NovelsRath Dothaluරත් දෝතළු - 67

රත් දෝතළු – 67

-

spot_img

රත් දෝතළු – 67

විහඟ මේ කුමක් කියනවාද කියා මට සිතාගන්නට නොහැකිය. ඔහු කරන්නේ විහිළුවක් නොවන බව ඔහුගේ මුහුණින්ම මට පෙනිණි.

“විහඟ සර්… සර්ම දන්නේ නැහැ සර් මේ මොනවා කතා කරනවද කියලා… ඕවා කාට හරි ඇහුණා නම් එහෙම… ඒ වගේ දෙයක් විහිළුවටවත් හිතන්න එපා…සර්ලා කවුද… අපි කවුද… මම මෙතන කරන්නේ රස්සාව… එතනින් එහාට දෙයක් නැහැ… අහස් සර් දන්නවානම් මෙහෙම දෙයක් ගැන එයා මට හිනාවෙයි…”

විහඟද අසුනින් නැඟිට මා අසල සිටගත්තේය. ඔහුට පිටුපා මම ඉවත හැරුණෙමි.

“තමුන්ට තවම කල් තියනවා…”

තැතිගත් සිතින් මම වහා ඔහු වෙත හැරුණෙමි.

“සර් හිතන දේවල් කවදාවත් වෙන්නේ නැහැ විහඟ සර්… සර්ගේ ඇඳේ නිදාගත්ත තවත් එකියක් වෙන්න මට කොහොමටවත් ඕන නැහැ…”

ඔහු අසලින් මෑත්වන්නට සිතා මම ආපසු හැරෙන විට හේ ක්ෂණකයකින් මගේ බාහුවක් අල්ලාගන්නා විට මම බියෙන් හැරුණෙමි. ඒ දෑස් ගිණි ගන්නා සෙයකි.

“මං තමුන් ගැන කවදාවත් එහෙම හිතුවේ නැහැ… ඒක දැනගන්නවා… මං තමුන් ගැන හිතුවේ බොහෝම පිවිතුරු මලක් ගානට… දුර්ලභ රත් දෝතළු මලක් වගේ…”

දැඩි හඬින් පැවසු ඔහු මා වේගයෙන් තල්ලුකොට දැමුවේය. මා නොවැටී බේරුණේ අසල වූ කුළුණකට දෑත බරකරමිනි. විහඟ කෝපයෙන් ගෙතුළට යන විට මොහොතක් ගල්ගැසී උන් මාද කාමරයට ආවේ බියෙන් ගැහෙන සිතිනි. ඔහු සිටින්නේ උමතුවෙන්ද ? මේ සිදුවන්නේ කුමක්ද කියා මට සිතාගන්නට අපහසුය.

“ලොකු නෝනා… අනේ… ලොකු නෝනා…”

ශීලාගේ හඬ ඇසී මම වහා පිටතට දිව ආවේ තැතිගත් සිතිනි. ඇගේ හඬ බියෙන් පිරී තිබූ අතර විනිෆ්‍රීඩා මහත්මියද නින්දෙන් අවදිවන්නට ඇතැයි කියා මට සිතිණි.

“මොකද ශීලාම්මේ කෑගහන්නේ…? මැඩමුත් ඇහැරෙයි…”

තරමක කෝපයෙන් මම කීවෙමි. ශීලා බියෙන් සිටි අතර විනිෆ්‍රීඩා මහත්මියද සැරයටියද බරදෙමින් පිටතට ආවේ ඇගේ කලබළයට නින්ද කැඩුණු නිසාය.

“මොකද ශීලා බෙරිහන් දෙන්නේ… කවුරු හරි බෙල්ල මිරිකන්න හැදුවද…?”

විනිෆ්‍රීඩා මහත්මියගේ හඬ උපහාසයෙන් පිරී ඇත.

“අනේ ලොකු නෝනා… පුංචි මහත්තයා කකුල කපාගෙන… හොඳටම ලේ යනවා…”

“කකුල කපාගත්ත එකටද මෙච්චර හයියෙන් බෙරිහන් දුන්නේ…? උඹ නිකන් කෑ ගැහුවේ බෙල්ල කපාගත්තා වගේනේ…”

බියක් මා සිතේ ඇති වුවද ඒ බිය පහව ගියේ විනිෆ්‍රීඩා මහත්මිය උපහාසයෙන් කී කතාවටය.

“අනේ ලොකු නෝනා විහිළු නෙවේ…”

ශීලා පහව නොගිය බියෙන් කීවාය.

“හරි හරි… දැන් මොකේටද කකුල කපන් තියෙන්නේ…?”

