ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය. මොරටුව ශ්‍රමදාන මාවතේ විසූ ඔහුට හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත.
ඒ මහතාගේ දේහය අද (04) පස්වරු 4.00 දක්වා අංක : 35/4, පන්සල පාර (බෝධිරුක්ඛාරාම පාර) මොරටුමුල්ල, මොරටුව යන ලිපිනයේ තැන්පත් කර ඇත. අනතුරුව මොරටුමුල්ල මෙතොදිස්ත දේවස්ථානයේ ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පස්වරු 04.30ට දේහය මෙතොදිස්ත සුසාන භූමියේ මිහිදන් කරනු ලබන බව ඥාතීහු පවසති.
ගිවන්ත අර්ථසාද් යනු ශ්‍රී ලංකා සිනමා සහ රූපවාහිනී ඉතිහාසයේ සජීවීකරණ (Animation) සහ දෘශ්‍ය ප්‍රයෝග (Special Effects) අංශවල පුරෝගාමියකු ලෙස සැලකෙන ප්‍රවීණ කලාකරුවකු මෙන්ම සිනමා විද්‍යාඥයෙකි. එසේම සජීවීකරණ සිනමාව යළි පණ ගන්වමින් මෙරටේ ප්‍රථම සජීවීකරණ කාටුන් චිත්‍රපටය ලෙස සැලකෙන 1979දී තිරගත කෙරුණු “දුටුගැමුණු” චිත්‍රපටයේ නිර්මාතෘවරයාද වේ. චිත්‍ර කලාව, සජීවීකරණය, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු විවිධ අංශ රැසක හෙතෙම දක්ෂතා දක්වා ඇති අතර කෙටි කලක් රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර ඇත.
තවද ඔහු විසින් රචිත “සිනමා – මායා” ග්‍රන්ථය සිනමා තාක්ෂණය හා භාෂාව අළලා ලියැවුණු අග්‍රගණ්‍ය කෘතියක් ලෙසද සැලකේ. ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ සහෝදරයා වන ගිවන්ත අර්ථසාද් මිය යන යන විට 73 හැවිරිදි වියේ පසුවූහ.
✍️ හේමන්ත වික්රමපාල විසිනි.



