Interviewsනිහඬවම අපිට දොර වැහිල කියල තේරෙනකොට රිදෙනවා

නිහඬවම අපිට දොර වැහිල කියල තේරෙනකොට රිදෙනවා

-

spot_img

නිහඬවම අපිට දොර වැහිල කියල තේරෙනකොට රිදෙනවා – Yami Gautam

කලා පවුලක සාමාජිකාවක වූ ඇය රූපවාහිනී නිළියක ලෙසින් රංගනයට පිවිසියාය. 2010 වසරේ තිරගත වූ Ullasa Utsaha කන්නඩ චිත්‍රපටයෙන් සිනමා රංගනය ඇරඹූ යාමි ගෞතම් Vicky Donor චිත්‍රපටයෙන් හින්දි සිනමාවට පිවිසි අතර එම වසරේ හොඳම නවක නිළිය සඳහා වන සී සිනේ සම්මානය හිමි කරගත්තාය. ඉන්පසු ඇය Badlapur, Kaabil, Uri: The Surgical Strike, Bala, A Thursday, Dasvi, Chor Nikal Ke Bhaga, OMG 2 සහ Article 370 වැනි චිත්‍රපටවලද ප්‍රධාන චරිත නිරූපණය කළාය. Article 370 හොඳම නිළිය සම්මානය හිමිවීම ඇගේ වෘත්තීය ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයකි.
යාමි 2021දී චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය ධර් සමඟ විවාහ වූවාය.

• වෘත්තීය වශයෙන් සහ පෞද්ගලිකව ඔබ තරමක් නිහඬ කාලයක් ගෙවන බව පේනව. අන්තිමේ ජීවීතේ හරිම තැනට වැටිලා කියල දැනෙනවාද?

(සිනාසෙයි) අවංකවම, ඒක එහෙම තමයි. ජොබ් එක, පවුල, මාතෘත්වය මේ හැමදේම එක සැරේ කරන්න වෙලා. ඒ හැමදේම හොඳයි. ඇත්තටම හොඳයි. තවදුරටත් මම ජීවිතේ ගැන ඕනෑවට වඩා වද වෙන්න යන්නෙ නැහැ. දවසින් දවස එකින් එක දේවල් ඉගෙන ගන්නවා.

Yami Gautam

• මේ ගත වෙන්නෙ ඔබේ වෘත්තීය ජීවිතයේ ශක්තිමත්ම අදියරක්. ඔබ කවදාහරි ඔබ මෙතෙක් ආව ගමන ගැන හිතලා තියෙනවද?

ඇත්තටම නැහැ. මගේ වෘත්තීය ජීවිතය කොහේට යනවද කියලා මම මගෙන්ම ප්‍රශ්න අහන එක නැවැත්තුවා. ඒක නිතර මතු වෙන ප්‍රශ්නයක් වුණත් තවදුරටත් මම ඒ ගැන හිතන්නේ නැහැ. මට වැදගත් වෙන්නේ මම කරන දේවල් මිනිස්සු රස විඳිනවද කියන එක. මගේ වෘත්තීය ප්‍රස්ථාරය කෙළින්ද, සිග්සැග්ද නැත්නම් ඇමීබික්ද කියන එක මට අදාළ නෑ. මට සමහර අය එක්ක වැඩ කරනවද නැද්ද කියන දේ විතරක් පාලනය කරන්න පුළුවන්. දැන්, මම එහෙමයි. මට ඒ ඇති.

• රංගනය ඔබේ පළමු වෘත්තීය තේරීම නෙමේ?

