ආදරණිය ඒදෙරා – Allison Lay
සමහරවෙලාවට වචන මී පැණි මෙනි. මිහිරි නමුදු කිසියම් රළු බවක්ද තිබේ. සමහර වචන පසුතැවීම ඉතිරි කරයි. නිහඬ බව වචන තරමට රළු නැත. අපි නිහඬව සිටියෙමු. නමුත් වචන ලෙහෙසියෙන් අපව අතැර යන්නේ නැත. ඒවායින් කියවෙන සත්‍යය කටුකය. හුස්ම හිර කරවන සුළුය. මා පැවසූ සියල්ල සත්‍යය යන දේ ප්‍රතික්ෂේප කළ නොහැක. රුදුරු වල් සතෙකු මෙන් මගේ හදවත් කූඩුවේ සිරව තිබූ ඒ වචන, එළියට පැනීමට තැත් කරමින් සිටියේය. ඒ සඳහා සුදුසු මොහොත එනතුරු බලා සිටියේය. සිදුවිය හැකි විනාශය නොතකාම ඒවා මගේ තොල්වලින් පිටතට පැන්නේය. මම තවමත් ගැහෙන තොල්වලින් යුතුව වේගයෙන් හුස්ම ගනිමින් සිටිමි. ඔහු මට හිමි නේදැයි මම කල්පනා කරමි. නියාල් ඉක්මනින්ම මේ ශාපලත් සත්‍යය අමතක කර දමනු ඇත.

මම කාමරය සිසාරා බලමි. සැබැවින්ම ඔහු දෙස බලමි. කාමරයේ දකුණු පස ඕක් ලීයෙන් නිමවූ මේසය මත මොහොතකට පෙර මම රසවිඳිමින් සිටි තේ එක රැගත් රන්වන් පැහැ දීප්තිමත් කුඩා මල් සහිත කෝප්පය ඇත. එය මට පෙනෙන්නේ යන්තමිනි. එය එතැන රැඳී තිබෙන බව මම දනිමි. තේ එක දැන් සීතල වී ඇත. සමින් බැඳ නිමවා ඇති මගේ දිනපොත බ්‍රොකේඩ් පලස මත, නියාල්ගේ දෙපා අසල ඇත. ඔහුට හොරෙන් මුදු රැගත් පෙට්ටිය සැඟවීමට උත්සාහ කිරීමේදී මම දිනපොත විසි කළෙමි.
මම මේ කාමරය සැකසුවේ ඉතාමත් පරිස්සමිනි. බිත්තිවලට ගැළපෙන වර්ණය තෝරා ගැනීමට මට මාස ගණනක් ගතවිය.(Nocturnal Gray) ඊළඟට පැරණි බඩු විකුණන සාප්පු වලින් පිත්තල කැබලි සහ බොබ් එකතු කිරීම, බිත්තියට ඇලවූ පියාපත් පිටුපස පුටුවක් සවි කිරීම ආදිය. මේ කාමරයේ හැම අඟලක්ම මම හොඳින් දනිමි. නමුත් දැන් එයින් පිටස්තර බවක් දැනේ. එය දැනෙන්නේ පාවාදීමක් ලෙසයි. මෙතැන මගේ සුවපහසු ස්ථානය, බලකොටුව විය. නමුත් වචන කිහිපයක් නිසා ඒ සැනසීම අහිමි වී ඇත. මම වේගයෙන් හුස්ම ගනිමි. කාමරය දැන් පෙරට වඩා පැහැදිලිව පෙනේ. මට කරකැවිල්ලක් දැනෙයි. මම මරණයට පත් නොවෙනු ඇත. නමුත් පොළොව දෙබෑවී කිසිවකු මා ඒ තුළට ඇදගන්නවා නම් මම කැමති වෙමි. නියාල්ගේ බැල්ම මා පිටුපස එනබව මම දනිමි.

