More
    spot_imgspot_imgspot_imgspot_img
    NovelsHima Mal Renu හිම මල් රේණු - 07

    Hima Mal Renu හිම මල් රේණු – 07

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු

    දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපයක් එකතු කොට ගෙන සංවිධානය කරන ලද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට තාත්තා ඇතුළු අපටද ආරාධනා ලැබී තිබිණ. නංගීත් පුංචි අම්මාත් එය ඇසූ මොහොතේ පටන් සිටියේ උද්දාමයට පත්වය.

    “ලොකූ….ඔයා මොකක්ද අඳින්න හිතාගෙන ඉන්නේ…? ”

    නංගී මගෙන් අසන විට මම ඈ දෙස බැලුවේ උදාසීන හැඟීමෙනි. මම කිසිත් නොකියා නිහඬව සිටියෙමි. ඒ අතරේ පුංචි අම්මා කතා කළාය.

    “ගොඩ කාලෙකින්….මෙහෙම පාර්ටියකට ඉන්විටේෂන් එකක් ලැබුණේ….මං ගාව තියන ඇඳුම් සේරම පරණයි මාවන්… අපි උදේට ගිහින් ඇඳුම් දෙක තුනක් ගන්නද..?”

    පුංචි අම්මා මවා ගත් තොඳොල් බවක් පෙන්වමින් තාත්තාගෙන් ඇසුවාය.

    “ඕන… එකක් කරගන්නවා මනෝරි…මං මේ පාර්ටියට යන්නේ නොයා බැරි කමට…”

    තාත්තා කතා කළේ නොසතුටෙනි.

    “හැමදාම…නැහැනේ මාවන්…”

    “හරි…හරි….ඇති බටර් ගෑවා….ලොකු දුව…ඔයත් යන්න…නැන්දා එක්ක…”

    මවෙත හැරුණු තාත්තා කීවේය. ප්‍රියසාද තරම් මම අප්‍රිය කළ අන් කිසිත් නොමැති තරම්ය.මේ මොහොතේ මා අකමැති බව කීවොත් තාත්තාගේ කෝපය ඇවිස්සෙනු ඇතැයි සිතා මම නිහඬව සිටියෙමි. කෙසේ හෝ මෙය මඟහැර නිවසට වී සිටිය යුතු යැයි කියා මම සිතමින් සිටියේ නැන්දාට ආරාධනා කර නොතිබූ නිසාත්, පුංචි අම්මා සමඟ යාමට ඇති අකමැත්තත් නිසාවෙනි.

    “මට නම් ඇඳුමක් තියනවා තාත්තේ… නැන්දාට ඇඳුමක් ගන්න නැන්දා එක්ක යන්නම්….අනික… අපි යන්නේ ෆැෂන් ෂෝ එකකට නෙවේනේ…අවුරුදු ගානක් කට්ට කාලා, කාලා යාන්තම් ඔළුව උස්සන් ආවා විතරයි…ෂොපින් කරලා සල්ලි නාස්ති කරන්න මොකටද…? පහුගිය කාලේ අපි ජීවත් වුණ විදිය මතකනේ…ගමේ මිනිස්සු එළවළු ටික නිකන් ගෙදරට ගෙනත් දුන්න නිසායි… ආච්චි අම්මාගේ පෙන්ෂන් එකෙනුයි…යාන්තමට මෙහෙම හරි ෂේප් වුණා…”

    මේ මොහොතේ මම එසේ කීවේ අමතක වූ යමක් මතක් කර දීමට වුවමනා වූ නිසා මිස නංගීගේ සතුට විනාශ කරන අදහසින් නොවේ. ඒ දෙදෙනාගේම මුහුණු ඇදව ගියේ මා බලා සිටියදීමය.

    “එහෙම හිතන එකෙක්…හරි ඉන්න එක ලොකු දෙයක්…”

    තාත්තා එසේ කීවද පුංචි අම්මා කෙදිනකවත් මගේ අදහස් අනුමත කරන අයෙක් නොවන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.

