NovelsRath Dothaluරත් දෝතළු - 14

රත් දෝතළු – 14

-

spot_img

රත් දෝතළු – 14

කේෂවට ලැබුණේ සුදුසුම දඬුවමකැයි කියා මට නොසිතා බැරිය. ඔහුගේ සල්ලාලකම් තවම එසේමය. දැන් ඉතින් සියල්ල හමාරය. මම ඔහුට වෛර කරමි.

“හොඳ වෙලාවට පාලිත හිටියේ…”

මම නිවසට ගොඩ වන විටම අම්මා කියනු ඇසී මම අලුතින් තිගැස්සී ගියෙමි.

“නැත්නම් යන්න වෙන්නේ තනියම…”

ඈ එසේ කියා අවසන් කරන විට සිතට දැනුණේ සැහැල්ලුවකි.

“ඒක නම් හැබෑව…”

තාත්තාද එය අනුමත කළේය. මමද වැල් දිරා ගිය පුටුවක අඩමානයට හිඳ ගතිමි.

“මදෑ වෙච්ච සංගදිය… අනේ අපොයි… මහ ගෑණි විලාප තියනවා ඇති…”

අම්මා යළිත් මතක් කළාය.

“මහා ගෑණි විළාප තියන්න තිබුණේ මීට කලින්… දැන් අහවල් දේකට වැළපෙන්නද…?”

තාත්තා කීවේ කෝපයෙනි.

“උදේම එහෙට ගොඩ වෙලා එන්න ඕන…”

අම්මා කියන විට තාත්තා ඊට කිසිත් නොකීය. නිවස තුළ වූයේ මහා නිහැඬියාවකි. කන්නට පිරියක් හෝ කුසගින්නක් අපි කිසිවෙකුට නොවූ සෙයකි.

“මොකද අප්පා අද කට්ටියම ගොළු වෙලා වගේ…”

නංගී ඇසුවේ අප තිදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි. මම බත් කටවල් දෙක තුනක් පමණක් කෑවේ පසුදින පාන්දරම යන්නට තිබූ නිසා මිස කුසගිනි නිසා නොවේ.

“ඔයා එහෙනම් හෙට පාන්දරම යනවද ලොක්කාක්කේ…?”

නංගී ඇසුවේ අප නින්දට යන්නට පැදුරට යන මොහොතේය.

“ඔව් චූටි… උදෙන්ම යනවා…”

කොට්ටයේ හිස තබා ගනිමින් මම කීවෙමි. ඈ අතක් මගේ මතින් දමාගෙන මට තුරුළු වූවාය.

“මල්ලිවත් බලන් අම්මාට උදව් කරන් පාඩම් කරලා ඉන්න ඕන…”

“හ්ම්ම්…”

මම කියන විට ඈ කෙඳිරුවාය.

“තනියම කොහෙවත් යන්නෙ එන්නේ නැහැ හොඳද… ඉස්කෝලේ ඇරිලත් එනකොට ළමයි ඔක්කොම එකට එන්න ඕන…”

“හ්ම්ම්…”

ඈ නිදිමතෙන්දෝ කෙඳිරුවාය. මටද නින්ද යන්නට ඇත. පසුදින මා තිගැස්මෙන් අවදි වූයේ අම්මා මා අමතන හඬිනි. ඒ මොහොතේ මා සිහිනයක් දකිමින් සිටියෙමි. කේෂව මා පසුපස දිව එමින් මා අල්ලාගන්නට තැත් කරමින් සිටි අතර දිව යන්නට නොහැකිව මා සිටියේ පිළිමයක් සේ ගල්වීගෙනය.

