Featuresස්වරූප සරසා ගැනීම

ස්වරූප සරසා ගැනීම

-

spot_img

ස්වරූප සරසා ගැනීම

ස්වභාවයෙන් අප සියල්ලෝම තම පෙනුමට ආශා කරති. බොහෝ අය ඇඳුමේ පැළදුමේ සිට, රූපලාවන්‍ය කටයුතු දක්වා සිය බාහිර පෙනුම සැරසීමට උනන්දු වෙති. එහෙත් කෑම, බීම, ව්‍යායාම, විටමින් තුළින් ශරීර අභ්‍යන්තරය සරසා ගැනීමට උනන්දුවක් දක්වන්නේ අතලොස්සකි. එමෙන්ම දැනුම දියුණු කර බුද්ධිය තුළින් පුද්ගල ප්‍රතිරූප සරසාගැනීමට වෑයම් කරනුයේ ඊටත් වඩා අඩු ප්‍රතිශතයකි. බොහෝදෙනා තම ප්‍රතිරූප නඩත්තු කරනුයේ තවකෙකු මත යැපීමෙනි. තම රූපය සරසාගැනීම වෙනුවෙන් අනෙකාගේ ආලෝකය අපේක්ෂා කිරීම යනු දුගී මානසික මට්ටමකි. එමෙන්ම එය දුර්වල පුද්ගල පෞර්ෂයකි. පුද්ගලයෙකුගේ සැබෑ ස්වරූපය තමා වනතාක් ඔහු හෝ ඇය ව්‍යාජ නැත. යමෙකුගේ ස්වරූපය අන් අයෙකුගෙන් සරසාගන්නා මුල් මොහොතේම එම පුද්ගලයාට ඔහුව අහිමි වේ.

ස්ව රුපය එසේත් නොමැතිනම් තම පෙනුම යනු ශරීරයක හැඩය පමණක්ම නොවේ. කුසලතාවයද එක් ප්‍රධාන පුද්ගල ස්වරූපයකි. ඇතැම් පුද්ගලයන් එය සහජයෙන් රැගෙන එති. තවත් අය එය වටපිටාවෙන් රැගෙන තමන්ව සරසා ගනී. වාදය යනු පුද්ගල ස්වරූප නංවාගැනීමේ සුක්ෂම මෙවලමකි. විවාද සහ සංවාද අතර ඇත්තේ තරඟයක් නොවේ. එය මතයක් සමාජ අවකාශයක බුහුටිව පැළ කිරීමකි. එහි දිනුමක් හෝ පැරදුමක් පිළිබඳ සඳහනක් නොවේ. ඇත්තේ කිසියම් සමාජ කාරණාවක් මතවාදීව ලිහාගැනීමකි. එහෙත් පවතින තත්වය මතින් තමන්ව සරසාගැනීමට මාන බලන ඇත්තෝ ඒවා වාද බවට පත්කර ගනිති. තමන්ගේ ගොඩ විශාල බව පෙන්වා ප්‍රතිවිරුද්ධ මතය බිඳීමට මං සොයති. ඒ සඳහා ඔවුන් සොයනුයේ පහසුවෙන් බිඳිය හැකි දුර්වල මතධාරීන් ය. පොහොසත් කියවීමක් නැති ආවේග මත පාවෙන චරිතය. දිනුම නැමති කුසලානයේ දමා ජය පැන් වැඩිය හැක්කේ එවිටය. අනෙකාගේ නොදියුණු සහ නොවැඩුණු බවින් තමන්ව තියුණුව සරසාගන්නේ එහෙමය.

සතියේ බුකී සංදර්ශනය සැරසී තිබුණේ ඉහත පුරෝකථනයට සමාන මාතෘකාවකිනි. බුකීවාසීන් අතර නමගිය යූ ටියුබ් අවකාශයක “විවාදයක්” යන හිසින් එය සරනු දක්නට ලැබිණි. නමුත් බැලූ බැල්මට එය දූෂණ චෝදනා ලද්දෙකු අපරාධ පරීක්ෂණ අංශයකට කැඳවා ප්‍රශ්න කිරීමේ ස්වරූපයක් ගෙන තිබිණි. බුකී විචාරක හුදී ජනයාට අනුව ආරාධිතයා දූෂිත දේශපාලන කඳවුරක නියෝජනයකි. කොටින්ම නිකමෙකි. අනෙක් දෙදෙනා හසල දැනුමැති මාධ්‍ය ඔස්තාද්ලා ය. ගවේෂණශීලී, සද්ධා බුද්ධි සම්පන්න රටේ පිනට පහළවූ දියසෙන්ලා ය. රාවණුන් ය. ආරාධිතයාට දැමූ දාඩියත්, ඔහු බිවූ වතුරත්, ඔහුට හැදුණු ගොතයත් ගණන් හැදූ ඇත්තෝ ඔහු “අනාගත්” බව කියූහ. එහෙත් ඒ අනාගත් නිකමාට මුහුණ දීමට මාධ්‍ය ඔස්තාද් ලා ඉදිරිපිට ෆයිල් කන්දක් ගොඩගසා තිබෙනු දක්නට ලැබිණි. ඒවා ගවේෂණය කළ තොරතුරු බවද කියවිණි. අපේ කන් ඇසීමේ දෝෂයක් ඇත්දැයි නොදනිමු. අපට ඇසුණේ නඩු වාර්තා, කොමිසම් නිර්දේශ සහ ප්‍රකාශ සටහන් පමණි. අපට දැනෙනා මාධ්‍ය සාක්ෂරතාවය අනුවනම් මෙකී තොරතුරු අධිකරණ මාධ්‍යවේදියෙකුට මෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ සාමාන්‍ය පුරවැසියෙකුටත් ලබාගැනීමේ අයිතිය තිබේ. ඇතැම් දේ විශාල කොට අසීරු ලෙස පෙන්වන්නේ සීරුවට තමන්ව සරසා ගැනීමට ය.

