NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 68

Hima Mal Renu හිම මල් රේණු – 68

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

රාත්‍රී අහස පුරා තරු මල් රාශියක් හිනැහෙයි. මම සඳළුතලයට වී රෑ අහස දෙස බලා සිටියේ මුව මත වූ මඳහසකිනි. සියල්ල මහා පුදුමාකාර යැයි මට යළි යළිත් සිතිණි. මා මුවින් නොදැනුවත්වම වුවද සැහැල්ලු සුසුමක් පිට විය. පසෙක වූ අසන මත තිබූ දුරකථනය හැඬ වෙන හඬින් මම එදෙස නෙත් හෙළීමි. නාඳුනන අංකයකින් ලැබුණ ඇමතුමට මම පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි.

“ආරණ්‍යා…” මට ඒ හඬ ඇසුණේ ඈත ලෝකයකින් මෙනි.

“අ…වී…ශ්…”

මා මුවින් පිට විය. ඔහු මා අමතනු ඇතැයි කියා මම නිකමට හෝ නොසිතුවෙමි. ඔහුගේ ජංගම දුරකථන අංකය හෝ කිසිවෙකු ලබා ගත්තාද කියාවත් මතකයක් මා හට නොවිණි.

“ඔයාට කතා කරන්න පුළුවන්ද…?” ඔහු විමසීය.

“මං ගොළු වෙලා හිටියේ නැහැනේ…” මම ඇනුම්පදයක් ලෙස කීවෙමි.

“දැන් හින්ට් ගහන්නත් පටන් අරන්…”

“ඇයි…දැන් විතරද…ඉස්සරත් එහෙම කළේ…මතක නැත්ද…?”

“නැහැ…මතකයි…කිසි දෙයක් අමතක වෙලා තිබුණේ නැහැ…එහෙම අමතක වෙන්නෙත් නැහැ…”

“ඔව්…මතක තිබ්බානම් අඩුම තරමේ කෝල් එකක් වත් දෙනවනේ නැත්ද…?”

“එහෙම නෙවේ…මේ ප්‍රශ්න සේරම විසඳෙන කල් හිටියේ…ඇවිත් ඔයාලව සර්ප්‍රයිස් කරන්න…ඊට කළින් ඔයාලා ඇවිත් මාව සර්ප්‍රයිස් කළා…”

“ඔව්…ඉතින් අපිනම් සර්ප්‍රයිස් වුණා තමයි…” මම නෝක්කාඩු කීවෙමි.

“ම්ම්ම්…”

“දැන් මොකද අවීශ්…වෙඩි තියපු අය කවුද කියලා හොයා ගත්තද…?”

“ඔව්…තොරතුරු ටිකක් ලැබිලා තියනවා…අපි බලමු…”

ඔහු ඒ පිළිබඳව මා හා පවසනු ඇතැයි කියා මම සිතුවද එපණක් හැරෙන්නට වෙන් යමක් නොකීවේය. මට හැඟුණේ මහා දුරස් මෙන්ම ආගන්තුක හැඟීමකි. අනේ…ඒ අනතුර නිසා කෙතරම් වෙනසක් සිදුව ඇතිද….? අලුත් වූ ශෝකයක් මා සිත වෙළා ගති.

“පරිස්සමෙන් අවීශ්…” මම කියා ගතිමි.

“ආරණ්‍යා…මට ඔයාව මීට් වෙන්න ඕන…” ඔහු පවසන විට මා හද ගැස්ම වේගවත් විය.

“ඇ…හ්ම්ම්…ඒත්…” මට වුවමනා වූයේ ඒ ඇයිද කියා විමසන්නට වුවද මම එසේ නෑසුවෙමි.

“ඇයි ඒත් කිව්වේ…?”

“ඔයා කාටවත් පේන්න එහෙ මෙහෙ යන එක හොඳද…ඒක භයානකයි…”

“ඔයා හිතන්නේ…මං මෙහෙම ඉන්නේ බය නිසා කියලද…?”