“තුනයි වෙලාව ලොකු දුව… මං කෝපි ටිකක් හැදුවා… බීලා ලැහැස්ති වෙයන්… පාලිත මාමාත් එයි දැන්… පයින් යන්නත් එපැයි…”

මම වහා නැඟී සිටියෙමි. එසේනම් එය සිහිනයකි. සහනයක් ම සිතට දැනිණි. නිදි නොමැති බකමූණෙකු ඇට්ටේරියා ගසේ හිඳගෙන නඟන හඬ නිහඬ බව අතරින් ගලා ආවේය. තාත්තාද අවදිව මුළුතැන්ගෙට පැමිණියේය.

“හොඳ වෙලාවට පායලා… මහා රෑත් පුදුම වැස්සක් වැස්සේ…”

ඔහු කියන තුරුම මම එය දැන නොසිටියෙමි. මට එතරම් සුව නින්දක් ලැබීම පුදුමය. මා සිහිනෙන් පවා කේෂව දුටුව බව නැවත සිහි වී මා ගත හී ගඬු පිපිණි.
පාලිත මාමා එනවිටත් මම සූදානම්ව බලා සිටියෙමි. අම්මාටත් තාත්තාටත් වැඳ සමුගන්නා මොහොතේ ඈ නම් කඳුළු සැළුවාය.

“පරිස්සමින් ලොකු දුවේ…”

තාත්තා කීවේ සිතේ දුක සඟවා ගෙන බව මම දැන සිටියෙමි. පාලිත මාමා සමඟ මම පිටව ආවේ ශෝකය මා සිත තුළ සිරකරගනිමිනි. එය පිට වුවහොත් මට හැඬෙනු ඇත.

“හිත හයියෙන් තියාගනින් ළමයෝ… දුකයි නේද… මීට කලින් ගෙයින් පිට ඉඳලා නැහැනේ…”

මඳ දුරක් නිහඬවම පැමිණි පාලිත මාමා කීවේ මා සිත හැඳින්නාක් මෙනි.

“දුකයි නම් තමා මාමේ… ඒත් මං දුක් වුණා කියලා මොනවා කරන්නද…? රස්සාවක් කරන්නම එපැයි… ඉඩමේ උකස බේරගන්නත් ඕනනේ…”

සුසුමක් මා මුවින් ගිළිහිණි. දෑසට හඬන්නට වුවමනා වුවද මම එයට ඉඩ නොදී ඇසිපිය සළමින් කඳුළු සිරකර දැමුවෙමි. කඳුළටත් සුසුමටත් ජීවිතය වෙනස් කළ හැකි වේ නම් මම හඬන්නේ කඳුළු වගුරවමින් කෑ ගසාය. අපි හන්දියට පැමිණ සුළු මොහොතකින් බස් රථයද එහි ළඟා විය. එහි මඟීන් සිටියේ කිහිපදෙනෙකු පමණි. අපිද එහි නැඟී අසුන්ගතිමු. එය ඉදිරියට ඇදෙන විට මා මුවින් ගිළිහුණ සුසුම සුළඟ සමඟ මුසු විය. ජීවිතය අදින් පසුව කෙලෙස ගෙවෙනු ඇතිද කියා මම නොදනිමි. අනාගතය ගැන සිතන විටත් මා සිතේ ඇතිවන්නේ බියකි.

“මාමේ…”

මම හඬ අවදි කළේ බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙන විටය. රථයේ කවුළු වසා තිබුණද සීතල සුළඟක් හමා ආවේ රිය දොරටු වලිනි. පාලිත මාමා ගෙල හරවා මදෙස බැලීය.

“අරයට මොනවා වෙයිද… මාමලාට පොලිසී යන්න වෙයිද…?”

“මිනිහට වුණේ මොනවද කියලා මිනිහවටත් දන්නේ නැහැ… මෙහෙ ඉස්පිරිතාලෙට බාර ගන්න බැහැ කියලා කොළඹ ගෙනිච්චාලු…”

එය කියන්නට ඇත්තේ පියසේන මාමාය.

“පියසේන මාමා ඇවිත්ද ගෙදර…?”

