සකස්කඩ නොකිව් හුඹස් කටවල්
පන්සල මූලික කරගත් අධ්‍යපන ක්‍රමයක් පැවති ඈත අතීතයේ දරුවන්ගේ අකුරුකරණය වෙනුවෙන් නම් දැරූ පොත් කිහිපයක් පැවතුණු බව සාහිත්‍යයේ සඳහන්. බුද්ධ ගජ්ජය, නම් පොත, මඟුල් ලකුණ, වදන් කවි, ගණදෙවි හෑල්ල වැනි පොත් අතර එකළ වඩාත් අවධානය දිනූ පොත වූයේ සකස්කඩ ය. පාලි සහ සංස්කෘත මිශ්‍ර සිංහලයෙන්, බොදු සිරිත් අලලා ලියැවුණු මෙම කුඩා පොත් පිංච, සම්පුර්ණයෙන්ම එක් දිගු වාක්‍ය ඛණ්ඩයකින් පමණක් සමන්විත වීම විශේෂිත ය. සකස්කඩ සැකසී ඇත්තේ කුඩා කළ සිට දරුවෙකුට ක්‍රමවත්ව වචන උච්චාරණය සහ භාෂා භාවිතය අභ්‍යාස කිරීමට බව එය පරිශීලනය කරන ඕනෑම අයෙකුට වැටහේ. එමෙන්ම ජනප්රවාදයෙන් පැමිණ අද දක්වා සමාජගතව පවතින “සකස්කඩ නොකිව් කට – උගේ කට හුඹස් කට” යන කියමෙන්ම එකළ මෙම පොතට අධ්‍යපන ක්‍රමවේදයේ තිබු සුවිශේෂී ස්ථානය ද තහවුරු වේ.

තුඹසක් බඳිනු ලබන්නේ වේයන් බව කවුරුත් දන්නා නමුත්, එය නාගයාගේ නිවහන බවට පොදු පිළිගැනීමක් පවතී. “හුඹස් කටකින්” මතුවිය හැක්කේ නයි, ගෝනසු, පත්තෑ පන්නයේ විෂ සහිත සතුන් මිස හා, මුව, මීමිනි ඝණයේ අහිංසක සිවුපාවුන් නොවන වගද ඒ හා සමානම ඇත්තකි. වේයා බඳු කුඩා ධෛර්යය සම්පන්න කුහුඹුවකුගේ වෙහෙසින් නිමවු විශ්මිත නිවහනක අයිතිය නාගයා වැනි විෂ ඝෝර සර්පයකු අතට පත්වුවා සේම, යහපත් මිනිස් හැඟිම් මත ගොඩනඟන සමාජයක් වුවද විෂ සහිත මිනිස් සමූහයක ආධිපත්‍යයකට නතු නොවේයැයි කිව නොහැකිය.
මුවින් පිටවන සෑම වචනයක්ම ක්‍රියාවට නැංවිය නොහැකි බව සැබෑවකි. එහෙත් වචන යනු පුද්ගල පිළිඹිබුවකි. වචන ඔබව සනසනවා මෙන්ම රිදවනවා ය යන්න මුසාවක් නොවේ. “ගියොත් වචනයක් ආවොත් අලියෙක්” කියා යමෙක් ඔබට උගන්වා තිබිය හැකිවාක් මෙන්ම ඔබේ ආදරණියයන්, සමීපතමයන් කිසිවෙකු හෝ ඔබට “වචන පරෙස්සමෙන් පාවිච්චි කළ” යුතු බවද උගන්වා ඇතුවාට සැක නැත. ඒ, සෑම වචනයකටම අගයක්, තේරුමක් සහ අනන්‍ය හැඩයක් පවතින බැවිනි. වචන පිටවු පසු ඒවා ප්‍රකාශන බවට පත්වේ. ප්රකාශනයක් සමාජගත වු පසු එය මතයකි. මතය ජනගත වු විට එය හඬක් බවට පත්වේ. මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ප්‍රභල පසුබිමක ඔබ විසින් ප්‍රකාශිත යහපත් හෝ අයපත් ඕනෑම දෙයක් පහසුවෙන් හඬක් බවට පත්වීම ස්වභාවිකය. ඔබේ මතය සමාජගත වු පසු එය වෙනස් කරන්නට ඔබ කෙතරම් හඬ නැඟුවත් යළි එය වෙනස් කළ නොහැකිය.

