ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා – Ahmadinejad
ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු – ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ මහමුද් අහමදිනෙජාඩ් ජීවිතක්ෂයට පත්වු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේ නමුත් ඉරානය හිටපු ජනපතිවරයාගේ මරණය පිළිබඳ තවම නිල වශයෙන් දැනුම් දී නැහැ. ටෙහෙරානයේ කුඩා ගමක කම්මල්කරුවෙකුගේ පුතෙක් ලෙසින් ඉපදී අමෙරිකාව ප්‍රමුඛ විදෙස් රටවලට නොබියව අභියෝග කෙරූ රැඩිකල්වාදී නායකයෙකු ලෙසින් හැඳින්වෙන මහමුද් අහමදිනෙජාඩ් ඉරාන දේශපාලනයේ සුවිශේෂීම චරිතයක්.

ටෙහෙරානයේ කුඩා ගමක් වූ අරදාන් හි 1956 ඔක්තෝබර් 28 වැනිදා මහමුද් සබ්බාගියන් උපත ලබනවා. ඔහුගේ පියා කම්මල්කරුවෙක්. කම්කරු පංතියේ අයෙක් ලෙස ලොකු මහත් වුණ ඔහුගේ සිත දේශපාලනය කෙරෙහි ඇදී ගිය අතර 1976 වසරේ මහමුද් ඉරාන විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරනවා. ඉරාන විප්ලව අවධියේ එවකට බලයේ සිටි ෂා බලයෙන් පහ කිරීම උදෙසා පැවැත්වුණ ශිෂ්‍ය පෙළපාළිවලට ඔහු නායකත්වය ලබා දුන්නා.
විප්ලවයෙන් අනතුරුව අයතුල්ලා රුහොල්ලා කොමේනි යටතේ ඉස්ලාමීය ජනරජය ස්ථාපිත කිරීමෙන් පසු මහමුද් අහමදිනෙජාඩ් යනුවෙන් ප්‍රකට වූ ඔහු නව පාලනය සහ එහි දෘෂ්ටිවාදය ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද බලගතු මිලීෂියාවක් වන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ වුණා. ඒ අතරතුරම අධ්‍යාපන කටයුතුද අතපසු නොකෙරූ අහමදිනෙජාඩ් ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව සහ සැලසුම්කරණය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. 1993 වසරේදී වයඹදිග ඉරානයේ අලුතින් පිහිටුවන ලද අර්ඩබිල් පළාතේ නායකයා වශයෙන් තේරී පත්ව වසර හතරක් එහි සේවය කිරීමෙන් අනතුරුව නැවතත් කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළා.

කොන්සර්වේටිව් කණ්ඩායම් සමඟ එක්ව දැඩි මතධාරී බලවේග ඒකාබද්ධ කිරීමට සහ ඉරානයේ මධ්‍යස්ථ දේශපාලන අංගවලට අභියෝග කිරීමට උත්සාහ කළ සුප්‍රකට කණ්ඩායමක් වන Ābādgarān-e Īrān-e Eslāmī පිහිටුවීමට ඔහු සිය දායකත්වය ලබා දුන්නා. මෙම කණ්ඩායම 2003 වසරේදී ටෙහෙරාන් නගර සභාවේ පාලනය දිනා ගත්තේ මහමුද් අහමදිනෙජාඩ් ඉරානයේ අගනගරයේ නගරාධිපතිවරයා බවට පත් කරමින්. රථවාහන ගැටළු විසඳීම, නාගරික වියදම් අඩු කිරීම වැනි කරුණු උදෙසා ජනප්‍රසාදය ලබාගත් ඔහු සාමාන්‍ය පුරවැසියන්ගේ හදවතට කතා කිරීමට ඇති ශූර බව නිසාම කෙටි කළකදීම මහජන ප්‍රසාදය ගොඩනගා ගැනීමට සමත් වුණා.
දූෂණය මැඩලීම, ආර්ථික සමානාත්මතාව සහ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදි කරමින් 2005 දී ඉරාන ජනපති ධුරය වෙනුවෙන් තරඟ කෙරූ අහමදිනෙජාඩ් සිය ප්‍රතිවාදියා වූ අක්බාර් හෂෙමි රෆ්සන්ජානි පරාජය කරමින් 2005 අගෝස්තු 3 වැනිදා ඉරානයේ හයවැනි ජනපතිවරයා බවට පත්වුණා. අඩු ආදායම් ලාභී පුරවැසියන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කෙරූ ඔහු දුප්පත් ජනතාවගේ ආදරය වැඩි වැඩියෙන් දිනා ගත්තා. අහමදිනෙජාඩ් ජනපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති, රජයේ වියදම්, ඉන්ධන සහ ආහාර සහනාධාර, ලාභ ණය වැනි දේවල් නිසා ඉරානයේ උද්ධමනය සහ ආර්ථික අස්ථාවරත්වය ඉහළ ගිය බව පැවසෙනවා.

