More
    NovelsMandaramen Ehaමන්දාරමෙන් එහා - පළමු පියවර

    මන්දාරමෙන් එහා – පළමු පියවර

    -

    spot_img

    මන්දාරමෙන් එහා: ගිරාතලාන වෑකන්දේ හේ බා ගිය ගතින්ඇවිදගිය ශාරික,එහි හරි මැදට වන්නට ගොස් දෙපා වැව තුළට වන්නට දිගහැර හිඳගත්තාය. වැව් තාවුල්ල කෙළවර වන පදාසයට ඉහලින් එක එල්ලේ පෙනෙන සැස්සේරුව කන්දත්,ඊට සමාන්තරව දකුණු පසින් ඇති ගල්කිරියාගම කඳු පන්තියත් කළණ මිතුරන් වැනියැයි ඔහුට සිතිණි. ගල්කිරියාගම කඳු පන්තිය හා සමව ඒ උසට පෙනෙන උස්ගල පුරාණ රාජ මහා විහාරයේ කොත් කැරැල්ලට දෑස දී සිටි ඔහු, ක්ෂණයකින් සිය දෑස් ඇද දිය සිඳී ගොස් මඩ කඩිත්තක් වී ඇති වැව් පතුල මත ඉන්ඳවීය. එකෙණෙහිම හීයක වේගයෙන් වැව්දිය මතට ඇදී ආ පිළිහුඩුවෙකු එහි දඟලමින් සිටි තිත්තයකු රැගෙන ආ වේගෙන්ම අහසට නැංගේය.

    “ලොකූ”

    “අහ්… ඇයි චූටි..”

    “ඇයි කියලා තමා මාත් අහන්නෙ ”

    “න්…නැහ්.. මොකුත් නෑ”

    “මොකුත් නැත්තම් හිඳිච්ච වැව පුරවන්න වගේ මේ ඉහ අත බදාගෙන කල්පනා කරන්නෙ..”

    “කල්පනා කරලා මට එච්චර හරියක් කරන්න පුළුවන්නම් මම මේ වැව් බැඳි රාජ්ජෙම පුරවනවා චූටි ”

    “ඔය කිව්වෙ.. හෙට අනිද්දා කොළඹට නැව් නගින්න හීන බලන ඔයාද මේ වැව් පුරවන්න කතා කරන්නෙ ලොකූ”

    බලාපොරොත්තු නොවූ මොහොතක කොපුල් හරහා වැදුණු අතුල් පහරකින් මෙන් ශාරිකගේ හිස බ්‍රමණය වන්නට විය. මොහොතක් තමා අතහැර පිටව යන සිය එකම නැගණිය දෙස බලා සිටි ඔහු, ඇය හා එක්වන්නට සිතා දෑත බැම්මට බරකොට දෙපා ඔසවන්නට වෙර දැරීය. එහෙත් අවසඟව ගිය දෙපා යළිත් ඔහුව බැම්ම මතම ඉන්ඳවීය. වෑකන්දේ ජායාවක්ව මැකීයන නැගණියගේ රුව දෙස බලමින්ම ඔහු බර හුස්මක් හෙලුවාය.

    දඬු වැටකින් මායිම් වූ කුඩා බිම්කඩක ඇති පොල් අතු හෙවිලි කළ කටුමැටි නිවසකි. ගෙමිදුල අඩක් වසා පැතුරුණු ඇහැළ මල් ගස කසාවන්ව මල් දරා සිටී. ගස යට තනා ඇති පිට ලෑලි බංකුවේ හිඳ සිටිනා යුවතියගේ වටකුරු දෑස් ඇත්තේ ඇහැළ මල් පොකුරු වෙත කුරුමානම් අල්ලමින් ය. හිටිවනම පොකුරු අතහැර බිමට ගිළිහෙන මල් වෙත පනින ඈ, යම් හෙයකින් මලක් දෝතින් ගිළිහුනහොත් දිගටි මුහුණ රැළි ගන්වා ඇහැළ ගසට සිය අමනාපය පෙන්වන්නීය. එකතු කළ මල්වලින් ලී බංකුවේ රටා මවන්නී නිතඔ තෙක් වැවුන කොණ්ඩය නටවමින් ළදැරියක සේ උඩ පනින්නීය.

