හුවාගේ නුඩ්ල්ස් අවන්හල – A Bowl of Noodles
කපුටෝ ලයිට් කණුව මතට එක්කාසු විය. ඔවුන්ගේ බර දැරිය නොහැකිව වයර් තරමක් පහතට එල්ලා වැටුණි. ගිම්හානය පුරාම වැසි වැටුණ හෙයින් මේ වයර් කැඩුණොත් මිනිසුන් අනතුරට පත් වෙනු ඇත. මම අධීක්ෂකතුමාට ඒ ගැන පැවසුවත් ඔහු එය කනකට ගත්තේ නැත.
ඒ රාත්‍රියේ මම නේවාසිකාගාරයට ආපසු පැමිණි විට වාතයේ කිසියම් දුඟදක් පැතිරී තිබුණ අතර මම පසුපස උදුනේ තිබූ වතුර උතුරන බඳුන වෙත ගියෙමි. වතුර උතුරමින් තිබූ අතර එහි මූඩිය ඇර බැලූ විට කපුටෙක් එහි තැම්බෙමින් සිටියේය. මෙතන ජීවත්වෙන කවුරු හෝ මැරුණ කපුටෙක්ව කෑමට ගැනීමට සැරසෙයි. මම ඔවුන්ට බැන වැදුණේ මැරුණු කපුටන් අසුබ නිමිත්තක් බව පවසමිනි. ඔහු මා සමග තරහෙන් කපුටාව කසළ බඳුනට විසි කළේය.
අපේ බෝඩිම් කාමරය තට්ටු ඇඳන් පහකින් සහ පිරිසිඳු කරන උදවිය දහ දෙනෙකුගෙන් පිරී තිබුණි. අපි දකුණු චීනයේ වෛද්‍ය විශ්ව විද්‍යාලයක සේවය කළෙමු. අපට නවාතැන් දීමට විශ්ව විද්‍යාලය දායක වූ අතර මම ඒ ගැන කෘතඥ වන්නෙමි. එය එතරම් සුවපහසු නොවූ නමුත් අපව වැස්සෙන් ආරක්ෂා කළේය. රාත්‍රිය පුරාම, පැරණි විදුලි පංකාව වෙහෙස නොබලා කැරකෙමින් රස්නය යම්තම් අඩුකරද්දී වෙහෙස වී සිටි අපි ඉක්මනින්ම නින්දට යන්නෙමු.
“නැගිටිනවා….!”
හදිසි කෑගැසීමකින් මම අවදි වුණෙමි. මගේ ඇසිපිය කොතරම් බරද යත් ඒවා යන්තම්වත් විවර කළ නොහැකි විය. මෑතක සිට මගේ ඇස් අසාමාන්‍ය ලෙස සංවේදීය. ඒවාට ඉක්මනින් කඳුළු පිරුණි. ගොරෝසු හඬකින් අධීක්ෂක තැන නැවතත් කෑ ගැසුවේය.
“නැඟිටින්න! දැන්!” පිරිසිදු කරන උපකරණ ඉක්මන්ට උඩට ගෙනියන්න. විසි හතරවෙනි තට්ටුවෙන් කෙනෙක් බිමට පැනලා.”
ඒ වන විට අපි සම්පූර්ණයෙන්ම අවදියෙන් සිටියෙමු. මම දුරකථනය පරීක්ෂා කළෙමි. පාන්දර තුනයි. මිනිත්තු දහයක් ඇතුළත, අපි මොප්, බාල්දි සහ ජල නල සමඟ එතැනට ළඟා වුණෙමු. ගොඩනැගිල්ල ඉදිරිපිට ආරක්ෂක නිලධාරීන් විසින් වැටක් සකසා තිබුණි. ඔවුන්ගෙන් එක් අයෙකු, වරක් මට සිගරට්ටුවක් ලබා දුන් තරුණයෙකු බව මට පෙණුනේය. පෙනහළු ගැටළු ඇති නොවූයේ නම් මම කිසි විටෙකත් දුම්පානය නතර කරන්නේ නැත. ඔහු මගේ පුතාට වඩා අවුරුදු දෙකක් පමණක් වැඩිමල් වූ නමුත් ඔහු ඒ වන විටත් රැකියාවක නියැලුණි.