“කාමරේ වීදුරුවක් බිඳෙන සද්දෙට මං දුවන් ගියා බලන්න…”

“ඉතින්…”

“මං ඇහුවා මොකක්ද බිඳුණේ කියලා… ඒකටත් මට බැන්නා… බිඳුණේ මගේ හිත… ඕපා දූප හොයන්නද ආවේ… මෙන්න මේ ටික අස්කරලා දානවා කියලා… මං හිතන්නේ මේස උඩ තිබ්බ අර වීදුරු මල් පෝච්චිය පොළවේ ගහලා… කොස්ස අරන් එන්න ගිය ඩිංගට තමා ඔය කකුල කපන් තියෙන්නේ… මෙහේ බෙහෙත් මොකුත් නැත්ද ලොකු නෝනා…?”

මා සිතේ මවිතයක් හටගැනිණි. ඔහුගේ සිත බිඳෙන්නට තරම් දෙයක් සිදුවූයේ කෙසේද.? මම දුවගොස් විනිෆ්‍රිඩා මහත්මියගේ ප්‍රථමාධාර පෙට්ටිය ගෙනවිත් ශීලාට දුනිමි.

“අනේ මිස්… මං ඕවා දාන්න දන්නේ නැහැනේ… මිස් ඇවිත් පොඩ්ඩක් බලනවද…?”

මට බැළුණේ විනීෆ්‍රීඩා මහත්මිය දෙසය.

“අනේ ළමයෝ… පොඩ්ඩක් බලන්න… මැහුම් දාන්න වෙයිද දන්නැහැ… මේ ළමයිනුත් තවම පොඩි උන් වගේනේ…”

ඈ නොසතුටෙන් කීවාය.

“මම දුවලා ගිහින් කාමරේ අතුගාලා දාන්නම්… වීදුරු කටු පෑඟුණොතින්…”

ශීලා මට පෙර දිව යමින් කීවාය. මම කාමරයට ඇතුළුවන විට විහඟ ශීලාට දොස් පවරමින් කෑගසමින් සිටියේය.

“මේක අතුගාලා දාන්න කීවාම කොහෙද බං ගාල කඩාගත්තු හරකි වගේ දුවන්නේ…?”

ඔහු මා දැක හඬ මඳක් බාල කළද දිගටම ශීලාට දොස් පවරන්නට විය.

“උඹ රතු කුරුස සංවිධානෙත් කැඳෙව්වද ශීලා… මට වෙඩි වැදිලා නැහැ…”

ඔහු මටත් රවමින් කීවේය. යහනේ ඇතිරිල්ල මා දුටුවේ එවිටය. එය ලෙයින් නැහැවී තිබුණේ වෙඩි වැදුණාටත් වඩා දරුණු ලෙසිනි. යහන මත හිඳගත් මම ඔහුගේ පාදය විෂබීජ නාශකය ගල්වා පිස දමා වෙළුම්පටියකින් වෙළුවද තුවාලය ගැඹුරු වූ නිසාදෝ නොනවත්වා ලේ ගලන්නට විය.

“පුංචි මහත්තයා කරගන්න ඒවා…”

ශීලා නොසතුටෙන් කීවේ වීදුරු කටු එක මුල්ලකට එකතුකරමිනි.

“ලේ නවතින්නේ නැහැ ශීලාම්මේ… මැහුම් දාන්න වෙයි වගේ… හොස්පිටල් එක්ක යන්න වෙයි… පිටගැස්මට ඉන්ජෙක්ෂන් එකක් විඳින්න වෙයි…”

මා කීවේ විහිළුවට නොව සැබෑවටමය.

“නැහැ… නැහැ… ඕන නැහැ… කවුරුවත් මොකටද කරදර වෙන්නේ…?”

විහඟ කීවේ උඩඟු ලෙසය.

“අනේ ඉන්න පුංචි මහත්තයා… මොකද අපි වඩන් යනවද… මං සුමිත්ට මහත්තයාට කියන්නම්… පුංචි මහත්තයාගෙත් පුදුම මහන්‍තත්තකමක් තියෙන්නේ… තනියම හැමදේම කරගන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ…”

මුවට නැඟි සිනහව මම සඟවාගෙන සිටියේ ආයාසයෙනි. ඔහු මීට සුළු මොහොතකට පෙර මට පැවසූ දෙයම ඔහුට අසන්නට සිදුවිය.

“උඹට මම…”

එසේ කී විහඟ කොට්ටයක් ගෙන ශීලාට දමා ගැසුවාය.