මගේ තාත්තා මට කියනවා, “කරුණාකරල හැම ඉන්ටවිව් එකකම මේක කියන්න එපා කියලා!” නමුත් ඒක ඇත්ත. මට IAS නිලධාරිනියක් වෙන්න ඕන වුණා. මම චන්දිගාර්වල නීතිය ඉගෙන ගත්තා. රඟපාන්න හිතක් තිබුණෙ නෑ. කවුරුත් වගේ චිත්‍රපටිවලට ආදරේ කරා විතරයි. චිත්‍රපටි බලනකොට මම හිතින් හිතනව මාත් ඒකෙ රඟපානව කියලා. ඒක අරමුණකට වඩා හීනයක් විතරයි. මොකද මට ඇත්තටම රඟපාන්න ධෛර්යයක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඊට පස්සේ, අහම්බෙන් වගේ හැමදේම වෙනස් වුණා. පවුලේ අය, යාළුවො මට කිව්වා රූපවාහිනී වැඩසටහනකට චන්දිගාර්වල ඉන්ටවිව් තියෙනව කියලා. මම මුලින් උනන්දු වුණේ නැහැ, නමුත් ඔවුන් මට ඒ අත්දැකීම ගන්න කිව්වා. අධ්‍යක්ෂ පාර්තෝ මිත්‍රා මම හොඳ බව හිතුවා. මම කලින් රඟපාල තියේද කියලා ඔහු ඇහුවා. ඊට පස්සෙ ඔවුන් මාව මුම්බායි යැව්වා. පළමු වතාවට, මම රංගනයෙන් මොනතරම් සතුටක් ලබනවාද කියා මට තේරුණා. මම හිතුවා මේක කරලා බලනව කියලා. ඒත් මේ ගමන ගොඩක් දුෂ්කර එකක් බව මම දැන ගෙන හිටියෙ නැහැ.

Yami Gautam

• රූපවාහිනියෙන් චිත්‍රපටවලට මාරුවීම ඔබේ සැලැස්මේ කොටසක්ද?

ඔව් එහෙම තමයි. මම රූපවාහිනියේ වැඩි කාලයක් හිටියේ නැහැ. මට නිර්මාණාත්මකව වෙනස් දෙයක් කරන්න ඕනෙ වුණා. ඒ නිසා මම කිසිම සහතිකයක් නැතුව එතනින් ඉවත් වුණා. කිසිම පීඩනයක් තිබුණේ නැහැ. කවුරුත් මාව දැනගෙන හිටියේ නැහැ. කවුරුත් මගෙන් කිසිවක් බලාපොරොත්තු වුණේ නැහැ. ඔඩිෂන් එකක් හොඳින් සිද්ධ නොවුණානම්, මම ඊළඟ එකට යනවා. මම දවස් ගත කරේ එක ඔඩිෂන් රූම් එකකින් තවත් එකකට දුවමින්. එකම බලාපොරොත්තු සහගත මුහුණු නැවත නැවත මුණගැසෙමින්, අන්තිමේ විකී ඩෝනර් ලැබෙන්න කලින් වෙළඳ දැන්වීම් කරා. එක ඔඩිෂන් එකක් තිබුණා. එහිදී ඔවුන් මට එක සැරේම බ්‍රේක් ඩාන්ස් කරන්න කිව්වා. මම කරන්නේ මොකක්ද කියලා මට අදහසක් තිබුණේ නැහැ. නමුත් මම මගේ උපරිමය කරා. අද ඒ ටේප් එක බලන්න මම හරි කැමතියි. ඒ අවුරුදු ගාණ මට ගොඩක් වැදගත් දේවල් ඉගැන්නුවා. ඉගෙන ගන්න අතරතුර මෝඩයෙක් වගේ පෙණුනට බය වෙන්න එපා කියන දේ ඉගැන්නුවා.

• පිටස්තර පුද්ගලයින් සහ සමීපතමයන් කෙරෙහි ඇති බැඳීම වසර ගණනාවක් ඇතුලෙදි වෙනස් වෙලා ඇති. ආපහු හැරිලා බලනකොට ඔබේ පාර සොයා ගැනීම කොතරම් දුෂ්කරද?

ඒක ලේසි වුණේ නැහැ. නමුත් මම කවදාවත් ආත්ම අනුකම්පාවෙන් ඒ දිහා බැලුවේ නැහැ. මම ආවේ කොහෙන්ද කියන දේට මම ආදරෙයි. මම හැදුණු වැඩුණු හැටි, මගේ පවුල, මගේ මධ්‍යම පාන්තික වටිනාකම් මම කිසිම දෙයකට හුවමාරු කරන්නේ නැහැ. අමාරු දේ වෙන්නෙ ඔයා පිටස්තරයෙකු වීම නොවේ. ඒක නිතරම ඔප්පු කරන්න වෙන එක. සමහර විට ඔබට යම් අවස්ථාවක් සඳහා සූදානම් බව හැඟෙන්න පුළුවන්. නමුත් වෙනත් කෙනෙක්ට ඔවුන් දැනටමත් ඒ අවස්ථාව දීලා. මට අවස්ථා ලැබුණොත් මම නිළියක් විදිහට දිගටම වැඩෙනව. ඒක තමයි ඇත්ත. කණගාටුවට කරුණ. නමුත් මම ඇත්තටම දේවල් වෙනස් වෙලා කියලා විශ්වාස කරනවා. දැන් ප්‍රේක්ෂකයින් ඔබ කොහෙන් ආවද කියලා වද වෙන්නෙ නැහැ. ඒක මට ඊළඟ පරම්පරාව ගැන ලොකු බලාපොරොත්තුවක් දෙනවා.