ගිලන් රථයක් පැමිණ තිබූ අතර, එයින් සුදු කබා ඇඳගත් මිනිසුන් තිදෙනෙක් පිටතට ආවෝය. වහාම ක්‍රියාත්මක වූ ඔවුන් සිරුර ස්ට්‍රෙචරයක් මතට ගෙන වාහනයට දමාගෙන මොහොතකින් පිට විය. මම උඩ බලමින් සිරුර බිමට වැටුණ අන්දම ගැන සිතුවෙමි. ඒ සිතිවිල්ල මගේ ගත හිරි වැට්ටවීමට සමත් විය. එම ප්‍රදේශය “දූෂණය” වී ඇති ආකාරය පැහැදිලිව දැකගත හැකි විය. මෙය මා දුටු පළමු මරණය නොවන නමුත් මෙතරම් ඛේදජනක මරණයක් මා දැක නොතිබුණි. අපේ ගමේ පිරිමින් සහ ගැහැණුන් පළිබෝධනාශක පානය කර ජීවිතයෙන් සමුගත්තෝය. මගේ සිත ශෝකයෙන් බර වූයේ මේ තරුණයාට හොඳ ජීවිතයක් ගෙවන්න තිබුණා නේදැයි කල්පනා කිරීමෙනි. සියල්ල සැලසුම් කළ පරිදි සිදු වූයේ නම්, උපාධිය ලැබීමෙන් පසු ඔහු වෛද්‍යවරයෙකු වීමට ඉඩ තිබුණි.
අධීක්ෂකවරයා අපට ඉක්මනින් ක්‍රියා කරන ලෙස කෑ ගැසුවේය. එක් අයෙක් කරාමයට හෝස් එකක් සවි කළ අතර තවත් අයෙක් පදික වේදිකාව හරහා ජල ධාරාව යොමු කළේය. අපි බිම පිස දැමුවෙමු. පිරිසිඳු කෙරූ පසු පදික වේදිකාව කිසිවක් නොවූවාසේ පෙර පරිදිම දිස්විය. වැඩි කල් නොගොස් පොලිස් මෝටර් රථයක් දක්නට ලැබුණේ නිලධාරීන් රහස් මෙහෙයුමක් සිදු කරන බවක් අඟවමිනි. සිසුන් කුඩා කණ්ඩායමක් රැස්ව සිටි අතර, ඔවුන්ගේ මැසිවිලි ආරවුලක් දක්වා වර්ධනය විය. ආරක්ෂකයින් ඔවුන්ව පසුපසට තල්ලු කළෝය.
පිරිසිදු කිරීම අවසන් කිරීමෙන් පසු, අපව ප්‍රධාන ගොඩනැගිල්ලේ රැස්වීම් කාමරයකට ගෙන යන ලදී. ශිෂ්‍යයා පැන තිබූ ගොඩනැගිල්ලටම. කාමරයේ මැද දිගු ලී මේසයක් තිබූ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එක් පැත්තක වාඩි වී සිටියේය. අප දහ දෙනාට ඔවුන් ඉදිරිපිට වාඩි වීමට උපදෙස් දෙන ලදී. මම නීති විරෝධී දෙයක් කර නොතිබූ නමුත් ඔවුන්ගේ බැල්ම මා බියට පත් කළේය. උස පොලිස් නිලධාරියා මුලින්ම හඬ අවදි කළේය..
“ඔයා මෙතන කොච්චර කාලයක් වැඩ කළාද?”
අපි එකින් එක පිළිතුරු දුන්නෙමු.
“අවුරුදු තුනක්.”
“අවුරුදු තුනක්.”
“අවුරුදු දෙකක්.”
“මාස හයක්.”
ප්‍රතිචාර කාමරය පුරා දෝංකාර දුන්නේය.
“නීතිය සරලයි.”
උස නිලධාරියා පැවසුවේය.
“කට වහගෙන ඉන්න.”
අනතුරුව දෙවන නිලධාරියා හඬ අවදි කළේය.
“හැමතැනම කටකතා පැතිරෙනවා, අතිනුත් දේවල් එක්කාසු කරලා. ඒකෙන් මෙතන්ට අනවශ්‍ය අවධානයක් ලැබෙනවා.”
වැන්ග් එකවරම පිළිතුරු දුන්නේ මේ වගේ තත්වයන්ට මීට පෙර මුහුණ දී ඇතිවාක් මෙනි.
“සර්ලා අපි ගැන වදවෙන්න එපා. අපි කවදාවත් නීතියට පිටින් වැඩ කරන්නෙ නෑ.”
පිරිසේ අනිත් අයත් ඒ බව තහවුරු කළෝය.
“අපි වචනයක්වත් කියන්නේ නැහැ.”
