රත් දෝතළු – 96
මේ මොහොතේ මාවතේ වූයේ තරමක කළබලයකි. විහඟ රිය පවදාගෙන විත් හදිසියේම අතුරු පාරකට රිය හරවා එය නවතන විට මම ඔහු දෙස බැලුවේ තරමක චකිතයකිනි. අහස් අසලදී නොදැනෙන බියක් විහඟ අසලදී දැනුණ මුත් මේ මොහොතේ මා සිතේ හටගත්තේ බියක් නොව යළිත් වරක් ඔහුගේ දොස් අසන්නට වේදැයි කියා චකිතයකි.
“මොකද තමුසේ බය වෙලා වගේ මං දිහා බලන් ඉන්නේ.? මං තමුසෙව කන්න නෙවේ වාහනේ නැවැත්තුවේ…?”
නපුරු කරගත් මුහුණින් යුතුව ඔහු කීවේ ගෙරවිළි හඬකිනි. ඔහු එක පිට එක මෙසේ කෝපය මා පිටින් පිටකර හරින්නට තරම් මා කළ වරද කුමක්ද කියා මම යළිත් සිතුවෙමි.
“ඇයි විහඟ සර් මට මෙහෙම කෑගහන්නේ…?”
“කෑ ගහන්නැතුව මං තමුසෙව නළවන්නද? මට තමුසේව මරන්න තරම් කේන්තියක් තියෙන්නේ… ඒ කරපු දේට මං තාම ඉන්නේ තරහින්…”
“සර්ගේ කේන්තිය නිවෙනවා නම් මට ඇතිතරම් බනින්න… ඒත් දෙවියනේ… මං ඉන්න ගින්දර දන්නේ මං විතරයි…”
“ගින්දර…! තමුසෙට මොන ගින්දරක්ද… තමුසේනේ අපිට ගින්දර දීලා පැනලා ගියේ…”
මට හැඬිණි. විහඟ ඉවත බලාගත්තේ කෝපයෙන් බවට සැකයක් නැත. සුළු මොහොතකට එහි පැවතියේ නිහැඬියාවකි. අහස් පිළිබඳව යමක් විමසා දැනගන්නට වුවමනා වුවද විහඟගෙන් යළි යළිත් දොස් ඇසීමට සිදුවේ යැයි බිය නිසා මම නිහඬව සිටියෙමි.
“දැන් ගෙදර ගිහින් මොනවද කරන්න හිතන් ඉන්නේ…?”
තවත් සුළු මොහොතකට පසුව ඔහු විමසුවේ පෙර තරම් රළු පරළු හඬකින් නොවේ. කඳුළු පිසගෙන මම ඔහු දෙස බැලුවේ දිගු හුස්මක් ඇද ළය පුරවා ගනිමිනි.
“අම්ම යන ගාර්මන්ට් එකේම වැඩට යන්න කියලා හිතුවේ…”
එවර ඔහුගේ මුහුණට නැඟුණේ සුපුරුදු උපහාසයමය.
“තමුසේ ගාර්මන්ට් යන්න ඕන කෙල්ලෙක්ද ඕයි… සුදු මම්මා ළඟට වෙලා හිටියා නම් එයා තමුසෙව බලාගන්නවානේ… තමුන්ගේම කෙනෙකුට වගේ නේද එයා තමුන්ට සැළකුවේ… එයා අපිටවත් එච්චර ආදරේ කළාද කියලා මට හිතෙනවා… කොහේද… පවට පින් දෙන්න බැහැ කියනවානේ…”
“ඔය කියන සේරම හරි… ඇත්ත… මං කොහොමද සර් ඒ ගෙදර ඉන්නේ… මට දොස් කියන්න එපා…”
යළිත් මා දෑසින් කඳුළු ගලා යන්නට විය.
“මම ඉන්න තැන විහඟ සර් හිටියානම් සර් මොකද කරන්නේ…? මං ගන්න තීරණේ නෙවේද සර් ගන්නේ…? මං එහෙම ආවේ අහස් සර්ට ආදරේ නිසා… ඒ ආදරේ පපුව ඇතුළේ තියාගෙන මං කොහොමද සර් අහස් සර් පෙනී පෙනීම එයා ඉන්න තැනක ඉන්නේ… මගේ කුසින් ඉපදුණු දරුවා දැක දැක… ඒ දරුවට අයිතියක් නැතිව… උස් මහත් වෙන හැටි බල බලා මං කොහොමද ඒ වහලෙ යට ජීවත්වෙන්නේ…? ඒක ගිවිසුමක් බව ඇත්ත… ඒත් ඒක පපුවට මේ තරම් ගින්දරක් වෙයි කියලා මං හිතුවේ නැහැ… ඒ ගිවිසුමෙන් එහාට බැඳීමක් නැහැ කියලා හිතලා මං එන්න ආවා… මං වැරදිද…?”
මම හැඬුවෙමි. ඔහු මට හඬන්නට ඉඩ හැර නිහඬව සිටියේය.
“මං ජොබ් එකක් හදලා දෙන්නම්… ගාර්මන්ට් යන්න ඕන නැහැ… අපේ ඔෆිස් එකක වැඩකරන්න පුළුවන්… දැන් කම්පැණි එක බලන්නේ මම…”
එවර ඔහු කීවේ වෙනස්ම හඬකිනි. මා මවිත වූයේ එයට නොවේ ආයතනය දැන් ඔහු බලනවා යැයි කීම නිසාය. එසේනම් අහස් දැන් ලංකාවේ නැතිද? විහඟ එසේනම් වගකීමකින් යුතුව කටයුතු කිරීමට පටන්ගෙන ඇත්ද? විනීෆ්‍රීඩා මහත්මිය නිතර ඔහුට දොස් පැවරුවේ කිසිම වගකීමක් නොමැතිව කටයුතු කිරීම ගැනය. එසේනම් දැන් ඈ ඔවුනට කොටස් පවරා දී ඇතිවාවත්ද? අහස් දරුවා සමඟ විදෙස්ගත වූවා වන්නට ඇත. ඔහුගේ අදහස වී තිබුණේ එයයි. මහා හිස්කමක් මා සිතට දැනිණි.



