ළදරු වියේ එන්නත් මඟහැර නොගත යුත්තේ ඇයි? – Childhood vaccination
වර්තමානය වනවිට විවිධ ලෙඩ රෝගාදිය ගැන අප කොතෙකුත් අසා ඇති. රෝගවලට ගොදුරුව දුක් විඳිනවාටත් වඩා ලෙඩ රෝග ව්යාප්තවී යන මොහොතක ඒවා ගැන දැනුවත්ව වළක්වා ගැනීම පුරවැසි යුතුකමකි. ඒ සඳහා විවිධ ක්රම අතරට එන්නත්කරණය ලබා තිබීම අත්යවශ්යය. ළදරු වියේ සිටම නිසි කල නිසියාකාරයෙන් එන්නත් ලබා තිබීමේ අවශ්යතාව මතුවනුයේ මෙහිදීය. ඒ කෙසේවෙතත් තවමත් අපේ රටේ එන්නත් මඟ හරින පිරිස් බොහෝය. මෙබඳු මොහොතක එන්නත්කරණයේ වැදගත්කම මෙන්ම එන්නත් වර්ග ගැන තොරතුරු මතු දැක්වේ.
එන්නත්කරණය මගින් අප බලාපොරොත්තු වන්නේ දරුණු ආබාධ සඳහා ප්රතිශක්තිය දරුවා තුළ ඇති කිරීම මගින් එම රෝගාබාධවලින් දරුවා ආරක්ෂා කර ගැනීමය. මෙහිදී එන්නත් යනුවෙන් අප ලබා දෙනුයේ රෝගය ඇති කළ නොහැකි ලෙස අඩපණ කළ හෝ අක්රිය කළ බැක්ටීරියා හෝ වයිරස් වැනි විසබීජවලින් කොටසකි. එන්නත්කරණයෙන් පසු දරුවාගේ ශරීරයේ එම විසබීජවලට එරෙහිව ප්රතිදේහ නිපදවෙන අතරම නැවත එම රෝග වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරයි. රජය මගින් අනුමත කරන ලද ඉතා සාර්ථක ජාතික ප්රතිශක්තීකරණ වැඩපිළිවෙළක් මේ වන විට රටපුරාම රෝහල්වල ව්යාප්තව ඇත. මෙම ප්රතිශක්තීකරණ වැඩපිළිවෙල රෝහල්වල මෙන්ම සායනවලද ක්රියාත්මක වේ. මීට අමතරව රජය මගින් අත්යවශ්ය ලෙස නම් නොකළ තවත් එන්නත් කිහිපයක්ම ඇති අතර ඒවා පෞද්ගලික සායන මෙන්ම රෝහල්වලින්ද ලබා ගත හැකිය. ඒ අනුව දරුවා ඉපදුනු අවස්ථාවේ සිට අවුරුදු 11 සම්පූර්ණ වීම තෙක්ම අත්යවශ්ය එන්නත් කිහිපයක්ම ලදරු කාඩ්පතෙහි සඳහන්ය.

දරුවා ඉපදුණු විටම ලබා දෙන එන්නත
මෙය දරුවාට මුලින්ම ලබා දෙන එන්නත වේ. දරුවා ඉපදී රෝහලින් පිටව යෑමට පෙර දරුවාගේ වම් අතේ ඉහළ කොටසට ලබා දෙන එන්නත BCG නමින් හැඳින්වේ. මෙය ලබාදෙනුයේ ක්ෂය රෝගය හෙවත් TB සෑදීම වළක්වා ගනු පිණිසය. එන්නත ලබාදී සති හයක් පමණ යන විට එන්නත ලබා දුන් ස්ථානයේ සැරව බිබිලක් වැනි තත්වයක් ඇතිවී එය කැළලක් ඉතිරි කර ක්රමයෙන් සුව වී යෑමට පටන් ගනී. එන්නත විද්ද ස්ථානයේ එම කැළල ඇතිවීම මගින් දරුවාට සාර්ථක ප්රතිශක්තියක් ඇතිවීම අරඹා ඇති බව පෙන්නුම් කෙරේ. දරුවාට මාස හයක් වන විට මෙම කැළල පරීක්ෂා කරන අතර කැළල නොමැති අවස්ථාවකදී පමණක් නැවතත් BCG දෙවැනි මාත්රාව කෙරෙහි වෛද්යවරුන්ගේ අවධානය යොමුවේ.
