සීතාවක රජු පෘතුගීසීන් ගැන ඔත්තු බැලු කොබෙයිතුරාගල
1588 වන විට කොළඹ කොටුව, යාපනය හැර මුළු රටෙහිම පාලකයා බවට පත්වූයේ සීතාවක රාජසිංහ රජුය. පෘතුගීසීන් 1596 කොනප්පු බණ්ඩාරගේ සහායෙන් මන්නාරමින් හමුදාවක් මෙහෙයවා උඩරට ආක්‍රමණය කිරීම නොරිස්සූ රාජසිංහ රජු ඔවුන්ට එරෙහිව බලනෙදි කළ සටනින් පරාජයට පත්ව සටනින් පසු බැස පෙතංගොඩ උයනට ගිය බවත් එහිදී විස උණ කටුවක් ඇනී විෂ ශරීරගතව මියගිය බවත් ඉතිහාසයෙහි සඳහන් වෙයි.

සීතාවක රාජධානිය පිළිබඳ බොහෝ වැදගත් කරුණු කාරණා සඳහන් වන අතර අවිස්සාවේල්ල ප්‍රදේශය පුරාද එකී රාජධානියේ ඉතිහාසය පිළිබඳ බොහෝ සටහන් දැක ගත හැකි වෙයි. මෙරට ඉතිහාසයෙහි මහා සලකුණක් වන සීතාවක රජතුමා පිළිබඳව කියැවෙන තොරතුරු අතර අවිස්සාවේල්ල මානියම්ගම කොබෙයිතුරා ගල සුවිශේෂිත ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැක. ඒ සීතාවක රජතුමා පෘතුගීසීන්ට එරෙහිව ඔත්තු බැලූ ඉතා ආරක්ෂිත ස්ථානය එය වන හෙයිනි. පසුගිය දිනෙක මෙම කන්ද පිළිබඳ තොරතුරු දැනගැනීමට එකී ස්ථානය ගැන දන්නා කිහිප දෙනෙකු සමග එහි යෑමට අපට හැකි විය. මෙම ගමන හුදෙක්ම සංචාරය සඳහා ප්‍රිය කරන පිරිස් සඳහා දැනුවත් කිරීම බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෙම ගමන මූලිකවම සැලසුම් කරනු ලැබුවේ පර්පල් සන් හෝටලයෙහි සභාපති සිසිල් වැන්කියුලන් මහතා විසිනි. මෙම ගමන සඳහා කළමණාකරු රියන්සි වැන්කියුලන් මහතා ඇතුළු කිහිප දෙනෙක් අපට සහාය වූහ. ඓතිහාසික පසුබිමක් සහිත අවිස්සාවේල්ල ප්‍රදේශය දේශීය ජනතාව පවා නොදන්නා තොරතුරු රාශියකින් සමන්විත වෙයි. සීතාවක රාජධානියේ මාලිගය, කණාමැදිරි වල, ඇතුළු බොහෝ ඓතිහාසික ස්ථාන රැසක් මෙහිදී දැකබලා ගැනීමට හැකිවෙයි. එය අධ්‍යාපනය ලබන සිසුන්ට බෙහෙවින් වැදගත් වෙයි. සිසිල් මහතාගේ මූලික අරමුණ වූයේ තම සංචාරක හෝටලයට පැමිණෙන සංචාරකයන්ට විනෝද වී යනවාට වඩා විනෝදයක් ලබමින්ම අපේ ඓතිහාසික වටිනාකමින් යුත් මෙම කොබෙයිතුරා ගල පිළිබඳ දැනුම්වත් බවක් ලබාදීමය. එසේම සංචාර සඳහා කැමති පිරිස් එය සඳහා යොමු කිරීමය. මේ සඳහා අවිස්සාවේල්ල නගරයේ සිට කෑගල්ල මාර්ගයේ ගිය පසු දකුණට හැරී තිඹිරිපොළ ගම මැදින් කිලෝමීටර් දෙකක් පමණ ගමන් කර පාරුවක් මාර්ගයෙන් කැලණි ගඟ තරණය කිරීමෙන් මෙයට පිවිසිය හැකිය. එසේම තිඹිරිපොළ ගම මැදින් සංචාරය කිරීමට පා ගමනින් හෝ කැබ්රියකින් ගමන් කළ යුතු බව ගමන ආරම්භයට පෙරම සිසිල් මහතා අපට පැවසීය. එසේම කොබෙයිතුරා ගල නැග බැසීමට පැය තුනක පමණ කාලයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.

අපි උදේ හතට පමණ ගමන ආරම්භ කරමින් තිඹිරියාපොළ මාර්ගයට පිවිසියෙමු. එහිදී අප හා එක් වූයේ කොබෙයිතුරා ගල හා එම කන්ද පිළිබඳ වසර ගණනාවක දැනුමක් ඇති විපුල මංජුල හා කුසුම්සිරිය. ඔවුන් එම කන්ද බොහෝ වාරයක් තරණය කර තිබීම අපේ ගමනට පහසුවක් විය. අපට පාරුවෙන් මහවැලි ගඟ හරහා එගොඩවීමට ගඟෙහි නිතර එහා මෙහා යන මහතකු උදව් කළ අතර ඉන්පසු අපි කන්ද අසලට පිවිසියෙමු. සියලු දෙනා එකිනෙකාට උදව් කරමින් ගමන ආරම්භ කළහ. අපට ගමන ආරම්භයේදීම දැනගන්නට ලැබුණේ මාර්ග කිහිපයකින්ම කන්ද මුදුනට යාමට හැකි බවත් ටිකක් දුෂ්කර නමුත් දැක බලා ගැනීමට හැකි බොහෝ දේ එම මාර්ගයන්හි ගමන් කිරීමෙන් අත් විඳිය හැකි බවය.

