ත්‍රස්ත විරෝධී පනත සහ මාලිමාවේ දෙබිඩි පිළිවෙත
විපක්ෂයේ සිටින විට ඕනෑම මර්දනකාරී පනතක් ‘කළු පනතක්’ වන අතර, ආණ්ඩු බලය ලැබුණු පසු එය ‘ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය’ නීතියක් බවට පත්වීම ලාංකීය දේශපාලනයේ දෛවෝපගත සත්‍යයකි. වසර ගණනාවක් පුරා මෙරට සිවිල් සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන් අද නිර්මාණය වී ඇත්තේද එවැනිම තත්ත්වයකි. 2024 ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගය (NPP) තම මැතිවරණ ප්‍රකාශනය මඟින් පොරොන්දු වූයේ “PTA ඇතුළු සියලුම මර්දනකාරී පනත් අහෝසි කර ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කරන” බවයි. එහෙත් බලය ලැබී කෙටි කලක් ගතවද්දී, එම පොරොන්දු සහ වර්තමාන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අතර ඇත්තේ දැවැන්ත පරස්පරතාවයකි.
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශයන්හි පරස්පරය
ජවිපෙ අතීතයේදී මෙම පනතට දැඩිව විරුද්ධ වූයේ, ඔවුන්ගේම දේශපාලන ක්‍රියාකාරකම් අතීත පාලකයන් විසින් ‘ත්‍රස්තවාදය’ ලෙස හඳුන්වමින් මෙම පනත යටතේම මර්දනය කර තිබූ බැවිනි. එහෙත් 2024 බලයට පත්වීමෙන් පසුව පාලකයන්ගේ ස්වරය සම්පූර්ණයෙන්ම වෙනස් විය.

2024 දී කැබිනට් ප්‍රකාශක විජිත හේරත්ගේ ප්‍රකාශය
බලයට පත්වී මසක් ගතවීමටත් මත්තෙන්, එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා වූ විජිත හේරත් කැබිනට් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ “මේ මොහොතේ PTA පනත අහෝසි කිරීමක් හෝ සංශෝධනය කිරීමක් සිදු නොකරන” බවයි. වත්මන් පාලනය යටතේ මෙම පනත ‘අවභාවිත’ නොකරන බවට ඔවුන් සහතික වුවද, පනත එලෙසම රඳවා ගැනීමට තීරණය කිරීම මහජනතාව මවිතයට පත් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය
පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ PTA පනත අහෝසි කර නව ත්‍රස්ත විරෝධී පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි. එහෙත් විවේචකයන් පෙන්වා දෙන්නේ මෙය පනත මුළුමනින්ම ඉවත් කිරීමක් නොව, පැරණි මර්දනය අලුත් ලේබලයකින් කරළියට පැමිණීමක් විය හැකි බවයි.
නව රජය යටතේ සිදුවූ PTA අත්අඩංගුවට ගැනීම් සහ දත්ත
රජය මර්දනකාරී පනත් භාවිත නොකරන බව පැවසුවද, මානව හිමිකම් සංවිධාන සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ දත්තවලින් පෙනී යන්නේ වෙනත් චිත්‍රයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය වෙත නව රජය විසින්ම ලබා දුන් දත්තවලට අනුව
2024 වසර පුරාම සිදුව තිබුණේ PTA අත්අඩංගුවට ගැනීම් 38ක් පමණි.
නව පාලන සමය තුළ 2025 ජනවාරි සිට මැයි 23 දක්වා පමණක් පුද්ගලයන් 49 දෙනෙකු PTA යටතේ අත්අඩංගුවට ගෙන ඇත. මෙය පෙර වසරට වඩා කැපී පෙනෙන වර්ධනයකි.
මානව හිමිකම් කොමිසමේ වාර්තාවලට අනුව 2025 වසරේදී PTA රැඳවුම් 46ක් සහ 2026 පළමු කාර්තුව තුළ තවත් රැඳවුම් 12ක් වාර්තා වී ඇත.

කැපී පෙනෙන විශේෂිත සිදුවීම්
2024 දී අරැගම්බේ සිදුවීම
රජය බලයට පත් වූ සැණින් අරැගම්බේ ප්‍රදේශයේ ඉස්රායල් සංචාරකයන්ට තර්ජනයක් ඇති බව පවසමින් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එහිදී ඔවුන්ව දීර්ඝ කාලයක් ප්‍රශ්න කිරීම සඳහා වත්මන් රජයද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කළේය.
2025 මාර්තු මොහොමඩ් රුස්ඩිගේ අත්අඩංගුවට ගැනීම
කොළඹ වෙළෙඳ සංකීර්ණයක ගාසා තීරයේ සිදුවීම් සහ ක්‍රියාකලාපය විවේචනය කරමින් ස්ටිකර් ඇලවූ 22 හැවිරිදි තරුණයෙකු, ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අත්සන් කළ රැඳවුම් නියෝගයක් මත PTA යටතේ අත්අඩංගුවට ගැණුනි. පසුව පොලිසිය මෙය PTA වරදක් නොවන බව පිළිගත්තද, මානව හිමිකම් කොමිසම මෙය නීතිවිරෝධී සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමක් ලෙස නම් කළේය.
2026 ජූනි සංගීතන් ගනේෂ්කුමාර්
24 හැවිරිදි දෙමළ හිප්-හොප් ගායකයෙකුව ඔහුගේ සංගීත වීඩියෝවක් පාදක කරගනිමින් PTA යටතේ රැඳවුම් භාරයට ගන්නා ලදී.

PTA වෙනුවට එන නව පනත ඉඟුරු දී මිරිස් ගැනීමක්ද?
රජය විසින් මෑතකදී ගැසට් කරන ලද “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” දෙස බැලීමේදී පෙනී යන්නේ පැරණි PTA පනතටත් වඩා දරුණු ප්‍රතිපාදන අලුත් නීති හරහා කරළියට එන බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ නීතිඥ සංගමය පෙන්වා දෙන පරිදි මෙම නව කෙටුම්පත්වල ඇති භයානක තත්ත්වයන් කිහිපයකි.
දීර්ඝ රැඳවුම් නියෝග
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් වසරක් දක්වා සැකකරුවන් රඳවා තබා ගැනීමට නියෝග නිකුත් කළ හැක.
අයිතිවාසිකම් උල්ලංඝනය වීම
සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවෙකු පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළ යුතු වුවද, මෙහිදී එය පැය 72ක් දක්වා දීර්ඝ කර ඇත.
ඇඳුම සහ පෙනුම මත වැරදිකරුවන් කිරීම
පුද්ගලයෙකුගේ ඇඳුම් පැළඳුම් විලාසය, අභිනයන් ,භාෂාව හෝ පච්ච මත පදනම්ව ඔවුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස අධිකරණයට තීරණය කිරීමට නව කෙටුම්පතේ 4(2)(c) වගන්තියෙන් ඉඩ සලසා ඇත. මෙයින් අදහස් වන්නේ සාමාන්‍ය විරෝධතාවයක නිරත වන තිදෙනෙකු වුවද ‘සංවිධානාත්මක කල්ලියක්’ ලෙස හංවඩු ගසා ඇප නොමැතිව වසරක් සිරගත කළ හැකි බවයි.




