Featuresබිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

-

spot_img

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක් ඉලක්කමක් මුළු රටේම ඇස් අරවන්නට සමත් වුණාදැයි සැකයි. එනම්, 2008 වසරේ එමිරේට්ස් හවුල්කාරිත්වය අවසන් කිරීමෙන් පසු මේ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත පාඩුව රුපියල් බිලියන 528ක් බවයි. රටේ සෙසු ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක්ම ලාභ ලබන තත්ත්වයට පැමිණ තිබියදී, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ පමණක් රුපියල් බිලියන 35.6ක පාඩුවක් ලැබූ මෙම ආයතනය මහා භාණ්ඩාගාරයට දරාගත නොහැකි පිළිලයක් බව ජනාධිපතිවරයාම පිළිගත්තේය.

මේ ආයතනය සුදු අලියෙකු බවත්, රටේ ආර්ථිකය උරා බොන ඩ්‍රැකියුලා කෙනෙකු බවත් ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදී, බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම මේ මළකුණ දැන දැනම කරේ තබාගෙන යන්නේ ඇයි ද යන්න විමසා බැලීම වටි.

Sri Lankan airlines

“ජාතික අභිමානය” – රටේ කොඩිය ගැසූ ප්ලේන් එක

ශ්‍රීලංකන් ගුවන් සේවය යනු දේශපාලනඥයන් විසින් අහිංසක ජනතාව රැවටීමට යොදාගන්නා ලාභම අවියයි. රටේ කොඩිය ගැසූ ප්ලේන් එකක් අහසේ යන දෙස බලා බඩගින්නේ සිටින ජනතාවට “අපි හරි අභිමානවත් ජාතියක්” යැයි සිතන්නට පාලකයෝ පුරුදු කර තිබේ. ගුවන් සේවය විකුණා දැමීමට හෝ වසා දැමීමට යෝජනා කළ සැණින් “ජාතික සම්පත් විකුණනවා” යැයි කෑගසන්නේද, බලයට ආ පසු ඒ ණය බර ජනතාව මත පටවන්නේද එකම දේශපාලන පැලැන්තියයි. පසුගිය ආණ්ඩුව ආරම්භ කළ ප්‍රතිව්‍යුහගත කිරීම නතර වූයේත්, වත්මන් ආණ්ඩුවට පවා තීරණයක් නොගෙන “විශේෂඥ කමිටු” පත් කරමින් කල් මැරීමට සිදුව ඇත්තේත් මේ බොරු දේශප්‍රේමී සටන් පාඨයට යටවය.

පැරණි ව්‍යාපාරික ජාල සහ සබඳතාවල බලපෑම

“වෙනසක්” පොරොන්දු වී බලයට ආ වත්මන් රජයට පවා මෙම ආයතනය වටා ඇති සාම්ප්‍රදායික ව්‍යාපාරික ජාලයෙන් මිදීමට නොහැකි වී ඇත. රජය පත් වූ විගස ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම නතර කර, ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සමීපතම ව්‍යාපාරික සගයෙකු වූ සරත් ගනේගොඩ ගුවන් සේවයේ සභාපති ධුරයට පත් කිරීමත් සමඟම ධම්මික පෙරේරාගේ නමද මෙම අර්බුදයට ඇදී ආවේය. එපමණක් නොව, ගුවන් සේවය ගොඩගැනීමට නම් ධම්මික පෙරේරා එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස පත් කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් පවා පාර්ලිමේන්තුවේදී යෝජනා කරන තරමට, මෙම ආයතනයේ පාලනය සුපුරුදු බලවත් ව්‍යාපාරික ධම්මික අතරම දෝලනය විය.

Sri Lankan airlines

මහජන මුදලින් සැප විඳින වරප්‍රසාදිත මාෆියාව

මේ ආයතනය පාඩු ලැබුවද, ඒ ඇතුළත සිටින සුළුතරයක් සුරසැප විඳිති. රටේ සාමාන්‍ය මිනිසෙකුට සිහිනයකින්වත් සිතිය නොහැකි අධික වැටුප්, දීමනා, නොමිලේ ගුවන් ටිකට්පත් සහ තීරුබදු රහිත සුඛෝපභෝගී වරප්‍රසාද භුක්ති විඳින ඉහළ කළමනාකාරීත්වයක් සහ බලවත් වෘත්තීය සමිති මාෆියාවක් මෙහි ක්‍රියාත්මක වේ. ආයතනය විකුණුවහොත් හෝ වසා දැමුවහොත් තමන්ගේ මේ පිනට ලැබෙන සුරලොව අහිමි වන බව දන්නා ඔවුහු, ඕනෑම ප්‍රතිසංස්කරණයක් බිල්ලට දීමට සැදී පැහැදී සිටිති.