    “ගමේ ජීවත් වුණ විදියට… මෙහෙ ජීවත් වෙන්න අමාරුයි…”

    නොරුස්සුම් මුසුව පුංචි අම්මා කීවාය.

    “ඒක නම් ඇත්ත…මෙහෙ මොකුත් නිකන් ලැබෙන්නේ නැහැනේ…එහෙට වෙලා නොඉඳ මෙහෙ ආවා…එහේ මොන තරම් නිදහසකින් හිටියාද…? මෙහෙ දැන්… හැමදේටම සල්ලි….පාරටම කාලේ යනවා…පාඩම් කරන්නවත් කාලයක් නැහැ…තව අවුරුද්දක් දෙකක් ඉවසන් ඉන්න බැරි වුණානේ…”

    මා කී දේට තාත්තා කිසිත් නොකීවේය. නංගීගේ මුහුණ නිවී ගිය වෙසක් තොරණක් මෙන් වූයේ අලුත් ඇඳුමක් ගැනීමට තිබූ බලාපොරොත්තුව බිඳී යනු ඇතැයි සිතූ නිසා විය යුතුය.

    “මේවා අහලාවත් හැදෙනවා…”

    තාත්තා නංගීට සැර කළේය.

    “තාත්තේ…මං කිව්වේ මට ඇඳුම් ඕන නැහැ කියලා…මං ඔය තියන එකක් අඳින්නම්… එතෙන්ට එන අය මාව බලන්න නෙවේනේ එන්නෙ… නංගිලාට ගිහින් ඇඳුම් ගන්න කියන්න…නැත්නම් අනික් අය ඒකටත් මා එක්ක වෛර පිරිමහ ගන්න බලයි…”

    පුංචි අම්මාට වදින්නට ඇනුම්පදයක් එල්ල කරමින් මම නැඟිට කාමරයට ආවෙමි.

    සඳළුතලයේ අත් වැටට බරදී මම ඈත අහස දෙස බලා සිටියේ නිනව් නොමැතිවය. අඳුරු අහසේ තාරකා පිපී දිලිසුණේ එහි අඳුර පළවා හරින්නට මෙනි.

    “මොකෝ මේ… අහස දිහා බලන් කල්පනාව….හඳට රොකට් එකක්වත් යවන්නද…?”

    නැන්දා මා අසළට එනු හෝ මට නොදැනිණ. ඇගේ කතාවට මා මුවට සිනහා නැගිණ.

    “අර…එක්කෙනෙකුත් යැව්වේ…ඒ… වගේද..?”

    මා සිනහාසෙමින් කියනවිට නැන්දාද මා හා එකතු වූවාය.

    “ඔව්…ඔව්…අන්තිමට ගහපු බෙරේකුත් නෑ…බෙරේ පළුවකුත් නැහැ…හ්ම්ම්… හැබෑට මොනවද මෙතන්ට වෙලා කරන්නේ…?”

    “ඉස්සරහා ගෙදර කොල්ලෙක්වත් ඉන්නවද බැලුවා…”

    “අම්මේ…ඉතින්… ඔයා ගැන මම නොදන්නවැයි…”

    “ඒකනේ ඉතින්…මම කොල්ලෙක් දිහා බැලුවොත්…අනික් පැත්තෙන් ඉර පායයි කියලනේ ඔයා හිතන් ඉන්නෙ…නේ…”

    බොරු අමනාපයක් මවා ගනිමින් මම කීවේ අනෙක් පස හැරී ළය හරහා දෑත් බැඳ ගනිමිනි.

    “ඒක නම් ඉතින් එදාට බලාගමුකෝ… ”

    “මම ඔය ආවට ගියාට කොල්ලෙක් එක්ක යාළුවෙන්නේ නැහැ…පස්මහ බැලුම් සේරම බලලා තමා ඒවා කරන්නේ…”

    “හැරමිටියෙන් යනකල්…වෙන්නේ නැති වැඩක්…හරි…හරි…. ඔය කතා වැඩක් නැහැ…මම ආවේ දෙයක් කියන්න…”

    “ඒ මොකක්ද..?”