ව්‍යාපාරිකයින්ද ස්වරූප නිර්මාණය වෙනුවෙන් සැරසිලි කරගනී. ඉහත කී යු ටියුබ් නාලිකා හිමිකරු කළේද එයය. යම් කිසිවෙකු ෆේස්බුක් වැනි නිසරු දේ පිරි අවකාශයක විවාදයක් ඉල්ලා කෑමොර දුන් පළියට ඒවා කළ යුතුයැයි නියමයක් නැත. එමෙන්ම “කමකට නැති” යැයි ද, දූෂිත කඳවුරක යැයි අදාළ පාර්ශව විසින්ම වරින් වර වර නඟා ඇති අයෙකුට එසේ කළ යුතුම නැත. එහෙත් තමන්ව සරසා ගැනීමට ගුණාත්මක සංවාදයක් ගොඩනනවාට වඩා පහසුවෙන් දුර්වල ප්‍රතිරූපයක් කඩා බිඳ දැමීමෙන් එය කළ හැකිය. අනෙක් අතින් තැටිය රත්වී ඇති මොහොතේ රොටිය පුච්චා ගැනීම යනු ව්‍යාපාරික ඉවකි. අදාළ යූ ටියුබ් අවකාශයේ සෙසු සාමාජිකයින් පවා ඊට කල්තියාම සූදානම්ව සිටි බවක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් හරහා මතුව පෙණිනි. මෙම ඒක පාර්ශවීය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ හරය ලෙස අයිසින් කර තිබුණේ “සලේ සහ පාස්කු ප්‍රහාරය” වුවද, එය හුදෙක් තම ප්‍රතිවාදි දේශපාලන කඳවුර සමඟ ඇති “උපන් ගෙයි ඇරියස්” පිරිමසාගැනීමක් බව මොලේ පණ ඇති ඕනැම අයෙකුට වටහාගත හැකිවිය. මෙහ්දි හසන්, පල්කි ෂර්මා පන්නයේ මාධ්‍ය හැඳින්වීමක් දුන් වැඩක් අවසානයේ විජිත හේරත් වාඩිකෙරෙව්වා සේ “අල” වී ගිය අයුරු ව්සුලු සහගත ය.

බොහෝවිට තමන්ව පුම්බා ගන්නටත්, අනෙකාව බිය වද්දන්නටත් “කවර” වලට හැකිය. ඇතුලේ ඇති දේ ගැන කිසිදු අදහසක් නැතත්, අප අතීතයේ සිටම පිට කවරයට රැවටී තිබේ. කවරය යනු මතුපිටින් තමන්ව සරසා ගැනීමකි. වඩා සූක්ෂම, සටකපට චරිතවලට මේ “ඇන්ඳවීම ” අපූරුවට කළ හැකිය. “කවරය බලා පොත ගැන තීරණය කරන්නට එපා “යැයි කොතෙක් කීවද, “මොලෝ රහක්” නැති පොතක් “ඇහැට වදින” කවරයකින් සරසා අලෙවි වාර්තා තබමින් විකිණිය හැකිය. සමහරු පොත් ගන්නේ කියවන්නටම නොවේ. කවරයේ ලස්සනට රාක්කයේ තබා හැඩ බලන්නට ය. ලොකු පොත් කියවනවා යැයි අනෙකාට පම්පෝරි ගසන්නට ය. රාක්කය අසල පුටුවක් තබා වීඩීයෝ හදන්නට ය. කවරය ඇස් බැන්දුමක් බව ඊට හසුවන තෙක් වැටහෙන්නේ නැත. සරලම උදාහරණය වත්මන් ආණ්ඩුවයි. සන්නද්ධ කැරළි දෙකක් හරහා ඔවුන්ට කළ නොහැකි වූ දෙය “මාලිමාව” නම් සිත්ගන්නා සුළු කවර සැරසිල්ලෙන් කිරීමට හැකිවිය. කවරය මරු ය. පට්ට ය. එළ ය. ඇතුළ තනිකර හිස් ය. කම්බ හොරු අල්ලන්නට ආ ආණ්ඩුව කෙසෙල් කැන් හොරු පස්සේ දුවයි. එක පෑන් පාර, පෝය දෙක දැන් අවුරුදු 15කට 20කට දිගු වී ඇත. ජනතාවට සිදුව ඇත්තේ ආණ්ඩුව අත ගගා එහි හැඩබලමින් සිටින්නට ය.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you