More
    Novelsරත් දෝතළු - 02

    රත් දෝතළු – 02

    -

    spot_img

    රත් දෝතළු – 02

    අපි යළි නිවසට එනවිට අම්මාද පැමිණ සිටි අතර ඈ කුඩා ඉස්තෝප්පු කෑල්ලේ වූ අසුනක හිඳගෙන මඟ බලා සිටියේ අප එන තුරුය. මල්ලී මට පෙර නිවස දෙසට දිව ගියේ නිර්මාණි රැගෙන දුන් චොකලට්ටුව රස බලන්නට බව නොකිවමනාය.

    “තාත්තට මොකද ලොකු දුවේ දැන්…?”

    අම්මා මා විමසුවේ මා වැල් දිරා ගිය වේවැල් පුටුව මත හිඳගන්නා තුරු පමා වෙමිනි. පයින් බොහෝ දුරක් ඇවිද ආ නිසාදෝ මා ගත දහදියෙන් නැහැවී තිබිණි. පහළ රබර් වතු යාය දෙසින් සෙමින් හැමූ සුළඟ නිසා දහදිය කෙමෙන් පහව යන්නට වූ අතර ගතට දැනුණේ සිසිලසකි.

    “දැන් නම් ඊයෙට වඩා අඩුයි අම්මේ… හෙට ටිකට් කපනවා කියලා කිව්වලු…”

    “අනේ…දෙයියන්ගෙම පිහිටයි…!”

    අම්මා කීවේ දොහොත් මුදුන් දී වඳිමිනි. මා සිතේ අනුකම්පාවක් ඉහිර ගියේ නිතැනිනි. අම්මා බොහෝ දුකක් උහුළන්නීය. ඉක්මනින් රැකියාවක් සොයාගෙන ඇයට සහනයක් සළසා දිය යුතුය. සැමටම පෙර තාත්තා සුවපත් වීමත් මගේ ප්‍රාර්ථනාවය. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් වළකා ගත්තේ අම්මා එයිනුත් සිත් වේදනාවක් ඇත්කර ගනු ඇතැයි සිතාය.

    “රෑට මොනවද අම්මා හදන්නේ…?”

    කතාව වෙනතකට යොමු කරමින් මම ඇසීමි.

    “මං ඉඳිආප්ප ටිකක් හදන්න කියලා පිටි තැම්බුවා… හවස මං යන්නම් නංගී එක්ක… ඔයා යන්න ඕන නැහැ… මේ ටිකේම ගියානේ…”

    “අම්මා හවස මුදලාලිලා ගෙදර යන්නෙ නැත්ද…?”

    අසුනින් නැඟී සිටිමින් මම ඇසුවෙමි.

    “නැහැ… මං අද එන්නේ නැහැ කියලා ආවේ…”

    අම්මාද අසුනින් නැඟී සිටිමින් කීවාය. මමත් අම්මාත් පිටුපසට ආවේ මල්ලීගේ හාවක් හූවක් නොමැති නිසාය. ඔහු මුළුතැන්ගෙයි කුඩා බංකුව මත හිඳගෙන තාලයට දෙපා පද්දමින් නිර්මාණි ගෙනදුන් චොකලට්ටුව රස බලමින් සිටියේය.

    “හරි ෂෝක්… තනියම චොකල්ට් එක කනවද චූටිට තිබ්බේ නැත්ද…?”

    “තිබ්බා… මං පොඩ්ඩයි කෑවේ…”

    ඔහු පසෙක වූ චොකල්ට් අඩ ගෙන මවෙත පෑවේය.

    “හොඳ පොඩ්ඩ… බාගයක්ම කාලා…”

    මල්ලී එහි වගක් නොමැතිව මෙන් එය රස බලයි.

    “මෙයාට මොකටද චොකලටුත් අරන් දුන්නේ… ඉස්කෝලේ නොයා හිටපු නිසාද…?”

    නිර්මාණි හමු වූ බව මම අම්මා හා කීවේ ඒ මොහොතේය.

    “දැන් කොහෙලුද ඉන්නේ…?”

    අම්මා අසන විට මම එම තොරතුරු කෙටියෙන් පැවසීමී.

    “චූටි පුතා දැන් යන්න ඇඟ සෝදගන්න… ඉස්පිරිතාලේ ගිහින් ආපු ඇඳුම පිටින් තාම… මං බේසමට වතුර පුරවලා ආවේ…”

    අම්මා සැර වූ සැනින් මල්ලී හැඳ සිටි කමිසයත් ගළවා දමා පිටුපසට දිව ගියේය.