“කාටවත්ම”
උස නිලධාරියාගේ මුහුණ අඳුරු විය.
“උඹලා දන්නවා එහෙම කළොත් මොකද වෙන්නෙ කියලා .”
කිසිවෙකු කතා නොකළේ ඔහු අදහස් කළේ කුමක්දැයි හරියටම දැන සිටි නිසාවෙනි. අපි බොහෝ විට සිරගෙදර ජීවිතය කෙබඳු විය හැකිද යන්න ගැන විහිළු කළෙමු. විශේෂයෙන් වැන්ග්, ඔහුව කවදා හෝ සිරගෙට යවනු ලැබුවහොත්, අවම වශයෙන් ඔහුට රැඳී සිටීමට ස්ථානයක් ඇති බව පවසමින් තමාවම විහිළුවට ලක් කර ගත්තේය. ඔහු මට ඊර්ෂ්‍යා කළ අතර මම වයසට ගිය විට මගේ පුතා මා ගැන බලා ගනී යැයි පැවසුවේය.

මගේ පුතා දින දෙකකට පෙර මගෙන් විශ්ව විද්‍යාල පරිගණක පාඨමාලාවක් සඳහා ගෙවීමට යුවාන් 2,000 ක් ඉල්ලා සිටියේය. මම ඔහුට බැණ වැදුණෙමි. ඇමතුමෙන් පසු බැංකු ශේෂය පරීක්ෂා කිරීමට ATM යන්ත්‍රයකට ගියෙමි. එයට ලොග් වූ වහාම, තිරයේ අංකයක් දිස් වුණේය. 1,780. මම මගේ පුතාට මුදල් යවා පණිවිඩයක් යැව්වෙමි. එයට පිළිතුරක් නොවීය. මම ඔහුට බැණ වැදීමට කතා කළෙමි.
මම කුඩා ගමක හැදී වැඩුණු අතර පුතාට ලබා දිය හැකි එකම උරුමය ලෙස මා සතුවූයේ කුඩා ඉඩම් කැබැල්ලක් පමණි. අස්වැන්න සම්පූර්ණයෙන්ම කාලගුණය මත රඳා පැවතුන හෙයින් ගොවිතැන දුෂ්කරය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් බොහෝ ගම්වැසියන්ට සෞඛ්‍ය ගැටලු ඇති වූ අතර මටත් එය බලපෑවේය. කොන්දේ වේදනාව, හිසරදය සහ දුර්වල ඇස් පෙනීමෙන් මා පීඩා වින්ද අතර දෙමව්පියන් මගේ පුතාව අවුරුදු දහ අටකට ආසන්න කාලයක් රැකබලා ගත්තෝය. සෑම මසකම, මම මගේ වැටුප නිවසට යැවුවෙමි.
“හේයි, අපි යමු,”
කවුදෝ මගේ පිටට තට්ටු කළෝය. අපි එතැනින් ඉවත් වුණෙමු.
පසුදා උදෑසන එතැන මල් කළඹ කිහිපයක් තබා තිබුණි. ආරක්ෂක නිලධාරියෙක් ඒවා කුණු කූඩයකට ගෙන යමින් සිටියේය. ඒ මොහොතේ, කැමරාවක් අතැති මිනිසෙක් ඡායාරූප ගනිමින් සිටියේය. ආරක්ෂකයා ඔහු දෙසට දිව ගොස්, ඔහුගේ කැමරාව අල්ලා ගැනීමට උත්සාහ කර අතර ඔහු කැමරාව දෙන ලෙස පවසමින් විලාප දුන්නේය. දෙදෙනාම බිම වැටුණත්, ආරක්ෂකයා කැමරාව අතහැර දැමීමට අකමැති විය. ගාලගෝට්ටිය තවත් වැඩිවුණි. මම දුව ගොස් ඔවුන්ව නැවැත්වීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක ප්රයත්නයක් සේ දැණුන නිසා උදව් ඉල්ලා කෑගැසුවෙමි. අන්තිමේ අපි ඔවුන්ව දෙපසට වෙන් කළෙමු. ආරක්ෂකයාගේ නිල ඇඳුමේ බොත්තම් ගැලවී තිබුණේය.
“උඹ මගේ කැමරාව කැඩුවා. මට වන්දියක් ගෙවපං.”