    ඈ වැදගත් යමක් කීමට සැරසෙනවා යයි සිතූ මා සිතේ උනන්දුවක් ඇති විය.

    “පුංචිට හැම වෙලේම හින්ට් පාස් කරන්න එපා දුව…එයා ඔයා එක්ක වෛර බැඳ ගනීවි…”

    මා සිතුවේ ඈ පවසන්නට යන්නේ වැදගත් යමක් කියාය.

    “අමුතුවෙන් මොන වෛරයක්ද නැන්දා… එයා කොහොමත් ඉන්නේ එහෙම තමා…”

    “ඒ වුණත් ළමයෝ…පරිස්සමෙන් කතා කරන්න…තාත්තට කේළම් කියලා උසි ගන්වන්නේ ඔයා කියලා ප්‍රශ්න ඇති කරවන්න බැරි කමක් නැහැ…”

    “ඒ නැතත් එයා ප්‍රශ්න ඇති කරනවානේ…අනික නැන්දා…මම එයා නැති තැන කිසි දෙයක් කියලා නැහැ… මොනදේ කිව්වත් එයා ඉන්න තැන කියන්නේ…හොරෙන් නෙවේ…”

    “මං කියන්නේ…එහෙම වත් එපා කියලා…”

    “එතකොට නැන්දාත් මට කියන්නේ…එයා මොනවා…කිව්වත්…කරත් එහෙයි කියලා උඩ බලන් ඉන්න කියලද…? ”

    “නැහැ…නැහැ ළමයෝ…එහෙම හිටියා නම් එයා ඔයාව පාගලා…හප …කරලා දාලා…”

    සුසුමක් හෙළමින් නැන්දා කියන විට මා මුවින්ද සුසුමක් ගිළිහිණ.

    “අම්මා හිටියා නම්…?”

    ඒ මොහොතේත් මට සිතිණ.

    ********** ******** ******** ******** ***************** ******** ********
    කන්නාඩි මේසය මත වූ අම්මාගේ ජායාරූපය අතට ගෙන මම මොහොතක් ඇගේ රුව දෙස බලා සිටියෙමි. ඈ කොතරම් සුන්දරද…? අම්මා මෙතරම් ඉක්මනින් මිය යෑම මොන තරම් අපරාධයක්ද..? ඇගේ මරණය පිටුපස සැඟවුණු අභිරහසක් ඇතැයි කියා මට නිතර සිතිණ. තාත්තාගේ ඉක්මන් විවාහයත් සැක කටයුතු නොවන්නේද..? කිහිප වතාවක් මට ඔහුගෙන් මේ පිළිබඳව විමසීමට වුවමනා වුවද, මම මුණිවත පිරුවේ එය අමතර ගැටුමක හෝ සිත් රිදවීමක ඇරඹුමක් වෙනු ඇතැයි සිතාය.

    “දුව….ආන්…තාත්තා බලන් ඉන්නවා… ඔයා ලෑස්තිද…? ”

    නැන්දා ගේ හඬ ඇසී අත රැඳි ජායාරූපය එළෙසම තැබූ මම , පොත් කීපය අතට ගෙන ආපසු හැරෙන විට නැන්දා කාමරයට එබුණාය.

    “අද ගුණතුංග මාමා නෙවේද මාව ඇරළවන්නේ…?”

    “නැහැ…ගුණතුංගයියා ගියා කාර් එක සර්විස් එකට දාන්න…එයා එද්දී දවල් වෙයි…තාත්තා එක්ක යයි…”

    මම නැන්දා සමඟ පහත මාලයට එනවිට තාත්තා රථය පණ ගන්වාගෙන මා එනතුරු බලා සිටි නිසා දිව විත් රථයට නැගුණෙමි.

