NovelsRath Dothaluරත් දෝතළු - 97

රත් දෝතළු – 97

-

spot_img

රත් දෝතළු – 97

විහඟගේ කෝපය මා කෙරෙහි වඩ වඩාත් එල්ලවී ඇති බව දැන, දැනත් මම එය නොතකමින් අහස් ගැන තොරතුරක් දැන්ගැනීමට උත්සාහ කළෙමි.

“අනේ විහඟ සර් මට කියන්න… අහස් සර්ට මොකද… එයා හොඳින් නේද…?”

ඔහුගේ උරමතින් අල්ලාගෙන මම කළ කෑ ගැසීම රථය තුළ දෝංකාර දුන්නේය.

“පිස්සු හැදිලද… මෙතන බොරුවට කෑගහලා මිනිස්සු ගෙන්නන්නද හදන්නේ මෝඩියේ…?”

මගේ අතගසා දමමින් ඔහු කෑගැසුවේ වටපිට බලමින් ලැජ්ජාවෙන් මෙන් වුවද මට ඒ කිසිත් ගැන වගක් නොවීය. මට වුවමනා වූයේ අහස්ට කුමක් වූවාද කියා දැන ගැනීමටය.

“මේ හැමදේම තමුන් නිසා… දැන් බොරුවට බෙරිහන් දෙනවා…”

“අනේ විහඟ සර්… මට බැන්නට කමක් නැහැ… ඒත්… මට කියන්න… අහස් සර් හොඳින් නේද… එයාට කරදරයක් නැහැ නේද…?”

මම හැඬුවා නොව මට හැඬිණි. නොනවත්වා ගලායන කඳුළු නවතාලන්නට මට වුවමනාවක් නොවීය.

“තමුසේ හිතන්නේ මෙතන ඇඬුවා වැළපුණා කියලා වෙච්ච දේවල් වෙනස් වෙයි කියලාද…?”

රළු හඬින් ඔහු ඇසීය.

“අනේ මොනවද වුණේ කියන්න සර්…”

“මොනවා වෙන්නද… වෙලා ඉවරයි…”

“අනේ… කියන්න විහඟ සර්…”

ඔහු මා දෙස බලා සිටියේ නෙරවාගත් දෑසිනි.

“බිග් බ්‍රෝ අබ්බගාතයෙක් වෙලා ඉවරයි… ඒ තමුසේ නිසා…”

මට ඔහුගේ හඬ ඇසුණේ බොහෝ ඈතකින් මෙනි. දෙසවන් තරයේ වසා ගත් මා දෙදණ අතර හිස ඔබාගෙන ඉකිබිඳිමින් හැඬුවෙමි. දෙවියනේ…! එවන් දෙයක් සිදුවුණේ කෙසේද…? මම ඒ බවක් දැන සිටියා නම් මීට පෙර ඔහු හමුවට යන්නෙමි. වරදකාරී හැඟීමක් මා සිතේ ඉපදිණි. පපුව සිරවන සෙයකි.

“නවත්ත ගන්නවා අරවින්දි ඔය අඳෝනාව… ඇඬුවා කියලා දැන් කිසිදෙයක් වෙනස් වෙන්නෙ නැහැ…”

බොහෝ වේලාවකට පසුව විහඟ කියනු ඇසී මම හිස එසවීමි.

“අනේ විහඟ සර්… එහෙම වුණේ කොහොමද…?”

මා හැඬුම බාලවුවද හදේ රිදුම බලවත් විය.

“හ්ම්ම්…”

විහඟ දිගු හුස්මක් ඇද්දේය.

“එදා තමුන් ටවුමට යනවා කියලා ගිහින් සෑහෙන වෙලාවක් යනකල් නාව නිසා සුදු මම්මායි නයනායි හොඳටම බයවෙලා… බිග් බ්‍රෝ ඒ වෙලෙත් නිදිලු… තමුසෙගේ ෆෝන් එකත් වැඩ නැතිලු… බිග් බ්‍රෝව ඇහැරවලා තියෙන්නේත් බයටමයි… එතකොටලු බිග් බ්‍රෝ තමුසෙගේ ලියුම් දැකලා තියෙන්නේ… එයා කළබලෙන්ම තමුසෙව හොයන්න මුළු බණ්ඩාරවෙල ටවුමම පීරුවාලු… පස්සේ බස් හෝල්ට් එකට ගිහින් කොළඹ බස් එක ගියෙ කීයටද කියලා අහලා ඒක අල්ලගන්න තමා ස්පීඩ් ඩ්‍රයිව් කරලා තියෙන්නේ… එයා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේත් සුදු මම්මාලා අවුරුදු ගාණකට කලින් ඇක්සිඩන්ට් වූණු තැනමයි…”