මිනිසා කෑ ගැසුවේය. තවත් නිලධාරීන් පැමිණි අතර ඔවුන් ඔහුට පහර දෙන්නට සූදානමින් මෙන් සිටියෝය. මම මිනිසාගේ අත අල්ලාගෙන,
“අපි යමු”
යැයි පැවසුවෙමි. ඔහු මා පැවසූ දේ වටහා ගත්තාක් මෙන් මා සමග ආවේය. ඔහු පරාජිතව සිටියේය.
“දරුවෝ, කේන්ති ගන්න එපා. උන් ඔයාට ගහන්න ලේස්ති වුණේ.”
“අවජාතකයෝ…! උන් මුරකරුවො විතරයි. ඕක විතරයි දන්නෙත්. මම උන්ට බය නෑ.”
ඔහු කෙළ ගැසුවේය. ඔහුගේ කෝපය මට තේරුණ නමුත් ජීවිතය මට ඉගැන්වූ පාඩම් මත විශ්වාසය තබා ඒ බැව් ඔහුට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමි.
“ඔයා අවංක මනුස්සයෙක්. ඒත් බිත්තරේකට බෑ ගලක හැප්පෙන්න.”
ඔහු නිහඬව සිටියේය.
“මගේ අක්කා අවුරුදු දෙකකට කලින් ඔතනින්ම වැටුණා. කැම්පස් එක අම්මලට වන්දියක් දුන්නා. එහෙමයි ඒක ඉවරයක් වුණේ.”
ඔහුගේ හඬ බිඳී, ඔහු හඬන්නට පටන් ගත්තේය.

“එයා කොහොමද ඒ විදිහට යන්න ගියේ. මදුරුවෙක්වත් මැරුව නැති කෙල්ලෙක් එයා. මම ඒක විශ්වාස කරන්නෑ. මම හිතන්නෙ අර උපාධි අධීක්ෂක කියන මිනිහා එයාට කරදර කළා.”
ඔහු දෑස් පිස දමා ගැඹුරු හුස්මක් ගත්තේය.
“ඊයේ වැටුණු කොල්ලා වෙනුවෙන් විතරක් නෙමේ මම මේක කළේ. මම රිපෝටර් කෙනෙක් වුණේ අක්ක නිසා. ඉස්සරහට මෙහෙම දෙයක් වෙන්න දෙන්න හොඳ නෑ.”
ඔහු මට ස්තූති කිරීමට පෙර මොහොතක් මා අධ්‍යයනය කළේය. ඉන්පසු මම සාක්ෂි දීමට කැමතිදැයි ඇසුවේය. මම දුටුවේ ගිලන් රථය, ස්ට්‍රෙචරයක් රැගෙන යන හෙදියන්ගේ සෙවනැලි සහ විශාල ලේ විලක් පමණක් බව මම පැවසුවෙමි.
“මිනිස්සු ඒක දකිනවට උන් බයයි, පිරිසිදු කිරීම ගැන කතා කරන්න කැමති නම්, නැත්නම් වෙන මොනවා හරි උදව්වක් වෙන්න පුළුවන්…”
ඔහු පැවසීය. හදිසියේම, පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වචන මගේ කන්වල දෝංකාර දුන්නේය.
“කට වහගෙන ඉන්න……!!”
මට කීමට දෙයක් නැති බව තරයේ පැවසුවෙමි. ඔහු කොතරම් බැගෑපත්ව ඉල්ලා සිටියත් මම එකඟ නොවූයෙමි.
“හොඳයි… ඔයා දක්ෂ මිනිහෙක්.”
ඔහු තොල් සපා ගත්තේය. මම ඔහු සමඟ වාද නොකෙරුවෙමි.
නැහැ. මට පුතෙක් සිටියේය. යුක්තිය යනු මා වැන්නන්ට දරාගත නොහැකි වූ සුඛෝපභෝගී දෙයක්. මගේ දෙමව්පියන් මිය ගොස්ය. ‘කට වහගෙන ඉන්න’ මම මටම පවසා ගත්තෙමි. තරුණ වාර්තාකරු නොපෙනී යන තුරු බලා සිටි මා බෝඩිමට පැමිණ නිල ඇඳුම මාරුකර මගේ ඊළඟ රැකියාවට ගියෙමි. එය කුඩා නූඩ්ල්ස් සාප්පුවකි. ගමේ මිනිසෙකු හරහා මට ඒ රැකියාව ලැබුණි. වැටුප එතරම් හොඳ නොවූ මුත් එයද අස්වැසිල්ලකි. ඇවිදින අතරතුර පුතාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.
“ඔයාගෙ පරිගණක පාඨමාලාව කොහොමද?”




