Featuresනහරකාරයන් අතට ගිය බල නහර

නහරකාරයන් අතට ගිය බල නහර

-

spot_img

නහරකාරයන් අතට ගිය බල නහර

මේ ආණ්ඩුව තුළ සිදුවන බොහෝ වැරැදි අතපසු වීම්ය. වංචා, හොරකම් කැටගරියේ තබා ඒවා වෙන්දේසි කිරීම නොවටී. ඒවා අතපසු වීම් යැයි කියන්නේද ඒ අය වෙති. ජනතාව සුනංගු නොවී ඒ කියන කතා විශ්වාස කළ යුතුය. මන්ද මේ ජනතා ආණ්ඩුවක් වන බැවිනි. එසේ කියනුයේද ආණ්ඩුවේ අයමය. අපේ ආණ්ඩුව හොඳයි. ඒකෙ හොරු නැහැ. වංචාකරුවෝ නැහැ. ඔය අතපසු වීම් හැර හිතා මතා සැලසුම් සහගතව කරන දෙයක් නැහැ. ඒ ආණ්ඩුවේම අය ලියන සරල රචනාවය. කෙටිම කතාවය. එහෙත් අතපසුවීම් හරහා වන්නේද හොරකම්, වංචාවන් හරහා සිදු වූ අලාභයම නම් එයින් වන පාඩුව, වන්දිය ගෙවිය යුතු වන්නේ ජනතාවට නම් හිටි අය සහ හිටින අය අතර වෙනස කුමක්ද? දෙකම එකයි නම් එකකට වැඩිපුර ගෙවනුයේ ඇයි? අල්ලසට, දූෂණයට එරෙහිව ආණ්ඩු පෙරළා නව ආණ්ඩු ගෙන ආවද හොරකම, වංචාව, දූෂණය අතපසු වීමකින් හෝ සිදුවන්නේ නම් එයට වන්දි ගෙවන ජනතාව කොතරම් අවාසනාවන්තද?

මේ දෙවසරට කිට්ටු කාලය තුළ ආණ්ඩු බලය ගෙන කර ඇති අතපසු වීම් නම් එමටය. ඉන් එකක් ලෙස මහ භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම ගත හැකිය. එම මුදල් අතුරුදන් කිරීමේ මැජික් බලය තිබුණේ මහ භාණ්ඩාගාරයටද මහ බැංකුවටද යන්න තවමත් නිච්චියටම හෙළිදරව් වී නැත. මුලදී මෙහි වගකීම හැකරයකුට දමා ජනතාව අන්දන්නට ආණ්ඩුවේ දේශපාලන හැකරයෝ නොයෙක් උප්පරවැට්ටි යෙදූහ. එහෙත් මෙය හැකර වැඩක් නොවන බව කට හැකර දේශපාලකයෝ ඉක්මනින්ම වටහා ගත්හ. වැඩේ සිද්ධ වී ඇත්තේ හත් මසකට අට මසකට එපිටය. එහෙත් සිද්ධිය මතු වූයේ ළඟදීය. මාසයක් වැනි කෙටි කාලයක දීය. ඒද ‘ෆ්‍රී ලෝයර්ස්’ නම් සංවිධානයකටය. ඔවුන් මේ ගැන රටට හෙළි කරන තෙක් ආණ්ඩුව කිසිත් නොවූ ගානට අපූරුවට සිටියේය. අතපසු වී ඇති බව දැනගත්තේ එවිටය. 2025 නොවැම්බර් 13 – 15 එනම් මීට අට මසකට පෙර “Export Finance Australia ආයතනයේ නමින් පැමිණි ව්‍යාජ ඉන්වොයිස් හරහා ඇමරිකාවේ TD බැංකුවේ පවත්වාගෙන ගිය Mish Global LLC” නමැති සැකකටයුතු ගිණුමකට (සැකකටයුතු යනු පසුව අවබෝධ කර ගත්තකි.) මුලදී විශ්වාස කටයුතු ගිණුමකි. එසේ නොවේ නම් මුදල් දැමූ බව රහසක් සේ රැක්කේ මන්ද යන්න කල්පනා කළ යුතුව ඇත. මෙය සැකකටයුතු ගිණුමක් බව හෙළි වන්නේ 2026 ජනවාරි 06 වැනිදාය. ඒ ඊ මේල් පණිවිඩයක් විදෙස් සේවා දායකයන්ගෙන් ආපසු හැරී ඒම (bounced back) තුළිනි.