• ඔබට කවදාහරි පුද්ගලික අනුග්‍රහයේ බලපෑම දැණුන ද?

මට එහෙම දැනුණා කියලා මට විශ්වාසයි. චිත්‍රපටයක වැඩ අතරතුරදි හදිසියේම පැහැදිලි කිරීමකින් තොරවම දේවල් වෙනස් වුණ අවස්ථා තිබුණා. සමහර විට දොරක් නිහඬව වැහිලා කියලා ඔයාට තේරෙනවා. එතකොට රිදෙනවා. නමුත් ඔයා කාටද පැමිණිලි කරන්නේ? ඔයා ගෙදර යන්න. ඔයා පවුලේ අය එක්ක කතා කරන්න. ඊට පස්සේ ඔයා ඊළඟ දවසේ උදේ අවදි වෙලා ආයෙත් උත්සාහ කරන්න. බලාපොරොත්තුව තමයි පිටස්තර අයට ඉදිරියට යන්න උදව් කරන්නේ. ඒක තමයි ඉදිරියට යන්න තියෙන එකම විදිහ.

• විකී ඩොනර්, විශාල සාර්ථකත්වයක් ලැබුවා. නමුත් ඊට පස්සේ ගත වුණු අවුරුදු කිහිපය එහෙම වුණේ නැහැ.

කොහෙත්ම නැහැ. විකී ඩෝනර් කරනකොට, මිනිස්සු මාව නිළියක් විදිහට දන්නවා කියලා මම අවංකවම විශ්වාස කළා. මාව සාමාන්‍ය වීරවරියක් විදිහට හඳුන්වා දීලා තිබුණේ නැහැ. මම වඩාත් පරිණත චරිතයක් රඟපෑවා. මට නම්, ඒක උද්යෝගිමත් වුණා. රංගනය කියන්නේ ඒක නෙවෙයිද? ඔබ ඔබේම චරිතයට වඩා අන් අයගේ හැඟීම් පෙන්වන්න ගන්නව. සමහර චිත්‍රපටි භාර ගන්නෙ ඔබ සැබවින්ම කැමති චරිත නොවුණත්, ඉදිරියට යන්න ඕනෙ නිසා. ඔබේ හැකියාවන් කවුරුහරි දකිවී කියලා හිතාගෙන.

Yami Gautam

• ඔබ කවදාහරි රඟපෑම අත්හරින්න හිතලා තියෙනවද?

ඔව්. ඇත්තටම, උරි සහ බාලා කරන්න ටික කාලෙකට කලින් මම රඟපෑමෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා හිමාචල් යන්න හිතුවා. අපට එහේ ගොවිබිම් තිබෙනවා. මම හිතුවෙ එහෙ ගිහින් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් පටන් ගන්න. පුදුමෙ කියන්නෙ මම බයේ ඉඳලා හැමදේම නතර කරාට පස්සෙ දේවල් වෙනස් වුණා. උරි චිත්‍රපටියෙ රඟපෑවා. ඊට පස්සෙ බාලා රඟපෑවා. ජීවිතය එක රෑකින් වෙනස් වුණා. මම මගේ වෘත්තීය ජීවිතයේ ලොකුම පාඩම ඉගෙන ගත්තේ එදා කියලා මට හිතෙනවා. බය කියන්නෙ ඔබේ ලොකුම සතුරා. මම විශ්වාස නොකරන රැකියාවක් කරනවාට වඩා එයින් ඉවත් වෙන එක හොඳයි. ඒ තීරණය හැමදේම වෙනස් කරා.

• ඔබ අත්විඳ ඇති සියල්ලෙන් පසු, Haq ඔබේ රංගන ජීවිතයේ කූටප්‍රාප්තිය ලෙස හැඟේ. මේ කතාවට ආකර්ෂණය වුණේ ඇයි?