    Mandaramen Ehaa

    “තාරුකා”

    උච්ච ස්වරයෙන් ඇසුණු ඒ හඩට ඇය තිගැස්සුණාය. එහෙත් ඉණේ රැඳි දෑත් ඇතිව තරවටු බැල්මෙන් තමා දෙසම බලා හිඳිනා වයෝවෘද්ධ කාන්තාව දුටුවනම තිගැස්මේ සේයාවන් ඇගේ මුහුණෙන් අතුරුදන් විණි.

    “අපෙ අම්මා….”

    කියා දඟකාරව කාන්තාව වෙතට පැන්න තාරුකා, ඇගේ නිකටින් අල්ලා කිහිපවරක් සොලවා,දෙකම්මුල් ඇගිලි තුඩු වලින් මිරිකාගෙන සිටියාය.

    “අතාරින්න කිව්වෙ කෝළම් නොකර”

    කාන්තාව තාරුකාගේ අත ගසා දැම්මේ අමනාපය මුසු හඬක් නගමිනි.

    “අපූරුයි ළමිස්සියො හැදෙන හැටි”

    කාන්තාව දිගු කතාවක් අරඔන වග හැඟීමෙන්දෝ තාරුකා දෑත් පිටුපසට කර පද්දන්නට වූවාය.

    ” ඔය උඩ පැනිල්ල පැත්තක දාලා නරකද ඉදලක් ඉලපතක් අල්ලලා බැලුවොත්..”

    “අපෙ අම්මට කියන්න.. මම හැමදාම ඔය ඉදලයි,ඉලපතයි අල්ලලා බලනවා.. වැඩේ කියන්නෙ ගෙයක්,මිදුලක් අතුගෑවෙන්නෙම නෑනෙ..”

    “තාරුකෝ.. උඔට මං……….”

    තාරුකාගේ මව උච්ච ස්වරයෙන් කියන්නට ගිය වචන එහෙමම ගිලගන්නා අතර කඩුල්ලේ උණ බම්බු පන්නන හඬ ඇසිණි. තාරුකාගේ මව ආවාට වැඩි වේගයෙන් ගෙට වැදුණු අතර තාරුකාගේ මුහුණ සඳ එළියක් වැටුණා සේ පිංබරව ගියාය.

    “ශාරූ..”

    කියා හඬ නගමින් තාරුකා කඩුල්ල දෙසට දිව ගියාය. කඩුල්ලත්,ඇහැළ ගසත් අතරමැදදී ශාරිකගේ අතක එල්ලුන ඈ, එය දෙපසට පදවමින් ලී බංකුව තෙක් ඇවිද ආවේ ඔහුගේ මුහුණට විටින් විට එබෙමින් ඉඟිමරනා අතරවාරයේය.

    “මොකෝ නැන්දම්මා මාව දැකලා විදිල්ල වගේ ගෙට පැන්නෙ..”

    “බෑණා පොඩ්ඩගෙ මූණ බලන්න ලැජ්ජාවෙ වෙන්ටැ..”

    “නෑ.. මගේ මූණ එච්චරටම අවුල්ද..”

    “නැතුව… පේන්නැද්ද රිලා පැටියෙක් වගේ..”

    තාරුකා එසේ කීවේ ශාරිකගේ මුහුණට එබී,දිව ඇදකොට විරිත්තමිනි. අනතුරුව ඔහුව උරහිසෙන් අල්ලා ලී බංකුව දෙසට තල්ලු කළාය. සමබර නොවූ තැන අමාරුවෙන් දෑත දෙපසට ගසා ශාරික බංකුව මතට පතිත විණි.

    “මේකිගෙ විසේ… තව පොඩ්ඩෙන් මගෙ කොන්දත් කැඩෙනවා..”

    “පිස්සුද මගෙ අයියේ… ඔයාට එහෙම කරනවද… අනික මේ මම..”

    ශාරික අසලින් වාඩිවෙන්නට හරිබරි ගැසුණු තාරුකා,යළි එම තීරණය වෙනස් කොට තම දබරැඟිල්ල ඔහු වෙතට දිගු කොට

    “නැගිටින්නයි කිව්වෙ බංකුවෙන්..”

    කියා විදානයක් ලෙසින් කියූවෙ දබරැඟිල්ල ඉහළ,පහළ සොලවමිනි. කුකුසක් ඇති වූවද එය නොපෙන්වා ශාරික ඇයට අවනත විය.

    “මොකක්ද ඒ ගමන හැදුණු කුලප්පුව..”

    “කුලප්පුව කාගෙද කියලා බලනවද ඇස් ඇරලා බංකුව දිහා..”