“අනේ…”

මට කියවිණි. මට හැඬිණි. එය නවතාගන්නට මට නොහැකිය.

“නවත්තගන්නවා අරවින්දි… ඔය කඳුළු වලට කරන්න පුළුවන් දෙයක් නැහැ දැන්…”

“අනේ විහඟ සර් මාව අහස් සර් ළඟට අරන් යන්න…”

බැගෑපත් හඬින් මම කීවේ දෑත් එක්කර ඔහුට වඳිමිනි.

“තමුසෙ එයාව දාලා ආවේ එපා නිසානේ… මොන මඟුලටද ආයේ එයා ගාවට යන්න හදන්නේ…?”

ඔහු ඇසුවේ සිත් පිත් නැතිසේය. එක අතකින් ඔහු නිවැරදිය. වරද මගේය. මේ සියල්ලටම වගකිවයුතු මාය.

“අනේ…වි…හ…ඟ ස…ර්….”

“අනේ පණේ… ඕන නැහැ… දැන් ගෙදර යන්නනේ හැදුවේ… මං බස් එකට ඇරලවන්නම්…”

ඔහු රිය පණගන්වා ගනිමින් කීය.

“අනේ සර්… එහෙම කරන්න එපා… මං වැරදි තමා… ඒත්… මං එහෙම කළේ අහස් සර්ට ආදරේ නිසා… මට හිත හදාගෙන ජීවත් වෙන්න බැරි නිසා…”

ඔහු එය නෑසුණා සේ රිය හරවාගෙන ප්‍රධාන පාරට අවතීර්ණ විය.

“මේ අහනවා අරවින්දි… මං මේ ගමන ආවේත් සිස්ටර් කෝල් කරපු නිසා මිසක් මට තමුසෙගේ අඳෝනා අහන්න වුවමනාවට නෙවේ… අන්න ඒක හොඳට මතක තියාගන්නවා…”

ඔහු රළු හඬින් කියනවිට මම දොතොල් සපාගෙන නිහඬ වීමි.
————————————————————————————————————————————————————-
අහස්ට මෙවන් දෙයක් සිදුවූයේ මා නිසාය. ඔහුට අනතුරක් වූ බව හෝ මම දැනසිටියා නම්…! අඩුම තරමේ මා නිර්මාණිට හෝ සවන්දිය යුතුව තිබුණා නොවේද ? මා කෙතරම් මෝඩ, බොළඳ එකියකද කියා මට වැටහෙන්නේ දැන්ය. මීට පෙර ඔහු පිළිබඳව හෝ සොයා බැලිය යුතුව තිබුණා නොවේද…?
වරදකාරී මෙන්ම පසුතැවිළ්ලක් මා සිතේ ඇතිවිය. විහඟ සමඟ තර්කකොට හෝ අඬා වැළපී පළක් නොවන බව මම වටහාගෙන ඔහුට සිතැඟිසේ කටයුතු කිරීමට ඉඩහැර මම නිහඬවම සිටියෙමි. ඔහු මා සමඟ කෝපයෙන් පසුවීම සාධාරණය. එදා මා එසේ පලා නොආවා නම් මෙවැනි දෙයක් සිදු නොවනු ඇත. එම තීරණය නිසා අද කීදෙනෙකු නම් විඳවනවාද.? විහඟ මට දොස් පවරන්නේ සහෝදර බැදීමෙනි. ඔහු සිතටද වේදනාවක් දැනෙනවා ඇත්තේ වතුරට වඩා ලේ ඝනකම් නිසාය. විහඟ රථය පැදවූයේ වේගයෙනි. මසිතට බියක් නොදැනේ. මියයෑමට මට බියක් නැත. එසේ බියවන්නේ ජීවිතයට ලොබින් මියනොයන බව සිතා ජිවත්වන මිනිසුන්ය. ප්‍රධාන පාරෙන් රිය අතුරුපාරට හරවන විට මම පුදුමයෙන් විහඟ දෙස බැලීමි. ඔහු මීට පෙර කීවේ මා කොටුව බස් නැවතුමට ගොස් හැරළවන බවක් මුත් දැන් රිය හැරවූයේ ඔවුන්ගේ නිවසට යන මාවතටය.

