Mandaramen Eha – බුදුරුවකන්ද හන්දියේ ගොඩකිරිල්ල ගස පාමුල පිහිටි කුඩා කඩය ඉදිරිපිට අදීෂගේ කාරය නතර කෙරිණි. ඉන් බැසගත් ඔහු කඩයේ එළිමහනේ එල්ලා ඇති තැඹිලි,කුරුම්බා වලු කිහිපය අසළට පැමිණියේය. ලී කණු දෙකක් සිටුවා හරහට දැමූ ලීයක එල්ලා ඇති තැඹිලි,කුරුම්බා වලට ඉහළින් ඒවා ආවරණය වන පරිදි වියන ලද අමු පොල් අතු ඉරු දෙකක් එල්ලා ඇත්තේ අව් රශ්මියෙන් තැඹිලි,කුරුම්බා කැකෑරෙනු වළක්වාලීමටය. කණුව වටේ කැරකෙන අදීෂව දුටු කඩ හිමියා ඔහු අසළට පැමිණියේය.
“මොකෝ මලයා…උදේම තැඹිලි,කුරුම්බා වටේ කැරකෙන්නේ..”
“දන්නැද්ද ජිනේ අයියා…රෑට ගිණිවතුර බිව්වොත්නෙ ඉතිං උදේට තැඹිලි වතුර ඕන වෙන්නෙ..”
“ඊයෙ රෑ සාජ්ජයක්වත් දැම්මද..”
“වළං පෝරණුවක් පිච්චුවා ජිනේ අයියා…කොල්ලා ටිකත් එක්ක එළි වෙනකං එතන ලැග්ගා…අමුවෙන් නිදි මරන්නත් බෑනේ ඉතිං..”
“මං නොදන්නවැයැ ඉතිං මලයගෙ තරම..කොල්ලොත් ඉතිං මලය උන්නනම් පණ ඇරලනෙ වැඩ…”
“උන් ටික පණ ඇරලා වැඩේ ඉවර කරා.. උන්ට උදව්වට බීලා මට පණ නෑ දැන්..”
“තැඹිලි ගෙඩියක් ගහලා…කට කපලා නින්දක් දැම්මනං ඔය ඇඟේ අමාරු ඉබේම ඇරිලා යයි මලයා…”
“කොහෙ නිදියන්නද ජිනේ අයියා…මේ ටිකේම පුච්චපු වළං ට්ක අද ලොරියට පටවන්ඩෝනැ.. මට නින්ද යන්නෙ ඉතිං ඒකත් ඉවර වුණාම තමා…”
කඩ හිමියා කපා දුන් තැඹිලි ගෙඩිය උඩ බලාගෙන එක හුස්මට බී අහවර කළ අදීෂ, හිස් කෝම්බය අසළ තිබූ පොහොර උරය තුළට අත හැරීය. ඔහුගේ සාක්කුවෙහි වූ ජංගම දුරකථනය නද දෙන්නට විය. පිටතට ගෙන එහි මුහුණත පරික්ෂා කළ අදීෂගේ මුවින් ක්ෂණිකව “ලක්මාලයා” යනුවෙන් හඬ නැගිණි.
“ලකා…ඇති තොට මාව මතක් වුණා..ඈං..මං..ඊයෙ රෑ.උඔට කෝල් එකක් අරං තිබ්බා…”
මඳ වේලාවක් එහා පසින් ඇසෙන දේට සවන් යොමා සිටි අදීෂ අවසන මහ හඬින් සිනාසෙන්නට වූයේය.
“ඔව් බං..ඔව්..කුණුවෙන්න ගැහුවා…මොකක්..මොකක්..උඔ ආපහු එනවා…යකෝ.. නිවාඩු ඇවිත් ගිහිං තාම මාස දෙකක්වත් නෑනේ..ඈහ්ං..නිවාඩු නෙමෙයි..තෝ උදේම ගංජා ගහලද.නිවාඩු නැත්තං එන්නෙ කොහොමද…….”
