ගොළුවු අයිස් තට්ටුව – Storming into the Good Night
බීජිං නගරය පුරා වැසි ඇද හැලෙමින් තිබුණි. කුණාටුව හේතුවෙන් පදික වේදිකාවේ ගමන් කළ මගීන් තෙතබරියම් විය. ලින්ග් ඇඳ සිටි කබාය හරහා සීතල ගතට කාවැදී ඇයව වෙව්ලන්නට විය. කුඩය අල්ලා ගන්නට උත්සාහ කරමින් පාර අයිනේ හිටගෙන උන් ඇය දැනටමත් තෙමී තිබුණි. මගීන්ගෙන් පිරීගත් කුලී වාහන ඇය පසුකොට වේගයෙන් ඉගිළ ගියේය. වැස්සත් රථවාහන තදබදයත් නිසා හවස හය වෙනවිට නිවසට යෑම සිහිනයක්ම පමණි. කාර්යාල රැස්වීමටත් නොසිටි ලින්ග් නිවසට නොයාම රෝහලට යෑමට බලාපොරොත්තුවෙන් සිටියාය.
මීට පැය භාගයකට පෙර රෝහලෙන් ඇමතුමක් ලැබුණ අතර ඉන් කියැවුනේ ඇගේ මව මෝටර් රියක හැපී දැඩි සත්කාර ඒකකයට ඇතුල් කළ බවයි. ලින්ග්ට දැණුනේ කිව නොහැකි තරමේ කණගාටුවකි. එදින උදෑසන ඈ මව සමග සිය රැකියාව ගැනත් විවාහය ගැනත් පවසමින් රණ්ඩු කළාය. දැන් ඇයට වරදකාරී හැඟීමක් දැණුනි. අම්මා තමන්ව උස් මහත් කලේ තනිවමමය. දියණියට හොඳ විවාහයක් කරදීම ඇගේ සිහිනය වූ නමුත් ප්‍රේම සම්න්ධයක් හෝ විවාහයක් ගැන ලින්ග් තුල උනන්දුවක් නොවුණි. විශ්ව විද්‍යාලයේදී පෙම් සබඳතා තිබුණද පිරිමි යනු තමාට නොවැටහෙන ජීවීන් පිරිසක් බව ඈ සිතුවාය. එක් අයෙක් ඇය දරුවන් බලා ගැනීමට සහ ගෙදර දොර වැඩපළවලට දක්ෂදැයි ඇසූ අතර තවත් අයෙක් ඔහුගේ බැංකු ශේෂය පෙන්වමින් ඔහුගේ බිරිඳ වීමට කැමතිදැයි ඇසුවේය. බිල්පතක දෝෂයක් පෙන්වා දුන් මිනිසෙක්ද ඇගේ පෙම්වතෙක්ව සිටියේය. ලින්ග්ට තම මව ගැන දැනුනේ දැඩි කණගාටුවකි.
පැයකට ආසන්න කාලයකට පසුව ඇය කෙසේ හෝ රෝහලට ළඟා විය. දැඩි සත්කාර ඒකකයේ කුඩා කවුළුව හරහා ලින්ග් සිය මව දෙස බලා සිටියාය. ඇයට ශ්වසන උපකරණ පළඳවා තිබුණි. රෝහලම දැඩි නිහඬතාවයක ගිලී ගියාක් මෙනි. මද වෙලාවකට පසු, කළු පැහැති ටෝට් බෑගයක් රැගත් කාන්තාවක් ලින්ග් හමුවට පැමිණ තමන් මවගේ රක්ෂණ නියෝජිතවරිය බව පවසමින් ලියුම් කවරයක් දුන්නාය. ඒ තුළ ලිපියක්, කහ පැහැති පුවත්පත් කැබැල්ලක් සහ ඡායාරූපයක් තිබුණ අතර ඒවා පිරික්සා බැලූ ලින්ග් අසල ඇති බංකුව මත ඉඳ ගත්තේ නොදැනුවත්වමය.

