සුරසේනට දෙකක් දුන් පසු – Extension of Tenure
වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර තීරණය කර ඇත. එයට එරෙහිව විපක්ෂයෙන් සහ නීති ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් අතර විරෝධයක් තිබුණද ජනපති අනුර මෙය සිදු කරන බව ස්තීරය. අන් ආණ්ඩුවලට සාපේක්ෂව මේ ආණ්ඩුවේ ඇති විශේෂත්වය නම් මේ ආණ්ඩුව පාරේ විවේචන පයිසයකට ගණන් නොගැනීමය. පාරේ සෙල්ලම වන උද්ඝෝෂණ, විරෝධතා කෙළ පැමිණි ජවිපේ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ඒවා කෙරෙහි දැන් ඇත්තේ උදාසීනත්වයකි. ඒවාට දිය යුතු ප්‍රතිකර්ම හොඳින් දන්නා මොවුන් විශේෂයෙන්ම කරනුයේ ඒ සියල්ල සුන්බුන් විපක්ෂයේ වැඩ කියා නොසලකා හැරීමය. ආණ්ඩු විරෝධතා සියල්ලම එක මිටට ගෙන සමාජ මාධ්‍ය බළකායක් හරහා දියකර හැරීම ආණ්ඩුවේ සරල සූත්‍රය වී ඇත. දැනට එය ඉතාම සාර්ථකය. ප්‍රතිඵලදායකය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධුර කාලය නියමිත පරිදි මේ වසරේ දෙසැම්බර් මාසයෙන් අහවරය. දැනට අගවිනිසුරුගේ විශ්‍රාම කාලය වයස අවුරුදු හැටපහකි. මේ දෙසැම්බරය වන විට වත්මන් අගවිනිසුරු විශ්‍රාම යා යුතුය. එහෙත් ජනපතිගේ වුවමනාව එම විශ්‍රාම කාලය තව දෙවසරකට දීර්ඝ කිරීමය. එයට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමය. විපක්ෂය ප්‍රමුඛ නීති ක්ෂේත්‍රයේ ඇතැම් පාර්ශ්වවල වුවමනාව මෙය කෙසේ හෝ වළකාලීමය. ඒ වෙනුවෙන් ප්‍රබල හඬක් මතුවනු පෙනේ. ජනපති ගන්නට යන මෙම ක්‍රියාවට විරුද්ධ අය නඟන තර්ක දෙස සලකා බැලීම වටී. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ කාලය දෙවසරකින් දිගු කරන්නට යන්නේ ඇයි? මේ දිනවල පරණ ආණ්ඩුවල දූෂිත යැයි කියන දේශපාලකයන්ට හා නිලධාරීන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් වීම, අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් කිරීම මෙන්ම නඩු පැවැරීමද වේගයෙන් සිදු වෙමින් ඇත. ආණ්ඩුව ඉතිරි වසර ටික දුවන්නට උත්සාහ කරනුයේ මේ ඔස්සේය. ජනතාවට වැඩ කිරීමේ මේ ආණ්ඩුව අසමත් වුවද හොරු ඇල්ලීමේ නාටකය හරහා ඉදිරි වසර කිහිපය ජනතාව දිනාගෙන සිටීමට හැකියැයි ආණ්ඩුවේ විනිශ්චය බව පෙනේ. එය සහ අගවිනිසුරුගේ ධුර කාලය දික් කිරීම අතර සබැඳියාව හිතන අයට ඊට විරුද්ධ පාර්ශ්ව දෙන පිළිතුර නම්, “ඉන්න හොරු ඇල්ලීමේ නඩු අසන්නෙ මුල් අවස්ථා අධිකරණවල හෙවත් ත්‍රිපුද්ගල මහාධිකරණ, මහාධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණවලය. මේ නඩුවල තීන්දුවලින් පසුව වරදකරුවන් ඉදිරිපත් වන අභියාචනා විභාග වන්නේ ඉහළ අධිකරණවලදීය. විශේෂයෙන් තෝරාගත් නඩු විභාග කිරීම සඳහා ත්‍රීපුද්ගල මහාධිකරණ පත් කිරීමද ආණ්ඩුව බහුලව සිදු කරයි. මේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සිට අභියාචනා අවස්ථා ඇත්තේ එකක් පමණක් වන අතර ඒ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ආණ්ඩුවේ අරමුණ වන්නේ මුල් අවස්ථා අධිකරණවලදී විත්තිකරුවන් වරදකරුවන් කරමින් ලැබෙන හරි හෝ වැරැදි තීන්දු ඉහළ අධිකරණවලට අභියාචනා ඉදිරිපත් කරමින් වෙනස් කර ගැනීමට ඉඩ නොතැබීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි අභියාචනා ඉවත විසි කළහොත් ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ යා හැකි වෙනත් ඉහළ අධිකරණයක් නැත. මේ කාරණය ඉටුකර ගැනීම සඳහා විශ්වාසවන්ත ඉහළ අධිකරණ විනිසුරුවන් ආණ්ඩුවට අවශ්‍ය වේ. වර්තමාන අගවිනිසුරු ගැන ආණ්ඩුවට ඇත්තේ මේ විශ්වාසයයි. මීළඟට අගවිනිසුරු වීමට සියලු සුදුසුකම් සපුරා තිබෙන විනිසුරු යසන්ත කෝදාගොඩ ගැන ජනාධිපතිවරයාට විශ්වාසයන් නැත. ඒ නිසා තමා අකැමැති කෝදාගොඩ විනිසුරුවරයා අගවිනිසුරු වීම වළක්වා ගන්නට ජනපතිවරයා මේ තීන්දුව ගෙන ඇතැයි මීට එරෙහිව නැඟෙන සමස්ත විපක්ෂ මතය වේ. මෙය විධායකය අධිකරණයට අත පෙවීමක් ලෙස මේ දිනවල ලොකු හඬක් නැඟේ.