    නදීරා යන අමතර පන්තියට මාවද කැඳවාගෙන යෑමට ඈ පොරොන්දු වී සිටියේ දින කීපයකට පෙරමය. පන්තියේ ළමුන් සියළු දෙනම එම අමතර පන්තියට පැමිණෙන බව ඈ මා සමඟ කියා තිබුණාය. තාත්තා අපව දමා පිටව ගියේ සවස අපිව කැඳවා ගෙන යෑමට එන බව පවසමිනි.

    “මේ…අතන තෙෂාරා ඉන්නවා…අර බෝයි කෙනෙක් එක්ක කතා කර කර…හිමින් බලන්න…”

    අපි පන්තිය දෙසට පියවර තබන මොහොතේ නදීරා මට රහසින් පැවසුවාය. ඇගේ දෑස් රැඳ වී ඇති දෙසට මමද සෙමෙන් නෙත් දිවවූයෙමි. මමද තෙෂාරා දුටුවෙමි.ඈ තරුණයෙකු සමඟ කතාවකය. අපට පිටුපා සිටි ඈ අපව නොදුටුවද මම ඒ තරුණයා නම් පැහැදිලිව දුටිමි. අවීශ් තරමට උස් නොවූවද ඔහු කඩවසම් අයෙකු විය. එවර ඔහු අප දෙස වඩා වුවමනාවෙන් බලන විට තෙෂාරාද පිටුපස හැරී බලා අපව දැක ඔහුගේ මුහුණ ඉවතට හැරවූයේ නොමනාපයෙන් වන්නට ඇත.

    “ඒ තමා ටෙලාන්… තෙෂාරගෙ අලුත් ලව් එක…”

    නදීරා කීවේ අප ශාලාවට ඇතුළු වන විටමය.

    “අලුත් කියන්නේ…එයාට පරණ ලව් එකකුත් තිබුණද …?”

    මම තරමක මවිතයෙන් ඇසීමි. මා සිතා සිටියේ ඈ අවීශ් පිළිබඳව සිත් පහළ කරගෙන ඇති බවකි.

    “එක්කෙනෙක් නම් බැරියැ…කීයක්ද..? එයාට නම් ඔන්න කොල්ලෝ නතින්… ඇඳුම් මාරු කරනවා වගේ…”

    “ඇත්තටම…? ”

    “හ්ම්ම්…සේරම ලොකු ලොකු අතු තමා… හැබැයි ඉතින්… මෙදා පාර ටෙලාන් එක්ක නම් ලේසි වෙන එකක් නැහැ…. ඒත් ඉතින් එයාටත් හැම තැනම කෙල්ලෝ…”

    මම පොත් කීපය බංකුව මත තබා නදීරා පසෙක හිඳ ගත්තේ රසවත් කතාවකට සවන් දෙන්නට සැරසෙන කුඩා දැරියක මෙනි.

    “එයාත් ඒ වගේද…? ” මම ඇසීමි.

    “නැතුව…ඔයා දන්නවද අර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉන්නේ….රෝයි ලිවේරා කියලා….අර ඩ්‍රග්ස් කේස් ගියේ පහු ගිය කාලේ …?”

    මම ඔහු දන්නා බව කීවෙමි.

    “ඉතින් …? ”

    “ඒ ටෙලාන්ගේ මාමා…ටෙලාන්ගේ අයියාවත් වෙඩි තියලා මැරුවා…ඔය ඩ්‍රග්ස් කේස් එකක් නිසා….නිව්ස් වලටත් ගියා ඒක…පස්සේ ඒ වෙඩි තියපු කෙනාවත් මරලා තිබ්බා…”

    එවන් සිදුවීමක් ගැන මතකයක් මා හට නොතිබූ මුත් ඇසූ දෙයින් මම සළිතව ගියෙමි. ඔය කියන ලෙසින් ටෙලාන්ද ඒවාට සම්බන්ධ නැතැයි කාට නම් කිව හැකිද ?