මාස දෙක සම්පූර්ණ වූ විට
මාස දෙක පිරුණු පසු දරුවාට පංච සංයුජ එන්නත පළවෙනි මාත්රාව, මුඛ පෝලියෝ පළවැනි මාත්රාව සහ අජීවී පෝලියෝ එන්නතේ පළමු මාත්රාව ලබාදීම සිදුකෙරේ. පංච සංයුජ එන්නත හෙවත් පෙන්ටා එන්නත රෝගකාරක පහක් වළක්වා ගැනීමට උපකාරී වේ. ඒ අනුව ත්රිත්ව එන්නත මගින් ගලපටලය, කක්කල් කැස්ස සහ පිටගැස්ම වළක්වාලනු ලබයි. ත්රිත්ව එන්නතටම හෙපටයිටිස් බී එන්නත සහ හිබ් එන්නත එකතු කරමින් පෙන්ටා එන්නත නිපදවා ඇත. පෝලියෝ එන්නතේදී ප්රධාන වශයෙන් මුඛය මගින් ඖෂධ බින්දුවක් ලබා දෙන අතර විදින එන්නතක් ලෙසද ලබා දිය හැකි ඖෂධ මාත්රාවක් ඇත. පෝලියෝ විදින එන්නත් මාත්රාව මාස දෙක සහ හතරේදී ලබා දේ. පෝලියෝ වයිරසය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන අතර මුළු ජීවිත කාලයටම බලපාන ආබාධිත තත්වයක් ඇති කළ හැකිය. මෙකී රෝග තත්වය මේ වන විට අප රටින් තුරන්ව ගියද වෙනත් රටවල වාර්තා වීම් ඇති නිසා එන්නත්කරණය විශේෂයෙන් වැදගත් වේ.

මාස හතර සම්පූර්ණ වූ විට
මාස හතර සම්පූර්ණ වූ දරුවකු සඳහා පංච සංයුජ එන්නතේ දෙවැනි මාත්රාවත් මුඛ පෝලියෝ දෙවැනි මාත්රාවත් අජීවී පෝලියෝ එන්නතේ දෙවැනි මාත්රාවත් ලබාදීම සිදු කෙරේ.
මාස හය සම්පූර්ණ වීම
මෙහිදී පංච සංයුජ එන්නතේ තෙවැනි මාත්රාවත් මුඛ පෝලියෝ තෙවැනි මාත්රාවත් ලබා දේ.
මාස 9 සම්පූර්ණ වීමේදී
MMR එන්නත ලබා දේ. මෙමඟින් සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා වැනි රෝග වලක්වා ගැනීම සිදුවේ.
මාස 12 සම්පූර්ණ වූ විට
දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වන විටම ලබා දෙනුයේ JE එන්නතය. එය ජපන් නිදිකර්පථප්රදානය ලෙසද හැඳින්වේ. දරුවන්ගේ මොළය ආසාදනය කරන ජේ .ඊ . නම් වයිරසයෙන් දරුවන්ව මුදා ගැනීම සඳහා මෙම එන්නත උපයෝගී වේ. දරුවාට උණ වලිප්පුව සෑදී ඇත්නම් එතැන් සිට වසරක් ගත වන තුරු මෙම එන්නත ලබා නොදෙන අතර දරුවාට වෙනත් ස්නායු සම්බන්ධ රෝගී තත්වයක් හෝ කල් අල්ලා පවතින වලිප්පු තත්වයක් ඇත්නම් මෙම එන්නත ලබාදීමට ප්රථම වෛද්ය නිර්දේශය අත්යවශ්යමය.