ලින්ග්ට වාට්ටුවට ඇතුළු වීමට අවසර නොලැබුණු අතර, වෛද්‍යවරයා පැවසුවේ ඉවසිලිවන්තව බලා සිටින්න කියා පමණි. ඇයට රැකියා ස්ථානය සිහිපත් විය. උසස්වීමක් ලැබුණ හැටි, සගයින් සුබ පැතූ හැටි. නමුත් ලින්ග් හිටියේ කතාබහින් තොරවය. “කැත ඌරා” ඇය ඇගේ ප්‍රධානියාට හිත යටින් ශාප කළාය. ඇය ඔහුට ලියකියවිලි ලබා දෙන විට ඔහුගේ තෙල් සහිත අත ඇගේ පියයුරු මත තිබුණි. ඔහු සමාව අයැද සිටියේ නැත. ඒ වෙනුවට, ඔහු සිනාසෙමින් මෙය ඇගේ රැකියාවේ කොටසක් බවට තර්ජනය කළේය. ඇයට උසස්වීමක් අවශ්‍ය නම්, ඔහුගේ නීති රීති පිළිපැදීමට තරම් බුද්ධිමත් විය යුතු බව ඔහු අනතුරු ඇඟවීය. ඔහුගේ තර්ජන නොසළකා හරිමින්, ලින්ග් දින කිහිපයක් නිවාඩු ඉල්ලා සිටියාය. ගුවන් යානයකට නැගුණ ඈ චෙන්ග්ඩු වෙත ගිය අතර එහිදී මීදුම හේතුවෙන් ගුවන් තොටුපළ වසා දැමිණි. එතැන් සිට ඈ බස් රියකින් ඇගේ ගමනාන්තය වූ හොංසි නම් කුඩා නගරය බලා ගමන් කළාය.
ඇය බසයට ගොඩවන විටම මගීන් කිහිප දෙනෙක්ම ඇය දෙස බලා සිටියහ. ඇය අමුත්තෙකු බව ඔවුන්ට වැටහුණි. ඔවුන්ගේ විමසුම් බැල්ම මඟහැර, ලින්ග් කෙළින්ම පිටුපස අසුන වෙත ගොස් ජනේලය සමීපයේ ඉඳ ගත්තාය. කුඩා බස් රථය කඳු තරණය කරමින්, වංගු හරහා ඇදී, උමං මාර්ග හරහා ඝෝෂාකාරී ලෙස ගමන් කර, පාලම්ද පසු කරමින් නැවතුම කරා ළඟා විය. බස් නැවතුම්පොළෙන් පිටතට පැමිණි ඇය, දූවිලි පිරුණු වීදියකට පිවිසුණාය. රෑ බෝවී තිබූ හෙයින් අවන්හල්වල සෙනග දක්නට ලැබුණේ අඩුවෙනි. හොංසි යනු අතීතයේ ගිනිකූරු නිපදවන කර්මාන්ත ශාලා බහුල සමෘද්ධිමත් කුඩා නගරයකි. නමුත් දැන් ඒ සශ්‍රීකභාවය කොහේදෝ ඈතකට පලා ගොස් තිබුණි. ඇය රැය ගෙවා දැමීමට කුඩා තැනක් සෙව්වාය.
නවාතැනට පැමිණීමෙන් අනතුරුව ඈ පහළ මාලයට ගොස් වීදියේ සැරිසැරුවාය. නගර මධ්‍යයයේ මැදිවියේ කාන්තාවන් පිරිසක් නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියෝය. ඉන් එක කාන්තාවන් හදිසියේම ලින්ග්ව දුටු අතර ඒ වහාම අසල සිටි කාන්තාවට කුමක්දෝ මුමුණනු පෙනිණි. ක්ෂණයකින්, ඔවුන්ගේ මුහුණු බියෙන් සුදුමැලි වී, ඔවුන් වහ වහා එතැනින් ඉවත්ව ගියෝය. ලින්ග් අන්දමන්ද වූ අතර ඇගේ කුතුහලය වැඩි වුණේය. ඇය නැවතත් දුරකථනයේ සිතියම දෙස බැලුවාය. මිරර් විලට මිනිත්තු හතළිහක්. ජනවාරි මාසයේ නගරය අමුත්තන්ගෙන් තොර විය. ඇයට සීතලක් දැණුනි. තැපැල් කාර්යාලය අසල ටික දෙනෙක් රැඳී සිටියහ. නතර නොවූ ඈ ඉදිරියටම ගමන් කළාය. විශාල සංඥා කණුවක මිරර් විලට යන මාර්ගය සටහන් කර තිබුණි. එළවළු කඩය අසල කොළ පැහැ ළූණු ගොඩවල් මධ්‍යයේ මහළු කාන්තාවක් ඉඳගෙන සිටියාය. ඇය හිස ඔසවා ලින්ග් දෙස බැලූ අතර ඇගේ ඇහි බැම රැලි වී, දෙනෙත් විශාල වී කට බාගෙට ඇරිණි. ඇයව පෙනුනේ පිළිමයක් මෙනි. ලින්ග්ට බියක් දැණුනි. නගරයේ සිටි ගැහැණු කණ්ඩායමත්, මේ මැහැල්ලත් ඇය දැක තිගැස්සෙන්නට හේතුව මොකක්ද? ලින්ග් අමාරුවෙන් මැහැල්ල හා සිනාසුණා ය.