“නැහැ…අවීශ්…ඔයා බය නැහැ කියලා මං දන්නවා…මැරෙන්න බය වුණ මිනිහෙක් නම්…එදා ඇක්සිඩන්ට් එක වෙලාවේ… මාව බේරන්න හදන්නේ නැතුව…ඔයාට බේරෙන්න තිබුණේ නැත්ද…?”

මා දෑස් යළිත් වරක් කඳුළින් තෙමිණි.

“ආයේම අඬන්න හදන්නෙපා…ආරණ්‍යා…”

මා දෑසට කඳුළු පිරුණු වග ඔහු දන්නේ කෙසේද…? මම එහි හිඳ වට පිට බැලුවේ ඔහු අහළ පහළ ඇතැයි යන සැකයෙනි. අඳුරු මාවතේ පෙනෙන මානයක කිසිවෙකු නැත. සිටියද මා දෑසේ ඇති කඳුළු දැකිය නොහැකිය. මගේම බොළඳ සිතුවිල්ලට මටම සිනහ නැඟිණි.

“දැන් හිනා වෙනවා…” ඔහු පවසන විට මම පුදුම වීමි.

“අවීශ්…” එම සිනා හඬ මා සවනට ගළා ආවේය.

“බොරුද මම කිව්වේ…?”

මම එයට පිළිතුරක් නොදුන්නෙමි. නදීරාගේ නිවසේ හමුවන්නට යොදාගෙන මම කතා බහ නිම කළෙමි.

එදින සිකුරාදාවකි. නදීරාගේ නිවසට යන බව නැන්දා හා පවසා මම කුළී රථයක එහි පැමිණියේ මා පැමිණෙන බව හෝ නදීරාට වුවද නොපවසමිනි. ඒ මොහොතේ ඈ රැකියාවට ගොස් පැමිණියා පමණය. මා හදිසියේ පැමිණීමෙන් ඈ පුදුමයට පත් වූවාය. නදීරාගේ මවුපියන් වුවද තවම අවීශ් පිළිබඳව දැන නොසිටියෝය. තාත්තා හා චන්ද්‍රම්මා ද තවමත් එය නොදනියි. එය තාත්තා හා පැවසීමට තරම් දෙයක්ද නොවූයේ ඔහු අවීශ්ට කොහොමටවත් කැමැත්තක් නොදැක්වූ බැවිනි. නදීරාගේ මව්පියන් නිවසට පැමිණෙන විට රාත්‍රී හත පමණ වේ. අපට සුළු මොහොතක් කතා බහ කිරීමට කාලය ඇත. නොඑසේ නම් අවීශ් දුටු සැණින් ඔවුන්ද කළබලයට පත් වනු ඇත.

“මොකෝ දන්නේ නැහැ මෙයා හදිසියේ මෙහෙ ආවේ…?”

සැකමුසු හඬකින් නදීරා ඇසුවේ මගෙන් වචනයක් අල්ලා ගැනීමට මෙනි.

“එන්න එපා කිව්වා නම් එන්නේ නැහැනේ…” බොරු අමනාපයක් මවා ගනිමින් මම කීවෙමි.

“අම්මද බොල…ඒකේ සැර…මට නම් හිතා ගන්න බැරි කමක් නැහැ…හදිසියේම කඩා පාත් වුණේ මොකද කියලා…”

“පේන බලනව කියලා…ගේට් එකේ බෝර්ඩ් එකක් එල්ලන්න තියෙන්නේ…හොඳට හම්බ කරන්න පුළුවන්…”

මම කියන විට නදීරා උස් හඬින් සිනහසුණ අතර මමද එයට එකතු වූයෙමි. අප මෙතරම් සැහැල්ලුවෙන් උස් හඬින් සිනහසුණේ කෙතරම් කාලයකට පසුවද..? එය සිහි වීමෙන්දෝ අප දෙදෙන එකිනෙකා දෙස නිහඬ බැලුම් හුවමාරු කර ගතිමු.

“කොච්චර කාලෙකින්ද අපි මෙහෙම හිනා වුණේ ආරණ්‍යා…?”

සැනසුමට පත් සුසුමක් පිට කරමින් ඈ කීවාය.

