රත් දෝතළු – 77
අපි රෝහලට එනවිටත් රෝගීන් බලන වේලාවෙන් අඩ පැයක් ගෙවී යෑමට ආසන්න විය. මා සිතුවේ අහස් මා රෝහල අසලින් හැරදමා යළි ආපසු යාවි යැයි කියා මුත් ඔහුද මා සමඟම රෝහලට ආයෙන් මා සිතේ ඇතිවූයේ සතුටකි. රෝහලට පැමිණ සිටියේ අම්මා තනිවමය. ඈ මා දැක සහනයට පත්වූබවක් පෙනිණි. තාත්තාගේ පෙනුම තරමක් දුක්බරිත විය. ඔහු සිටියාට වඩා තරමක් කෙසඟව ඇතිවාක් මෙනි. යහන මත වැතිර සිටි ඔහු මා දැක වැළමිටට බරදී නැඟීසිටින්නට දැරූ උත්සාහය මම වළකාලීමි.
“මොකටද කරදර වුණේ ළමයෝ…?”
ඔහු අපහසුවෙන් හුස්ම ගනිමින් විමසීය.
“කරදරයක් නෙවේනේ…”
එසේ කී මම මුළින් අහස්ව ඔවුන්ට හඳුන්වා දුනිමි.
“මහත්තායට පින්…”
අම්මා කීවේ මා කැඳවාගෙන ආ නිසා වන්නට ඇත. අහස් තොරතුරු විමසුවේ අම්මාගෙනි. තාත්තාට කතා කිරීමට අපහසු බව ඔහුටමම පෙනී ගියේය. ඔහු අම්මා සමඟ බොහෝ වේලා කතාකරමින් සිටි නිසා මම ඊට ඉඩහැර තාත්තා සමඟ කෙටි කතාබහක යෙදුණෙමි. රෝගීන් බලන වේලාව ගෙවී යන මොහොතේ අපි පිටව ආවෙමු. අහස් මාවත් අම්මාවත් නිවසට හැරළවා පිටව ගියේ අම්මා සෑදු තේ කෝප්පයකුත් රස බලාය.
“සර් පරිස්සමින් යන්න… ගිහින් කෝල් එකක් දෙන්න… මං මැඩම්ට කියන්නම් සර් පිටත්වුණා කියලා… නිදිමතක් ආවොත් එහෙම ටිකක් නැවතිලා යන්න…”
මම එකදිගටම කියවන් ගියේ ඔහු රථයට නැඟුණ මොහොතේය. මුවේ සිනහවක්ද සමඟ ඔහු අසා සිටියේය.
“ඕකේ මැඩම්… මං එහෙම කරන්නම්කෝ… අර ගැනත් හිතලා බලන්න…”
ඔහු සිනහ මුවෙන්ම කියා පිටවගියේ අලුතින් ලැජ්ජා මුසු වූ හැඟීමක් මා සිතේ ඉතිරි කරමිනි. ඇඟපත සෝදාගෙන ගෙතුළට පැමිණියද මා ගතටත් වඩා සිතට මහත් විඩාබර බවක් දැනිණි.
“ඔයාලගේ සර් නම් හරි ෂෝක් නේද ලොක්කක්කේ…?”
නංගී විමසුවේ මා අසලින් හිඳගනිමින් මා බඳවටා දෑත යවා මට තුරුළුවෙමිනි.
“ෂෝක් කිව්වේ…?”
නොවැටහුණ බවක් අඟවා මම ඇසීමි.
“හරි හොඳයි කියලා අනේ…”
“ආහ්… ඒක මිසක්…”
මම කීවේ මා අසලට ආ මල්ලිවද පසෙක වාඩිකරවා ගනිමිනි. අපි තිදෙන එකතුව හිඳගෙන සිටි අතරේ අහස් මඟදී රැගෙන දුන් කේක් කපා අපට දුන්නාය.
“ඕවා කෑවා වගේ නෙවේ… රෑට කන්න ඕන…”
කෑමට පිරියක් නම් මට කොහෙත්ම නොවීය. එසේ නමුත් අම්මාගේ සිත රිදවන්නට නොහැකිය. නංගීත් මල්ලීත් ඉවතට ගිය පසුව අම්මා මා පසෙක හිඳගත්තේ කුමක් හෝ කතාබහකට බව මට වැටහිණි.
“ආ ලොකු දුවේ… ඒ මහත්තයා ඇත්තටමද කිව්වේ තාත්තාව කොළඹ දොස්තර මහත්තයෙක්‍ට පෙන්නමු කියලා…?”