ගල්ගමුව දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් බුදුරුවකන්ද හන්දියෙන් කැලේගම පාරට හරවා නතර කරනු, දුරකථන සංවාදයේ යෙදී සිටියදීම අදීෂගේ නෙත ගැටිණි. එයින් බිමට බට සරලා දුටුවනම ඔහුගේ කණෙන් ජංගම දුරකථනය මෑත් වූයේ ඉබේටමය. පියවර කිහිපයක් පිටුපසට ගිය අදීෂ නතර වූයේ සිය කාරය අසළය. දෙවනුව ත්‍රීරෝද රථයෙන් බැසි ශාරික දුටු අදීෂ වහා සිය කාරයට රිංගා ගත්තේය. නැවතත් ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට විය. දුරකථන තිරය දෙසවත් අවධානය යොමු නොකොට එය ක්‍රියාත්මක කොට සවනත තබාගත්තද, අදීෂගේ අවධානය යොමුව තිබුණේ සිය කාරයට එපිටින් සිද්ධවන දේ පිළිබදවය.
“අඩෝ…සොරි මචෝ…සිග්නල් අවුලක්..පොඩි හදිසියකට ගෙදර දුවන ගමන්..ගිහිං ගන්නම් හොඳේ…”
අනෙක් පසින් ප්‍රතිචාරය ලැබෙන්නටත් පෙර දුරකථනය විසන්ධි කොට කාරයේ අසුනකට වීසි කළ අදීෂගේ නෙත ගැටුනේ, පාර්සලයක්ද සහිතව ආපසු ත්‍රීරෝද රථය වෙත යන ශාරිකවයි. සිය සොහොයුරා එනතෙක් අවට පිරික්සමින් සිටි සරලා, ඔහුගේ පැමිණීමත් සමඟ ත්‍රීරෝද රථයට නැගුණු අතර, එය කැලේගම දෙසට ධාවනය වූයේය. අදීෂද සිය මෝටර් රථයෙන් ඔවුන් පසුපස යන්නට වූයේය.
උස්ගල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන පූජ්‍ය දම්මදස්සී හිමියන් ආවාස ගෙයි ඉදිරිපස කොටසෙහි ඇති ඇඳි පුටුවෙහි දිගෑදී උන් සේක. පුටුව සමීපයෙහි ඇති පඩික්කම වෙත වරින්,වර පහත්වෙමින් බුලත් කෙළ මුදාහරින උන් වහන්සේ, තල්පතක ලියන ලද හඳහනක් පිරික්සමින් වැඩ සිටියහ. මුළුමනින් බූ නොගාන ලද උන් වහන්සේගේ හිසෙහි මතුවූ සුදු හිසකේ මෙන්ම මුහුණේ තැනින් තැන මතුව ආ සුදු රැවුල් කොටද නිසා මැදිවිය ඉක්මවූ පෙනුමක් උන් වහන්සේ සතු වූවද, අව්‍යාජ ගැමි මුහුණුවර සහ පුෂ්ඨිමත් සිරුර බැලූවෙකුට ගෞරවනීය හැඟීමක් එක් කළ බව නොකිවමනාය. නෑගම්පහ කෝරළයේ විහාරස්ථාන කිහිපයක භාරකාරත්වය උසුලන උන් වහන්සේ ප්‍රදේශයේ ප්‍රචලිතව ඇත්තේ “නෑගම්පහ නායක හාමුදුරුවෝ” යනුවෙනි.
” අවසරයි නායක හාමුදුරුවනේ..”
දම්මදස්සී හිමියන් තල්පතට යටින් හඬ ආ දෙසට එබුණහ. සමන්තී, ඇගේ පුතු කවිරූ සහ ලොකු බංඩාරමැණිකේ උන් වහන්සේ සමීපයෙහි වූහ. හිසෙන් සන් කොට ඇතුලට එන්නැයි ඔවුන්ට දැන්වූ නායක හිමියන් නැවතත් තල්පතට එබුණහ. පිළිවෙලින් බංඩාරමැණිකේ,සමන්තී සහ කවිරූ හිමියන් නමස්කාර කළහ.
“සුවපත්වේවා…බංඩාර මුත්තාගේ පිහිටයි…”
නායක හිමියන්ගේ ආශිර්වාදය නිමවෙත්ම කවිරූ උන්නේ හිමියන්ගේ ඇඳි පුටුව සමීපයේය. දම්මදස්සී හිමියන් පඩික්කමට කෙළ පහරක් මුදා හරිනු නිරීක්ෂණය කළ කවිරූ,උන් වහන්සේගේ මුහුණ දෙස බැලීය.