පසුගිය සතියේ සමාජගත වු ජනප්‍රිය ප්‍රකාශන අතර අම්බිකා සැමුවෙල්ගේ වැසිකිළි මුල්ගල ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ප්රකාශනය ප්රමුඛ ය. සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වු ඒ වීඩීයෝවට යටින් හිරුණිකාගේ පට්ටන්දරය දිගහැර තිබු සුචරිතවත්, සැදැහැවත්, රහසින්වත් පව් නොකළ නෝනාවරුන්ට සහ මහත්වරුන්ට යමක් මතක් කළ යුතුයැයි සිතුණේ ඒකය. වතුකරයේ මිනිසුන් අම්බිකාව පාර්ලිමේන්තු යවනුයේ ශරිර කෘතය කිරිම සඳහා වැසිකිළියක් තනාගන්නට නොවේ. එදා සිට මේ දක්වා ඒ මිනිසුන් එය ඉන්දියාවේ මෙන් මහපාරේ නොකොට, ඊට වෙන්වූ තැනක් තනාගෙන තිබු බව විශ්වාස ය. ඉඩමක අයිතියක්, පුරවැසි අනන්‍යතාවයක් නොමැති ඒ ජනතාව සිය මූලික අවශ්‍යතා පිරිමසාගනු ලබන්නේ තේ වත්තක නැහී ගන්නා සොච්චම් දෛනික වැටුපෙනි. කුඩා දරුවාගේ සිට මෙහෙකාර සේවයේ යොදවන, අපචාරවලට ලක්වෙන, අම්බිකාම ජන්දෙට පෙර කියු පරිදි ලිංගික කටයුත්තවත් නිදහසේ කිරීමට සුදුසු පරිසරයක් නොමැති වතුකරයෙන් පාර්ලිමේන්තු ගිය මේ මලයහ මන්ත්‍රීවරිය, තමන්ගේ ජනතාවට වැසිකිළි තනාදිම ආඩම්බරයක් බව කියයි.

ඇය මෙන්ම ජීවාන් තොණ්ඩමන්, රාමනාදන් අර්චුනා වැනි අයද ඇගේම ජාතිය නියෝජනය කරනු ලබන නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ය. මලයහ ජනයාගේ අනන්‍යතාවය සහතික කරන්නැයි තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි, අපචාරයට ලක්වු අනුරපුර දැරිය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැඟී සිටිය යුතු බව කියූ ජීවාන් තොණ්ඩමන් හා සසඳද්දි, හිරුණිකා කීවා සේ “අම්බිකාලා වෙන මොනවා කරන්නද” කියා කාට හෝ සිතීම ගැන පුදුම විය යුතු නැත. ඒ අතින් ගත්කළ “අපේ නායකයා ප්රභාකරන්” යැයි කී අර්චුනා අවම වශයෙන් ජන්දයට ඩයස්පෝරාවෙන් ලද මුදල් ටිකට හෝ කෘතගුණ සළකා තිබේ. ඔබ “සකස්කඩ” හෝ “හුඹස් කට” තෝරාබේරා ගත යුත්තේ ප්‍රකාශයෙහි මුඛරි බවෙහි පිහිටා නොවේ. එම ප්‍රකාශය විනිවිඳ ගොස් එහි පුද්ගල හරස්කඩ හඳුනාගෙනය. ඔබට හිරුණිකා සහ අම්බිකා වෙන, වෙනම වැටහෙන්නේ එතැනදී ය.

මාලිමා ආණ්ඩුව පැමිණෙන්නේම ප්‍රභූ පාලනය අවසන් කරන බව සකස්කඩ මෙන් බරට කියාගෙන ය. “ෆේස්බුක් ඩෝබි බලකාය” තමන්ට එදිරිව පැමිණෙන සියල්ලන්ටම “හාමුලාගේ ඉඳුල් කන එවුන්” යැයි හුඹස් කට අරින්නේ ආණ්ඩුව දුන් ඒ පොරොන්දුවේ හයියෙනි. තත්වය එසේ තිබියදී මහින්ද ජයසිංහලා ගාළුමුවදොර පිටියේ, මහ ගිණි අව්වේ ටයිකෝට් දමාගෙන ප්රභූන්ගේ භාෂාවෙන් සිරිලක සිරි වනන්නේ මන්දැයි අසන්නට මේ මොහොතේ තවත් බොහෝ කටවල් ඇරී තිබේ. හඳුන්නෙත්තිගෙන් පටන් ගෙන විජිතගේ සිට මහින්ද දක්වා පැමිණි මේ “ඉංග්ලිෂ් ලූස් මෝෂන් ෆෝබියාව” දැන්, දැන් මාලිමා පාක්ෂිකයන්ට පවා නොතේරෙන අණ්ඩර දෙමළයකි. එහෙත් මේ මාලිමාව සොයාගන්නට තමන්ගේ හාමුලා වලව් කීයක ඉඳුල් කා ඇත්දැයි නුදුරු දිනකදීම ඔවුන් අවබෝධ කරගනු ඇත.




