එල්නිනෝ එක්ක එන ලෙඩරෝග – Diseases with El Nino
ස්වාභාවික සංසිද්ධි අපට වැළැක්විය නොහැකිය. ඒ උදෙසා කළ යුත්තේ පෙරතියා සූදානම් වීමය. එවිට අනතුරේ හානිය යම් තරමකට හෝ පිරිමැසිය හැකි වනු ඇත. මේ වනවිට අපේ රට ආපදා ව්‍යසන ගණනාවකින්ම බැට කා ඇත්තේද පෙර සූදානම, දැනුවත්භාවය තඹේකට නොසලකා කටයුතු කිරීම නිසාවෙනි. උගත් පාඩම්වලට පින්සිදු වන්නට දැන් එළැඹෙමින් පවතින්නේද එබඳු තත්වයකටය. එල්නිනෝ ආවෝ ගගා ඉන්නවාට වඩා ඊට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද, ඉදිරියේ අපට ඇති අභියෝග මොනවාද යන්න දැන ගැනීම උදෙසා මෙම ලිපිය සැකසේ.
මේ වෙද්දි නොකඩවා ඇද හැළුණු වැසි තත්වය අහවරව ගොස් දැඩි උණුසුම්, වියළි කාලගුණයක් අපට දැනෙන්නට පටන් ගෙන ඇත. ඒ අනුව මේ එල්නිනෝ බලපෑම බවට පුරෝකථනය කළ හැකිය. පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට එහා යමින් ඉහළ යාම එල්නිනෝ තත්වය ගැන හැඳින්වීමට ඇති කෙටි සහ පහසුම නිර්වචනයයි. සාගරයේ උෂ්ණත්වය මෙයාකාරයට වෙනස්වීමෙන් වායුගෝලයේ සුළං ප්‍රවාහයේද යම් යම් කැපී පෙනෙන වෙනස්කම් ඇති වේ. ඒ හේතුවෙන් අපේ රටට මෙහි බලපෑම කිහිපාකාරයකින්ම ගෙන දේ.

මුලින්ම වියළි කාලගුණයක් දැණුනද පසුව වැසි සහිත කාලගුණයක්ද ඇති වේ. ඒ අනුව නොබෝ දිනකින් නිරිත දිග සුළං ප්‍රවාහයේ සක්‍රීයත්වය ඇරැඹේ. කලින් වැස්ස දැන් රස්නය තිබුණද පසුව ඊසාන දිග මෝසමේ බලපෑමෙන් නැවතත් වැසි තත්වයේ වර්ධනයක් සිදු වී ජල ගැලීම් පවා ඇති වීමට පුළුවන. මෙයාකාරයට වියළි සහ වැසි කියන තත්ව දෙකේම බලපෑමට අපට නතු වීමට සිදු වේ.
අධික වැසි නිසා එල්ලවන බලපෑම් මෙන්ම දැඩි වියළි කාලගුණයක් එළැඹීම හේතුවෙන් බවභෝග වගා කටයුතුවලට පවා හානි ගෙනදිය හැකිය. ඒ අනුව රටේ සමස්ත එළවළු, පලතුරු නිෂ්පාදනයේ යම් පසුබැස්මක් ඇති වීමට පිළිවන. මෙය සමස්ත ජනයාගේ පෝෂණ ඌනතා කෙරෙහි සෘජුවේම බලපානු ලැබේ. මන්ද නිසි පරිදි කෑම බීම නොගැනීමෙන් පෝෂණ ගැටලු පවා ඇති වන බැවිනි. විශේෂයෙන් දරුවන් අතර පහුගිය කාලයේදී දක්නට ලැබුණු මන්දපෝෂණ තත්වයට යළිඳු වතාවක් රට තල්ලු වීම නොවිය යුතු දෙයකි.

එල්නිනෝ තත්වය අපට කිසිසේත්ම වළක්වා ගත නොහැකි අතර අප කළ යුත්තේ එළැඹෙන තත්වයට ඔරොත්තු දෙන පරිදි හැඩ ගැනීම පමණි. ඒ අනුව කල්තියා ආහාර රැස් කර ගැනීමත්, ඒවා නිසි පරිදි ගබඩා කිරීමත්, ක්‍රමානුකූලව අසුරා තැබීමත් යන අංශ ගැන වැඩි අවධානයක් ලබා දිය යුතු වේ. මේ වනවිට දැඩි උණුසුම් කාලගුණ තත්වයක් දක්නට ලැබෙන අතර දහවල් කාලයේ, රාත්‍රියේදී මෙන්ම අලුයම් කාලයෙත් දැඩි උණුසුමක් දැනේ. බොහෝ සෙයින් සිරුරෙන් දහදිය පිටවීමද සිදු වේ.
මේ කාලයේදී සිරුරෙන් දහදිය ලෙසට ජලය මෙන්ම ලවණද පිටවේ. සිරුර විජලනයෙන් ආරක්ෂා කර ගැනීමට උනන්දු වන්න. තවද මේ කාලයේදී සිරුරට දැනෙන රෝග ලක්ෂණ කිහිපයකි. හිසරුදාව, ඇඟපත රිදීම, වමනය, නිදිමත ගතිය, ආහාර අරුචිය, නින්ද යෑම මෙන්ම පිටවන මුත්‍ර තද පැහැයකට හුරු වීම සිදු වේ. උණුසුම වැඩි කාලයකදී නිසි පරිදි ජලය පානය නොකළොත් එහි අනිටු ඵල රැසකි. පිරිසුදු ජලයම පමණක් නොව මේ කාලයට ස්වාභාවික දියර වර්ගද ඔබට ගත හැකිය. එනම් කැඳ, සුප් වර්ග, දෙහි, දොඩම්, නාරං, තැඹිලි වතුරද ඔබව මේ කාලයේදී දැඩි උණුසුමින් ආරක්ෂා කරවයි.