ඉහත කරුණු දෙස බලන කළ නිශ්චිත තැනකට ආ හැකිය. එනම් වත්මන් අගවිනිසුරු මේ ආණ්ඩුවේ වුවමනාවන් ඉටු කරන්නේද යන්නය. එය එසේ යැයි කියන්නට ශක්තිමත් තර්කය වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමින් ධුර කාලය තව දික් කරන්නට ගන්නා ජනපතිගේ උත්සාහය හරහාය. නීතිය තුළ සියල්ල තර්කය මත පදනම් වන කල එය එසේ සිතීමේ වරදක්ද නැත. එහෙත් එය එසේම නොවේ යැයිද තර්ක කළ හැකිය. ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් කෙරෙන්නේ 2019දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. ඊට පෙර ඔහු අභියාචනාධිකරණයේ සභාපති වී සිටියේය. හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම ගියාට පසු, ලංකාවේ 49 වැනි අගවිනිසුරු ලෙස සූරසේන මහතා 2025 ජුලි 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කෙරෙන්නේය. ප්‍රීති පද්මන් සූරසේන මහතා මහාධිකරණ විනිසුරුවරයකුව සිටියදී හිටපු විගණකාධිපති ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසීමේ චූදිතයන්ට වසර 10 සිට 70 දක්වා සිර දඬුවම් නියම කළේය. එය එවකට ඉතා නිර්භය තීන්දුවක් ලෙසත් නිර්භය විනිසුරුවකු ලෙසත් ඔහුව මතු කළේය. ඔහුව අභියාචනාධිකරණයට පත් කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන කුමන්ත්‍රණයකින් අගමැති රනිල් ඉවත් කොට මහින්දව අගමැති කළවිට ඊට එරෙහි තීන්දුව දුන්නේද පද්මන් සූරසේනමය. ඒ මොහොතේ මහින්දගේ අගමැති ධුරය තහනම් කරමින් ඔහු ලබා දුන් තීන්දුව ඓතිහාසික එකක් විය. එපමණක් නොවේ මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් යන විට ඔහුට කැබිනට් මණ්ඩලය පැජට් පාරේ නිවෙස තෑග්ගක් ලෙස දීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් දුන්නේද ප්‍රීති පද්මන් විනිසුරු වරයා බව අමතක නොකළ යුතුය. එපමණක් නොව 2018 රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්ද පත් කිරීම වැරැදි බව තීන්දු කළ ප්‍රීති පද්මන් විනිසුරුවරයා 2023 දී රනිල් ජනාධිපති වී පුංචි ඡන්දය පවත්වන්නට මුදල් නැතැයි කී විට පුංචි ඡන්දයට වෙන් කළ මුදල් මුදා හැර ඡන්දය පවත්වන්නැයි මුදල් අමාත්‍යාංශ ලේකම්ට නියෝග කරන තීන්දුවක් දුන්නේය. ඒ අනුව බලන කල ප්‍රීති පද්මන් අගවිනිසුරුවරයා ජනාධිපතිවරු දෙදෙනෙක්ට සහ අගමැති වරයෙක්ට එරෙහි තීන්දු දුන් විනිසුරුවරයෙකි. ඒ අනුව බලන කල බොහෝ හොරුන්ට ඔහුගෙන් ගැලවීමක් නැති බව පැහැදිලිය. ජනපති අනුර ඔහු විශ්වාස කරනුයේ ඒ නිසාම විය හැකිය. ඒ විදිහට කල්පනා කළහොත් එය වත්මන් ආණ්ඩුවට පක්ෂග්‍රාහීකමක් යැයි කිව නොහැකිය.