    Mandaramen Ehaa Model 02

    තමා පතිත වී ඇත්තේ තාරුකා බංකුව මත රටාවකට අතුළ ඇහැළ මල් මතට බව ශාරික දුටුවේ එවිටයි. මල් සියල්ල තැලී,පොඩිවී ගොස්ය. ශාරිගේ දිව එලියට ඇදුනේ තාරුකා තමන් දෙස බලා හිදිනා අයුරු දැකීමෙනි.

    “ඒ ගමන මොකද තලගොයා වගේ දිව එලියට දාගෙන..”

    “හරි ඉතිං.. අපි මේක අලුතින් හදමු..”

    “මේ තැලිච්ච මල්වලින්ද..”

    “ඔය ගහේ ඕනතරම් තව මල් තියෙන්නෙ..”

    “මට එපා… ඕනෙම නෑ..”

    “තරහද…”

    “ඔව්… ලස්සනට තිබ්බ මල් ටික තැලුවා මදිවට.. තව අලුතෙනුත් මල් නෙලන්න.. පලනවා මං උඔගෙ ඔලුව..”

    තාරුකා එක් අතක් මිට මොළවා ඉහළට ඔසවද්දි,ශාරික දෑස් වසා ගත්තේය. තාරුකා කලේ ඔහුගේ අකීකරු කෙස් මදක් අවුල් කළ එක පමණි.

    මේ ඔහුගේ ඇවැස්ස නෑනාය. බහ තෝරන වියේ සිට එකට හැදී වැඩුන පිරිපුන් යොවුන්වියේදී තමාට හිමියැයි පවුලෙන් අසා දැනගත් තමාගේ අනාගත බිරිඳය. සිය කුඩා පවුලෙන් බාහිරව තමා වටා ඇති එකම ආදරණීය බැම්මය. තමාගේ එකම නැගණිය “ලොකු අයියා” කියා අමතද්දී,ඊට වඩා ළඟ නෑදෑකමක් හදා ගනිමින් “මගෙ අයියා” කියා ළග දැවටෙමින් බාලවියේ සිට තම නැගණිය සමඟ තමන්ව බෙදාගන්නට රණ්ඩු කළ දඟකාරියයි.

    “මොකෝ මේ බකුරං බාගෙන..”

    ශාරික කල්පනා ලොවෙන් මිදුණේ තාරුකාගේ හඬිනි. ඇගේ පැනයට උත්තර බඳිනු වෙනුවට ඔහු කලේ ඒ වටකුරු දෑස් දෙස එක එල්ලේ බලා සිටීම පමණි. කාන්දමක් වෙත පනින ලෝහ කැබැල්ලක් මෙන් තප්පර ගණනකින් තාරුකා උන්නේ ශාරිකගේ මුහුණට මුහුණලාය.

    “මං ඔයාගේ මූණ දිහා මෙහෙම ටිකක් බලං ඉන්නද..”

    “වශී ගුරුකමක්වත් කරන්නද..”

    “නෑ.. ඒක පොඩි මැජික් එකක්..”

    “ආ…. ඇත්තද..”

    “ඔව්..ඔයාගේ ඇස්දෙකෙන් ආදරේ උතුරනව ශාරූ..”

    “හිනත් යනවා… එහෙනම් මං ඇස් වහගන්නද..”

    “ඔහොම හිනාවෙනකොට මට ඒ ආදරේ දැනෙනවා..”

    “ඕකට කියන්නෙ මැජික් කියලා නෙවෙයි තාරූ..”

    “එහෙනම්..”

    “ගෑණුන්ගෙ මායම් කියලා..”

    “පලයං යන්න රිලා පැටියා… මායම් දාලා අල්ලගන්න මෙයා ගැමුණු කුමාරයනෙ..”

    තාරුකා එසේ කීවේ ශාරිකගේ නළලත දබරැඟිල්ල තබා ඔහුව පසුපසට තල්ලු කරමිනි. එහෙත් ශාරික තවමත් ඇගේ නොපිට පෙරලුන දෙතොල් වලින් හඟවන බොරු අමනාපය දෙස බලා සිටින්නේය.

    “වල්මත් වෙලා හරි ගැමුණු කුමාරයෙක් ගෙට ගොඩවුණානම්.. මායමක් දාලා අල්ලගත්තත් පාඩුවක් වෙන එකක් නෑ තාරුකෝ..”

