දරුවන්ගේ දත් ඉදිරියට නෙරා ඒමට සාර්ථක විසඳුමක් – Functional appliance
සිනහව කියන්නෙ කෙනෙකුගෙ පෞරුෂත්වය ගොඩ නගන එක් සාධකයකි. එනිසා දත් ටික හරියට නැත්නම් හිනාවෙලත් ඉවරය. අද වාර්තා වෙන දත් ප්රශ්න හමුවේ ඉතාමත් සාර්ථක විසඳුම් ඇත. මේද එවැන්නකි. “Functional appliance” නම කියූ සැණින් ඔබට හුරු පුරුදු නැතුව ඇති. ඒත් මෙකී උපාංගය අද දන්ත වෛද්ය ක්ෂේත්රයට නම් අලුත් දෙයක් නොවේ. අපට නුහුරු මෙකී උපාංගය කුමක්ද සහ ඉන් වන කාර්යභාරය ගැන දැනුවත් වීම වටී.
ගලවන්න පුළුවන් ප්ලේට් එකක්
මේ කියන්න සූදානම් වෙන්නෙ ඔයාලගෙ වයස අවුරැදු 11 ත්-14 ත් අතර දුවට, පුතාට Orthodontist හෝ ඔබගේ දන්ත වෛද්යවරයාගේ උපදෙස් මත නිර්දේශිත අමුතු ඝනයේ දැමීමට, ගැලවීමට හැකි “ප්ලේට්” එකක් පිළිබඳවය.

දත් නෙරා ඒම
දත් මුඛය තුළ නියමිත ප්රමාණයට වඩා ඉදිරියට නෙරා ඇවිත් ඇති දරුවන් අප කොතෙකුත් දැක ඇත. මෙවැනි තත්වයක් මතු වීමට හේතු මොනවාද? මේ සඳහා බලපාන ප්රධාන හේතු දෙකකි. එනම්, උඩ හනුවේ දත් හෝ හනුක අස්ථිය ඉදිරියෙන් පිහිටීමත්, යට හනුවේ දත් හෝ අස්ථිය පසු පසින් පිහිටීම කියන කාරණා ද්විත්වයම බලපැවැත්වේ. දක්වා ඇති පින්තුර මගින් පෙන්වා දෙන ආකාරයට ප්රතිකාරය කරන්නේ යට හනුවේ වර්ධනය අඩු වීම නිසා යට හනුව පිටුපසින් පිහිටා ඇති දරුවන්ටයි. මේ සම්බන්ධයෙන් පුහුණුව ලත් විශේෂඥ වෛද්යවරුන්ට මුඛයේ එක්ස්රේ ඡායාරූපයක් ගෙන තත්වය අවබෝධ කොට ගත හැකියි.
ආධාරකයක් වශයෙනුත්
ඒ අනුව මේ උපාංගයෙන් දරුවාගේ යට හනුව ඉදිරියට ගෙනත් තියා ගැනීමට පහසුවක් වන පිණිස ආධාරකයක් ලෙස ක්රියා කිරීම සිදු වේ. ඒ ආකාරයට රඳවා තබා ගැනීමෙන් යට හනුවේ වර්ධනය වේගවත් වී උඩු ඇන්දේ දත් සමග තිබෙන පරතරය අඩු වී යයි. මෙම උපාංගය මගින් ප්රතිකාර කළ හැකි වන්නේ ගැහැනු දරුවකු නම් වයස අවුරුදු 11 ත් 13 ත් අතර සහ පිරිමි දරුවකු නම් වයස අවුරුදු 12 ත් 14 ත් අතර නම් පමණි.

නියමිත පැය ගණන
Functional appliance පළඳින විට, අවම දිනකට පැය 18 ක් වත් පළඳින්න අවශ්යය. නිකරුණේ හෝ සැරින් සැරේ ගැලවීම නොකළ යුතුය. ඒ වගේම සෑම විටෙකදීම මෙම උපාංගය හපාගෙන සිටිය යුතු වේ. කතා කරන අවස්ථාවලදී පවා උපාංගය හපා ගෙන කතා කළ හැකිය. එය අනිවාර්යය.
උපාංගය ගැන කෙටියෙන්
තවද, උපාංගය පිරිසුදව තබා ගැනීමටත් අමතක නොකරන්න. ඒ වගේම මෙම ප්රතිකාරය දරුවන්ට පහසුද කියා සිතීමට පුළුවන. එය ලෙහෙසි පහසු නොවේ. මුළු මුඛයම පිරී ගිය මෙවැනි උපාංගයක් පැළැඳීම පහසු නැත. අපහසු නමුදු උපාංගය පැළැඳීම මගින් මුහුණේ පෙනුමේ සිදු වන වෙනස braces මගින් ලබා ගත නොහැකි ය. මෙය හැර මුහුණේ පෙනුම වැඩි දියුණු කර ගැනීමට ඇති එකම ක්රමය දරුවාට වයස අවුරුදු 18ක් වූ පසු සැත්කමක් කිරීමය.

වාසි ලැබෙන ක්රමයක්
කෙසේ වුවද අපහසුවෙන් හෝ මෙම ක්රමයට හුරුවී නිසියාකාරව පැළැඳීමට පටන් ගත් විට බොහෝ වාසි අත්විඳීමට හැකිය. ඒ අනුව සායනවල මෙම ප්රතිකාරය ලබන දරුවන් බොහොමයක්ම ඉතාම හොඳින් මේ සඳහා හුරුවී සාර්ථක ප්රතිඵල අත් විඳ ඇත.
මාස 6න් ප්රතිඵල ස්ථිරයි
වැදගත් දෙයක් වන්නේ නිවැරැදිව පළඳිනවා නම් මාස 6 ක් වගේ ඉතාම කෙටි කලකින් ප්රතිඵල ලද හැකි වීමය. එහෙත් ඉතාම සුළුතරයක් පමණ වූ දරුවන් සහ මවුපියන් මෙම ප්රතිකාර ක්රමය ප්රතික්ෂේප කරනු දක්නට ලැබේ. එවැනි අවස්ථාවලදී බලහත්කාරයෙන් කිසිඳු රෝගියකුට මෙම ප්රතිකාරය ලබා නොදෙන අතර ඊළඟට ඇති විසඳුම වෙත අප ඔවුන් යොමු කිරීම සිදු කරනු ලැබේ.

ඔබට කෙටි පණිවුඩයක්
එහෙත් මෙම ලිපිය තුළින් මා ඔබට දෙන පණිවුඩය වන්නේ, ඔබගේ දරුවාට මෙම උපාංගය වෛද්යවරයකු නිර්දේශ කළහොත් එය කිසිඳු විටෙක ප්රතික්ෂේප නොකරන්න. දරුවාව දිරි ගන්වන්න. මුල් සති දෙකෙන් පසු මෙහි පවතින අපහසුතාව මග හැරෙන බවට දරුවාට සහතික වී වෛද්ය උපදෙස්වලට නතු වන්න. මන්ද ඔබගේ දරුවාගේ ගැටලුවට මඳක් අපහසු ප්රතිකාර ක්රමයක් වුවද මෙමගින් ගැටලුවට සාර්ථක මෙන්ම ඉහළම ප්රතිකාරය ලැබෙන බව නම් සහතිකයි.
කතාබහ
ධාරා අබේනායක