අම්මාගේ හඬේ වූයේ අලුත් බලාපොරොත්තුවකි. අහස් එවන් කතාවක් කීවේ අප නිවසට පැමිණි පසුවය.
“සර් එහෙම කිව්වා නම් නොකර ඉන්නේ නැහැ අම්මේ… ඒත් අම්මේ කාට පෙන්නුවත් තාත්තා පරිස්සම්වෙන්න ඕන… වෙලාවට කලාවට බෙහෙත් ටික ගන්න ඕන… නැතුව වැඩක් නැහැ…”
“අහනකොට නම් කියනවා ගත්තා කියලා… මාත් ඉතින් නිතර දෙවේලේ ගෙදර ඉන්න එකක්යැ…”
“තාත්තත් දැනගන්න එපැයි…”
මම නැඟිට මිදුලට ආවේ ඇට්ටේරියා මල්ගස පාමුලටය. පිපී එන මල් සුවඳ මා නාස්පුඬු සිපගති. සුසුමක් හෙළමින් මම බංකුව මත හිඳගත්තේ මල් සුවඳ දිගේ අහස් සමඟ එක්ව ගමන්කළ කාලය මා මනසේ සිතුවමක් මෙන් ඇඳෙන විටය. මා සිටියේ දෙගිඩියාවෙනි. ඔහු කී දේ සිහිවන විට මා සිත අමුතු රිද්මයකට ගැහෙන්නට විය. එසේම විහඟව විදෙස්ගතවන්නට පෙර කී දේවල්ද මේ මොහොතේ මට සිහි විය. අහස් පිළිබඳව වෙනදා නොමැති ලෝභකමක් මා සිතේ දැන් දැන් ඉපිදෙමින් ඇත. ඔහුද මට මෙවන් යෝජනාවක් කළේ සිත යට වූ ආදරය නිසා නොවේද කියාත් මට සිතිණි.
————————————————————————————————————————————————————-
පසුදින පාන්දර රෝහලට යෑමට පාලිත මාමා පැමිණෙන බව කීවෙන් අම්මාත් මල්ලීද සමඟ පිටත්වුණේ මට දහවල යන්නට කියාය. පාලිත මාමා සමඟ කතාබහට මට අවස්ථාවක් ලැබුණේ ඔවුන් යළි පැමිණි පසුවය. ඔහු පැවසූ පරිදි පරීක්ෂණ නවතා ඇත. එය නම් තරමක සහනයකි. මාත් නංගීත් දහවල් රෝහලට පැමිණියෙමු. පෙරදිනට වඩා ඔහුට යම් සුවයක් ලැබී ඇතිබව දැක මා සිතේ ඇතිවූයේ සහනයකි.
“ඔයත් වෙලාවට බෙහෙත් අරන් පරිස්සම් වෙන්න ඕන… හරියට බෙහෙත් ටික ගන්නවද දන්නැහැ…”
මම දොස් කීවෙමි. තාත්තා කිසිත් නොකියා සිනහසෙනවිටම මට තේරුම්ගියේ ඔහු එසේ නොකරන බවය.
“ඔයා හිනාවෙන්නකෝ… මොනවා හරි වුණා නම් අපිට තමා අඬන්න වෙන්නේ…”
නොසතුටෙන් මම කීවෙමි.
“හෙට දිහාට ගෙදර යන්න පුලුවන් වෙයි කිව්වේ…”
කතාව මඟහැරීමටදෝ තාත්තා කීය. මම කිසිත් නොකීවෙමි. මාත් නංගීත් රෝහලෙන් පිටත්ව බසයෙන් බැස නිවසට එන අතරේදී කේෂවගේ මෝටර් රථය අප අසලම නැවතිණි. මා සිතේ තිගැස්මක් ඇති වුවද එය පරයා නැඟුණේ පිළිකුළක් මෙන්ම වෛරයකි.
“ආහ්… නෝනා හාමු… කවද්ද ගොඩ බැස්සේ…?”
රිය කවුළුවෙන් හිස දමා කේෂව විමසුවේ උපහාසය මුසු හඬකින් වුවද ඒ දෑස්වලින් පිටවන වෛරයේ ගිණි දළු මට පෙනුණ මුත් ඒ වෛරයට වඩා වෛරයක් මා සිතේ විය. මමද ඔහු වෙත හෙළුවේ එවන්ම ගිණි දළු පිටවන බැල්මකි.