    “අම්මෝ!…අනේ…. අහද්දිත් බයයි…”

    “නැතුව…ටෙලාන් කියන්නෙත් මහා නොටෝරියස් කේස් එකක් තමා…අලුතින් ආව ඇක්ට්‍රස් කෙනෙක් එක්ක අෆෙයාර් එකක් එහෙම තිබිලා හොටෙල් වලයි අතනයි මෙතනයි ඉඳලා ගත්ත පොටෝ එහෙම ගොඩාක් වෛරල් වුණා…පට්ටම චාටර්…”

    මම දෙවුර සැළුවේ ඒ බව නොදන්නවා බව කියමිනි.

    “ඉතින්…තෙෂාරා කොහොමද ටෙලාන් අඳුනන්නේ…? ”

    “මං හිතන්නේ නම් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා… ”

    “එතකොට… එයා මේ ටෙලාන් එක්කත් යාළුවෙලා ඉන්න ගමන්ද අවීශ්ටත් ට්‍රයි කරන්නේ…? ”

    මා අසන විට නදීරා සිනහාසුණේ සමච්චල් ලෙසිනි.

    “එයා කාටද ට්‍රයි නොකළේ…?අවීශ් ව දැලේ දාගන්න නොකරපු දෙයක් නැහැ…ඒ වුණාට කිව්වේ අවීශ් ගෙන් ඈත් වෙලා ඉන්න…එයාට කෙල්ලෝ නිකන් ටෝයිස් වගේ කියලා…”

    “නරියට මිදි ඇඹුල් වුණාම…”

    “ඔයා එයාට ට්‍රයි කරයි කියලා හිතන්න ඇති…”

    “අනේ…වෙන වැඩ නැතුවට…කොණ්ඩ කුරුල්ලා…අපේ විලෝ ගහටත් එනවා ඒ වගේ කොණ්ඩ කුරුල්ලෙක්….”

    මා කී දේට නදීරා උස් හඬින් සිනහාසුණාය.

    පන්තිය ඇරඹීමට තව අඩ පැයක් පමණ ඇත. මට නදීරාගෙන් අවීශ් ගේ පවුලේ තොරතුරු යමක් දැන ගැනීමට වුවමනා වුවද ඈ මා ඒවා විමසන්නේ මන්දැයි කියා සැකයක් ඇති කරගනු ඇතැයි කියාත් සිතිණ. ඒ අතර ටිරෝන් ,තේෂාන් සහ පන්තියේ ළමුන් කීප දෙනෙකුම ශාලාවට ඇතුළු වනු මා දෑසට හසු විය.

    “අවීශ් පන්ති එන්නෙ නැද්ද…? ”

    ඔහු ඔවුන් සමඟ නොසිටි නිසා මම ඇසීමි.

    “අනේ මන්දා… හිටපු ගමන් එනවා…දවසක් දෙකක් ආවා…”

    නදීරා පිළිතුරු දුන්නේ නොසැළකිලිමත් ලෙසිනි.

    “ඒ මොකද අප්පා…ඒ……එයාගේ පවුලේ එයා විතරද ඉන්නේ…? ”

    “ඔව්…එකා යකාලුනේ…තාත්තත් ඉතින් ලේසි පාසු කෙනෙක් නෙවේනෙ…”

    “ඒ මොකද..?”

    “ඇයි ඉතින්… සල්ලි නේ…? ”

    “ඩ්‍රග්ස් සෙලර් කෙනෙක් නෙවේනේ…?” සැකමුසුව මම ඇසීමි.

    “අපෝ…නැහැ…එයා ටුවරිසම් නෙ කරන්නේ… කොළඹම හොටෙල්ස් දෙකක් තියනවලු…එතකොට නුවර එළියේ… හොටෙල්ස්…තව වගා කරන ඉඩම්….ගෙවල් කීපයකුත් තියනවා ලු නුවර එළියෙම….”