“හ්ම්ම්…සෑහෙන කාලෙකින් වගේ කියලා මට හිතෙන්නේ…” මමද එයට එකඟව කීවෙමි.

“මං ඔයාලට බොන්න මොනවා හරි ලෑස්ති කරන්නම්…”

ඈ අසුනින් නැඟී සිටියේ එසේ කියමිනි. මා කිසිත් නොකීවද නදීරා සියල්ල වටහා ගෙන සිටියාය. අවීශ් පැමිණියේ එවිටමය. ප්‍රසාද් ඔහුව හැරළවා පිටව ගියේ කිරීමට කටයුත්තක් ඇති බව පවසමිනි. නදීරාද අපට කතා බහ කිරීමට ඉඩ හැර ගෙතුළට ගියාය.

“තවම කකුළ අමාරුද අවීශ්…?” කතාබහට මුළ පුරමින් මම ඇසීමි.

“කකුළේ අමාරුව නම් හොඳයි…ඒත් හිතේ අමාරුව නම් හොඳ වෙයිද දන්නේ නැහැ…”

එම කතාව ඔහු කුමක් අරඹයා පැවසුවාදැයි කියා නොවැටහුණ බැවින් මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි. ඔහුට සිත් අමාරුවක් ඇති වීමට හේතු වූ කාරණය කුමක්ද….?

“ඒ ඇයි…?” පිළිතුරක් නොදුන් ඔහු ඉවත බලාගෙන සිටියේ නොමනාපයෙන් මෙනි.

“මොකක්ද අවීශ් ඒ කිව්වේ…?” මම යළිත් ඇසීමි.

“නැහැ…මොකුත් නැහැ…නිකමට කියවුණා…”

ඔහු නිකමට වචන පිට කරන අයෙකු නොවන බව මම හොඳාකාරවම දැන සිටියෙමි. මම නිහඬව සිටියේ ඒ පිළිබඳව හාරා අවුස්සන්නට යෑමෙන් පළක් නොවන බව දැනය.

“කොහොමද ජොබ් එක…?” ඔහු මවෙත හැරී ඇසුවේය.

“ජොබ් එක නම් හොඳයි…ඒත් මං තව ටික දවසකින් නවතිනවා…”

“ඒ ඇයි…වෙඩින් එක නිසාද…?” එක් වරම ඔහු අසන විට මම තිගැස්මෙන් ඔහු දෙස බැලීමි.

“වෙඩින් එක…ඒ කාගෙද…?”

“ඔයාගේ…”

“කවුද ඔයාට කිව්වේ මම මැරි කරන්න යනවා කියලා…?”

“ප්‍රොපෝසල් එකක් ආව කියලා නදීරා කිව්වේ…” මා මුවට සිනහ නැඟිණි.

“එහෙම ආව කියලා මැරි කරන්නම ඕනද…?”

“හ්ම්ම්…එයා හොඳයිද…?”

“කවුද…?” ඔහු යළිත් විමසීය.

“අනුරාග්…ඒකනේ එයාගේ නම…?”

“හොඳ නරක පිටින් පේන්නේ නැහැනේ…ඒ නිසා මං කැමති නැහැ…කාගෙවත් හොඳ නරක කතා කරන්න…”

“රෝවන් වගේ වුණොත් එහෙම…නේද…?”

“ආපෝ…මතකද එයාව…?” නොසතුටු හඬකින් මම ඇසීමි.

“ඔව්…ඔව්…මට හැමදේම මතකයි…” කෙටි සුසුමක් පිට කළ ඔහු කීය.

“අවිශ්…පුළුවන් නම් සිඟිති බලන්න ගිහින් එන්න…එයා ඔයා එයි කියලා බලන් ඉන්නවා…ආච්චි අම්මත් නිතර ඔයාව මතක් කරනවා…”

“මටත් මතක් වෙනවා…අපි යමුද ආයෙමත්…?”

මා තුළ තිගැස්මක් ඇති විය. පෙර මෙන් නිදහසේ ඔහු සමඟ ගමන් යන්නට නොහැකිය. ඔහු දැන් විවාහකයෙකි.

