යාපනය වටේ රවුමක් යමු – Jaffna Tour
යාපනය සංචාරයේදී ඔබට දැක බලා ගැනීමට ඇති විශේෂ ස්ථාන කීපයක් පසුගිය ලිපියෙන් හඳුන්වා දුන්නා. යාපනය කියන්නේ දින කිහිපයක්ම සංචාරය කරමින් බොහෝ දේ දැක දැකබලා ගැනීමට හැකි සංචාරක ප්‍රදේශයක්. යාපනයටම සුවිශේෂිත වූ අපට ආගන්තුක වූ බොහෝ දේ එහි තිබෙනවා. යාපනයේ අනන්‍යතාව ‘තල් ගස ‘යැයි සඳහන් කිරීමට ඔබත් එකඟ වනු නොඅනුමානයි. යාපනය හා බද්ධ වූ තල්ගසෙහි නිෂ්පාදන බොහෝ ප්‍රමාණයක් යාපනයේදී දැක බලා ගැනීමට හැකියි. සංචාරය කරන හැම තැනකදීම තල් නිෂ්පාදන සුලබ දසුනක්. සංචාරකයන්ගේද දැඩි අවධානය දිනා ගැනීමට තල් නිෂ්පාදන සමත් වී තිබෙනවා.

යාපනය සංචාරය සංවිධානය කළ Thinnai හෝටලයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන්ත් සෙල්වරාජ්, දෙවැනි දින සංචාරයේදී හරි අපූරු අත්දැකීමක් විඳගන්නට සැලැස්සුවා. යාපනයේ පලතුරක් වූ තල් ගසේ මලින් ලබා ගන්නා තල් තෙලිජ්ජවල රස මිහිර විඳීමට අපට අවස්ථාව උදාකර දුන්නා. මේක හරි අපූරු අත්දැකීමක් වුණා. තල්මල කපන ගැමියෙක් එම කාර්යය සිදු කරන අයුරු මුල සිටම දැක බලා ගැනීමට අපට අවස්ථාව සැලසුවා. රූස්ස තල් ගස මුදුනට නැග සුළඟට එහා මෙහා වැනෙන තල්ගස මුදුනේ සිට මල් කපා තෙලිජ්ජ ලබාගන්නා ආකාරය අපට බලා සිටීම නම් තරමක හද ගැස්ම ඇති කරන ක්‍රියාවකි. එහෙත් එම කටයුතුවල යෙදෙන ඔවුන් කිසිදු ආයාසයකින් තොරව එම ක්‍රියාවේ යෙදෙයි. මලින් ලබාගත් තෙලිජ්ජ පානය සඳහා තල් කොළයකින්ම තැනූ ගොටුවක ආධාරයෙන් පානය කිරීමට අපට සැලැස්වීම තවත් හරිම අපූරු අත්දැකීමක් වුණා. මෙම රසවත් අවස්ථාව උදාකර දුන් රොෂාන්ත් සෙල්වරාජ්ට විශේෂ ස්තුතිය පුද කළ යුතුමය.

දෙවන දිනයේ අප ඉන්පසු සංචාරය කළේ දෙස් විදෙස් සංචාරකයන් අමතක නොකරම දැක බලා ගැනීමට යන ඉපැරණි ඕලන්ද කොටුව වෙතයි. යාපනය පෘතුගීසීන් ලන්දේසින් හා ඉංග්‍රීසින් යන ජාතීන් තුනේම ආක්‍රමණයට හසුවූ නගරයක්. පෘතුගීසීන් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදාව රැඳවීම සඳහා මෙය ඉදිකර තිබෙනවා. ඔවුන් 1619 දක්වා පාලනය කර ඇත. ඉන්පසුව ලන්දේසි ආක්‍රමණයෙන් පසු මෙම බල කොටුව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත. පසුව ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසීන් අතට පත් වී 1948 දක්වා ඔවුන්ගේ ආරක්ෂිත බලකොටුවක් බවට මෙය පත් විය. මෙරට ත්‍රස්තවාදී උවදුරු සමයේදී යාපනය ඉපැරණි ඕලන්ද කොටුව ශ්‍රී ලාංකික ජනයාට අමතක නොවන ස්ථානයක් විය. එදා ත්‍රස්ත උවදුර නිසා මෙම කොටුවට දැඩි හානි සිදුවී තිබෙනවා.

යාපනය සංචාරය කරන ඔබ යා යුතුම තවත් සංචාරක ස්ථානයක් වශයෙන් නිලාවරි නවක්කන්නි ළිඳ හඳුන්වා දිය හැකියි. මෙය පොදු ජනවහරේ හඳුන්වන්නේ පතුල නොපෙනෙන ළිඳ ලෙසයි. නිලාවරෙයි ගංදිය නුදුරෙහිම පිහිටා ඇත. යාපනය ජනතාවගේ මතය වී ඇත්තේ ළිඳේ සිට ජල කඳ කුහරයක් තුළින් මහා සයුරට ගමන් කරන බවයි. මෙම ළිඳ පිළිබඳ ජනවහරේ විවිධ කතා තිබෙනවා. සීතා දේවිය හා රාම කුමරු මෙම ප්‍රදේශය ආශ්‍රිතව නතර වී සිටි බවත්, දේවියට දිය පිපාසය නිසා රාම කුමරු දිය ලබා ගැනීමට තම අත රැඳි ත්‍රිශූලය බිම ඇණ ඇති බවත්, මෙය එයින් සෑදුන ළිඳ බවත්ය. එමෙන්ම තවත් මතයක් වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසු මෙම ස්ථානයේ මදක් විවේක සුවයෙන් ගත කළ බවත් බුදුන් වහන්සේට පැන් සැකසීම සඳහා බුද්ධානුභාවයෙන් මෙම ළිඳ තනනු ලැබූ බවත්ය.