“ඇයි සාධු මේ පෝච්චියට කෙළ ගහන්නෙ..”
යැයි කවිරූ අසද්දී සමන්තීගේ මෙන්ම ලොකු බංඩාරමැණිකේගේද මුව ඇරී ගියහ. දම්මදස්සී හිමියන් දරුවා සිය සමීපයට කැදවා ගති.
“මිදුලේ අතන මෙතන කෙළ ගහලා ජරා කොරන්ඩ හොඳ නෑ නොවැ.. ඒකයි මේකට කෙළ ගහන්නෙ පොඩි එකෝ…මේකේ නම පෝච්චිය නෙමේ..පඩික්කම..කියමු බලන්ඩ..මොකක්ද..”
“ප..ඩි..ක්ක්ක්.ක.ම..”
දරුවා කීයේ අමාරුවෙන් වචන ගැට ගසමිනි. ලොකු බංඩාරමැණිකේ රවා බැලූයේ සමන්තී දෙසය.
“අන්න හරි..මේක පෝච්චිය නෙමෙයි පඩික්කම..ඒ වගේ තමා මාත් සාධු නෙමෙයි ලොකු හාමුදුරුවෝ…කියමු බලන්ඩ..කවුද..”
“ල්..ලොක්.කු.. හ්..හාඳුරුවෝ….”
පෙර සේම කවිරූ අපහසුවෙන් වචන ගැට ගසා ගත්තේය. සමන්තී වහා සිය පුතු වෙත පැමිණියාය.
“අපි යං මයෙ අම්මෙ විහාර ගෙට..මල් පූජා කරලා ආපහු එමු හොඳේ….”
සිය මව සමඟ පිටව යන කවිරූ දෙස මඳ වේලාවක් ආදරණීයව බලා හුන් නායක හිමියන්, අතින් සන් කොට බංඩාරමැණිකේට අසුන් ගන්නා ලෙස පැවසුහ.
“හීන් එකාගෙ දේහ ලක්ෂණ වලින් කියතෑකි..ඌ කවදා හරි හොඳ උගතෙක් වෙනවා…මේ කෙල්ලට ඇයි මෙහෙම ඇට්ටකුණා වෙන්ඩ අරින්නෙ..”
“කරපු හිතුවක්කාරකම් වල ඵල විපාක මිස වෙන මොනාද නායක හාමුදුරුවනේ…”
“හිතුවක්කාරකං කියන්නෙ උඔ නොකරපුවද මං නොකරපුවද බංඩාරියේ…”
දම්මදස්සී හිමියන්ගේ පැනයෙන් ලොකු බංඩාරමැණිකේ මොහොතක් නිරුත්තරව ගියාය.
“ලොකු බංඩාරේ උඔව මේ ගමට කැන්දන් ආවෙත් හිතුවක්කාරෙට මිසක්, හත් දොහක් මඟුල් කාලද.නෑනේ..එහෙම වුණාය කියලා මේ ගමෙන් උඔට අඩුවක් උනා කියලයැ….බංඩාර පරම්පරාවට අයිති නම්බු නාමේ එහෙමම උඔටත් තියනවනෙ.කටපුරා අදටත් ගම්මු උඔට කතාකරන්නෙ ලොකු බංඩාරමැණිකේ කියලා නොවැ…ආං..බොරුද මං කියන්නෙ…”
“එහෙමයි නායක හාමුදුරුවනේ..මාත් පිටගංකාරී..මගෙ මිනිහගෙ නංගිගෙ මිනිහත් පිටගංකාරයා…ඒත් ඒ පිටගංකාරයගෙ දරුවන්ට ලැබුණු දේවලින් මගේ දරුවන්ට මොනාද ලැබුණෙ..”