මාර්ගය ඉහළට බෑවුම්ව තිබුණි. එහි මුදුනේ මිරර් විල පිහිටා තිබුණි. ලින්ග් හති දමමින් ඉදිරියට පිය මැන්නාය. තමන් අවුරුද්දකට වැඩි කාලයක් මෙතරම් දුර ඇවිද නැත. මාර්ගය දිගේ, පුවරුවක “ලිස්සන සුළුයි ප්‍රවේශම් වන්න” යැයි සටහන් කර තිබුණි. අවසානයේ, ලින්ග් කඳු මුදුනට ළඟා වූ අතර ඉදිරියේ වූයේ මිරර් විලයි. එය අඳුරු පැහැතිව කන්ද සමීපයේ ඇසක් ලෙස විහිදී තිබුණේ සදාකාලික බවක් හඟවමිනි. ලින්ග් අයිස් මතට පය තැබීමට එඩිතර වූයේ නැත, ඇය විල වටා ගමන් කළාය. වටයක් සම්පූර්ණ කිරීමට ඇයට මිනිත්තු දහයක් ගත විය. පැරණි පුවත්පත් කැබැල්ල එළියට ගත් ඇය “කාන්තාවගේ සිරුරක් මිරර් විලෙන් හමු විය” යන මාතෘකාව කියෙව්වාය. මෙම සිදුවීම සිදුවී ඇත්තේ 1996 ජනවාරි මාසයේදීය. එහිදී මළ සිරුර විල තුළ අයිස් තට්ටුව යට තිබී සොයා ගන්නා ලදී. ලිපියෙන් හෙළි වූයේ බිය උපදවන තොරතුරුය. කම්කරුවන් අයිස් කඩා ගැහැණියගේ දේහය සොයා ගත්තෝය. හදිසියේම සුළඟේ වේගය වැඩි විය. සීතල ඇගේ ඇටකටුවලටම දැණුනේය. එක්වරම අවට කළුවර වෙන්නට ගත්තේය. ලින්ග්ට බියක් දැණුනි. ආපසු හැරුණ ඇය අඩිය ඉක්මන් කර නගරයට පිවිසියාය.
වෙලාව සවස පහ පමණ විය. මිනිසුන් රැකියා නිමවී නිවස බලා යන වෙලාව. ඇය තැපැල් කාර්යාලය අසල සිටගෙන සිටියාය. පැති දොරෙන්, මිනිසෙක් බයිසිකලයක් රැගෙන ඈ ඉදිරියට ආවේය. තම අතේ තිබූ ඡායාරූපය පරීක්ෂා කෙරූ ඈ ඒ ඔහු බව තහවුරු කරගත්තාය. මිනිසා නතර වී, ඇය දෙස බලා සිටියේය. ලින්ග් ආචාරශීලීව අත එසවූ විට ඔහු වහා වහා ඉදිරියට ඇදුණේය. ඇය තමාව හඳුන්වා දීමට පෙර, මිනිසා කතා කළේය.
“ඔයා මගේ සහෝදරිය..”
ඔහු මිමිණීය.
“නෑ… සියයට සියයක්ම සමානයි.”
