උද්ධමනය චුට්ටක් ඉස්සිලා – ජනපති කියයි
දේශපාලනයේ ඇති ලස්සනම දේ නම්, ඔබ සිටින වේදිකාවේ හැටියට එකම දේ එකිනෙකට වෙනස් මුහුණුවරින් පෙනීමයි. එදා විපක්ෂයේ සිටියදී උද්ධමනය දශම ගණනකින් ඉහළ යන විට එය මුළු රටම අගාධයට ඇද දමන “මහා ආර්ථික විනාශයක්” ලෙස පෙනුණි. එහෙත්, අද බලයේ අසුනට පැමිණි පසු එම උද්ධමනයම හිටිහැටියේම “චුට්ටක් වැඩිවීමක්” බවට පත්ව ඇත.
භූමිකාව මාරුවීමේ දේශපාලන සෙල්ලම
එදා පාර්ලිමේන්තුවේ සහ මාධ්‍ය සාකච්ඡාවල සිංහ නාද පතුරුවමින්, බඩු මිල ශත කිහිපයකින් වැඩිවීම පවා පාලකයන්ගේ අදූරදර්ශී බවට සාක්ෂි ලෙස ඉදිරිපත් කළ අයුරු කාටත් මතකය. පුදුමයකට මෙන්, බලයේ මී පැණි රස විඳින විට ඒ මහා විනාශයන් සියල්ල ඉතා සරල, ස්වභාවික සහ “ගණන් ගත යුතු නැති” දේවල් බවට පත් විමය. ජනපතිවරයාට අනුව එය දැන් හුදෙක් “චුට්ටක් වැඩිවීමක්” පමණි.
කඩමණ්ඩියේ සැබෑ “චුට්ට”
සංඛ්‍යාලේඛන ලේඛනවල සහ දේශපාලන ප්‍රකාශවල මේ වැඩිවීම “චුට්ටක්” වුවද, වෙළඳපොළට යන සාමාන්‍ය මිනිසාට ඒ “චුට්ට” දැනෙන්නේ මුදල් පසුම්බිය හිස් කරන මහා හෙණ ගෙඩියක් ලෙසය. දේශපාලකයන්ට දශම ගණන් සුළු වුවත්, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට පොරබදින ජනතාවට ඒ සෑම දශමයකම බරම මහ බරකි. මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙන කිසිවක් නොව, බලය ලබා ගැනීමට පෙර පෙන්වූ ආර්ථික විශේෂඥ භාවය සහ බලය ලැබුණු පසු පෙන්වන සැහැල්ලු ප්‍රතිපත්තිය අතර ඇති පරතරයයි. විපක්ෂයේදී ලොකු වූ දේවල්, ආණ්ඩු පක්ෂයේදී කුඩා වීම ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා අප දැක ඇති සදාකාලික සත්‍යයකි. අවසාන වශයෙන් කිව යුත්තේ, උද්ධමනය “චුට්ටක්” වැඩි වුවත්, නැතත්, දේශපාලකයන්ගේ ද්විත්ව ප්‍රමිතිය නම් “කන්දක්” තරමට උසස් බවයි.