2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 05 වන විට ව්‍යාජ ලියකියවිලි හරහා ඇමරිකානු ඩොලර් 203,417ක මුදලක් ඇතුළු තවත් මුදල් ගෙවීම් කිසිදු පරීක්ෂාවකින් තොරව සිදුව ඇත. මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ මතය අනුව මේ ගෙවීම් ඩො.මි. 2,509,430කි. දැන් ඉතිරි වන ප්‍රශ්නය මේ මුදල් ගෙව්වේ කවුද යන්නය. එය ගෙවූ අයෙක් නැත. භාණ්ඩාගාරය කියනුයේ ඊට මහ බැංකුව වගකිව යුතු බවය. මහ බැංකුව කියනුයේ එය භාණ්ඩාගාරය කළ වරදක් බවය. කවුරු හෝ වරදක් කර ඇතත් වරද කළ කෙනා බේරා ගැනීමට කෝප් කමිටුවටත් කෝපා කමිටුවටත් නොහැකි වී ඇත. මෙම වංචාව නොව අතපසු වීම හෙළිදරව් වී මාසයක් ඇතුළත මෙම සිද්ධියේ සුල මුල හෙළි කරනවා යැයි කීවද සිදු වූ එකම හෙළිදරව්ව මහ බැංකුවද? භාණ්ඩාගාරයද? යන්න මේ කළේ කියා සොයා ගත නොහැකිව මෙය මහජනතාවගෙන් පියවා ගත යුතු යැයි මහ භාණ්ඩාගාරයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පැවැසීමය. සිද්ධිය සැල වූ අලුත මහා හඬක් නැඟුණේ සූරියප්පෙරුම ඉවත් විය යුතු බවටය. පසුව ඉවත් කළ යුතු බවද ‍ඝෝෂාව විය. එහෙත් ඒ කිසිවක් සිදු නොවී අද ඔහු කියනුයේ කුමන හෝ අයුරින් අතුරුදන් වූ මුදල ජනතාවගෙන් අය කර ගත යුතු බවය. එයට සිල්ලර විසඳුම තෙල් මිල තව තවත් ඉහළ දැමීමය. දැන් හැකරයා වී ඇත්තේ ජනතාවය. ජනතාව භාණ්ඩාගාරයෙන් මුදල් පන්නා ඇත. නැතහොත් අතුරුදන් කර ඇත. විසඳුම හරි සරලය. ජනතාව ඒ වන්දිය ගෙවිය යුතුය. මේ නම් අමුතුම කට්ටඩියන් සිටින ආණ්ඩුවකි. කට්ට කෛරාටිකයන් සිටින ආණ්ඩුවකි. අතපසු වීම සුළුපටු නැත.

ජනාධිපති ආ අලුත කීවේ ඉගෙන ගනිමින් වැඩ කරනවා වැඩ කරමින් ඉගෙන ගන්නවා පන්නයේ කතාවකි. කොටින්ම භාණ්ඩාගාරය සාංඝික දේපළක් සේ ආරක්ෂා කරන බවය. දැන් එම පින් කැටේට හාමුදුරුවෝ විද්දද ඇබිත්තයා විද්දද කර ගසන්නට සිදුව ඇත්තේ දායක සභාවටය. මෙවැනි තව අතපසුවීම් විය. මහජන බැංකුවේ විදේශ විනිමය වංචාව, තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් 625,000ක් අතුරුදන් වීම, අස්වැසුම ද්විත්ව ගෙවීම්, එන්. ඩී. බී. බැංකුවේ රුපියල් බිලියන 13.2ක වංචාව ඉන් කිහිපයකි. මේවාට වැරැදි කරුවන් නැද්ද? සියල්ල සුපිරිසුදුව කරන්නට ආ ආණ්ඩුවක් මේ හැම එකකම වන්දිය ජනතාව මත පටවනුයේ කොහොමද? භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වූ පසුව පශ්චාත්තාප වූ එක් මිනිසෙක් විය. එනම් එයට තමාද වගකිව යුතු කොටස්කරුවකු බව ඇදහූ කෙනෙක්. ඒ භාණ්ඩාගාරයේ වැඩ කළ ජවිපේ ආගම ලෙස ඇදහූ රංග රාජපක්ෂය. ඔහු භා‍ණ්ඩාගාරයේ කනිෂ්ඨ නිලධාරියෙකි. එහෙත් මේ වරද දරාගත නොහැකිව ඔහු සිය දිවි හානිකර ගත්තේය. ඒ බලනහර කපාගෙනය. මරණ පරීක්ෂණ වාර්තා වල එය සියදිවි නසා ගැනීමක් බව පිළිගෙන තිබිණි. ඒ අතර ශරීරයේ බල නහර කියා දෙයක් නැති බවද සාකච්ඡාවක් පැවතුණි. බල නහර ඇතා හෝ නැතා හෝ රංග මියගිය පසු භාණ්ඩාගාරයේ බලධාරීහු වරද ඔහු පිට පැටවූහ. ඔවුන් ‘පරිගණකය’ හා ‘ෆයර් වෝල්’ පිට වරද පටවන්නට උත්සාහ කළේය. මේ හැම එකකින්ම උත්සාහ කළේ ආණ්ඩුව අත පිහදා ගන්නටය. අත පසුවීමද සුළු වරදක් තරම්වත් ගණන් නොගෙන අත හරින්නටය. මේ ගැන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ප්‍රධානියා ලෙස හර්ෂ, දිලීප පීරිස් වෙනු ඇතැයි සිතුවද සිදු වූයේ වෙනකකි.