“මං තමුන්ව එක්ක යන්නේ තමුන්ට ඇති ආදරේට නෙවේ… බිග් බ්‍රෝ දැන් ඉන්න විදිය තමුන්ට පෙන්නන්න ඕන නිසා… හැබැයි මතක තියාගන්නවා… එතන ඉඳන් ළතෝනි දෙන්න තියාගත්තොත් මං නරක මිනිහයි කියන්න එපා…”

ඔහු තර්ජනය කළද මා සිතේ ඔහු කෙරෙහි කෝපයක් හට නොනැඟිණි. සියුම් සහනයක් වන් හැඟීමක් මා සිතේ ඇතිවිය. විවර කරතිබූ ගේට්ටුවෙන් රිය ඇතුළට දැමූ විහඟ ගෙමිදුල මැද රිය නවතා රථයෙන් බසිනවිට ඔහු අනුගමනය කර මමද රථයෙන් බැසගත්තේ අලුතින් ගැහෙන්නට වූ සිතිනි. මිදුල දිගේ යමින් ඔහු මැද ගේට්ටුව විවරකරගෙන අනෙක් පසට පිවිසෙනවිට මමද ඔහු පසුපසම පැමිණියෙමි. විනිෆ්‍රීඩා මහත්මියගේ නිවස තුළට යෑමට තරම් දිරියක් මට නොවූ බැවින් මම ඉස්තෝප්පුව මැද නතරවූයෙමි. අතීතය මට යළිත් සිහිවන්නට විය. මා මෙහි පැමිණි පළමු දිනය. අහස් හමු වූ සැටි. ඔහු සමඟ ඇතිකරගත් මතභේදය, විනිෆ්‍රීඩා මහත්මිය හමු වූ හැටි සිතුවමක් මෙන් මා මනස පුරා ඇඳීගියේය. පළමුවරට මෙහි පැමිණියාක් බඳු හැඟීමක් මා සිතේ ඇතිවිය. දොර අසලින් නැවතුණු විහඟ මා දෙස බැලුවේ යළිත් වරක් රළු බැල්මකිනි.

“මොකෝ නැවතුණේ… මල් මාල දාලා පිළිගන්න කවුරුහරි එයි කියලා හිතාගෙනද…?”

යළිත් වතාවක් ඔහු එල්ළකළ වාග් ප්‍රහාරයෙන් මා හද අලුතින් පෑරිණි. බිමට නැඹුරු වූ හිසින් මම ගෙතුළට පා තැබුවෙමි. නිවස පාළුය. කිසිවෙකු පෙනෙන්නට නැත. අහස් හෝ සිහින පුතු සිටින බවට හෝ ලකුණක් හෝ නොමැත. විනිෆ්‍රීඩා මහත්මිය කොහිද? මම ඔවුන් කොහිදැයි විමසන බැල්මකින් විහඟ දෙස බැලීමි.

“සුදු මම්මා කාමරේ ඇති…”

ඒ බැල්ම වැටහුණාක් මෙන් ඔහු කීවේ ගොරහැඬි හඬකිනි. මම ඇගේ කාමරය දෙසට පියවර තැබුවේ බිය මුසු චකිතයකිනි. ඈ මට දොස් පැවරුවද මම සියල්ල ඉවසා දරාසිටිමියි කියා මටම දිවුරාගතිමි. විහඟගේ බර සපත්තු අඩි හඬ මා පසුපස විත් මා පසෙකින් නැවතිණි. විනිෆ්‍රීඩා මහත්මිය සිටියේ නින්දකය.
මම විහඟ දෙස බැලීමි. ඔහු ඉඟියෙන් කීවේ කාමරයට ගොස් ඈ සමඟ කතාකරන ලෙසය. මම යහන අසලට පා තබමින් පහත් හඬකින් ඈ ඇමතුවෙමි.