ඒ කතාවෙ තියෙන යථාර්ථය. ඒක නීතිමය සටනක යෙදෙන කාන්තාවක් ගැන කතාවක් විතරක් නෙමේ. ඇය සහජ බුද්ධියෙන් මෙහෙයවනු ලැබූ මවක්. එය රූගත කිරීම පුරාවටම මට දැණුනා. හැම උදේකම කැමරාව ඉස්සරහට යන්න කලින් මම එක දෙයක් මතක් කර ගත්තා. ඇය ධෛර්යයේ සංකේතයක් වෙන්න උත්සාහ කළේ නැහැ. ඔබ රඟපාන පුද්ගලයාගේ ආත්මය තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තට පස්සෙ හැමදෙයක්ම හොඳට සිද්ධ වෙනවා.

• මෙතරම් චිත්තවේගීය හා දේශපාලනික ගැඹුරක් ඇති චරිතයක් කරන්න බය හිතුණෙ නැද්ද?

කොහෙත්ම නෑ. මම තේරුම් ගත්ත දෙයක් තමයි චිත්‍රපටියකට එකඟ වුණාට පස්සෙ තවදුරටත් බය වෙන්න ඕන නෑ කියන දේ. ඒක Vicky Donor, A Thursday, OMG 2, Article 370 හෝ Haq වේවා ඔබ කතාවකට කැපවුණොත්, අවංකවම උපරිමය කරොත් මතක හිටින දෙයක් දෙන්න පුළුවන්.

• මේ වගේ කාන්තා චරිත රඟපාන එක ධෛර්යය ගැන ඔබේ අවබෝධය වෙනස් කරලද?

ධෛර්යය පිළිබඳ අර්ථ දැක්වීමට වඩා බය එක්ක මගේ බැඳීම වෙනස් කරලා තියෙනවා. මීට කලින්, මම විනිශ්චය කිරීම ගැන බය වුණා. ලේබල් කිරීම ගැන. අවස්ථා අහිමි වීම ගැන. මේ කර්මාන්තය නිසා ඔබට සෑම තීරණයක් ගැනම ඕනෑවට වඩා හිතන්න පුළුවන්. නමුත් කොහොමහරි, මම මේකට ආවෙ හේතුවක් නිසා කියලා මට තේරුණා. මට ඉන්න ඕනෙ නම් මම ගැන විශ්වාසය තියෙන්න ඕනෙ. මිනිස්සු ඔබ ගැන හිතන දේවල් ගැන වදවෙන එක නතර කරාම පුදුම තරමෙ නිදහසක් දැනෙනවා.

Yami Gautam

• ඔබේ අධ්‍යක්ෂක, සුපර්න් වර්මා, ඔබ චරිතය සඳහා සූදානම් වීමට ගත කළ කාලය ගැන ගොඩක් කතා කරා. ඒ සූදානම් වීම ඔබට දැණුනෙ කොහොමද?

(සිනාසෙයි) සුපර්න් හරි ත්‍යාගශීලීයි. ඔහු සෑම විටම චිත්‍රපටය ගැන ආශාවකින් කතා කරනවා. ඔව්, මේ චරිතයට සම්පූර්ණ කැපවීමක් ඕන වුණා. මට ඇගේ ලෝකය, ඇදහිල්ල, හැදී වැඩීම, සමාජ පරිසරය, කතාවේ රිද්මය, ඇය තමාව රැගෙන ගිය ආකාරය විතරක් නෙමේ ඇගේ කුඩාම එදිනෙදා පුරුදු පවා තේරුම් ගන්න වුණා. සමහර දේවල් සහජයෙන්ම ඇති වෙන්න ඕනේ.

• ඔබේ රංගනයේ සත්‍යතාව කැපී පේනවා. එය එතරම් ස්වභාවිකයි. විශේෂයෙන් භාෂාව.

ඒක බොහෝ විට අමාරුම කොටස වෙන්න පුළුවන්. අභියෝගය වුණේ ඒක ප්‍රේක්ෂකයින්ට දැනෙන අව්‍යාජ උච්චාරණයක් වීම. අපේ උප භාෂා පුහුණුකරු ඉඩ්‍රැක්ට ඒ ගෞරවය ලැබෙන්නම ඕනේ.

• කුඩා විස්තර පවා කැපී පේනවා. මැහුම් වැඩ, ඔබ උසාවියේදී ඩුපට්ටා එක සකස් කරන ආකාරය, ශරීර භාෂාව පවා.