නිළාවරෙයි පොකුණ යාපනයේ සංචාරයේදී දැකබලා ගැනීමට හැකි තවත් එක් ස්ථානයකි. හින්දු භක්තිකයන් විශේෂයෙන්ම සංචාරය කරන ස්ථානයකි. කන්කසන්තුරේ වරායට යාබදව මෙය පිහිටා ඇත. මේ ප්‍රදේශයේ ඉපැරණිම කෝවිල්වලින් එකකි. මෙම පොකුණෙන් දිය නා පිරිසිදු වී කෝවිල වන්දනා කිරීම හින්දු භක්තිකයන්ගේ සිරිතයි. ආඬි නොහොත් ජූලි මාසයේ යෙදෙන අම්මාවාසේ (පොහොය දිනයට සමාන දිනයක්) දිනය නිමිත්තෙන් මෙම දේවස්ථානයේ පූජා පැවැත්වේ.


යාපනයේ තිබෙන තවත් විශේෂ ස්ථානයක් යාපනයේ මන්ත්‍රී මාලිගයයි. මෙය සිංහල බසින් මන්ත්‍රී මාලිගය, රාජ මන්ත්‍රී මාලිගය ලෙස හැඳින්වේ. මෙම මාලිගය සංගිලි රජවරුන්ගේ මාලිගය ලෙසද හැඳින්වෙයි. ක්‍රි.ව. 13 සිට 17 වැනි කාල සීමාව තුළ උතුරු ප්‍රදේශයේ වාසය කළ ආර්ය චක්‍රවර්තී රජවරු විසූ මාළිගය ලෙසද සැලකේ. සංගිලි මාලිගය ආසන්නයේම ඉදිකර ඇති සංගිලි ප්‍රතිමාව සංචාරකයන්ගේ අවධානය දිනා ගත් තවත් ස්ථානයකි.


මෙය යාපනය රාජධානිය අවසන් රජු වන දෙවැනි සංගිලි රජතුමාගේ පිළිරුව වන අතර යාපනය රාජධානි කාලය සිහි කරවන වැදගත් සංකේත උරුමයක් වශයෙන් සැලකේ. ක්‍රි.පූ. 1460දී සෙන්සකප්පෙරුමාල්ගෙ පාලනය අවසන් වීමත් සමඟ යාපනය රාජධානිය ආරිය චක්‍රවර්ති රජු පාලනය කර ඇත. එයින් පසුව දේශීය රජවරුන්ගේ පාලනය ක්‍රියාත්මක වූ බවයි සඳහන් වන්නේ.


ඔවුන්ගෙන් පළමු වැනි සංගිලි රජතුමා හා දෙවැනි සංගිලි රජතුමාට වැදගත් ස්ථානයන් හිමිවී ඇත. යාපනය රාජධානියේ දෙවැනි සංගිලි රජතුමාව අද ද ජනතාව විසින් බොහෝ සේ අනුස්මරණය කරති. මෙම ප්‍රතිමාව මුල්ලිරෙයි ගංදියේ නල්ලූර්හි ඉදිකර ඇත. මෙම සංචාරක ස්ථානවලට අමතරව යාපනය පුරාම බෞද්ධ හා හින්දු සංස්කෘත හා ඓතිහාසික ස්ථාන බොහොමයකි. යාපනයේ සිට කන්කසන්තුරේ යන ඔබට දුම්රියෙන් යන්නේ නම් යාපනය සිට විනාඩි 30ක් 40ක් වැනි කාලයක් ගතවේ.


යාපනය සංචාරය සංවිධානය කළ Thinnai හෝටලය යාපනයේ විවෘත වූ පළමු තරු හතරේ හෝටලයයි. මෙහි සියලුම සුව පහසුකම් සහිතයි. ආහාරපාන අතින්ද ඉහළ පිළිගැනීමක් සහිත හෝටලයකි. නාන තටාකයක්ද මෙහි ඇත. යාපනයටම ආවේණික ආහාර එම රසයටම ලබාගත හැකියි. දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් යාපනයේ තිබෙන ජනප්‍රියම හෝටලයක් ලෙස සැලකේ. යාපනය ප්‍රදේශයේ සංචාරය කරන ඔබට, යාපනය ප්‍රදේශයේ සංචාරය කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් සම්බන්ධීකරණ කර ගැනීමටද හැකිය.
www.thethinnai.com
දුරකතන අංක (Thinnai හෝටලය)
021 2030400
077- 4558220
021 7130400