    “පව් අම්මා… දැක්කද මල්ලි චොකලට් එක කාපු හැටි…”

    අනුකම්පා මුසුව මම කියන විට අම්මා මුවින් ශෝකී සුසුමක් ගිළිහී ගියේ අපේ නැති බැරිකම සිහි වූ නිසාද නොඑසේ නම් තාත්තාගේ අසනීපය නිසා අලුතින් ඇති වූ ශෝකයෙන්ද කියා මට ස්ථීරවම කිව නොහැකිය. සමහරවිට ඒ සියල්ල එකට කැටි වූ නිසා වන්නට ඇත.

    “ඇයි අම්මේ…?”

    අම්මා බංකුව මත හිඳගත්තේ මටත් එසේ කරන්නැයි ඉඟිකරමිනි. කුහුල් සිතින් මම ඈ පසෙක හිඳගතිමි.

    “අනේමන්දා ලොකු දුවේ… මට වෙලාවකට මහා දුකක් දැනෙන්නේ උඹලා ගැන… හරියට කෑමක් කාලද… සැපක් කියලා දෙයක් විඳලද… ආස දෙයක් අරන් දෙන්නවත් වත්කමක් තියනවද…?”

    අම්මා ගවුම් කරෙන් කඳුළු පිසගනිමින් කීවාය.

    “ඕවා හිතන්න එපා අනේ… අම්මාත් ලෙඩ වෙන්නද…? අපි කවුරුවත් කිසි දෙයක් ඉල්ලලා කරදර කරලා නැහැනේ… සැපක් නොවින්දට අම්මලා අපිව අහක දැම්මේ නැහැනේ…”

    ඈ සනසන අදහසින් මම කීවෙමි.

    “කොහොමහරි මේ ඉඩම බේරගන්නත් ඕන ලොකු දුවේ… අපිට තියෙන්නෙත් මෙච්චරයිනේ… නැත්නම් පාරට බහින්න තමා වෙන්නේ…”

    අම්මා එසේ කියන විට නම් මම අලුතින් තිගැස්සී ගියෙමි. අම්මා හම්බකරන දෙයින් පොළිය ගෙවා ඉතිරිවන මුදලින් නිවසේ අඩුපාඩු මිලදී ගත් පසුව අන් යමක් කිරීමට ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවේ. රැකියාවක අවශ්‍යතාවය මා සිතට තදින්ම දැනෙන්නට විය. අනාගතය ගැන සිතන්නට පවා මම බියවූයෙමි.

    “අම්මේ මං නිරූට කියලා එහෙන් ජොබ් එකක් හොයාගන්නවා…”

    මා එසේ කීවේ කලින් සැළසුම් කළ නිසා නොව මේ මොහොතේ හදිසියේ සිතට ආ නිසාය.

    “කොහෙන්ද… කොළඹින්ද…?”

    අම්මා ඇසුවේ මවිතයෙනි.

    “ඔව්… ඇයි අම්මා බය වෙලා වගේ… මෙහේ ඉඳන් මොනවාකරන්නද…? කවදාහරි මටත් වෙන්නේ අම්මට වගේ කිරිගහක් බදාගෙන ජීවත් වෙන්න තමා… අඩුමතරමේ මල්ලිටයි නංගිටයි හරි හොඳට උගන්න ගන්න තිබ්බා නම්…”

    අලුත් බලාපොරොත්තුවක් මා හදේ ඉපිදෙමින් තිබිණි. මම හෙට නිර්මාණි සමඟ මේ ගැන කතා කළ යුතුමය.

    “එච්චර දුර ගිහින්…අනික තනියම…!”

    අම්මා දැන්ම තැතිගෙන ඇති සෙයකි.

    “එහෙම කියලා කොහොමද… මං නිරූට කියලා බලන්නම්… ජොබ් එකක් හම්බුණොත් අම්මා කිරි කපන්න යන්න නම් එපා… තාත්තාව බලන් ගෙදර ඉන්න…”

    ඈ කිසිත් නොකියා මොහොතක් නිහඬව සිටියාය.

    “හෙට තාත්තා ආවම බලල ඕන එකක්…”

    අම්මා එසේ කීවේ ඇගේ සිතේ ඇති නොකැමැත්ත නොකියාය.