ඒ විස්තර මට ගොඩක් වැදගත් වුණා. මගේ අම්මා ඇත්තටම මට මැහුම් ඉගැන්නුවා, මොකද මේ චරිතය ඇගේ මුළු ජීවිත කාලය පුරාම ඒක කෙරුව වගේ පේන්න තිබුණා. ඊට පස්සේ සංස්කෘතික දේවල්. මිනිස්සු නිතරම කියන දෙයක් තමයි උසාවි දර්ශනයේදී මගේ ඩුපට්ටාව ලිස්සන එක. මම මගේ සංවාදය දිගටම කරගෙන යන අතරතුර ඒක හදනවා. මම තවදුරටත් යාමි කියලා නොහිතන නිසා ඒ ගැන දෙවරක් හිතුවේ නැහැ. මම ඒ කාන්තාව. ඒ කුඩා අවස්ථා බොහෝ විට ලොකු පණිවිඩයක් දෙනවා.

• සැබෑ කාන්තාව ගැන තොරතුරු ලබා ගන්න තියෙන මූලාශ්‍ර හරි අඩුයි. ඒකෙන් රඟපෑම දුෂ්කර වුණාද?

ඇත්තටම එහෙමයි. මම කණ්ඩායමෙන් ඇහුවා, “ඇගේ ඡායාරූපවත් නැති වෙන්නේ කොහොමද?” කිසිවක්ම නැති තරම්. සම්මුඛ සාකච්ඡා නැහැ. පටිගත කිරීම් නැහැ. ඡායාරූප අතලොස්සක් විතරයි. මුලදී, මට කලකිරීමක් දැනුණා. නමුත් අවසානයේ මට වැටහුණා ඒක ඇත්තටම තෑග්ගක් කියලා. කෙනෙකුව පිටපත් කරනවා වෙනුවට, ඇගේ සාරය තේරුම් ගැනීමට සහ එයින් සම්පූර්ණ මිනිසෙකු ගොඩනගන්න මට නිදහස තිබුණා. අපි මෙතන ඉන්නෙ අනුකරණය කරන්න නෙමේ අර්ථ නිරූපණය කරන්න. ඇය සිනාසුණු, ඇවිද ගිය, ඇගේ දරුවන්ට කතා කළ හෝ ඇගේ සැමියා සමඟ නිහඬව වාඩි වූ ආකාරය ඔබ සෙමින් හිතන්න ගන්නවා. ඔබ ඒ කෑලිවලින් ජීවිතයක් හදනවා. ඒක රංගනයේ තියෙන වඩාත්ම උද්යෝගිමත් දේවලින් එකක්.

• චිත්‍රපටය ඔබට අතිමහත් ඇගයීමක් ලබා දී තිබෙනවා.

මගේ රංගනයක් නැරඹීමෙන් පසු කර්මාන්තය තුළ සිටින මෙතරම් පිරිසක් පෞද්ගලිකව මා හා සම්බන්ධ වූ පළමු අවස්ථාව මේක. ඒක හරි සංවේදීයි. නමුත් මට ගොඩක්ම දැණුනෙ මුස්ලිම් ජ්‍රජාවේ සාමාජිකයින්ගෙන් සහ හයිද්‍රාබාද්හි ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ගෙන් ඇසූ කතාවයි. චරිතය කතා කරන, අඳින පළඳින සහ හැසිරෙන ආකාරයෙන් ඔවුන් සත්‍යය තේරුම් ගත්ත බව ඔවුන් මට පැවසුවා. එය අතිශයෝක්තියක් වගේ දැනුණේ නැති බව ඔවුන් කිව්වා. ඊටත් වඩා හොඳ ප්‍රශංසාවක් තියෙනවද?

Yami Gautam

• ඔබ ඔබේ සමකාලීනයන්ට වඩා ගොඩක් වෙනස්. නිතරම එයාපෝට් එකේ පෙනී සිටීම, social media reels, අනවශ්‍ය මහජන සම්බන්ධතා නැහැ.