    “ඒක තමා…පුතා පවර් එක අරන් ඉන්නේ…” මම නොමනාපයෙන් කීවෙමි.

    “ඒ වුණාට….ටෙලාන්ලා එක්ක බලද්දී අවීශ් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ජෙනුයින් පොරක්…”

    “අපෝ ඔව්….හොඳ කම පේනවා…”

    “තාත්තට වඩා හොඳයි නේ…”

    “ඒ ඇයි.. ? ”

    “එයා හරි හොඳ නැහැ කියනවා…”

    “ඒ කිව්වේ….?”

    “ලව් අෆෙයාර්ස්…”

    “නෑ..! බොරු නේද…?”

    “ඇත්‍ත අනේ….හැමෝම දන්නවා…ඒවා ඉතින් ලව් නෙවේනේ…රට පුරාම ගෑණු ලු…”

    නදීරා පහත් හඬින් කියන විට මා ගත කිළිපොලා ගියේය.

    “අනේ..!” මට කියවිණ.

    “ඔව් අනේ…සේරම මැරි කරපු අයලු…”

    පිළිකුල් සහගත හැඟීමකින් මා ගත හිරිවැටී ගියේය.

    තෙෂාරාත් ඇගේ සහචාරිකාවනුත් ශාලාවට පිවිසියෙන් අපි වෙනත් කතාවක් ඇද ගත්තද මගේ මනසේ වූයේ අවීශ් ගේ තාත්තා පිළිබඳව අසන්නට ලැබුණු දේ පිළිබඳවමය. තේෂාන් අප අසළට පැමිණියේ ටිරෝන්ලාගේ පෙළේ අසුන් පිරී තිබූ නිසාය.මේ වන විට ළමුන් සියළු දෙනම ශාලාවට පැමිණ තිබූ අතර මා පසෙක වූ අසුන හැරුණු කොට සියල්ල ළමුන් ගෙන් පිරී තිබිණ. කිසිවෙකු පැමිණ එහිද අසුන් ගන්නා විට නදීරා මට වැළමිටෙන් ඇන්නාය. මම හැරී බලන විට අවීශ් මා පසෙකය. සියුම් චකිතයක් මා සිතට දැනිණ. ඔහු ගැල්වූ විළවුන් සුවඳින් මුළු ශාලාවම පිරී ගියාසේ ඉදිරිපස හිඳ සිටි කිහිප දෙනෙකුම ආපසු හැරී බැලුවෝය.

    “ගුඩ් මෝර්නින්!…”

    මම කියන විට ඔහු මා දෙස හෝ නොබලාම එයට පෙරළා සුබ පැතුවේ ඉදිරිපස බලානමය.

    “මහන්තත්ත කම…” මම සිතුවෙමි.

    නදීරා බිමට හිස යොමන් සිනහාසෙන විට මම ඇගේ කකුළ පෑගුවේ අවීශ්ට පහරක් එල්ල කරනු නොහැකි නිසාය.

    “ඌයි!…අනේ…”

    ඈ තරමක් හඬින් නැඟූ කෙඳිරිල්ල නිසාත් මා සිත ලැජ්ජාවෙන් මිරිකී ගියේ එය අර කොණ්ඩ කුරුල්ලාටද ඇසෙන්නට ඇතැයි සිතා මුත් ඔහු සිටියේ කිසිවක් ඇසෙන හෝ දැනෙන විලාසයකින් නොවේ.