    “අම්මා ඉස්පොරිතාලේ යනවා නම් මං සංදීපලා දිහා ගිහින් එන්නද…? ගොඩ දවසකින් එහේ යන්න බැරි වුණා… පාලිත මාමාත් ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ නැහැ… සංදීපා ලියුමක් වත් එවලා නැතුව ඇති… එව්වා නම් මාමා අරන් එනවා…”

    “මල්ලිවත් එක්ක යන්න… තනියම යන්න එපා ඔය රබර් කැලෑව මැද්දෙන්… කේෂව ලංකාවට එනවලු…”

    අම්මා අවසන් වදන් පෙළ කීවේ රහසින් මෙනි. මා සිත තුළ ඇති වූයේ තිගැස්මකුත් නොරුස්සමකුත්ය. කේෂව යනු ජිනපාල මුදලාලිගේ එකම පුතාය. පාසල් යන කාලයේ ඔහු මගේ ආදරය ඉල්ලා මා පසුපස ආවේය. දඩබ්බර මෙන්ම සෙල්ලක්කාර ගතිගුණ වලින් හෙබි හෙතෙම මා සිත් නොගත් අතර ඉගෙනීමටද දක්ෂකම් පෑ අයෙකු නොවීය. මා කවදාවත් ඔහු ප්‍රිය නොකළෙමි. මා දැනුවත්වම යුවතියන් කිහිපදෙනෙකුම ඇසුරු කළ ඔහු මගේ හොඳම මිතුරිය වන සංදීපා සමඟද මිතුරු විය. මේ බව දැනගත් දා පටන් නිර්මාණිත් මාත් ඇතුළු සියළු දෙනම ඇයට කීවේ මේ සම්බන්ධය දුරදිග නොයවා නවත්වන ලෙස මුත් කේෂවගේ චාටුකාර බොරු වදන් වලින් අන්ධව සිටි සංදීපා අපි කිසිවෙකුගේ කීමක් පිළිගන්නට සූදානම් නොවූවාය. එහි ප්‍රථිපලය වූයේ කේෂව නිසා ඈ ගැබිණියක වීමය. පාලිත මාමා මේ බව දැනගත් විට කෝපයෙන් වියරු වැටුණ සැටි මට තවමත් මතකය. කේෂව දරුවා ඔහුගේ නොවන බව කියමින් සංදීපාට චෝදනා එල්ල කළේ ඇයට අපහාස කරමිනි. පාලිත මාමා ඔහුව මරා දමන්නට පවා කළ උත්සාහය ගිළිහී ගියේ අසල්වාසීන්ගේ මැදිහත් වීමෙනි. නොඑසේ නම් අද කේෂව ජීවතුන් අතර නැත. පාලිත මාමාද සිරගතවය. එසේ නොවීම හොඳය. පසුව ජිනපාල මුදලාලි කේෂව දුරු රටකට පිටත් කර යැව්වේ ඔහුහේ ජීවිත අවධානම නිසාය. කේෂවට දාව සංදීපා බිහිකළේ දියණියකවය. දැන් ඇයට සිව්වසරක් ආසන්නය.

    “කවුද අම්මේ කිව්වේ කේෂව එනවා කියලා…?”

    මා හඬ පාලනය කරගැනීමට තැත් දරමින් මම ඇසීමි. මගේ හඬේ වූ වෙව්ළීම අම්මාට නොතේරුණා නම් හොඳය.

    “මට කියපු එකක් නැහැ… මහ ගෑනි කෝල් එකෙන් කතා කරනවා මට ඇහුණා…”

    “පාලිත මාමා දන්නවා නම්… මෙදාපාර නම් කේෂවට බේරිලා ඉන්න හම්බෙන එකක් නැහැ…”

    “දැන් ඕවා අමතක කරලා දාන එක තමා හොඳ…”

    “පාලිත මාමා ලේසියෙන් අමතක කරලා දායි කියලද අම්මා හිතන්නේ… මාමා ඉන්නෙ බද්ධ වෛරයකින්… එහෙම ලේසියෙන් අමතක කරන එකක් නැහැ…”

    “ඔය ගැරඬි මරලා ඒ මනුස්සයා හිරේ ගියාම අර කිරිසප්පයා බලන්නේ කවුද…?”

    අම්මා කියන කතාවද ඇත්තය. කතා බහ දුරදිග නොයවා මම නිහඬ වූයේ මල්ලී ඇඟපත සෝදන් පැමිණි නිසාය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page