මීටර් සීයක් යන්න පෙර අප ඉදිරියෙන් ඌරෝ රංචුවක් දිව ගියහ. මී මින්නෝ , විශාල කොළ දිවියෝ, කුරුල්ලන්ද මෙහි සිටින අතර කැකුණ ගස්, කැකුණ ඇට, කළුවර, පුස් වැල්, තෙබුගස්, මල්, එම ප්‍රදේශයට ආවේණික හතු වර්ග, අඩි 15ක් පමණ දිග පන්ගස් හා තවත් බොහෝ දේ එහි විය. අප දිගින් දිගටම ගමන් කළේ තරමක අපහසුවකිනි. එහෙත් ගමන හරිම සුන්දරය. මෙම ගමනේදී අපට ම ආවේණික ගස් වැල්, මල්, ඖෂධ පැළෑටි බොහෝමයක් දැක ගැනීමට හැකි විය. කැකුණ, පුස් වැල්, තෙබුගස්, අඩි පහළොවක් පමණ දිග පන්ගස් ඒ අතර විය. කොබෙයිතුරා ගල දැකගැනීමට යන ඔබට දිය ඇලි, ගල්ගුහා, විශාල ගල්තලා දැක ගත හැකිය. දෙස් විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට විනෝද වීමට බොහෝ දේ මෙහි තිබේ. කන්ද මුදුනටම ගියපසු එහි සිට අවිස්සාවේල්ල නගරයම අපට දිස්විය. එහි අපූරු සුන්දරත්වයක් තිබිණ. මෙම ගලෙහි එක් කොටසක් අතීතයේදී කැඩී ගිය බවත් විශාල භූමි ප්‍රමාණයක් ඉන් විනාශයට පත් වූ බවත් පුරාණ ගම්වාසීහු පවසති. මංජුල අපට සඳහන් කළේ ඒ වගේම ගල කැඩී ගිය තැනින් යට කොටසට බැසීමට මාර්ගයක් තිබෙන බවය. ගැමියන් එය හඳුන්වන්නේ යටි හක්ක ලෙස බව විපුල පැවසීය. එය අපූරු ස්ථානයකි.

ඉන් පසු ගල් දිගේ ආපසු ගමන් කළ අපට හමුවූයේ ගල්තලාවක් විශාල ප්‍රදේශයක් පුරා විහිද ගොස් ඇත. එය විවේකයෙන් විනෝදයෙන් කාලය ගෙවන්න සොබාදහමින් නිමැවුණ කදිම තැනකි. එහි කොළ දිවියන් විශාල ප්‍රමාණයක් සිටි බවට සලකුණු අපට හමුවිය. මෙම ස්ථානය රාත්‍රියට කූඩාරමක් ගසා නැවතීමට කදිම තැනක් බව සිසිල් මහතා සඳහන් කර සිටියේය. කොබෙයිතුරා ගල මුදුනට මාර්ග කිහිපයකින් පැමිණිය හැක. ඒ මාර්ගවලත් තවත් බොහෝ දේ දැකගැනීමට හැකි අතර ඒ එන මාර්ගයක තිඹිරිපොළ යනුවෙන් හැඳින්වෙන විශේෂිත ස්ථානයක් හමුවෙන අතර එය එකල රජතුමාගේ බිසෝවරුන්ට දරුවන් ප්‍රසූත කිරීම සඳහා ඉදි කරන ලද ස්ථානයක් ලෙස ඉතිහාසයෙහි සඳහන් වන බව විපුල පැවසීය. එසේම කොබෙයිතුරා ගල ඓතිහාසික පසුබිමක් සහිත වූ සංචාරකයන්ට සංචාරය කරමින් නැවුම් අත්දැකීමක් ලබා ගත හැකි තැනක් වශයෙන් සඳහන් කළ හැකි අතර මෙයට පෙර කන්ද තරණය කළ ඇතැම් පිරිස් තමන් රැගෙන ගිය පොලිතීන්, බිස්කට් පැකට් ඇතුළු අපද්‍රව්‍ය පරිසරයට බැහැර කර තිබෙන අයුරු අපට දැක ගත හැකි විය. එසේම ඉතා රමණීය වූ ගල්තලාව මත තමන්ගේ නම සටහන් කර තිබෙන අයුරුද අපට දැක ගත හැකි විය. මෙවන් කටයුතුවලින් තොරව මේ සොඳුරු කොබෙයිතුරා ගල නරඹා එය තවත් පරම්පරාවකට විඳීමට ඉඩ සලසන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.