“ඒත්…මේ ප්‍රශ්න ඉවරයක් නැතිව…?”

මම එසේ කීවේ සිතට ආ සිතුවිල්ල සඟවාගෙනය.

“ඒ හැමදේම විසඳෙයි ඉක්මනටම…”

ප්‍රසාද් නැවත පැමිණියෙන් අපේ කතා බහ ඉබේම නැවතිණි.

“ආරණ්‍යා මිස්…කොහොමද …?”

ඔහු සුහදව විමසුවද මා සිතේ වූයේ නොමනාපයකි.

“කොහොඹත් නික වගේ…දෙකම තිත්තයි…”

නොමනාපය මම ඔහුගේ මුහුණටම පැවසීමි.

“මිස් මාත් එක්ක තරහා වෙලා වගේනේ…”

“වගේ නෙවේ…තරහයි…”

“ඇයි දෙවියනේ…! මං මොනවා කළාටද…?”

“දැන් ඕවා වැඩක් නැහැ…”

“හ්ම්ම්…ඒ වුණාට මිස් මැරි කරන්න යන එකට නම් අපේ සර් ඉන්නේ අප්සෙට් එකෙන්…”

මම තිගැස්මෙන් අවීශ් දෙස බැලීමි. ඒ මොහොතේ ඒ මුහුණේ කිසිදු හැඟීමක් සටහන් වී නොතිබිණි.

“බොරු කතාවක්…ප්‍රසාද් අයියා…”

“හ්ම්ම්…මාත් කිව්වා ඒක…”

“ඇති…ඇති…නවත්තපන්…”

ප්‍රසාද්ගේ කතාවට බාධා කරමින් අවීශ් ගෙරවීය. ඔහුට එය එතරම් සිතීමට වුවමනා නැත. ඔහු විවාහ වූයේ අප කිසිවෙකුට පවසා නොවේ. සමහරවිට නිරංගා ඇන්ටි හෝ දැරණියගල අංකල් විසින් ඔහුට බල කළා වන්නට ඇත. එනමුත් ඔහු පොඩි දරුවෙකු නොවේ. ඔහුට එය ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබුණා නොවේද…? නදීරා තේ සාදාගෙන අප අතරට පැමිණියාය.

“මොකෝ දන්නේ නැහැ…මෙයාට හදිසියේ ආරාණ්‍යා මතක් වුණේ…?”

ඈ තේ පිළිගන්වමින් ඇනුම්පදයක් එල්ල කළාය.

“හදිසියේ මතක් වෙන්න උඹ හිතුවද නින්දෙන් ඇහැරලා ආවා කියලා…?”

“නැතුව ඉතින්…නින්දෙන් ඇහැරිලා ආවා වගේ නේන්නම්…ඔයා ජීවතුන් අතර කියලා දැන ගන්න අපිට අවුරුදු දෙකකට වඩා ගියානේ…මෙයාට මොන හේතු කිව්වත් කමක් නැහැ අවීශ්…මට ඕවා කියන් එන්න එපා…ඔයාට යාළුවෝ හැටියට අපි ගැන මීට වඩා විශ්වාසයක් හැඟීමක් තියෙන්න ඕන…”

නදීරා එක දිගට දොස් පැවරුවද අවීශ් නිහඬව සිටියේ මා පුදුමයට පත් කරමිනි.

“ඔයාට හිතා ගන්නවත් බැහැ අවීශ්… අපි උහුලපු දුක් කන්දරාව…මොනතරම් වේදනාවකින්ද අපි හිටියේ කියලා…”

නදීරාගේ හඬ හැඬුම් මුසුය.

“මට නොතේරෙනවා නෙවේ නදීරා…ඒත් මේ හැමදේම තේරුම් ගත්ත දවසට ඔයා මට සමාව දෙයි…එතකල් ඉන්න…”

ඔහු කී දේ පිළිබඳව අර්ථය මට නොවැටහිණි. අවීශුත් ප්‍රසාදුත් නික්ම ගියේ ඉක්මනින් හමුවන බව පවසමිනි. ඊටත් සුළු මොහොතකට පසුව මමද නැවත නිවසට පැමිණියෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you