    ඒ හඬ තාරුකාගේ මවගේය. පිටුපසින් ඇසුණු ඒ හඬ තාරුකා සහ ශාරික අඩි කිහිපයක් දෙපසට කරවීය. දර කොටයක් ඔසවාගෙන පැමිණි තාරුකාගේ මව, එය මිදුළ මැද ශබ්ද නඟා අතහැර ඔවුන්ව නොදැක්ක ගානට යළි ගෙට වැදුනාය. ශාරික අභිනයෙන් ඇසුවේ “ඒ මොකද” කියාය. තාරුකාගේ අභින පිළිතුර වූයේ ” මොලේ අමාරුවක්” යන්නයි. දෙදෙනාටම හඬ නංවා සිනහවක් ආවෝය.

    අත්තිවාරමෙන් අඩක් පමණක් ඉහළට එසවුන නිවස වටා යමින් සමන්තී එහි හැඩ බැලුවාය. තැනින් තැන බිම වැටී ඇති ගඩොල් කැට අහුලා බිත්ති කන්ද මත තබන ඈ, කුස්තුර පිරිමදිමින් හුස්මක් ඉහළට ඇද්දාය. යුධ හමුදා සේවයේ නියුතුව සිටි තම ආදරණීය සැමියාගේ පඩි පතින් නිමවුන මේ නිවස, පහුගිය යුධ සමයේ ඔහු අතුරුදන් වීමත් සමඟ ගඩොලක්වත් ඉහළට එසවුණේ නැත. එය තමන්ගේ ජීවිතය මෙන් දිනෙන් දින අලුත් වෙන බලාපොරොත්තු සමඟ දිරාපත්ව යන්නේ නොවේදැයි සිතී ඇගේ දෑසඟ තෙත් කළාය.

    “අම්මා…..”

    කියා දිවවිත් ඇඟේ පැටලුන සිඟිති පුතුට සැඟවී,ඇය චීත්ත පොටින් ඇස් තෙත මාත්තු කළාය. සිය සැමියා අවසන් වරට දකිද්දී පුතුට වසර තුනකි. ඔහු අතුරුදන්ව දැන් වසර දෙකකුත් ඉක්මගොස්‍ අවසන්‍ ය.

    ” මයෙ අම්මා සෙල්ලම් කරලා ඉවරද..”

    “තනියෙන් සෙල්ලම් කරන්න බෑ අම්මා..”

    “මං එන්නම් මයෙ අම්මෙ… අපි දෙන්නා සෙල්ලම් කරමු..”

    “සාලු පුංචි තමා අලුත් සෙල්ලම් දන්නෙ..”

    “පුංචි එයි මයෙ අම්මෙ.. එතකං අපි සෙල්ලම් කරමු..”

    “අප්පච්චී එන්නෙ කවද්ද අම්මෙ..”

    සමන්තීගේ පපුව මතට කිලෝ ගාණක් බර යමක් අතහැරියාක් මෙන් රිදීමක් ඇති විය. ඇස් යට තදින් උණුහුම් වීගෙන එනවා මෙන් දැණිනි. කඳුලු එළියට පනින්නට පෙර ඇය තම සිඟිති පුතුව තරයේ වැළඳගෙන හිස සිපගත්තාය.

    ” අප්පච්චී ඉක්මනට අපිව බලන්න එයි මයෙ අම්මේ..”

    “අප්පච්චි ආවම මං ගොඩා…රියක් සෙල්ලම් කරනවා..”

    සිඟිති පුතු එසේ කීවේ දෑත් තමන්ට හැකි උපරිමයෙන් දෙපසට විහිදාය. පනින්නට තතනමින් සිටි කඳුලු අහුර එකවරම සමන්තීගේ ඇස්දෙකෙන් එළියට පැන්නාය. පුතුගේ මනස තදින් බදා සිටින තම පියාගේ මතකය තමන් කෙසේ ගලවා වීසි කරන්නද.. පුතුට මෙන්ම තමාටද ඇත්තේ මේ බලාපොරොත්තුව බව ඔහුට කෙසේ පහදා දෙන්නද.

    “අම්මා…. අප්පච්චී එනවා…”

    සිය පුතුගේ කෑගැසිල්ල සමන්තිගේ හුස්ම මොහොතකට නතර කළාය. උඩ ඉන්ඳවා ගත් දෑස් ඇතිව ඇය බැලූයේ පාර දෙසය.

    Mandaramen Ehaa Model 01

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක - Shraddha Kapoor කලා පවුලක සාමාජිකාවක් වුණ ශ්‍රද්ධා කපූර්ව ගොඩක් දෙනෙක් හඳුනගන්නෙ ආශිකී 2...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page