“ඒක උඔගෙ මිනිහගෙ වරද මිසක්..පවුලට පිටින් එකතුවුණු බංඩාර මහත්තයගෙ වරදක් නෙමේනෙ බං බංඩාරියේ..උඔගෙ මිනිහ ඉන්නකං මොනාද කරේ..ගමේ මිනිස්සුන්ට හයිකාරකං පෙන්න,පෙන්න නම්බු නාම බලෙං ගන්න හැදුවා..ගෞරවය,නම්බුව කියන එක මිනිහෙකුගේ කල්කිරියාවට ඉබේ ලැබෙන දෙයක් මිස, අඩන්තේට්ටම් කරලා බලෙන් ගන්න හැකි දෙයක් නෙමේ..පිටගංකාරයා බංඩාර මහත්තයා වෙලා, උඔගෙ මිනිහා නිකංම නිකං ලෝකයා වුණේ ඒකයි…”
“කොහොමින් කොහොම හරි අවසානෙට කණවැන්දුම් කෙල්ලෙකුයි,දීග නොගිය දරුවො දෙන්නෙකුයි එක්ක මං මේ ලෝකේ තනි වුණා නොවැ අපෙ හාමුදුරුවනේ..”
“දීගයක් ඇරුණ කියලා ගෑණියෙක් මැරෙන්නෑ බං බංඩාරියේ..මේක උඔලගෙ අපේ කාලේ නෙමේ..දරුවො එක්ක ගෑණු බාරගන්න තරම් පිරිසිදු පිරිමි මේ සමාජේ ඕන තරං ඉන්නවා…එහෙම එකෙක් හොයලා ඔය කෙල්ලව බන්දලා දීපං…”
“ඒත් අපෙ හාමුදුරුවනේ..”
“ඒත් මේත් ගාන්ඩ ඕන්නෑ…මං කීවා…උඔලට කැමති දෙයක් කොරහල්ලා…මේ ටික කියන්නෙ විශේෂයෙන් උඔට බංඩාරියේ..පවුලක් එක්ක සම්බන්ධයක් ඇති කොරගත්තනං..ආවේ කොහෙන්ද,ලැබුණෙ මොනාද කියන එක අදාල නෑ.. සම්බන්ධකම් රැකගන්න යුතුකම හැමෝටම තියනවා…සම්බන්ධකම් හදාගෙන ඉවරවෙලා අයිතිවාසිකම් ගැන නන් දොඩවන එවුං අලුගුත්තේරුවෝ..බොරුද මං කියන්නෙ..”
“ඇත්ත අපෙ හාමුදුරුවනේ..”
“හ්ම්හ්..කෝ උඔගෙ ලොකු පෝරිසාදයා..”
“මේ ටිකේම මහ කමතෙ වගා ළිඳක් කපන්ඩ නැහෙනවා නායක හාමුදුරුවනේ..අනේ මගේ අහිංසකයා…අප්ප නැති කරුමෙ ගෙවනවා..”
“අහිංසකයා නෙමේ..ඕකා අංගුලිමාලය..ඕකා ඔය ගෙවන්නෙ අප්ප නැති කරුමෙ නෙමෙයි..අප්පගෙ පසු උරුමේ..අප්ප කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ..මේකා නරක් කොරන්නෙ උඔ තමයි බංඩාරියේ.මූ නොට්ටිගෙ පුතා නෙමෙයි හු….”
කියන්නට ගිය දේ ගිලගත් දම්මදස්සී හිමියන් තදින් කාරා පඩික්කමට කෙළ පිඩක් හෙලූහ. එළිමහනේ සිට වේගයෙන් දිව ආ කවිරූ නතර වූයේ නායක හිමියන් අසළය. පඩික්කමට එබී බැලූ කවිරූ දම්මදස්සී හිමියන්ගේ මුහුණට එබුණේය.
“ලොකු හාමුදුරුවන්ගෙ පඩික්කම පිරිලා..”
අමාරුවෙන් වචන ගැට ගසා කවිරූ එසේ කියද්දී, දම්මදස්සී හිමියන් සෙනෙහසින් ඔහුගේ හිස පිරිමදින්නට වූහ.
“කෙල්ලෙ..පොත,පත අතගාන වයස එනකං මේකගෙ හිත අත,පත ගාලා හදපං..මං දැන් යන්ඩෝනෙ..බෝධි පූජාව තියන්ඩ..පොඩි උන්නාන්සෙත් රැස්වෙහෙරට වැඩලා නොවැ අද..”
පිරිස එක්ව දම්මදස්සී හිමියන්ට නමස්කාර කළහ. හිමියන් පිටව යනතෙක් එකත්පස්ව පිරිස එදෙස බලා සිටිද්දී, මඳ දුරක් ඇවිද ගිය හිමියන් ආපසු හැරී පිරිස දෙස බැලූහ.