ඒ තත්ත්වය කුමක් වුවත් අගවිනිසුරු ධුර කාලය ඒ විශ්වාසයේ සිට දෙවසරකට දීර්ඝ කිරීමට ගන්නා උත්සාහය නිසා වඩා අපහසුතාවට මේ වන විට පත්ව ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන්ය. මේ මොහොතේ විපක්ෂය ප්‍රමුඛ බොහෝ පිරිස් ඔහු ආණ්ඩු පක්ෂග්‍රාහිකයකු කර ඇත. එය හෙට දිනයේ ඔහුගේ ධුර කාලය දීර්ඝ කළද බරපතළව සලකා බැලීමට සිදුවන කාරණයක් වේ. වත්මන් ආණ්ඩුවට බෝන් අගේන් චෝදනාව තදින්ම එල්ල වේ. ඒ අල්ල පනල්ලේ අගවිනිසුරුගේ යැයි සැක කළ හැකි දේව මෙහෙයක් පවත්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නට විය. මේ හේතුවෙන් ඔහු කෙරෙහි ගොඩනැඟෙන තර්කවලට ඒ හරහා තවත් අත්තටු ලැබුණු බව කිව යුතුය. ඒ කුමන කාරණා මත වුවද ජනාධිපතිවරයා වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම ස්ථීරය. ඒ වෙනුවෙන් කුමන විරෝධතා මතු වුවද එය ආපස්සට ගැනීමක් නොවන බව පැහැදිලිය. දැනටමත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඉටුවී අවසන්ය. එයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී වනු ඇත. මේ විෂය දන්නා අය කුමන කතා කීවද උසාවිය ඉදිරියේද නිරුත්තර වන සාමාන්‍ය ජනයාට අගවිනිසුරුගේ ධුර කාලය දීර්ඝ කිරීම පොළොවේ ඇති ප්‍රශ්නයක් නොවේ. මේ ආණ්ඩුව හරහා හොරු ඇල්ලීම සාර්ථකව ඉටු වෙතැයි සිතන මහජනයාට එය සිදු වන්නේ මේ අගවිනිසුරු හරහාම නම් ඒ ධුර කාලය කොතරම් දීර්ඝ කළද අසතුටක් ඇති වෙතැයි සිතිය නොහැකිය. අගවිනිසුරු ධුරය ඉලක්ක කොට විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරන විට එය වැඩදායකද අවැඩදායකද හිතන්නට මහ ජනතාවට ඕනෑකමක් ඇතැයි නොපෙනේ. මීට පෙර අගවිනිසුරුවරයකු වූ සරත් නන්ද සිල්වාට එරෙහිව ලොකු විරෝධයක් එල්ල විය. ජනපතිනි චන්ද්‍රිකා පත් කළ සරත් නන්ද සිල්වා ජනපති මහින්ද සමයේ ජනප්‍රිය මාතෘකාවක් විය. එහෙත් අවසානයේ ඔහු යහපාලන සමයේ මහින්දට එරෙහි කථිකයෙක්ද විය. මුලදී ඔහුට විරුද්ධ වූ අය පසුව ඔහු සමඟ හිතවත්හු වූහ. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු වරියට එරෙහි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ක්‍රියා කළ ආකාරය අද දැඩිව විවේචනය කරන අය ඇයව එම ධුරයට පත් කළ සමයේදී මහින්ද රාජපක්ෂට පක්ෂග්‍රාහී යැයි චෝදනා කළා මතකය. බැසිල්ගේ නඩුවක තීන්දුවක් නොවන්නට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එවැනි අලකලංචියක් නොවන්නට ඉඩ තිබුණාය. ඒ නිසාම අද දවසේ වඩා කතා බහට ලක්වන ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරුවරයා ඉතිරි වසර දෙක අනුරට පක්ෂ තීන්දුම දෙතැයි කැට තබනුයේ කෙසේද? ඔහුගේ ඉතිහාසය දෙස බලන කල ගෙන ඇති තීන්දු ඊට කදිම සාක්ෂිය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට ගෙන ඇති ව්‍යවස්ථා සංශෝධනය මේ හදිසියේ වුවමනා වන්නේ ඇයි? ඒ තුළ මේ ගොඩනඟන තර්ක සාධාරණ විය හැකිය. ඒ තුළ විධායකය පැහැදිලිවම අධිකරණයට අත පෙවීමක් දැකිය හැකිය. එසේ නොවේනම් සැබැවින්ම මෙවැනි වුවමනාවක් මතු නොවනු ඇත. අනුර ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ සියලුම සෙල්ලම්වල ආරම්භය මෙන්ම විනාශයද මෙය විය හැකිය. මන්ද මේ අගවිනිසුරු ධුරය දීර්ඝ කොට තබා ගැනීම ස්ථිරවම සිදුවන බැවිනි.




