විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දරුණුතම ආර්ථික සහ සාමාජීය අර්බුද හමුවේ, රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයෙන් ඇසෙන අතිශය කණගාටුදායක සහ පිළිකුල් සහගත පුවතක් පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) මඟින් අනාවරණය කළේය. ඒ, උසස් අධ්‍යාපනය සඳහා රජයේ සහ මහජනතාවගේ බදු මුදලින් විදේශගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක්, තමන් අත්සන් කළ ගිවිසුම් හා බැඳුම්කර (Bonds & Agreements) අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට පොල්ල තබා ඇති පුවතයි. කෝප් කමිටු වාර්තාවලට අනුව මෙලෙස මෙරටට පැමිණීම පැහැර හැර සිටින ආචාර්යවරුන්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් කෝටි 3,000කට (බිලියන 30කට) ආසන්නය. මෙය හුදෙක් “රට හැර යෑමක්” හෝ “බුද්ධි ගලනයක්” පමණක් නොව මහජන මුදල් සෘජුවම සාක්කුවේ දමාගත් මහා පරිමාණ බුද්ධිමය මංකොල්ලයකි.
මහජන බදු මුදලින් සැනසුණු “ආචාර්යවරු”
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ ප්‍රථම උපාධිය නොමිලේ ලබාගන්නා මොවුන්, පසුව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස සේවයට බැඳේ. ඉන්පසුව ඔවුන්ගේ පශ්චාත් උපාධි (PhD) සහ පර්යේෂණ කටයුතු සඳහා ලෝකයේ දියුණු රටවලට යැවෙන්නේ ලාංකීය ධීවරයා, ගොවියා, සහ කම්කරුවා ඇතුළු සමස්ත ජනතාවම වක්‍ර සහ සෘජු බදු ලෙස ගෙවන මුදලිනි. විදේශගතව සිටින කාලය පුරාම ඔවුන්ට මෙරටින් වැටුප් සහ දීමනා ගෙවන අතර, ඔවුන්ගේ අධ්‍යාපන ගාස්තුද රජයෙන් දරයි. මේ සියල්ල සිදුකරන්නේ “ඉගෙනගෙන නැවත රටට පැමිණ දේශයේ දරුවන්ට උගන්වනු ඇත” යන ඒකායන බලාපොරොත්තුවෙනි. එහෙත් සිදුව ඇත්තේ කුමක්ද? රටේ සල්ලිවලින් ඉහළම සුදුසුකම් ලබාගන්නා ඇතැම් ආචාර්යවරු, එහිම නතර වී ඩොලර් සහ යුරෝ සොයමින්, තමන් ලියා දුන් බැඳුම්කරය කුණු කූඩයට දැමිමය.

රටට සිදුවන ද්විත්ව විනාශය
මෙම වංචාව නිසා ශ්‍රී ලංකාවට පාඩු දෙකක් සිදුවේ.එකක් මූල්‍යමය පාඩුවය රට දැඩි ණය බරින් මිරිකී, අත්‍යවශ්‍ය ඖෂධ සහ පහසුකම් නොමැතිව තැවෙන යුගයක, රුපියල් කෝටි 3,000ක් වැනි දැවැන්ත මුදලක් රටට අහිමි වීම අපරාධයකි. මෙම මුදලින් රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රය හෝ පාසල් පද්ධතියම නවීකරණය කළ හැකිය. දෙවැන්න අධ්‍යාපනික විනාශය වේ. මෙම ආචාර්යවරුන් නොපැමිණීම නිසා අද වන විට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය පුරා දැඩි කථිකාචාර්ය හිඟයක් නිර්මාණය වී ඇත. ලෙක්චර්ස් නියමිත වේලාවට සිදු නොවේ, උපාධි පාඨමාලා ප්‍රමාද වේ. අවසානයේ මෙහි වන්දිය ගෙවන්නේ අහිංසක ශිෂ්‍ය පරපුරයි.
නීතිය සහ සදාචාරය කොහේද?
සාමාන්‍ය රෝගියෙකුට බෙහෙත් පෙත්තක් ගන්නට බදු ගෙවන අහිංසක ජනතාවගේ මුදල් කෝටි ගණනින් කා දමා, විදේශ රටවල සුඛෝපභෝගී ජීවිත ගත කරන මෙම “උගතුන්ගේ” සදාචාරය පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයක් පැන නැඟේ. තමන් උපන් දේශයට සහ තමන්ව මේ තත්ත්වයට පත්කළ රටේ අධ්‍යාපන පද්ධතියට මෙලෙස ද්‍රෝහි වීම කිසිසේත්ම සමාවක් දිය නොහැකි වරදකි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී ද පවතින්නේ මන්දගාමී ස්වභාවයකි. කෝප් කමිටුව පෙන්වා දෙන පරිදි, මෙම මුදල් අයකර ගැනීමට නිසි යාන්ත්‍රණයක් තවමත් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි. සමහර විශ්වවිද්‍යාලවල පාලන අක්‍රමිකතා සහ දේශපාලන බලපෑම් මත මෙම වංචාකරුවන්ට නීතියෙන් බේරී සිටීමට ඉඩ සලසා දී ඇති බව ද හෙළි වේ.




