NovelsShort Storiesගොළුවු අයිස් තට්ටුව

ගොළුවු අයිස් තට්ටුව

-

spot_img

ගොළුවු අයිස් තට්ටුව – Storming into the Good Night

බීජිං නගරය පුරා වැසි ඇද හැලෙමින් තිබුණි. කුණාටුව හේතුවෙන් පදික වේදිකාවේ ගමන් කළ මගීන් තෙතබරියම් විය. ලින්ග් ඇඳ සිටි කබාය හරහා සීතල ගතට කාවැදී ඇයව වෙව්ලන්නට විය. කුඩය අල්ලා ගන්නට උත්සාහ කරමින් පාර අයිනේ හිටගෙන උන් ඇය දැනටමත් තෙමී තිබුණි. මගීන්ගෙන් පිරීගත් කුලී වාහන ඇය පසුකොට වේගයෙන් ඉගිළ ගියේය. වැස්සත් රථවාහන තදබදයත් නිසා හවස හය වෙනවිට නිවසට යෑම සිහිනයක්ම පමණි. කාර්යාල රැස්වීමටත් නොසිටි ලින්ග් නිවසට නොයාම රෝහලට යෑමට බලාපොරොත්තුවෙන් සිටියාය.

මීට පැය භාගයකට පෙර රෝහලෙන් ඇමතුමක් ලැබුණ අතර ඉන් කියැවුනේ ඇගේ මව මෝටර් රියක හැපී දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ බවයි. ලින්ග්ට දැණුනේ කිව නොහැකි තරමේ කණගාටුවකි. එදින උදෑසන ඈ මව සමග සිය රැකියාව ගැනත් විවාහය ගැනත් පවසමින් රණ්ඩු කළාය. දැන් ඇයට වරදකාරී හැඟීමක් දැණුනි. අම්මා තමන්ව උස් මහත් කලේ තනිවමමය. දියණියට හොඳ විවාහයක් කරදීම ඇගේ සිහිනය වූ නමුත් ප්‍රේම සම්න්ධයක් හෝ විවාහයක් ගැන ලින්ග් තුල උනන්දුවක් නොවුණි. විශ්ව විද්‍යාලයේදී පෙම් සබඳතා තිබුණද පිරිමි යනු තමාට නොවැටහෙන ජීවීන් පිරිසක් බව ඈ සිතුවාය. එක් අයෙක් ඇය දරුවන් බලා ගැනීමට සහ ගෙදර දොර වැඩපළවලට දක්ෂදැයි ඇසූ අතර තවත් අයෙක් ඔහුගේ බැංකු ශේෂය පෙන්වමින් ඔහුගේ බිරිඳ වීමට කැමතිදැයි ඇසුවේය. බිල්පතක දෝෂයක් පෙන්වා දුන් මිනිසෙක්ද ඇගේ පෙම්වතෙක්ව සිටියේය. ලින්ග්ට තම මව ගැන දැනුනේ දැඩි කණගාටුවකි.

පැයකට ආසන්න කාලයකට පසුව ඇය කෙසේ හෝ රෝහලට ළඟා විය. දැඩි සත්කාර ඒකකයේ කුඩා කවුළුව හරහා ලින්ග් සිය මව දෙස බලා සිටියාය. ඇයට ශ්වසන උපකරණ පළඳවා තිබුණි. රෝහලම දැඩි නිහඬතාවයක ගිලී ගියාක් මෙනි. මද වෙලාවකට පසු, කළු පැහැති ටෝට් බෑගයක් රැගත් කාන්තාවක් ලින්ග් හමුවට පැමිණ තමන් මවගේ රක්ෂණ නියෝජිතවරිය බව පවසමින් ලියුම් කවරයක් දුන්නාය. ඒ තුළ ලිපියක්, කහ පැහැති පුවත්පත් කැබැල්ලක් සහ ඡායාරූපයක් තිබුණ අතර ඒවා පිරික්සා බැලූ ලින්ග් අසල ඇති බංකුව මත ඉඳ ගත්තේ නොදැනුවත්වමය.