“මැ…ඩ…ම්…”

අඩ නින්දෙන් මෙන් සිටි ඈ වහා දෑස් විවරකර මා දැක පුදුමයෙනුත් තිගැස්මෙනුත් යුතුව මා දෙස බලා වහා යහනින් නැඟී සිටියාය.

“අරවින්දි…”

ඒ හඬේ වූයේ අදහාගන්නට නොහැකි බවක් පළකල කළබලයකි. යහන අසල බිම දණ ගසාගත් මා ඇගේ සුරත අල්ලාගෙන ඉකිබිඳිමින් හැඬුවෙමි.

“අනේ මැඩම්… මට සමාවෙන්න…”

“දරුවෝ… මේ ඇත්තටම ඔයාද… අනේ දෙවියන්ට ස්තූතිවේවා…! “

ඇගේ හඬේ වූයේ සුපුරුදු ලෙංගතු බව මිස කෝපයක් හෝ තරහවක් නොවේ. විහඟගේ බර අඩි ඈතට ඇදී යන හඬ මා සවනට වැකිණි. ඔහු අප තනිකර යන්නට සිතුවා වන්නට ඇත.

“අනේ මැඩම් මට සමාවෙන්න…”

මම යළි යළිත් කීවේ එයමය. ඈ මගේ සුරතට හසුව තිබූ සිය සුරත මුදවාගෙන මා හිස පිරිමැද්දේ මෘදුවය.

“අඬන්න ඕන නැහැ දරුවෝ…”

“මේ හැමදේම මං නිසයි… මං මේ කිසිදෙයක් දැනන් හිටියේ නැහැ… මං කළේ වැරැද්දක්… මට ඒකට මටම සමාව දෙන්න බැහැ මැඩම්…”

“හරි හරි… ඔයා කළින් දැනගන්න විදියකුත් තිබුණේ නැහැනේ… මොකද දිවැස් තියනවැයි…”

ඈ ඇයටම සුපුරුදු වූ උපහාසයෙන් කීවාය.

“මං කොච්චර සමාව ඉල්ලුවත් මට සැනසීමක් නැහැ මැඩමි…”

“සමාව ගන්න ඔයා වරදක් කළේ නැහැනේ දරුවෝ…”

ඇගේ කාරුණික හඬ නිසා මට යළිත් හැඬිණි. ඈ මට දොස් පැවරුවා නම් සාප කළා නම් මීට වඩා මගේ සිතට එය සහනයක් වන්නට ඉඩ තිබිණි.

“දැන් ඇඬුවා කියලා මොනව කරන්නද ළමයෝ… සිද්ධවෙන දේවල් වෙනස්කරන්න අපිට බැහැ… ඒ හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්ත… ජීවිතය මරණය අපිට ඕන විදියට වෙන දේවල් නෙවේ… අපිට ඒවා වෙනස්කරන්නත් බැහැනේ… ඔයා ඇඬුවා කියලා හරි ගලාගෙන යන කඳුළු වලටවත් අපේ ජීවිත වටා සිද්දවුණු දේවල් වෙනස්කරන්න බැහැ කියලා මං තේරුම්ගත්තේ මීට අවුරුදු විසි ගාණකට කලින්… ඒ නිසා අඬන්නවත්… තමන්ටම දොස් පවරාගන්නවත් එපා… ඒක තේරුමක් නැති දෙයක්… අපි ඒ දේට මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න ඕන… හැබැයි අරවින්දි… මං එක දේකට නම් ඔයාට දොස් කියනවා…”

මම හිස ඔසවා විනීෆ්‍රීඩා මහත්මිය දෙස බැලීමි. එය කුමක් වුවත් කමක් නැත. මම එයට සුදුසුය.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...
- Advertisement -spot_img

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

මේ දවස්වල ලංකාවෙ ජනප්‍රියම Bubble Tea

මේ දවස්වල ලංකාවෙ ජනප්‍රියම Bubble Tea ළඟක ඉඳලා ලංකාවෙ සෑහෙන ජනප්‍රිය වුණ දෙයක් තමයි බබල් ටී. දැන් හැම තැනම බබල්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you