ඒක මම මගෙන්ම අහලා තියෙන දෙයක්. මම ඇයි මෙතන ඉන්නෙ? මම ඉන්නෙ රඟපාන්න. ඒ මගේ වෘත්තිය. අනෙක් දේවල් අදාල නෑ. මම සෝෂල් මීඩියා පාවිචිචි කරන, තමන්ව ප්‍රමෝට් කරගන්න අයව විනිශ්චය කරන්නෙ නැහැ. හැම කෙනෙක්ටම තමන්ගෙම ක්‍රමයක් තියෙනවා. මම කවුද කියන එක ගැන බොරු ප්‍රතිරූපයක් හදන්න මට බැරි බව මට තේරුණා. ඉතින් මම මගේ වැඩවලින් මාව හඳුන්වා දුන්නා.

• නිතර පේන්න ඉන්න එක පීඩනයක් ද?

ඇත්ත වශයෙන්ම. වසර ගණනාවක් තිස්සේ, “ඔබ ඔබේ PR එකේ වැඩ කළ යුතුයි” කියා මම මටම නැවත නැවතත් කිව්වා. නමුත් අවසානයේ මම කල්පනා කළා. ගුවන්තොටුපළක කැමරාවට අසු වීමෙන් මම හොඳ නිළියක් වෙන්නෙ කොහොමද කියලා. නිතරම දකින එකෙන් චිත්‍රපටිය ප්‍රමෝට් වෙනවද කියලා.මම හැම දවසක්ම චිත්‍රපටිවලට වැය කරනව නම්, මම ඇත්තටම ජීවත් වෙන්නේ කවදාද? මගේ ඊළඟ චරිතයට සූදානම් වන්නේ කවදාද? මම ඒ ශක්තිය මගේ රැකියාවට ආයෝජනය කරන්න කැමතියි.

• ඒ ප්‍රවේශය ඔබට වෘත්තීයමය වශයෙන් බලපෑවද?

සහතිකවම. මම කොහේ හරි පෙනී සිටි නිසා හෝ මගේ ඡායාරූප අන්තර්ජාලයේ සංසරණය වන නිසා චිත්‍රපටි නිෂ්පාදකයෙකු මාව තෝරා ගන්න ඕනෙ ඇයි? නිසැකවම කතාව මුලින්ම කතා කළ යුතුයි. වාසනාවට වගේ මම හිතන්නේ අපි දැන් පිළිගත හැකි වෙනසක් දකිනවා. ප්‍රේක්ෂකයින් හොඳ කතාවලට කැමතියි. ලේඛකයින්ට කැමතියි. අධ්‍යක්ෂවරුන් අවධානම් ගන්නවා. නව නළු නිළියන් බිහිවන්නේ ඔවුන් දක්ෂ නිසා මිසක පෙනී සිටීම නිසා නෙමෙයි. ඒක සිනමාවට හොඳ වෙනසක්. මම මහජන සම්බන්ධතා වලට විරුද්ධ නැහැ. චිත්‍රපටයක් නිකුත් වෙනකොට ඒක අවශ්‍යයි. නමුත් සන්නිවේදනය කිරීම සහ පෞරුෂයක් නිර්මාණය කිරීම අතර වෙනසක් තිබෙනවා. ඒ දෙවන කොටස කවදාවත් මම නෙවෙයි. ඉන්ඩස්ට්‍රි එකට ඒක ඕනේ නිසා මට උදේම ඇහැරිලා හදිසියේම වෙනත් කෙනෙක් වෙන්න බෑ. ඒ මගේ DNA නෙමේ.

• ඔබ බොහෝ විට කියන්නෙ ඔබට තමන් වෙනුවෙන් කතා කිරීම අවශ්‍ය බවයි.

ඇත්තටම එහෙමයි. ධුරන්ධර් වගේ චිත්‍රපටයක් දෙස බලන්න. තනි රංගනයන් වටා ලොකු ප්‍රමෝෂනල් කැම්පේන් තිබුණෙ නැහැ. චිත්‍රපටයම සංවාදය වුණා. මට ඕනෙ ඒක. හොඳ රඟපෑමක් නම් මිනිස්සු ඒ ගැන කතා කරනවා. ඒ සංවාදය ඕනෑම දෙයකට වඩා වටිනවා.

• ඔබේම රංගනයන් ගැන සාකච්ඡා කරනවාට වඩා බොහෝ විට චිත්‍රපටිය ගැන සාකච්ඡා කරන එක ඔබට ලෙහෙසියි වගේ.

