Travelහෙළයන්ගේ රහස් රකින කන්ද

හෙළයන්ගේ රහස් රකින කන්ද

-

spot_img

හෙළයන්ගේ රහස් රකින කන්ද – Sleeping Beauty Mountain

රිටිගල ඓතිහාසික හා ආගමික ලෙස ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂ වූ තැනකි. රිටිගල ඉතිහාසය රාමායනය දක්වා දිවෙයි. රාම කුමරුගේ බාල සොයුරු ලක්ෂ්මන් සටනකදී තුවාල ලැබීම හේතුවෙන් ඔහුට ප්‍රතිකාර සඳහා ඖෂධ ගෙන ඒමට හනුමා හිමාලයට ගොස් ඖෂධ කන්දක් රැගෙන එමින් සිටියදී ඉන් කොටසක් වැටී ඇති බවත් ඒ කඳු කොටස රිටිගල වූ බවත් ජනප්‍රවාදයේ කියැවේ. එසේම තවත් මතයක් වන්නේ රිටිගල යනු යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ ප්‍රදේශයක් බවය. වටිනාකම් රැසකින් සමන්විත රිටිගල වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ටත් වඩා විදේශිකයන් අතරය.

Sleeping Beauty Mountain

අපි කළ රිටිගල සංචාරයේදී ද දේශීය සංචාරකයන්ගේ විශාල අඩුවක් දුටුවෙමු. පුරාවිද්‍යා නිලධාරීන් අපට පැවසුවේද මෙරට සංචාරකයෝ රිටිගල නැරඹීමට වැඩි උනන්දුවක් නොදක්වන බවය. ඈත සිට නරඹන විට රිටිගල කන්ද දිස්වන්නේ නිදා සිටින යුවතියකගේ හැඩයෙනි. මේ නිසා විදේශිකයෝ රිටිගල හඳුන්වන්නේ Sleeping Beauty Mountain නමිනි. රිටිගල සංචාරය කිරීමට මාර්ග කීපයකින් යා හැකිය. දඹුල්ල මාර්ගයේ යන ඔබට හබරණ සිට අනුරාධපුර මාර්ගයෙන්ද, අනුරාධපුර සිට එම මාර්ගයේම හබරණ දෙසට පැමිණීමෙන්ද රිටිගලට යා හැකිය. රිටිගල කඳු පන්තිය බිහිසුණු ස්ථානයක් ලෙසත් ඇතැම්හු හඳුන්වති. එයට හේතුව වී ඇත්තේ දැවැන්ත වෘක්ෂලතා නිසා පරිසරය හාත්පසම අඳුරු ස්වරූපයක් ගෙන තිබෙන නිසාවිය හැකිය. රිටිගල පිහිටා තිබෙන්නේ වියළි කලාපීය පරිසර පද්ධතියක වුවද වියළි හා තෙත් කලාපීය ලක්ෂණවලින් යුක්ත වූ පරිසර පද්ධතියක් එහි ඇත.

Sleeping Beauty Mountain

මෙම වනය තුළ සත්තු බොහෝ ප්‍රමාණයක් වෙසෙති. දිවියා, අලියා, වළහා හා ගෝනුන්ද ඒ අතර වෙති. එසේම කුරුළු හා සමනල විශේෂ රාශියක් දැක ගැනීමටද හැකිය. මෙහි වෘක්ෂලතා අතර හල්මිල්ල, බිනර, කැන්ද, මොර, දුම්මල බහුලය. රිටිගල කන්ද තවත් කඳු කිහිපයකින්ම සමන්විතය. ආඩියාකන්ද, උණ කන්ද, මාළිගාතැන්න, වේවැල්තැන්න, අමරාවතී කන්ද, පලතුරු කන්ද ,කොඩි බැන්ද ගල ,වෙඩි බැන්ද ගල ඉන් කිහිපයකි. ඉංග්‍රීසි පාලන සමයේදී 1872 ජේමිස් වැනිවල් මිනින්දෝරුවා මාස තුනක පමණ කාලයක් රිටිගල කන්දේ මිනුම් කටයුතු කළ බව සඳහන් වෙයි. ඒ වගේම අනුරාධපුර දිසාපතිවරයකුව සිටි ආර්. ඩබ්ලිව්. අයිවර් මෙම කඳු මුදුනේ තැනිතලා භූමියක නිවසක් සාදාගෙන නැවතී ජීවත් වූ බවද කියැවේ.