මාස 18 සම්පූර්ණ වූ පසු
එනම් ඔබගේ දරුවාට අවුරුදු එකහමාරක් වූ විට ත්රිත්ව එන්නත සහ මුඛ පෝලියෝ හතරවැනි මාත්රාව ලබා දේ.
අවුරුදු තුන සම්පූර්ණ කළ දරුවා
MMR එන්නතෙහිම දෙවැනි මාත්රාව ලබා දේ.
අවුරුදු පහක් වූ විට
D.T එන්නත සහ මුඛ පෝලියෝ පස්වැනි මාත්රාව ලබාදේ.
අවුරුදු දහය සම්පූර්ණ වීමේදී
මෙම එන්නත ලබා දෙන්නේ ගැහැනු දරුවන් සඳහාය. HPV එන්නතෙන් පළමු මාත්රාව ලබා දේ. මෙම එන්නතේ දෙවැනි මාත්රාව ලබා දෙන්නේ පළමු මාත්රාව ලබාදී මාස හයකට පසුවය. ගැබ් ගෙල ආශ්රිතව ඇතිවන පිළිකා තත්ව වළක්වා ගැනීම මෙම එන්නතෙහි අරමුණය.

අවුරුදු 11 සම්පූර්ණ වීමේදී
වැඩිහිටි පිට ගැස්ම සහ ඩිප්තීරියා එන්නත ලබාදේ.
මේ අතර ජාතික ප්රතිශක්තීකරණ වැඩසටහනට අයත් නොවන එහෙත් දරුවන්ට ලබාදිය හැකි අනුමත එන්නත් වර්ගද ඇත. ඒවා ඇතැම් රෝහල්වල මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල්වලදී භාවිත වේ. එබැවින් එකී එන්නත් ගැන දැනුවත් වීම අවශ්ය බැවින් එන්නත් සහ ඒවායින් වළක්වන රෝග ගැන දැනුවත් වෙමු.
රොටා වයිරසයට එරෙහි එන්නත
මෙය පාචන තත්වය ඇතිකරන වයිරසයක් වන අතර පාචනය නිසා දරුවන් බොහෝ දෙනෙක් විජලන සංකූලතා පෙන්නුම් කරයි. මෙම එන්නත මාත්රා දෙකක් ලෙස මුඛය මගින් ලබා දෙන අතර මාස දෙක, මාස හතර, මාස 06 වයස් කාණ්ඩවල පසු වන ළමයින්හට අනෙක් එන්නත් සමගද මෙය ලබා දිය හැක.
Hexa එන්නත
මෙය රජය මගින් ලබා දෙන පෙන්ටා එන්නතේ වැඩි දියුණු කළ ප්රභේදයයි. මෙමගින් ගලපටලය, කක්කල් කැස්ස, පිට ගැස්ම, හෙපටයිටිස් බී, හිබ් හෙවත් හිමොෆිලස් බැක්ටීරියාව මගින් ඇතිවන රෝග, පෝලියෝ විදින එන්නත ආවරණය කෙරේ.

නියුමොකොකල් එන්නත
Pneumococcal බැක්ටීරියාව මගින් ඇති කරන නියුමෝනියාව මොලේ උණ, ඇතුළු දරුණු රෝගවලට එරෙහිව ප්රතිශක්තිය ඇති කිරීම මෙම එන්නතින් සිදුවේ. මෙම රෝග එතරම් බහුලව වාර්තා නොවන නිසා මෙම එන්නත ජාතික ප්රතිශක්තීකරණ වැඩපිළිවෙලට ඇතුළත් කර නැත.