Storming into the Good Night

ලින්ග්ට වාට්ටුවට ඇතුළු වීමට අවසර නොලැබුණු අතර, වෛද්‍යවරයා පැවසුවේ ඉවසිලිවන්තව බලා සිටින්න කියා පමණි. ඇයට රැකියා ස්ථානය සිහිපත් විය. උසස්වීමක් ලැබුණ හැටි, සගයින් සුබ පැතූ හැටි. නමුත් ලින්ග් හිටියේ කතාබහින් තොරවය. “කැත ඌරා” ඇය ඇගේ ප්‍රධානියාට හිත යටින් ශාප කළාය. ඇය ඔහුට ලියකියවිලි ලබා දෙන විට ඔහුගේ තෙල් සහිත අත ඇගේ පියයුරු මත තිබුණි. ඔහු සමාව අයැද සිටියේ නැත. ඒ වෙනුවට, ඔහු සිනාසෙමින් මෙය ඇගේ රැකියාවේ කොටසක් බවට තර්ජනය කළේය. ඇයට උසස්වීමක් අවශ්‍ය නම්, ඔහුගේ නීති රීති පිළිපැදීමට තරම් බුද්ධිමත් විය යුතු බව ඔහු අනතුරු ඇඟවීය. ඔහුගේ තර්ජන නොසළකා හරිමින්, ලින්ග් දින කිහිපයක් නිවාඩු ඉල්ලා සිටියාය. ගුවන් යානයකට නැගුණ ඈ චෙන්ග්ඩු වෙත ගිය අතර එහිදී මීදුම හේතුවෙන් ගුවන් තොටුපළ වසා දැමිණි. එතැන් සිට ඈ බස් රියකින් ඇගේ ගමනාන්තය වූ හොංසි නම් කුඩා නගරය බලා ගමන් කළාය.

ඇය බසයට ගොඩවන විටම මගීන් කිහිප දෙනෙක්ම ඇය දෙස බලා සිටියහ. ඇය අමුත්තෙකු බව ඔවුන්ට වැටහුණි. ඔවුන්ගේ විමසුම් බැල්ම මඟහැර, ලින්ග් කෙළින්ම පිටුපස අසුන වෙත ගොස් ජනේලය සමීපයේ ඉඳ ගත්තාය. කුඩා බස් රථය කඳු තරණය කරමින්, වංගු හරහා ඇදී, උමං මාර්ග හරහා ඝෝෂාකාරී ලෙස ගමන් කර, පාලම්ද පසු කරමින් නැවතුම කරා ළඟා විය. බස් නැවතුම්පොළෙන් පිටතට පැමිණි ඇය, දූවිලි පිරුණු වීදියකට පිවිසුණාය. රෑ බෝවී තිබූ හෙයින් අවන්හල්වල සෙනග දක්නට ලැබුණේ අඩුවෙනි. හොංසි යනු අතීතයේ ගිනිකූරු නිපදවන කර්මාන්ත ශාලා බහුල සමෘද්ධිමත් කුඩා නගරයකි. නමුත් දැන් ඒ සශ්‍රීකභාවය කොහේදෝ ඈතකට පලා ගොස් තිබුණි. ඇය රැය ගෙවා දැමීමට කුඩා තැනක් සෙව්වාය.

නවාතැනට පැමිණීමෙන් අනතුරුව ඈ පහළ මාලයට ගොස් වීදියේ සැරිසැරුවාය. නගර මධ්‍යයයේ මැදිවියේ කාන්තාවන් පිරිසක් නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියෝය. ඉන් එක කාන්තාවන් හදිසියේම ලින්ග්ව දුටු අතර ඒ වහාම අසල සිටි කාන්තාවට කුමක්දෝ මුමුණනු පෙනිණි. ක්ෂණයකින්, ඔවුන්ගේ මුහුණු බියෙන් සුදුමැලි වී, ඔවුන් වහ වහා එතැනින් ඉවත්ව ගියෝය. ලින්ග් අන්දමන්ද වූ අතර ඇගේ කුතුහලය වැඩි වුණේය. ඇය නැවතත් දුරකථනයේ සිතියම දෙස බැලුවාය. මිරර් විලට මිනිත්තු හතළිහක්. ජනවාරි මාසයේ නගරය අමුත්තන්ගෙන් තොර විය. ඇයට සීතලක් දැණුනි. තැපැල් කාර්යාලය අසල ටික දෙනෙක් රැඳී සිටියහ. නතර නොවූ ඈ ඉදිරියටම ගමන් කළාය. විශාල සංඥා කණුවක මිරර් විලට යන මාර්ගය සටහන් කර තිබුණි. එළවළු කඩය අසල කොළ පැහැ ළූණු ගොඩවල් මධ්‍යයේ මහළු කාන්තාවක් ඉඳගෙන සිටියාය. ඇය හිස ඔසවා ලින්ග් දෙස බැලූ අතර ඇගේ ඇහි බැම රැලි වී, දෙනෙත් විශාල වී කට බාගෙට ඇරිණි. ඇයව පෙනුනේ පිළිමයක් මෙනි. ලින්ග්ට බියක් දැණුනි. නගරයේ සිටි ගැහැණු කණ්ඩායමත්, මේ මැහැල්ලත් ඇය දැක තිගැස්සෙන්නට හේතුව මොකක්ද? ලින්ග් අමාරුවෙන් මැහැල්ල හා සිනාසුණා ය.