“කේන්ති ගිය පලියට බඩු මුට්ටු පොළොවේ ගහන එක මහ ලොකු හපන්කමක් නෙවේ නේද ශීලාම්මේ…?”

මමද ඔහුට ඇනුම්පදයක් එල්ල කළෙමි.

“අනේද කියන්නේ පුංචි මිස්…”

එසේ කී ශීලා වහා පහලට දිව ගියේ කොට්ටය අසුළා යහන මත දමාය. විහඟ මා සමඟ ඇතිකරගත් කෝපය නිසා මල් බඳුන පොළවේ ගැසුවා විය යුතුය.
මා කී කතාව නිසාදෝ ඔහු මා දෙස බැලුවේ නෙරවාගත් දෑසිනි. මම නැඟිට පිටතට ආවේමි.

“මොකද ළමයෝ…?”

විනිෆ්‍රීඩා මහත්මිය මා දැක ඇසුවාය.

“කකුළ කැපිලා මැඩම් හොඳටම… ලේ ගිහින් ගොඩාක්… මැහුම් දාන්න වෙයි… ශීලා ගියා සුමිත් අයියාට කියන්න…”

“අනේ මන්දා මේ ළමයාත් කරගන්න ඒවා… මොකක්ද අර හිත බිඳුණු කතාවක් කියලා තියෙන්නේ…?”

ඈ යළිත් විමසන විට මා තුළ ඇතිවූයේ තිගැස්මකි.

“අනේ මන්දා මැඩම්…?”

ඕනවට එපාවට මම කීවෙමි.

“හිත බිඳෙන්නත් ඉතින් අවංක හිතක් තිබුණොත්නෙ… මේකට මොනවා හරි වෙලා තියනවා මට පේන විදියට…”

ඈ එසේ කියාගත්තේ තමාටම මෙනි. මම වහා හුන් තැනින් මෑත් වූයෙමි. සුමිත් සහ ශීලා විහඟ කැඳවාගෙන පෞද්ගලික රෝහලකට කැටුව ගොස් තුවාළයට මැහුම් දමාගෙන පැමිණියෝය.

“අනේ… ලොකු නෝනා… මැහුම් හත අටක් දැම්මා…”

ශීලා පැමිණ විනීෆ්‍රීඩා මහත්මිය සමඟ පවසනු මට ඇසිණි.
————————————————————————————————————————————————————-
ශීලාට මේ දින කීපයේ කිසිදු විවේකයක් නොවූ තරම්ය. විහඟ නොයෙකුත් දෑ සාදාගෙන එන්නැයි නිතර නිතර ඇයට කරදර කළේය.

“එක්කෝ මිස්… පුංචි මහත්තයාව කුස්සියට ගෙනත් තියන්න ඕන… නැත්නම් කුස්සිය උඩට ගෙනියන්න ඕන… දැන් නම් මගේ කකුල් දෙකත් රිදෙනවා පුංචි මිස් උඩට පහළට නැඟලා බැහැලාම…”

විහඟට බීම වීරුවක් සාදගෙන යෑමට පැමිණි ශීලා කීවේ සැබෑවටම වෙහෙසට පත්වය.

“මොකද ශීලා මේ… සැරෙන් සැරේ… මොන එකක්ද මේ වදේ…”

විනිෆ්‍රීඩා මහත්මියද කෑ ගැසුවේ නොසතුටෙනි.

“අනේ ලොකු නෝනා… මේ පුංචි මහත්තයා එක එක එව්වා ඕන කියනවා සැරෙන් සැරේ… මං මොනවා කරන්නද…? මගේ දණිස් කැක්කුමත් ඇවිත්උඩ පහළ බැහැලා…”

මා සිතේ ඈ කෙරෙහි ඇති වූයේ අනුකම්පාවකි.

“මොන මල විකාරයක්ද මේකට වෙලා තියෙන්නේ… මුගේ කකුල කැඩිලා නැහැනේ… ඉන්නකෝ මං කතා කරන්නම්…”

ඈ එසේ කියා විහඟට ඇමතුමක් ගෙන දොස් පවරනු මා සවන් වැකිණි.

“මොන එකක්ද චූටි පුතා මේ වයසක මනුස්සයට වද දෙන්නේ… තමුන්ගේ කකුල කැඩිලා නැහැනේ… ආයේ එහෙම කරදර කරන්නේ නැහැ… බබා හම්බෙච්ච ගෑනුවත් මෙහෙම නැහැනේ…”

මම සිනහව සඟවාගෙන සිටියේ දොතොල්පට සපාගෙනය.

-හෙටත් හමුවෙමු-

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you