මේ කාලයේදී කෙතරම් පිපාසය දැණුනද කෘතිම රසකාරක යොදා තැනූ පැණි බීම වර්ග දෛනිකව පානය කිරීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයකි. ඒවා කෙතරම් පානය කළද පිපාසය නොනිවෙන අතර සිරුරේ සීනි මට්ටම ඉහළ යාම නම් නතර කළ නොහැකිය. ඊට පසු බෝ නොවන රෝග ඉහළ යෑමේ අවදානමක් මතු වේ. දැඩි වියළි කාලගුණයකදී සිරුරට අභ්‍යන්තර පෝෂණය සේම පිටත පෝෂණයද එක සේ වැදගත්ය. වැඩිහිටියන් දිනපතා ස්නානය සේම කුඩා දරුවන්ට වෙනදාට වඩා වැඩිපුර වෙලාවක් වතුරේ ඉන්නට දීමත් කළ යුතුය. ඒ අනුව උදේ, සවස විනාඩි 20 බැගින් දරුවන්ට ජලයේ ඉන්නට ඉඩ හරින්න.
මාස 06 තෙක් දරුවන්ගේ මූලික ආහාරය මවුකිරි වුවද මාස 06න් පසු සිට දරුවන්ට අමතර ආහාර පුරුදු කරවන බැවින් දරුවන්ට වෙන දිනවලට වඩා වැඩිපුර වතුර පානය කිරීමට උනන්දු කරවන්න. එක් වතුර බෝතලයක් නොව වතුර බෝතල් දෙකක් පමණ පාසලට දමන්න. මේ කාලයේදී සිරුරට නිසි පමණ ජලය නොලැබීමත්, දැඩි හිරු කිරණ සම මත සෘජුවේ පතිත වීමත් හේතු කරගෙන සම සම්බන්ධ ගැටලු පැන නැගීමට පුළුවන. සම දැඩිව වියැළීමත්, සමෙහි තෙතමනය අහිමි වීම මූලිකවම බලපානු ලැබේ. ඒ අනුව දද, කුෂ්ඨ, දාඩිය බිබිලි මතු වීමට පටන් ගැනේ. අධික වියළි කාලගුණයකදී වායුගෝලයේ පවතින දුහුවිලි අංශුවලද යම් වර්ධනයක් සිදු වේ.

උණුසුම් කාලවලට තාප කම්පන තත්වය වුවද ඇති වේ. සිරුරට අවැසි පරිදි ජලය නොමැති වීමත්, දැඩි උණුසුම පවතින අවස්ථාවන්හිදී තත්වය නොතකා කය වෙහෙසා වැඩ කිරීම, ක්‍රීඩා කිරීම ඉතා අනතුරුදායකය. තාප කම්පන තත්වය හෘදය වස්තුවට සේම මොළයට පවා බලපෑම් කිරීමට සමත්ය. ක්ලාන්තය, සිහි තොර වීම මෙන්ම මියැදී ඇද වැටීමට වුවද හැකිය. රස්නය වැඩි නිසාම අධිකව දහදිය දමන මේ කාලයේදී සරල කපු ඇඳුම් භාවිතය සුදුසය. ඒ වගේම තද පැහැති වර්ණ වෙනුවට ලා පැහැති වර්ණ වඩාත් සුදුසු වේ. යුරෝපයේ ගිම්හාන සෘතුවේදී සමර් සූට් සංකල්පය මෙන් අපේ රටෙත් දේශගුණයට ඔරොත්තු දෙන පරිදි ඇඳුම් පැළඳුම් සකසා ගත හැකිය. ඒ වගේම නිවසින් පිටතට යද්දී කුඩයක්, හිස් වැසුමක්, අව් කණ්ණාඩියක් භාවිත කරන්න. එල්නිනෝ දෙයාකාරයකින්ම බලපෑම් ගෙනදිය හැකි නිසා වියළි උණුසුම සේම වැසි තත්වයද අපට බලපෑම් ගෙනදිය හැකිය. ඒ අනුව වැසි තත්වයේ ඉහළ යෑමකදී පිරිසුදු ආහාර පාන නොමැති වීමෙන්, මැසි ගහණයේ බෝ වීමේ වර්ධනය නිසාවෙනුත් පාචනය, අතීසාරය වැනි රෝගද වාර්තා විය හැකිය.
සංවාද සටහන
ධාරා අබේනායක