Storming into the Good Night

මාර්ගය ඉහළට බෑවුම්ව තිබුණි. එහි මුදුනේ මිරර් විල පිහිටා තිබුණි. ලින්ග් හති දමමින් ඉදිරියට පිය මැන්නාය. තමන් අවුරුද්දකට වැඩි කාලයක් මෙතරම් දුර ඇවිද නැත. මාර්ගය දිගේ, පුවරුවක “ලිස්සන සුළුයි ප්‍රවේශම් වන්න” යැයි සටහන් කර තිබුණි. අවසානයේ, ලින්ග් කඳු මුදුනට ළඟා වූ අතර ඉදිරියේ වූයේ මිරර් විලයි. එය අඳුරු පැහැතිව කන්ද සමීපයේ ඇසක් ලෙස විහිදී තිබුණේ සදාකාලික බවක් හඟවමිනි. ලින්ග් අයිස් මතට පය තැබීමට එඩිතර වූයේ නැත, ඇය විල වටා ගමන් කළාය. වටයක් සම්පූර්ණ කිරීමට ඇයට මිනිත්තු දහයක් ගත විය. පැරණි පුවත්පත් කැබැල්ල එළියට ගත් ඇය “කාන්තාවගේ සිරුරක් මිරර් විලෙන් හමු විය” යන මාතෘකාව කියෙව්වාය. මෙම සිදුවීම සිදුවී ඇත්තේ 1996 ජනවාරි මාසයේදීය. එහිදී මළ සිරුර විල තුළ අයිස් තට්ටුව යට තිබී සොයා ගන්නා ලදී. ලිපියෙන් හෙළි වූයේ බිය උපදවන තොරතුරුය. කම්කරුවන් අයිස් කඩා ගැහැණියගේ දේහය සොයා ගත්තෝය. හදිසියේම සුළඟේ වේගය වැඩි විය. සීතල ඇගේ ඇටකටුවලටම දැණුනේය. එක්වරම අවට කළුවර වෙන්නට ගත්තේය. ලින්ග්ට බියක් දැණුනි. ආපසු හැරුණ ඇය අඩිය ඉක්මන් කර නගරයට පිවිසියාය.

වෙලාව සවස පහ පමණ විය. මිනිසුන් රැකියා නිමවී නිවස බලා යන වෙලාව. ඇය තැපැල් කාර්යාලය අසල සිටගෙන සිටියාය. පැති දොරෙන්, මිනිසෙක් බයිසිකලයක් රැගෙන ඈ ඉදිරියට ආවේය. තම අතේ තිබූ ඡායාරූපය පරීක්ෂා කෙරූ ඈ ඒ ඔහු බව තහවුරු කරගත්තාය. මිනිසා නතර වී, ඇය දෙස බලා සිටියේය. ලින්ග් ආචාරශීලීව අත එසවූ විට ඔහු වහා වහා ඉදිරියට ඇදුණේය. ඇය තමාව හඳුන්වා දීමට පෙර, මිනිසා කතා කළේය.

“ඔයා මගේ සහෝදරිය..”

ඔහු මිමිණීය.

“නෑ… සියයට සියයක්ම සමානයි.”

“ඔයාට කරදර කරන්න වුණාට සමාවෙන්න…”

ඇය සමාව අයැද සිටියාය.