“ගොඩ බහින්න මං නැව්නැංගේ නැහැනේ කේෂව… ලංකාවෙම තමා හිටියේ…”
අවඥාසහගත හඬකින් මම කීවෙමි. රියදුරු අසුනේ සිටියේ ගුණදාස මාමාය. ඔහු ගමේ අහිංසක මිනිසෙකු විය. ප්‍රියනන්ද විදෙස්ගත වූවාට පසු එසේනම් දැන් රියදුරු ලෙස සේවය කරන්නේ ගුණදාස මාමා විය යුතුය.
“හිටියාට වඩා ලස්සන වෙලා…”
එවර ඔහු කීවේ සටකපට සිනහවක් මුවේ නංවාගෙනය. නංගී මා බාහුව කෙනිත්තුවේ යමුයි කියන්නටය.
“නරියෙකුත් කිව්වලු කපුටෙකුට ඔය වගේ කතාවක්… ඒක නෙවේ… දැන් කොහොමද ඔයාට… ලොකු කරදරයක් වුණාලු නේද… ඊට පස්සෙත් හොඳ කොසු පාරවල් ටිකක් කෑවා කියලා ගමේ කීපදෙනෙක් කිව්වා…”
ඔහුට කතාකරන්නට ඉඩක් නොතියා මම කීවේ අවඥාසහගත හඬකිනි. කේෂවගේ මුහුණ බලාසිටියදී අඳුරුව ගියේය. ඔහු රියදුරුට සන් කළෙන් රථය ඉදිරියට ඇදී ගියේය.
“මොකද අනේ ඒ මිනිහා එක්ක කතාවට නැවතුණේ… මට නම් පේන්න බැහැ…”
නංගී කීවේ නොමනාපයෙනි.
“නැවතුණා නෙවේනේ… නවත්ත ගත්තානේ… ඔයා එහෙම කතාවට යන්න එපා මේ වගේ වාහනේ නවත්තලා කතා කළොත් එහෙම…”
මා සිතේ ඇති වූ බිය නිසා මම නංගීට අනතුරු ඇඟවූයෙමි.
“ආපෝ… කවුද එයා එක්ක කතාවට යන්නේ… අනික මං තනියම නෙවේ යන්නේ එන්නේ… අපි යාළුවෝ සේරම එකටමනේ එන්නේ… සූමීරයි චතුරයි මා එක්කම ගේ ළඟටම එනවා… හවසටත් අපිව එක්ක යන්න පන්තිය ගාවට කවුරුහරි එනවා…”
නංගී කීවේ මා අස්වසන්නට මෙනි.
“එහෙනම් බයවෙන්න ඕන නැහැනේ…”
“අපෝ නැහැ…”
නංගී සිනහසෙමින් කීවාය. අම්මා ඉස්තෝප්පුවට වී අප එනතුරු පෙරමඟ බලා සිටිනු අපි දුටිමු. මාත් නංගීත් එකටම ඉස්තෝප්පුවට ගොඩ වී පුටු දෙකක හිඳගතිමු. මෙදින කවදාටවත් වඩා අව් රෂ්මිය වැඩිය. වෙල්යාය සිප හමා මෘදු සුළඟ නිසා ගත පුරා වූ දහදිය පහව යන්නට විය.
“දැන් මොකද තාත්තට…?”
අම්මා විමසුවේ සුළු මොහොතක් ගතවුණු පසුවය.
“දැන් නම් ටිකක් හොඳ පාටයි… හෙට ටිකට් කපනවා කිව්වලු… අද උදේ ආව ඩොක්ටර් බලලා…”
“හ්ම්ම්… ඒකනම් හොඳයි… චූටි අර දොඩම් ගෙඩි දෙකක් තියනවා හදන් එන්නකෝ…”
අම්මා නංගීව මුළුතන්ගෙයට යවා කුමක් හෝ කතාබහකට අර අඳින්නට සූදානම් වනබවක් මට ඉවකින් මෙන් වැටහිණි.
“මං උඹව ගෙන්නුවේ තාත්තා අසනීප වුණු නිසාම නෙවේ ලොකු දුවේ… තව කාරණාවක් කියන්නත් එක්ක…”
සුසුමක් හෙළමින් අම්මා කීවේ මා සිතේ කුතුහළයක් ඇතිකරමිනි.
“ඒ මොකක්ද අම්මේ…?”
-හෙටත් හමුවෙමු-