“මම “
මම වචන නතර කරගමි. සමාව අයැදීම ඔහුට සිදුකරන අපහාසයකැයි සිතේ. සත්‍යය හෙළිදරව් වී ඇති අතර එයට මුහුණ දිය යුතුව ඇත. වේදනාව දරාගත යුතුය.
“ඇයි?”
ඔහුගේ කටහඬ කර්කශය. ඒ හඬට මගේ හදවත සීරෙයි. සිතට එන දේ පවසා ගත නොහැකිව මම සුසුම්ලමින්, මගේ දිව සපාගනිමි. අද මට තවත් වේදනාවක් අවශ්‍ය නැත.
“මට විශ්වාස නෑ මට ආදරේ කරන්න පුළුවන් ද නැද්ද කියලා ”
මම අවසානයේ කියාගමි.
“ඉතින්, එහෙනම් මේ මොකක්ද? ඔයා සෙල්ලමක්ද කරේ? “
ඔහුගේ වචනවල කළකිරීම මෙන්ම රිදවීමද එකතු වී තිබේ. මම හිරිවැටී ඇතිබවත්, හැමදේම විසඳී අවසන් බවත් ඔහුට පැවසීමට හදවත ඉඩ නොදෙයි.
“මම හිතනව මම ඔයාට ආදරේ කරා කියලා. ඔයාට බලාපොරොත්තුවක්, පරිස්සමක් දැණුනෙ මගෙන්. අපි අතරෙ දෙයක් තිබුණා. මම ඔයාව රවටගන්න හිතුවෙ නැහැ. මේ ලෝකෙ මට මීට වඩා හොඳ දෙයක් ලබා ගන්න පුළුවන් කියලා හිතුව එක ආත්මාර්ථකාමියි තමයි.”

මම ඕනෑවට වඩා නිදහසේ කතා කරමින්, හැමදේම හෙළිදරව් කිරීමට ආසන්නව සිටිමි. සත්‍යය මා තුළ එහෙට මෙහෙට පෙරළෙයි. නියාල්ගේ ඇහිබැම ඉහළට එසවී තිබේ.
“මම හරියටම කවුද කියන්න මම දන්නේ නැහැ. මායාකාරියක්, ෆේ, සයිරන්… මම දන්නේ මම මනුස්සයෙක් නෙවෙයි කියලා විතරයි. එක දවසක්, මොකුත්ම තිබුණේ නැහැ. ඊළඟ දවසේ, මම ඝන, මඩ ගොඩක බඩගාගෙන, මොකක්හරි හොයමින්, ආලෝකය හොයමින් උඩට ගියා. මේ නගරයට කලින් මිනිස්සු මෙතැන පදිංචි වෙන්න කලින් මෙතැන මඩ වගුරු බිමෙන් තමයි මම නිරුවතින් මතුවුණේ. ඊට පස්සෙ මම තනිකමෙන්, හිරිවැටිලා ජීවත් වුණේ. මට තාමත් හරියටම විශ්වාස නැහැ ඒක. ඊට පස්සේ මම පුංචි පඳුරුවලින් එළියට ඇවිත් නගරයට ගියා. මිනිස්සුත් ගොඩනැගිලි හදලා තියෙන කොන්ක්‍රීට් තරම්ම රළුයි කියලයි මට දැනුනෙ. ඔයා මුණගැහෙනකම් “
“මට දෙන්න පුළුවන් තරමට වඩා ඔයාට ආදරේ ලැබෙන්න ඕනෙ නියාල්. මම නාස්ති කළ කාලය ගැන මට ඇත්තටම කණගාටුයි. මට ඕනේ වුණේ ඔයාට ඇත්තටම ආදරේ කරන්න. කවදහරි මට ඒක දැනෙයි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් ඔයා හරි ලේසියෙන් දුන්න දේවල් මට දැනුනෙ නැහැ. ඔයාගෙ එළිය පවා මගේ හදවත උණුසුම් කරලා මේ අඳුර මගෙන් ඈත් කරලා දාන්න ප්‍රමාණවත් වුණේ නැහැ. ”
මම නැවතත් පියාපත් පුටුවට වැටෙමි.
“වාඩි වෙන්න”
මම ඔහුට අණ කරමි.
ඔහු අසා සිටියි. මම නොදැනුවත්වම මගේ ඉල්ලීම් ඉටු කිරීමට, මා වර්ධනය කරගත් මේ පරපෝෂිත බැඳීම තුළ සතුටින් තෘප්තිමත්ව සිටීමට මම ඔහුගේ කාලය මොනතරම් කා දැමුවාදැයි සිතමි. මට ඒ බැව් සිතීමටවත් අවැසි නොවේ.
“ඒදෙරා, ඔයා හිතන්නෙ ආදරේ කියන්නෙ මොකක් කියලද?”
“ආදරේ කියන්නෙ මෘගයෙක්. ඒක චපලයි. ඒක දෙවිවරුන්ට, මිනිස්සුන්ට සුදුසු දෙයක්. මම වගෙ අයට ආදරේ සුදුසු නැහැ “
ඔහු හෙමිහිට ඉදිරියට නැඹුරු වෙමින් මෘදු ලෙස මගේ කම්මුලක් ස්පර්ශ කරයි. මම සැමවිටම මෙන් ඔහුගේ උණුසුමට තරමක් නැඹුරු වුණෙමි. ඔහු මදක් හිනැහුණි.