“මට එයා ගැන දැනගන්න විතරයි ඕන… මාව හදාගත්ත අම්මා කාර් එකක හැපිලා දැන් කෝමා වෙලා ඉන්නේ.”

ඔහු ඇයව හරවා යවන්නේ නැතිව ඔහුගේ නිවසට කැටුව ගියේය. තැපැල් කාර්යාල කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉදිකරන ලද නේවාසිකාගාරයේ තුන්වන මහලේ කාමරයක්. එය කුඩා වුවද පිළිවෙලට සකස් කර තිබුණි. ඔහු ලින්ග්ට ඉඳගන්නට කියා තේ කෝප්පයක් පිළියෙළ කළේය. මිනිත්තු කිහිපයක් නිදන කාමරය තුළට අතුරුදහන් වූ ඔහු මැකී ගිය ඡායාරූපයක් ගෙනවිත් ඇයට පෙන්නුවේය. කාලයත් සමඟ වියැකී ගොස් තිබුණද ඒ ඡායාරූපයේ සිටි කාන්තාවගේ සුන්දරත්වය මැකී ගොස් නැත. ඔහු පැවසූ සමානකම සියයට සියයක්ම බව ඇයට වැටහුණි.

“මට සමාවෙන්න! මම මේ අවුරුදු ගණනාවටම හොයල බැලුවෙ නැහැ…”

ඔහු පැවසුවේය. ලින්ග් නිහඬව සිටියේය.

“ක්විං… ඔයාගෙ අම්මා හරිම ලස්සනයි… ඔයා එයා වගේමයි. එයා තමයි නගරයේ හිටපු ලස්සනම කාන්තාව. ඒත් එයා ගොළුයි… ඒකයි හැමදේටම මුල”

ඔහු මෘදුව පැවසුවේය.

“මගේ තාත්තා?”

ලින්ග් විමසුවාය. ඔහුගේ අත මිට මෙලවිණි. ඔහු වෙව්ලමින් පිලිතුරු දුන්නේය.

“ඔයාගෙ තාත්තා….”

ඔහු පිළිකුලෙන් යුතුව කෙළ ගැසුවේය.

“ඌ තමයි මිනීමරුවා… එයා ඔයාගෙ අම්මව මැරුවා… ඌ තාම ජීවතුන් අතර ඉන්නවා.”

ලින්ග් නිහඬව අසා සිටියාය.

“මගේ නංගි එයාගෙ මහත්තයව රැවට්ටුවා…”

ඔහු කටුක ලෙස පැවසීය.

“ඔයාට පේනවනේ එයා ගොළුයි. ඒකෙන් එයාට කසාදයක් කරගන්න අමාරු වුණා… කාටවත් තමන්ගේ ලේලි විදිහට ගොළු කාන්තාවක් ඕන වුණේ නෑ…. අන්තිමට ගිනිපෙට්ටි කම්හලේ වැඩ කෙරුව ඔයාගෙ තාත්තව හම්බුණා. ඔහු දුප්පතෙක්.”

ඔහු මොහොතක් කල්පනාවට වැටුණි.

“ඔයාගෙ අම්මා හැමදේම ඉවසුවා. එයා නිතරම ඇන්දෙ අත් දිග කමිස කලිසම්… රස්නෙ කාලෙට වුණත්.”

ඔහු සුසුමක් හෙලුවේය.

“ඒ එයාගෙ ඇඟේ තිබුණ පහරවල් පේනවට. ඔයාගෙ තාත්තා මහ දුෂ්ට මිනිහෙක්. ඌ එයාට හැමදාම පහර දුන්නා… අන්තිමට ඌ පොලිසියට කිව්වෙ අම්මා එතන්ට ගිහින් තියෙන්නෙ තනියම කියලා….විලට”

ඔහු දත්මිටි කෑවේය.

“ඇගේ මිනිය විලට විසි කරා… පොලිසිය හොයාගන්නකොට අයිස්වලට ගල්වෙලා තිබුණෙ.”

ඇගේ මාමා ඇය දෙස බැලුවේය.

Storming into the Good Night

“මට මේ රහස ඔයාට කියන්න ඕනෙ වුණේ නෑ… ඔයාට හොඳ ජීවිතයක් ලැබෙයි කියලා මම හිතුවා… කොහොම වුණත් අන්තිමට ඔයා මෙහෙට ආවා.”