“උඔලයෙ අර මහ නාම්බට කියහල්ලා මගතොටේ හම්බෙලා මගෙන් කුණු බැණුම් නාහා පංසලට ඇවිත් මාව හම්බෙන්ඩය කියලා.. ඇහුණා නේද…”
ඉණෙන් නැවී, හිස පාත් කොට ගෞරවනීයව ඊට එකඟතාවය පළ කෙරූ සමන්තී ඇතුළු පිරිස, ආවාස ගෙයින් පන්සල් මිදුලට පිවිසුණහ.
රිදී නැන්දා කැලේගම වැව පාමුල සිට කකුල අද්දමින් වෑකන්දට ගොඩවෙමින් සිටියාය. ඇගේ ඉණෙහි හනසු මිටියක්ද, අතෙහි වියළි පොල් අත්‍තක්ද විය. වෑකන්දට ගොඩවූ ඈ ඒ මත නවතා ඇති අදීෂගේ කාරය දැක කඩිමුඩියේ ඒ වෙත පැමිණියාය. වැව් මංකඩෙහි මුව දෝවමින් සිටින අදීෂව ඈ දුටුවේ එවිටය.
“මොකෝ බොල මේ අපේ වැවට බැහැගෙන කරන්නෙ..” රිදී නැන්දාගේ හඬට අදීෂ හැරී බැලීය.
“ආහ්..රෙදි නැන්දා…” කියමින් දිය මංකඩ නැඟ ඔහු රිදී නැන්දා වෙත පැමිණියේය.
“අපේ වැව කිව්වට මං මේ බැලුවෙ..වැරදිලා මං සියඹලෑවෙ වැවටවත් බැහැලද කියලා…මොකද රෙදි නැන්දලාගෙ වැව සියඹලෑවනෙ.ඒත් මේක කැලේගම වැවනෙ..”
“ඔව් බොල..මේක කැලේගම වලව්වෙ වැව..බඩහැලයන්ට මේවයෙ බහින්ඩ තහනං බව තෝ දන්නැද්ද..”
“ඇත්තට..රෙදි නැන්දට වලව්වෙන් රිදී නැන්දා කියලා කියනකොට..රදා කුලේ අමතක වෙනවනං..වලව්වෙන් හිරයක් ගත්තොත් මගේ බඩහැල කුලෙත් අහෝසි වේවි නේද රෙදි නැන්දෙ..”
“නොසන්ඩාලයා…ඔහොම හිටපිය මං තොට පුංචි අම්මණ්ඩිට කියලා යස පාඩමක් උගන්නන්නම්..”
අදීෂ දෙස ඔරවා බැලූ රිදී නැන්දා හනසු මිටිය ඉණට තද කරගෙන, පොල් අත්තද එක් අතකින් ඇදගෙන කැලේගම වලව්ව දෙසට වේගයෙන් ඇදෙන්නට වූවාය.
“මේහ්ං..රෙදි නැන්දේ.ඔය ඉණේ තියන හනසු මිටියයි,අතේ තියන පොල් අත්තයි මොන කුලේද කියලා බලලද මඟදි අහුලගත්තෙ..මොකද ලිපට දාලා පුච්චන්නත් කුලේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එපෑයැ නේද..”
අදීෂ කෑ ගසා එසේ අසද්දී, රිදී නැන්දා තමා අත වූ හනසු මිටිය සහ පොල් අත්ත වෑකන්ද පහලට වීසීකර දැමුවාය. ආවාට වැඩි වේගයෙන් කකුල අද්ද,අද්දා කැලේගම වලව්වේ ගේට්ටුව තෙක් කෝපයෙන් ඇවිද ගිය රිදී නැන්දාගේ ගමනේ වේගය, ගේට්ටුව අසළදී නතර වූයේ වලව්ව මිදුලෙහි නවතා තිබූ ත්‍රීරෝද රථය දැකීමෙනි. හෙරක මෙන් ගේට්ටුවේ අගුල පැන්නූ ඈ ත්‍රීරෝද රථය දෙස හොරැහින් බලමින් වලව්වේ පිවිසුම් දොරටුව වෙත ඇවිද ගියාය.