අද හොරු ඇල්ලීම රාජපක්ෂ ලෙස නාමකරණය වී ඇත. රනිල් වික්‍රමසිංහ හිරේ දමනවා යැයි කීවේය. ඊට අවශ්‍ය නඩුවක්ද පෙරට ආවේය. එහෙත් අද රනිල් අමතකව මහින්ද මතුව ඇත. එයින් අදහස් කරනුයේ රනිල් හිරේ යායුතු බව නොවේය. දඩයමේ ස්වරූපය හෙළි කිරීමය. රනිල් අත්අඩංගුවට ගන්නා විට “කවුද හිතුවේ රනිල් වගේ කෙනෙක් කූඩුවට නග්ගයි කියලා. ඒකම මදිද?” කිවූ අය අද නාමල්, ශිරන්තීව අත්අඩංගුවට ගන්නා විට “කොහොමද අපි ගෙනාපු ආණ්ඩුව” යැයි කියති. මේකනම් පුදුම ආතල් රටකි. මේ එදා රාජපක්ෂලා නාන වතුර වූව බොන්නට බලා සිටි අය වෙති. නාමල් බේබිලා එදා මොකක් කළද කර බාගෙන සිටි අය වෙති. අද මේ අය තනිකරම මාලිමා ආණ්ඩුවේ ගැත්තෝ වී ඇත.

Death of the Kavantissa elephant

ආණ්ඩුවට විරුද්ධව කුමන විරෝධයක් එල්ල වුවද එයට ඇති එකම ලේබලය රාජපක්ෂලා ලෙස ඇලවීමට මේ ආණ්ඩුව සමත් වී ඇත. ඒ සජිත් ප්‍රමුඛ විපක්ෂයේ විරෝධයක් කිසි විටෙකත් මතු නොවන බැවිනි. මේ මොහොතේ පව්කාරයා වී ඇත්තේ මහින්දය. මේ යන ආකාරයට ඉතා ඉක්මනට මහින්ද රාජපක්ෂව මොහොතකට හෝ අත්අඩංගුවට ගනු ඇත. එය මේ ආණ්ඩුවේ සුරාන්තය වනු ඇත. එවන් වටපිටාවක කාවන්තිස්ස මියයෑම යනු ඉහත මාතෘකා ගැන නිදිමරාගෙන කතා කළ හැකි ශෝක කාලයක් මිස ඉන් එහා අගයක් නොගනී.

මේ එළාර දුටුගැමුණු යුද්ධයේ අලුත් පරිච්ඡේදයක් ලියවෙන කාලයකි. ඒ තුළ කාවන්තිස්ස යනු මළාද, මැරුවාද සොයන්නට මාතෘකාවක් නොවේ. එදා මහින්ද යහපාලන කාලයේදි ජනතාවගෙන් ඇසුවේ “දැන් සැපද” කියාය. දැන් මේ ආණ්ඩුව එම ජනතාවම ලවා මහින්දගෙන් දැන් සැපද කියා අසන තැනට තල්ලු කොට ඇත. සිස්ටම් චේන්ජ් එක එයය. කලක් රාජපක්ෂලා මේ රටේ කෙරුමෝය. එකල අමතක කළ යථාර්ථය නම් ඒ ජඩ දේශපාලනය සමග ළඟින උන්ට යම්කලක බලය හමුවූ කල ඔවුන්ද කෙරුමන්, ජඩයන් වන බවය. අද සිදුව ඇත්තේ එයය. මේ සියල්ල එකට ලැග්ග අයය. අනුරලා මහින්ද දුටු ගැමුණු කරන්නට වැඩ කළ දස මහා යෝධයෝය. අද අනුරලා රජවි ඇත. රාජපක්ෂලා බලු වි ඇත. රාජපක්ෂ පවුලටම හිරගෙදරට ගොස් මේ ගැන බරපතළ විදියට කල්පනා කළ හැකිය.

අනුර ප්‍රමුඛ නඩය වුව අමතක නොකළ යුත්තේ ඊළඟට එන්නේ ඔයාලටත් වඩා ජඩ නරක පිරිසක් බවය. මේක චක්‍රයක් බඳුය. රාජපක්ෂලා සිතුවේ බලය සදාකාලික බවය. අනුරලා සිටින්නෙත් අද ඒ තැනය. මේ තත්ත්වයන් හමුවේ උදම් අනන්නෝ සැමදා ජයග්‍රාහී පිලේය. එදා ඒ පිලේය. අද මේ පිලේය. මේ තක්කඩි ජනතාව නායකයන් ගොනාට අන්දන්නට උපන් හපන්නු වෙති.

Tiran Kumara Bangagamaarachchi
ටිරන් කුමාර බංගගමආරච්චි විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද  වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක,...
- Advertisement -spot_img

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you