“මාව හදාගත්ත අම්මා ඇක්සිඩන්ට් වුණේ නැත්තම් මම මේ මුකුත් දැන ගන්න එකක් නෑ”

ලින්ග් මැසිවිලි නැඟුවාය.

“මිනිස්සු ගොඩක් වෙලාවට ඈ ගැන ඕපාදූප කිව්ව… පාවලා දුන්නා… කොහොම වුණත් ඌට එයාව මරන්න අයිතියක් නෑ “

“ගිනිකූරු කම්හල තවම තියෙනවද?

ලින්ග් ඇසුවාය.

“ඒක විනාශ වුණා… ඔයාගෙ අම්ම නැතිවෙලා අවුරුද්දකට පස්සෙ ගින්නකින් කම්හලයි, නේවාසිකාගාරෙයි ඔක්කොම පිච්චුණා… ඒකට හේතුවක් හොයාගන්න බැරි වුණා… මිනිස්සු කිව්වෙ ඔයාගෙ අම්ම පළිගන්න ඇවිත් කියලා.”

ඔහු ලින්ග්ට මවගේ ඡායාරූපය දුන්නේය

“ඇය ඔයා ආව තැන… නමුත් ඔයා යන තැන නෙමේ… ඇයව මතක තියාගන්න.” 

ඔහු හැඟීම්බරව පැවසුවේය. අවුල් වූ මනසින් යුතුව ලින්ග් කුඩා හෝටල් කාමරයට නැවත පැමිණියාය. හෙට නටබුන් වූ ගිනිකූරු කම්හල වෙත යා යුතුය.

පසුදා උදෑසනම අවදි වූ ඇය උදේ ආහාරයෙන් අනතුරුව ගිනිකූරු කම්හල වෙත ගියාය. කැඩුණු ගඩොල් බිම පුරා විසිරී සුන්බුන් ගොඩක්ව පැවතුණි. ඇය පරිස්සමෙන් ගඩොල් උඩින් ගමන් කළාය. වල් පැලෑටි දණහිස දක්වා උසට වැඩී තිබුණ අතර ඒ අසල කැඩුණු පුටුවක් විය. ලින්ග් සිය මවගේ හෝඩුවාවක් සොයමින් සිටියාය. එක් කොනක, සුවඳ දුම් කූරු තුනක් පසට තද කර තිබූ අතර, ඒ අසල මල් ටිකක් තබා තිබුණි. ලින්ග්ට පුදුම හිතුණි. කවුරුන්හෝ සුවඳ දුම් දල්වා තිබුණි. හදිසියේම, මහලු මිනිසෙක් ඇය ඉදිරියේ පෙනී සිටියේය. ඇය දුටු වහාම ඔහු කෑගසමින් දිව ගියේය.

“අවතාරය!”

මහළු මිනිසා පැවසුවේය. ඇය ඔහු පසුපස දිව ගියේ ඔහු කවුදැයි දැන ගැනීමටය. ගඩොල් ගොඩ මත ඇද වැටුණ මහළු මිනිසා භීතියෙන් ඇය දෙස බලා සිටියේය.

“ක්විං?”

ඔහු කෑගැසුවේය. ලින්ග් ඔහු ඉදිරියට ආවාය.

“ක්විං කියන්නෙ මගෙ අම්මා…. මම අවතාරයක් නෙමේ.”

මහළු මිනිසා දෑස් ලොකුකර ඈ දෙස බලා සිට දිගු හුස්මක් හෙළුවේය.

“ඔයා කවුද?”

ලින්ග් ඇසුවාය. ඔහු බිම වැතිරුණේය.

“ඔයාගෙ අම්මගෙ හොඳම යාළුවා.”