“ඔයාට කරදර කරන්න වුණාට සමාවෙන්න…”
ඇය සමාව අයැද සිටියාය.
“මට එයා ගැන දැනගන්න විතරයි ඕන… මාව හදාගත්ත අම්මා කාර් එකක හැපිලා දැන් කෝමා වෙලා ඉන්නේ.”
ඔහු ඇයව හරවා යවන්නේ නැතිව ඔහුගේ නිවසට කැටුව ගියේය. තැපැල් කාර්යාල කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉදිකරන ලද නේවාසිකාගාරයේ තුන්වන මහලේ කාමරයක්. එය කුඩා වුවද පිළිවෙලට සකස් කර තිබුණි. ඔහු ලින්ග්ට ඉඳගන්නට කියා තේ කෝප්පයක් පිළියෙළ කළේය. මිනිත්තු කිහිපයක් නිදන කාමරය තුළට අතුරුදහන් වූ ඔහු මැකී ගිය ඡායාරූපයක් ගෙනවිත් ඇයට පෙන්නුවේය. කාලයත් සමඟ වියැකී ගොස් තිබුණද ඒ ඡායාරූපයේ සිටි කාන්තාවගේ සුන්දරත්වය මැකී ගොස් නැත. ඔහු පැවසූ සමානකම සියයට සියයක්ම බව ඇයට වැටහුණි.
“මට සමාවෙන්න! මම මේ අවුරුදු ගණනාවටම හොයල බැලුවෙ නැහැ…”
ඔහු පැවසුවේය. ලින්ග් නිහඬව සිටියේය.
“ක්විං… ඔයාගෙ අම්මා හරිම ලස්සනයි… ඔයා එයා වගේමයි. එයා තමයි නගරයේ හිටපු ලස්සනම කාන්තාව. ඒත් එයා ගොළුයි… ඒකයි හැමදේටම මුල”
ඔහු මෘදුව පැවසුවේය.
“මගේ තාත්තා?”
ලින්ග් විමසුවාය. ඔහුගේ අත මිට මෙලවිණි. ඔහු වෙව්ලමින් පිලිතුරු දුන්නේය.
“ඔයාගෙ තාත්තා….”
ඔහු පිළිකුලෙන් යුතුව කෙළ ගැසුවේය.
“ඌ තමයි මිනීමරුවා… එයා ඔයාගෙ අම්මව මැරුවා… ඌ තාම ජීවතුන් අතර ඉන්නවා.”
ලින්ග් නිහඬව අසා සිටියාය.
“මගේ නංගි එයාගෙ මහත්තයව රැවට්ටුවා…”
ඔහු කටුක ලෙස පැවසීය.
“ඔයාට පේනවනේ එයා ගොළුයි. ඒකෙන් එයාට කසාදයක් කරගන්න අමාරු වුණා… කාටවත් තමන්ගේ ලේලි විදිහට ගොළු කාන්තාවක් ඕන වුණේ නෑ…. අන්තිමට ගිනිපෙට්ටි කම්හලේ වැඩ කෙරුව ඔයාගෙ තාත්තව හම්බුණා. ඔහු දුප්පතෙක්.”
ඔහු මොහොතක් කල්පනාවට වැටුණි.
“ඔයාගෙ අම්මා හැමදේම ඉවසුවා. එයා නිතරම ඇන්දෙ අත් දිග කමිස කලිසම්… රස්නෙ කාලෙට වුණත්.”
ඔහු සුසුමක් හෙලුවේය.
“ඒ එයාගෙ ඇඟේ තිබුණ පහරවල් පේනවට. ඔයාගෙ තාත්තා මහ දුෂ්ට මිනිහෙක්. ඌ එයාට හැමදාම පහර දුන්නා… අන්තිමට ඌ පොලිසියට කිව්වෙ අම්මා එතන්ට ගිහින් තියෙන්නෙ තනියම කියලා….විලට”
ඔහු දත්මිටි කෑවේය.
“ඇගේ මිනිය විලට විසි කරා… පොලිසිය හොයාගන්නකොට අයිස්වලට ගල්වෙලා තිබුණෙ.”
ඇගේ මාමා ඇය දෙස බැලුවේය.