Sleeping Beauty Mountain

රිටිගල බෞද්ධ උරුමය ඉතා වැදගත් තැනක් ගනියි. එහි බෞද්ධ ආරාම, ලෙන්, ගොඩනැගිලිවල නටබුන් අදත් දැක ගත හැකිය. ඒවායෙහි භික්ෂූන් වහන්සේලා වාසය කළ බවට සාධක බොහොමයකි. භික්ෂූන් වහන්සේලා ඔසු පැන් හා උණු පැන්, ජලය ස්නානය සඳහා සකස් කළ ගොඩනැගිලි, බෙහෙත් අඹරන ගල්, ගල් භාජන ආදිය දැක ගැනීමට පුළුවන. කටාරම් සහිත ලෙන්ද විශාල ප්‍රමාණයක් රිටිගල කන්දේ පිහිටා ඇත. භික්ෂූන් වහන්සේලා වාසය කළ බවට ඒවා කදිම නිදසුන්ය. රිටිගල වනයේ ස්ථූපයක් ද ඇති බව කියැවේ. මෙය වන්දනාමාන කිරීමටද නැතහොත් රහතන් වහන්සේ නමකගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට නිර්මාණය වූවක්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැත.

Sleeping Beauty Mountain

රිටිගල කන්ද තරණය පාසල් දරුවන්ට විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම ඕනෑම අයකුට සුවිශේෂී අත්දැකීමක් හා දැනුමක් ලැබෙන ගමනක් වනු ඇත. මෙහි පුරාවිද්‍යා කාර්යාල නිලධාරීන් විසින් ඉතාම හොඳ අවබෝධයක් රිටිගල පිළිබඳ සංචාරකයන්ට ලබා දෙයි. රිටිගල කන්ද තරණයේදී මුලින්ම බැන්දා පොකුණ හමුවේ. මෙය ගල් පුවරු යොදා නිර්මාණය කර ඇත. පොකුණේ ගල් පුවරු පඩි පෙළක් බැඳ තිබෙන අතර එයට හේතු වී තිබෙන්නේ ජලය අඩුවන ප්‍රමාණයට පියවරෙන් පියවර පොකුණට බැස ජලයේ ගිලී දිය නෑම සඳහාය. මෙම පොකුණේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් අටක් පමණ වේ. මෙයට අමතරව කුඩා පොකුණු කිහිපයකි. බැන්දා පොකුණ පසු කළ විට හමුවන්නේ සෙත් මඟය. මෙය ගල් පුවරු යොදා නිර්මාණය කර ඇත. මෙය සක්මන් පථයක් ලෙසද ඇතැම්හු හඳුන්වති. එසේම සෙත්මඟ හරස් වන ආකාරයට වෘත්තාකාර ඉදි කිරීම් කිහිපයක් දැක ගත හැකිය. මේවා ගිමන්හල් වශයෙන් ද හඳුන්වයි.

Sleeping Beauty Mountain

රිටිගල කන්ද ඉදිරියට තරණය කිරීමේදී අප මෙතෙක් විඳි අත්දැකීමකට වඩා වෙනස් වු අත්දැකීමකට මුහුණ දීමට සිදුවෙයි. ඒ තද සුළඟක් සහිත පරිසරයකි. සුළඟේ ශබ්දය ඇසෙන්නේ වැස්සක් වහින ලෙසය. පළමු වරට මෙහි යන කෙනෙක් ඒ වැස්සක් යැයි රැවටෙනවාට සැකයක් නැත. මෙවන් අපූරු අත්දැකීම් දෙන රිටිගල කන්ද නඟින්නට ඔබත් දවසක යන්න.

thulana-travel-to-sembuwaththa
සටහන හා ඡායාරූප – ශාන් බන්දු වීරසිංහ

Latest news

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ කාලය ඇතුළත අධිවේගී මාර්ගවල සිදුව...

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. පසුගියදා පැවැති...

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...
- Advertisement -spot_img

හැමිල්ටන් ඇළ දිගේ හලාවත සිට කොළඹ කොටුවට

හැමිල්ටන් ඇළ දිගේ හලාවත සිට කොළඹ කොටුවට - Hamilton Canal හැමිල්ටන් ඇළ පිළිබඳ විශේෂයෙන් හඳුන්වා දිය යුතු නැහැ. බොහෝ දෙනා...

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක්

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50 ක් ගලබොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you