(සිනාසෙයි) ඒක ඇත්ත. අද පවා, මම චරිතයක් සඳහා සූදානම් වුණේ කොහොමද කියලා කියන්න මට එච්චර තේරෙන්නෙ නැහැ. චිත්‍රපටියකදි හැම කෙනෙක්ම මහන්සිවෙලා වැඩ කරනවා. මම විශිෂ්ට රංගනයක් කළා කියලා මට හිතෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න මට මෙතන ඉන්න ඕන නෑ. ඇත්තටම මාව උද්යෝගිමත් කරන්නේ ඒක නැරඹුව කෙනෙක්ට දැනෙන දේ අහන්න ලැබීම. හක් චිත්‍රපටිය බලලා මෑතකදී මට ජ්‍යෙෂ්ඨ නිළියක් කතා කළා. ඇය කිව්ව ඇයට ඇඬුණා කියලා. අන්තිමේදී අපි දිගු සංවාදයක් කළා, රඟපාන්න කොච්චර අමාරුද කියලා නෙවෙයි, දර්ශනය පිටුපස ඇති ගමන ගැන. ඒ වගේ සංවාද මට වටිනවා.

Yami Gautam

• ආපසු හැරී බලන විට, ඔබේ ජීවිතේ අනපේක්ෂිත හැරීම් කිහිපයක් තිබෙනවා.

ඇත්තටම එහෙමයි. අපි දෙන්නගෙන් කාටවත් විවාහ උත්සවය උත්සවයක් වෙනවා දකින්න ඕන වුණේ නැහැ. ඒක සැමරුමක් විදිහට තියාගන්න අපිට ඕන වුණා. මගේ ප්‍රියතම මතකයන්, සරලම ඒවා. මමම මේකප් දාගන්න එක. අම්මගේ සාරිය ඇඳගෙන ඉන්න එක. චිත්‍රපට මගේ ජීවිතේට එන්න ගොඩක් කාලෙකට කලින් මාව දන්න අයගෙන් වට වෙලා ඉන්න එක. ඒ දේවල් අධික වියදම් සහිත උත්සවයකට වඩා මට වටිනවා.

• ඔබ ඔබේ ජීවිතය ගත කිරීමට කැමති පුද්ගලයා ආදිත්‍ය බව හිතුණෙ ඇයි?

සාමයේ හැඟීම. ඒක විස්තර කරන්න තියෙන සරලම ක්‍රමය ඒක වෙන්න ඇති. ඔහුත් එක්ක, මට කවදාවත් මාව පැහැදිලි කරන්න හෝ වෙනත් කෙනෙක් වගේ පෙනී ඉන්න වුණේ නැහැ. අපි අපේ සම්බන්ධතාවය සිනමාව වටා ගොඩනගා නැහැ. අපි ජීවිතය ගැන කතා කරනවා. පවුල, පොත්, ගමන්. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දේවල්. ඒ තමයි අපේ බැඳීම.

• ඔබ දෙදෙනාම එකම කර්මාන්තයක. ඒක දේවල් පහසු කරනවාද?

බොහෝ ආකාරවලින් ඔව්. පුළුවන් හැම වෙලාවෙම ගෙදරින් පිට තියෙන වැඩ ගෙදර ඇතුලට නොගෙන ඉන්න උත්සාහ කරනවා. ගෙදර කියන්නෙ වෙනස් තැනක්. ස්වාමිපුරුෂයා සහ භාර්යාව ජීවත්වෙන තැන මිසක් අධ්‍යක්ෂක සහ නිළිය නෙමේ. බාහිර දේවල් අපි අදාළ කරගන්නෙ අඩුවෙන්. වැදගත් මිනිස්සු දැනටමත් අපිව දන්නව. ඒ ඇති.

• මාතෘත්වය ඔබේ වෘත්තීය ජීවිතයේ කාර්යබහුලම අදියරක් සමඟ සමපාත වෙලා තියෙනවා. අම්මෙක් වීම ඔබව වෙනස් කරලා තියෙන්නෙ කොහොමද?

සම්පූර්ණයෙන්ම. දෙමාපියො වුණාම ජීවිතය වෙනස් වෙන බව ගොඩක් අය ඔබට කියලා ඇති. නමුත් ඔබ එය අත්විඳිනකං ඒ බව තේරෙන්නෙ නැහැ. හැමදේම එක රෑකින් වෙනස් වෙනවා. ඔබේ මනස වෙනස් විදිහට ක්‍රියා කරනවා. භෞතිකව වෙනත් තැනක සිටියත්, ඔබේ හදවත නිරන්තරයෙන් දරුව සමඟයි තියෙන්නෙ.

