ඥානසාර අමතක වූ කස්සප
ශ්‍රී ලාංකීය දේශපාලන කරළිය යනු ප්‍රතිපත්ති සහ සදාචාරය පාවා දෙමින් බලය වෙනුවෙන් ඕනෑම වෙස්මුහුණක් පළඳින අපූරු රංග පීඨයකි. ඇතැම් සිවුරුධාරීන් තම ආත්මාර්ථකාමී දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගැනීම උදෙසා ආගමික ශික්ෂණය පවා වෙන්දේසියේ දමන ආකාරය දෙස බලන විට දැනෙන්නේ පිළිකුලක් මුසු උපහාසයකි.
මේ දිනවල එම දේශපාලන ප්‍රහසනයේ ප්‍රධානතම විකට භූමිකාවට පණ පොවමින් සිටින්නේ බලංගොඩ කස්සප හිමියන්ය. මීට වසර කිහිපයකට පෙර කස්සප හිමියන් සමාජ අවධානය දිනාගත්තේ සුවිශේෂී “සදාචාර මෙහෙයුමක” නියමුවා ලෙස පෙනී සිටිමිනි. එවකට ජාතිකවාදී දේශපාලන රැල්ලේ පෙරගමන්කරුවා වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට “දෘෂ්ටිවාදාත්මක සිවුරක්” ඇන්දවීමට හෝ උන්වහන්සේව සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට කස්සප හිමියන් ගත් උත්සාහය කාටත් රහසක් නොවීය. එදා ඥානසාර හිමියන්ගේ ආවේගශීලී හැසිරීම් විවේචනය කරමින්, තමන් වහන්සේ “සාමයේ සහ සංහිඳියාවේ එකම ගැලවුම්කරුවා” ලෙස හුවා දක්වමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූ ආකාරය අපට මැනවින් මතකය.

එහෙත් අද වන විට ලාංකීය ජනසමාජයට ඥානසාර යන නාමය සම්පූර්ණයෙන්ම අමතක වී හමාරය. කලක් රටේ දේශපාලන න්‍යාය පත්‍රය තීරණය කළ ඒ දැවැන්ත චරිතය අද සමාජ මතකයෙන් මුළුමනින්ම මැකී ගොසිනි. වඩාත්ම හාස්‍යජනක කරුණ නම්, එදා ඥානසාරව දමනය කරන්නට දතකෑ කස්සප හිමියන්ටද අද වන විට තමන්ගේ පැරණි “ප්‍රතිවාදියා” ගැන කිසිදු මතකයක් නොමැති වීමයි. ඥානසාර හිමියන් දේශපාලන වේදිකාවෙන් නිහඬවම අතුගෑවී යද්දී, තමන්ගේ මාධ්‍ය පැවැත්ම සහ දේශපාලන කොන්ත්‍රාත් තහවුරු කරගැනීම සඳහා කස්සප හිමියන්ට දැන් අලුත් නාටකයක් අවශ්‍යව තිබේ. එහි ආසන්නතම ප්රකාශනය අප දුටුවේ ඓතිහාසික අනුරාධපුර පුදබිමෙනි. එදා අනුන්ට සිවුරු අන්දවන්නට ආ කස්සප හිමියන්, අද වන විට රුවන්වැලි සෑය අසල දන්සල් භූමියක “කූඩාරම්” ගසමින්, අධිකරණ නියෝග පවා තුට්ටුවකට මායිම් නොකර “වෙඩි තබා මැරුවත් යන්නේ නැතැයි” කියමින් සිවුර පොට අතට ගෙන දඟලන අපූරු සත්යග්රහ විගඩමකට පණ පොවමින් සිටී.