ආණ්ඩුව වගේ වගක් නැතිව සිටියද මෙය රාජ්‍ය මුල්‍ය පද්ධතිය තුළ සිදුවූ බරපතළ ඛේදවාචකයක් බව අමුතුවෙන් කිව යුතු නැත. පෙර ආණ්ඩුවල වංචා, දූෂණ ගැන කට උල්කර කතා කළ අය අද ඒ අය යටතේ දේවල් සිදුවද්දී අතපසුවීම් ලෙස ගෙන මඟ හරිනුයේ ශූර ලෙසය. මෙයත් සැක කටයුතු ගිණුමක් බවට කල් තියා කළ දැනුවත් කිරීම් කර ඇති බව අමතක නොකළ යුත්ත එයයි. ඇමරිකාවේ ජේ. පී. මෝර්ගන් සහ ෆෙඩරල් රිසර්ච් බැංකු විසින් මෙම ගනුදෙනුව සැක සහිත බව SWIFT පණිවුඩ මඟින් දැනුම් දී ඇත. එහෙත් මෙරට බලධාරීහු ඒ පිළිබඳ කිසිදු තැකීමක් කර නැත. දැන දැන ඕස්ට්‍රේලියාවට ගෙවීමට තියන ණයක් ඇමරිකානු ගිණුමකට දමනුයේ ඇයි? තම තමන් කෙරෙහි අධි මානයෙන් හැඩ ගැන්වූ අයට මෙවැනි ලොකු අත්වැරැදීම් විය හැකිද? එසේ විය හැකි දේ නම් අත්වැරැද්දක් ලෙස අර්ථ ගන්වා වැඩේ දීමය. මේ වූ කලි පැහැදිලි වංචාවක් බව පෙනේ. එම ගිණුමට බැර කළ මුදුල් කෙසේ හෝ නැවත ලබා ගන්නා බවත් ඇමරිකාව පොරොන්දු වූ බවත් කතා විය. ඇමරිකාව එම ගිණුමට ගොස් ලංකාව ඩොලර් 100ක්ම ලබා දී තිබිණි. අනෙක් මුදල් ගන්නට ඕනෑ අය අරගෙනය. ඉතිරි ඩොලර් 100කි. ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිකර ගෙන ඉන් ඩොලර් 100ක් හෝ නැවත ලබා ගන්නට හැකි වූයේ මේ ආණ්ඩුව නිසාය. වෙන ආණ්ඩුවක් නම් ඒ ඩොලර් 100ටත් තට්ටු කරලාය. එවැනි හැඩ කතාවක් වුව මේ කට්ටිය කට උල්කර කීමට හපන්නුය. ජනතාවගෙන් තවමත් ඒවා පරම සත්‍ය ලෙස අදහන අය සිටිති. ලාල්කාන්ත සමාජ ප්‍රාග්ධනයෙන් හදා ගත් නිවෙස ගැන කප්පරක් කතා කීවේය. ඔහුට මහරගම තව නිවෙසක් ඇතැයි හෙළිදරව් වන විට උරණ වී ඔව් මට මහරගමත් ගෙවල් තියෙනවා ඇයි පාන්ද පන්නයේ කතා කියමින් සිටී.

හෙට දවසේ ඔව් අපිත් හොරකම් කරනවා ඇයි අපිට බැරිද? හැත්තෑ හය වසරක් කළා නම් දැන් අපි කරන හැටිත් බලගෙන ඉන්න යැයි ලාල්කාන්ත කීවද පුදුම නොවන්න. දැන් සියල්ල ගානට පදම් වී ඇත. අවශ්‍ය වන්නෙ ඒ ඒ සිද්ධිය ලිහා ගැනීමට වාග් කෝෂ ටිකක් පමණි. මුඛරි කටවල් නම් එමට ඇති බැවින් ඒවාට පණ ගසා උපද්දන්නට හැකිය. භාණ්ඩාගාරයේ සිදු වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වංචාවක් නම් එය කළ අයෙක් නැත්නම් එය සුළු අත්වැරදීමක් ලෙස ඉවත් කොට ජනතාවට ඒ බර කර ගැසිය නොහැකි ඇයි? ජනතාව ඊට උරදෙනු ඇත. බල නහර කියා දෙයක් නැත. එයත් හිතන්න.

Tiran Kumara Bangagamaarachchi
ටිරන් කුමාර බංගගමආරච්චි විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...
- Advertisement -spot_img

ජනප්‍රිය වුණාම අතරමං වෙනව

ජනප්‍රිය වුණාම අතරමං වෙනව - Mrunal Thakur මෘනාල් තාකූර් යනු සමකාලීන ඉන්දියානු සිනමාවේ වඩාත් බලාපොරොත්තු සහගත ලෙස සැළකෙන තරුවක්. රූපවාහිනී...

පිරිමියෙක් නැති තනි ගැහැණියක්

පිරිමියෙක් නැති තනි ගැහැණියක් - Maa Behen තමන් ගැන හොයනවට වඩා අනිත් අය ගැන හොයන්න අපි අතරෙ ගොඩක් අය කැමතියි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you