• ඔබ රැකියාවට පිවිසෙන ආකාරයත් ඒ නිසා එය වෙනස් ඇති?

නිසැකවම. ඉස්සරනං මම ඇහැරිලා ඉන්න සෑම පැයක්ම චිත්‍රපටයකට කැප කරන්න පුළුවන්. දැන් මම ගෙදර එනකං කෙනෙක් බලාගෙන ඉන්නවා. මගේ පුතාගෙන් ඈත් වන හැම දවසක්ම අසීරුයි. ඒ නිසා කලින්ටත් වඩා තෝරගෙන නිර්මාණවලට දායක වෙනවා.

• මවක් වුණාට පස්සෙ ආයෙම රැකියාවට එන එක අමාරුද?

ඇත්ත වශයෙන්ම. හැම වැඩ කරන දෙමව්පියෙකුම ඒ ගැන දන්නවා. නමුත් ඇදහිය නොහැකි තරම් සහයෝගය දක්වන පවුලක් ලැබීම මගේ වාසනාව. මගේ දෙමාපියන්, නැන්දම්මා සහ ආදිත්‍ය මේ හැමෝම මට උදව් කරනවා.

• ඔබේ පවුල ඔබව ස්ථාවරව තබා ගැනීම ගැන ඔබ ගොඩක් අවස්ථාවල කියල තියෙනවා.

අනිවාර්යයෙන්ම. මගේ පවුල මගේ වෘත්තිය නිසා කවදාවත් මට වෙනස් විදිහට සැලකුවේ නැහැ. ඔවුන්ට නම්, මම තවමත් එකම දුව සහ සහෝදරිය. ඒ අවංකකම මිල කරන්න බෑ. යමක් හොඳින් සිද්ධ වුණාම ඔවුන් මා වෙනුවෙන් සතුටු වෙනවා. එහෙම නොවුණත් එක චිත්‍රපටයකට මගේ ජීවිතය අර්ථ දක්වන්න බෑ කියලා මතක් කරලා දෙනවා. ඔවුන් මාව හැමදාමත් ආරක්ෂා කළා.

• විකී ඩොනර් අවසන් කළ යාමි අද මෙහි වාඩි වී සිටින යාමිව මුණගැසුණොත් ඔබ ඇයට මොකක්ද කියන්නෙ?

අවංකවම මුකුත් නැහැ. සෑම පසුබෑමක්ම, ප්‍රතික්ෂේප කිරීමක්ම,මොහොතක්ම, ජයග්‍රහණයක්ම මේ ඔක්කොම ඕනේ. අත්දැකීම් නොමැතිව මම අද ඉන්න කෙනා වෙන්නෙ නැහැ. ගමනේ කිසිම කොටසක් මම වෙනස් කරන්නෙ නැහැ.

• ඔබ ලබාගත් සියල්ලෙන් පසුවත්, තාමත් ඔබව උද්දීපනය කරන්නේ කුමක්ද?

නොදන්නා දේ. හැම චිත්‍රපටයක්ම ගමනාන්තය නොව ආරම්භය ලෙස දැනෙන්න ඕනෙ. මම සියල්ල තේරුම් ගත් බව මට හැඟෙන දවස මගේ වර්ධනය නතර කරන දවස වෙන්න පුළුවන්. ඒ දවස කිසිදා උදා නොවේවා කියලා මම ප්‍රාර්ථනය කරනවා.

Filmfare ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය.  මොරටුව...

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...
- Advertisement -spot_img

මෝග්‍රා සහ ඩැෆඩිල්

මෝග්‍රා සහ ඩැෆඩිල් - Mogra and Daffodils ඩැෆඩිල් මල් එක රැයකින් විකසිත වී තිබුණි. ආපසු ගෙදර යන අතරතුර මම ඒවා...

ආදිවාසීන් අයිති විජය කුවේනිටද බලංගොඩ මානවයටද?

ආදිවාසීන් අයිති විජය කුවේනිටද බලංගොඩ මානවයටද? - දඹානේ වරිග මහ ගෙදර මේ පාසල් නිවාඩු කාලය නිසා අප උත්සාහ ගන්නේ පවුලේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you