ඉතිහාසයේ පිටුවලින් ඊශ්‍රායලය ඉවත් කළ යුතු බව පැවසූ මහමුද් අහමදිනෙජාඩ්ගේ ගිනි අවුළවන සුළු ප්‍රකාශ ජාත්‍යන්තරය කුපිත කරේ වරක් දෙවරක් නම් නොවේ. ගැටුම්කාරී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරූ ඔහු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර, අමෙරිකාවේ සහ යුරෝපීය ජාතීන්ගේ දැඩි විරෝධය නොතකමින් කටයුතු කළා. එමෙන්ම ඔහුගේ රජය මාධ්‍ය සහ මහජන ප්‍රකාශනය උදෙසා පවතින නීතිරීති දැඩි කළා. 2009 වසරේ මහමුද් අහමදිනෙජාඩ් යළිත් වරක් ජනපති ධුරයට පත්වූ අතර ඔහු මැතිවරණ වංචාකෙරූ බව පවසමින් ටෙහෙරානය ඇතුළු නගරවල විරෝධතා පැවතුණත් ආරක්ෂක හමුදා විසින් විරෝධතා මර්දනය කිරීමට කටයුතු කළේ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනිමින්. මැතිවරණය යළි පවත්වන්නැයි සිදුකළ ඉල්ලීම් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එකහෙළා ප්‍රතික්ෂේප කළේ මහමුද් අහමදිනෙජාඩ්ට සිය සහය දක්වමින්. නමුත් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා සේවයෙන් පහ කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් කමේනි සහ අහමදිනෙජාඩ්ගේ මිත්‍රත්වයේ පළුදුවීමක් සිදු වුණා. සිය දේශපාලන පදනම ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිතා කළ බවට චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ඔහු විවේචනවලට මුහුණ දුන් අතර 2012 දී, පාර්ලිමේන්තුව විසින් ජනපතිවරයාව ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවේ ක්‍රමයෙන් ඔහුගේ බලය අඩුවන බව හෙළිදරව් කරන්නට මෙන්.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය අතරතුර කිහිප වරක් (2007 සහ 2012 වසරවල) මහමුද් අහමදිනෙජාඩ් ජනපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ ඉරානය හොඳ ආර්ථික සගයෙකු බවට පත් කරමින්. ශ්‍රී ලංකාව තම සමීපතම මිතුරෙකු ලෙස පිළිගත් ඔහුගේ ආසියානු සංචාරවල පළමුවැනි නැවතුම වූයේ ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක්. ඔවුන් එක්ව 2008 වසරේ දී ඩොලර් මිලියන 529 ක උමා ඔය ජල විදුලි සංකීර්ණය විවෘත කළ අතර, එයට 85% අරමුදල් සැපයුවේ ඉරානය විසින්. එමෙන්ම තෙල් මිලදී ගැනීම් සඳහා තීරණාත්මක, පොලී රහිත ණය කොන්දේසි (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700) ලබා දුන් අතර, අප රටට හමුදා උපකරණ මිලදී ගැනීමට සහ බුද්ධි නිලධාරීන් පුහුණු කිරීමටත් සහයෝගය ලබා දුන්නේ බටහිර රටවල් කනස්සල්ලට සහ කෝපයට පත් කරවමින්.