    පන්ති ආරම්භ වීත් ඔහු මදෙස හෝ තේෂාන් දෙස වැරදීමකින් හෝ නොබැලීමට ප්‍රවේශම් විය. විවේක කාලය එළඹි සැණින් ඔහු අපෙන් වෙන්ව ටිරෝන්ලා සමඟ එකතු විය. තේෂාන් අප සමඟම රැඳී සිටියේ අවීශ් ඔහුව මායිම් නොකරන නිසා ටිරෝන්ලා සමඟ වුවද එකතු වීමට ඇති අකැමැත්ත හේතුවෙනි.
    ඔහු අවීශ්ගේ හොඳම මිතුරා ව සිටියා නම් මේ මොහොතේ ඔහුගේ සිතේ කුමන වේදනාවක් ඇතිදැයි කියා සිතන විට තේෂාන් කෙරෙහි අනුකම්පාවක් මා සිතේ ඇති විය.

    “තාම කතා නැහැ නේද …? ”

    මම අසන විට තේෂාන් වටපිට බලන්නට වූයේ මා කී දේ නොවැටහුණු බවක් අඟවමිනි.

    “අවීශ් අනේ… ”

    “ආහ්!…ඔව්.ඔව්..නෝ කතා නෝ සිනා…”

    “මහන්තත්ත කමනේ…වෙන මොනවද…”

    නොමනාපයෙන් මම කියන විට තේෂාන් මඳහසක් පෑවේය.

    විවේක කාලය අවසන් වී අවීශ් යළි අප අතරට පැමිණෙන විට ටිරෝන් ඔහුට ඔවුන් අසළට එන්නැයි කීවේ එතනින් අයෙක් හා අසුන් මාරු කර ගමු යැයි යෝජනා කරමිනි. ඒ වැඩිමනත්ම මා රිදවීමේ වුවමනාව නිසා බව නම් මට වැටහිණ. නමුත් ඔහු ටිරෝන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අප අසළම රැඳී සිටින විට මා සිතේ සියුම් ආඩම්බර මුසු හැඟීමක් ඇති වූයේ නිතැනිනි. නදීරා මට යළිත් වරක් වැළමිටෙන් ඇණ බිමට සිනහාසුණාය. තේෂාන් මවෙත හැරී ඇසක් ඉඟිමැරුවේ ඔහුට නොපෙනෙන ලෙසය.

    අවීශ් අප සමඟ සිටියද අප කිසිවෙකු සමඟ වචනයක් හෝ කතා බහ නම් නොකළේය.පන්තිය අවසන් වූ සැටියේ ඔහු කිසිවෙකුට නොපවසාම පිටව ගියේ මා සිතේ නොසතුටක් ඇති කරමිනි.

    “කඩි කුළප්පුව හැදිලා වගේ දිව්වේ…”

    මම නදීරා හා කීවේ නොමනාපයෙනි.

    “ඔච්චර වෙලා හරි හිටියා මදෑ…” නදීරා කීවාය.

    “ළඟට වෙලා හිටියා පුදුමයි…මිනිහට කෙල්ලෝ ඇල්ජික්…”

    තේෂාන් කීවේ අප සිනහා නංවමිනි.

    “හැබැයි ඉතින්…මම වුණා නම්… ළඟටවත් එන්නේ නැහැ…ඊයේ කියපු දේවල් වල හැටියට…”

    නදීරා ඇනුම්පදයක් එල්ල කරන විට මම ඇගේ බාහුවක් කෙනිත්තුවෙමි. ඈ එවර කෑ ගැසුවේ රිදුණු බවක් බොරුවට අඟවමිනි.

    -හෙටත් හවස 5 ට මුණ ගැසෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 06

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කතා කරන තුරු මම බලා සිටියෙමි. ඔවුන් දැන් මිතුරන් නොවීමට හේතුව කුමක්ද ?...

    Dampe Village බොල්ගොඩ වැව් ඉස්මත්තේ සතුටු සාමිචියට සාද සන්ධ්‍යාවට තැනක්!

    Dampe Village - ගෙවෙමින් පවතින කාලය ලංකාවේ සියල්ලටම පාහේ එතරම් සුබදායි එකක් නොවේ. ආර්ථිකව මෙන්ම මානසිකවද මිනිසුන් ඇත්තේ විඩාබරව...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page