දේශපාලන හෙන්චයියන් පුරවන පින්පඩි මධ්‍යස්ථානය

දශක ගණනාවක් පුරා පාලකයන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිත කළේ තමන්ට කඩේ ගිය හෙන්චයියන්ට රැකියා දෙන “පින්පඩි බැංකුවක්” ලෙසය. ගුවන් යානා 23ක් පමණක් ඇති සමාගමකට කිසිසේත්ම නොගැළපෙන තරමේ අතිරික්ත සේවක පිරිසක් අදටත් මහජන මුදලින් නඩත්තු වන්නේ ඒ නිසාය.

Sri Lankan airlines

බොරු සංදර්ශන

ආයතනය බංකොලොත් වී තිබියදීත්, මසකට ඇමරිකානු ඩොලර් 275,000 බැගින් (වසර 8 කට ඩොලර් මිලියන 26.4ක්) බදු කුලී ගෙවන පරිදි වසර 15ක් පැරණි ගුවන් යානයක් ගෙන්වා කොළඹ අහසේ පහතින් පියාසර කරවමින් පාලකයන් සංදර්ශන පවත්වා මහජනතාව ගොනාට ඇන්දවීය. තොරතුරු දැනගැනීමේ පනත හරහා හෙළි වූ මෙවැනි දැවැන්ත බදු කුලී ගෙවමින්, “අපි ගුවන් සේවය ගොඩගන්නවා” යැයි මවා පෙන්වන ව්‍යාජ නාටකවලට රැවටෙන තාක් කල්, මේ මහා මුදල් කාබාසිනියාව නතර කළ නොහැක.

අද වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 126.5ක බැඳුම්කර ණය පවා රජයේ ණය තොගයට පවරා ගනිමින්, එහි සම්පූර්ණ බර රටේ අහිංසක ජනතාවගේ කර මත පටවා අවසන්ය. කිසිදා ප්ලේන් එකක දොරක්වත් නොදුටු, කටුනායක ගුවන් තොටුපළ පැත්ත පළාතකවත් නොගිය ගමේ දුප්පත් ගොවියා සහ කම්කරුවා පවා තමන් මිලදී ගන්නා පාන් ගෙඩියේ සිට සෑම භාණ්ඩයකින්ම ගෙවන බදු මුදලින් මේ බිලියන 528ක පාඩුවට සහ මාසික බදු කුලීවලට වන්දි ගෙවමින් සිටී.

2027 අයවැයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට පැමිණි පසුවවත් මේ ජාතික අපරාධය නතර වේද? නැතහොත් “කමිටු වාර්තා” හමස් පෙට්ටියට දමා තවත් දශකයක් මහජන මුදල් ගිනි තබමින් මේ සුදු අලියා නඩත්තු කරයිද? මේ හරහා ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්ගෙ මල්ලත් තරවන බව ප්‍රසිද්ධ රහසකි.මේ ආණ්ඩුව එහෙම නැතැයි සිතන්නෙ නම් ඒ සිතන්නාට මානසික ව්‍යාධියක් විය යුතුය.

✍️තරංග හර්ෂණ ආතාවුද විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන...

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක්

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක් Hollywood විනෝදාස්වාද ලෝකය කැළඹූ Russell Brand ට එල්ල...

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්? හොර පාරෙන් බිලියන 4.26ක් එළියට! "ශ්‍රී ලංකාවේ භූමිය හෝ මුහුදු තීරය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට...

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න

උපයන හැම රුපියල් 100 න්ම 43 ක් යන්නෙ ණයවලට පොලී ගෙවන්න 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය...
- Advertisement -spot_img

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට යයි

රාජ්‍ය ආයතන 33 ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැරසෙයි ? මුදල් අමාත්‍යාංශය සහ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තක්කඩි වැඩ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දරුණුතම ආර්ථික සහ සාමාජීය අර්බුද හමුවේ, රටේ උසස් අධ්‍යාපන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you