පැපොළ සඳහා ලබාදෙන එන්නත
වයිරස තත්වයක් නිසා ඇතිවන පැපොල රෝගයට ප්රතිශක්තිය අඩු දරුවන් හැර අනෙක් අයවලුන්ට ඉතා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇත. මෙම එන්නත මගින් රෝගය වළක්වා ගැනීමට හැකියාව තිබියදීත් එසේ නොකර පීඩා විඳිනවාට වඩා දරුවාට එන්නත ලබාදීම වැදගත්ය. දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වූ පසු මාත්රා දෙකකින් මෙම එන්නත ලබාදීම සිදුවේ.
කහ උණ එන්නත
Yellow fever තත්වයෙන් ආරක්ෂා වීමට මෙකී එන්නත උපකාරී වේ. එසේම අප්රිකාව වැනි සමහර රටවලට යෑමේදී පවා එන්නත ලබා ගෙන ඇතිදැයි පරීකෂා කර බැලේ.
ඉන්ෆ්ලුවෙන්සා එන්නත
ඉන්ෆ්ලුවෙන්සා A සහ B යන තත්ව දෙකටම එන්නත්කරණය ලබා ගැනීම සුදුසුය. අපේ රටේ කාලෙන් කාලෙට ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වේ.

එන්නත්කරණයෙන් පසු ඇතිවන අතුරු ආබාධ
දරුවාට ලබා දෙන එන්නත් උපරිම ගුණාත්මක භාවයකින් යුතු ඒවාය. සාමාන්යයෙන් එන්නත්කරණයෙන් පසු සුළු අතුරු ආබාධ ඇතිවීම අසාමාන්ය නොවේ. එන්නත් කළ ස්ථානයේ රතු වීම, ඉදිමීම, සම යට ගැටිත්තක් මතුවීම, මද උණ ගතිය, සමේ පලු මතුවීම වැනි සුළු අතුරු ආබාධ සඳහා විශේෂ ප්රතිකාර අවශ්ය නොවන අතර ඉතාම කලාතුරකින් රෝහල් ගත කිරීමට අවශ්ය වන තරමේ අතුරු ආබාධ ද ඇති විය හැකිය. එනම් එන්නත් කළ පසුව ඇති වන උණ වලිප්පුව හෝ තදබල අසාත්මිකතාවක්, හුස්ම ගැනීමේ අපහසුතාවක්, ඇඟ පුරාම පලු මතුවීම වැනි දේවල්ය. එන්නතකින් පසු අතුරු ආබාධයක් ඇති වුවහොත් වහාම වෛද්යවරයකු වෙත යොමු වන්න.
ඔබේ දරුවාට එන්නත් ලබාදීම ප්රමාද කළ යුතු අවස්ථා
දරුවා උණ හෝ වෙනත් රෝගයකින් පෙළෙනා විට, දරුවා රෝගය නිසා අපහසුතාවකින් සිටින විට එන්නත්කරණය මගින් දරුවාගේ අපහසුතා තවත් වැඩිවීමට පුළුවන. එසේම අසාත්මිකතා වුවද පැහැදිලිව හඳුනා ගැනීම පහසු නොවිය හැකිය. දරුවාට ප්රතිශක්තීකරණය අඩුකරන ඖෂධ ලබා දෙන විට වුවද ප්රතිශක්තීකරණය ලබාදීම ප්රමාද කෙරේ.
එන්නත ලබාදීම ප්රමාද වූ විට
සාමාන්යයෙන් බොහෝ අවස්ථාවලදී මඟ හැරී ඇති එන්නත් නැවත ලබාදීම කළ හැකිය. එහෙත් පළමුව වෛද්යවරයා හමුවී දරුවාට එම එන්නත ලබා ගැනීමට මේ වන විට සෞඛ්යමය තත්වය හොඳ බවට නිර්දේශයක් ලබා ගැනීම අවශ්ය කෙරෙයි. ඉන්පසු වෛද්ය උපදෙස් මත නිර්දේශ කරන කාලවලදී මගහැරුණු එන්නත් නිසි පරිදි ලබාදීමට පුළුවන.
කතාබහ
ධාරා අබේනායක