මහළු මිනිසා ලින්ග්ට ඔවුන්ගේ කතාව කියන්නට පටන් ගත්තේය. ඔහු ද ගිනිකූරු කම්හලේ සේවය කෙරූ අතර, අතීතයේ ඇගේ පියාගේ මිතුරෙකුව සිටියේය. ඇගේ මව ගොළු වුවද, කියවීමට ප්‍රිය කළාය. එක් උදෑසනක, ඔහු ඔවුන්ගේ නිවස පසුකර යන විට, ඇය නවකතාවක් කියවමින් සිටිනු පෙනුණි. ඇය කියැවීමට කැමති බව ඔහු සිතුවේය. ඊළඟ උදයේ ඔහු ඇයට නවකතා තුනක් ගෙන ආවේය. නමුත් දින කිහිපයකට පසු, ඔහුගේ දොරෙන් පිටත ඒවා තබා තිබෙනු දක්නට ලැබුණි. ව්‍යාකූල වූ ඔහු ඇගේ නිවසට ගියේය. ජනේලය අසල ඇය නිහඬව වාඩි වී සිටිනු පෙණුනි. ඔහු දුටු වහාම ඇය ජනෙල් තිරය වසා දැමුවාය. ඉක්මනින්ම, කර්මාන්ත ශාලාව පුරා කටකතා පැතිර ගියේය. ඇගේ පියා බොහෝ විට මවට පහර දුන් බවට කටකතා සහ ඇය ඔහුව රැවටූ බව කියැවුණි. ඉන්පසු ඛේදවාචකය පැමිණියේය. ලින්ග්ගේ මවට කිසිදා උදව් නොකිරීම ගැන පසුතැවිල්ලෙන් බර වූ මහළු මිනිසා හඬා වැලපුණේය.

“මම කැලේට වෙලා බලාගෙන හිටියා… නමුත් ඇය ආවේ නෑ.”

“ඇයි ඔබ ඇය වෙනුවෙන් සටන් නොකළේ?”

“මට සටන් කරන්න ඕන වුණා… ඒත් මම බය වුණා.”

ඔහු පාපොච්චාරණය කළේය. ලින්ග් තමා ඉදිරියේ සිටි දුර්වල මිනිසා දෙස බලා සිටියාය. ඇගේ මව ඔහු සමඟ පැන ගියත්, ජීවිතය වඩා හොඳ නොවෙනු ඇත. ඔහු බියගුල්ලෙකි. ඇයට සත්‍යය වැටහුණි. මිනීමරුවා ඇගේ පියා ය. ඒ සත්‍යය දරාගත නොහැක. ඇය දුම්රියට නැග්ගේ මිනීමරුවා වන ඇගේ පියා සමග කතාබහ කිරීමට අධිෂ්ඨාන කරගෙන ය. පිළිගැනීමේ කාමරයේදි, ඇය අවසානයේ ඔහුට මුහුණ දුන්නාය ඇගේ ජීව විද්‍යාත්මක පියා. ඔහු පුටුව අසල ගල් ගැසුණි. ඔහුගේ දෑස් පුළුල් විය.

“අවතාරෙ!”

ඔහු කෑගැසුවේය. ඔහුගේ ඇහිබැමි එකට එකතුව මුහුණ විරූප වී ගියේය.

“ක්විං, මට සමාවෙයං!”

ඔහු කෑගැසුවේය. භීතියෙන් වෙව්ලූ ඔහු පුටුව යටට බඩගා යෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. ඔහු ඒ වෙනුවට එය පිටුපසට නැමී, පිටුපස කොටස අල්ලාගෙන, මුහුණ බිමට පහත් කළේය. මොහොතකින් නිලධාරීන් ඔහුව අල්ලාගෙන එතැනින් ඉවතට රැගෙන ගියේය. කළකිරුණු ඇය බන්ධනාගාරයෙන් පිටතට ආවාය. දෛවය ඇගේ මවට කිසිදා මේ නගරයෙන් පැන යෑමට අවස්ථාවක් ලබා දී නොතිබුණි. ලින්ග් චෙන්ග්ඩු වෙත ආපසු යෑමට දුම්රියට නැග්ගේය. ඇගේ දුරකථනයේ වූයේ ප්‍රධානියාගේ හිරිහැර පිළිබඳ සාක්ෂිය. ඇය ඒවා හෙළිදරව් කිරීමට සූදානමිනි. එළඹීමට නියමිත කුණාටුවට මුහුණ දීමට ඈ අදිටන් කර ගත්තාය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Alicia Feng විසින් රචිත Storming into the Good Night කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

රත් දෝතළු – 94

රත් දෝතළු - 94 නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you