“ඉස්පිරිතාලෙට දාලා ආවාලු පාන්දර… ජිනපාලයාත් ඇවිත් ඊයේ…”

“පොලීසියෙන් එයිද…?”

“ඔව්… ගමේ උන්ගෙන් කට උත්තරගන්න නම් එයි… ඊට කලින් පැමිණිල්ලක් දාන්න එපැයි… උන්ට තාම ඕවට සිහියක් නැතිලු කිව්වේ…”

පාලිත මාමා කීවේ මුව කොණින් සිනහවක් පාමිනි. රෝහල් පොලීසියෙන් කට උත්තර ගනු ඇත. නමුත් කේෂවට සිහියක් නැතිනම් කුමක් කියන්නද.? ඔහු මා ගැන පවසාවිද.? මට එය සිහි වූයේ දැන්ය. නැත. එවැන්නක් පැවසුවහොත් ඔහුටද ගැලවීමක් නැත. පාන්දරම අවදි වූ නිසාවෙන්දෝ මට නින්ද යන්නට ඇත. මා අවදි වූයේ පාලිත මාමා බසින්නට ළඟ බව කියමින් මා අවදි කරවන විටය. මා මීට පෙර කොළඹට පැමිණ තිබුණේ පාසලේ අධ්‍යාපන චාරිකාවකට පමණය. පාලිත මාමා සමඟ මම ඇවිද ආවේ ඔහු මඟහැරෙනු ඇතැයි බියෙනි. මිනිසුන් කඩිමුඩියේ දුවති. නොයෙකුත් ඝෝෂාවන්ගෙන් පරිසරය පිරී ඇත. පාලිත මාමාගේ ජංගම දුරකථනයෙන් නිර්මාණිට ඇමතුමක් ගත්තේ කොටුව දුම්රිය පළ අසලට පැමිණය. ඈ පෙරදින කීවේ මෙතන සිටින ලෙසය. ඒ වන විටත් ඈ පැමිණෙමින් සිටින බවක් කී නිසා අපිට මඳ වේලාවක් බලා සිටීමට සිදු විය. ඊටත් සුළු මොහොතකට පසුව නිර්මාණි අප සිටින තැනට දිව ආවේ දුර තියාම අප දුටු බව කියමිනි.

“සොරි අනේ… චුට්ටක් පරක්කු වුණා… මාමේ කොහොමද…. මාව මතකද…?”

ඈ පාලිත මාමා විමසුවද රුවින් ඔහුට ඇයව හඳුනාගන්නට නොහැකි වන්නට ඇත.

“මට නිච්චි නැහැ ළමයෝ… ඉස්සර අපේ දිහා එහෙම එනවා නේද…?”

ඈ සිනහසෙමින් ඇගේ තාත්තාගේ නම පවසන විට පාලිත මාමා නළලේ අත ගසා ගත්තේය.

“මේ අපේ මනෝගේ දුවද එතකොට…?”

කුඩා බොජුන් හලකට ගොස් තේ බොමින් කතා බස් කළ පාලිත මාමා අපෙන් සමුගන්නට සූදානම් විය.

“මගේ අනික් කෙල්ලව දැන් දුවට බාර දෙනවා… පරිස්සමින් බලාගන්න ඕන…”

පාලිත මාමා එසේ කියන විට මා හද ඇවිළී දෑසට අලුතින් කඳුළු රොක් විය. පියකු වන් ඔහුව මම වැළඳගත්තේ හද ශෝකයෙන් ඇවිළෙන විටය.

“පරිස්සමට වැඩ කරගනින් දුවේ… මොනවා හරි ඕන වුණොත් කෝල් එකක් දෙන්න…”

ඔහු මා හිස පිරිමදිමින් කීවේය. අපි දෙදෙනම ඔහුට දණ නමා වැඳ ඔහුගෙන් සමුගෙන විත් බසයකට නැඟුණෙමු.

-හෙටත් හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you