NovelsMandaramen EhaMandaramen Eha - 20 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 20 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – තමා කොතරම් වාරයක් ගෙතුළ සිට ආලින්දයටත්, ආලින්දයේ සිට ගේට්ටුව දෙසටත් ඇවිද ගියේදැයි හීන් බංඩාරමැණිකේට නිනව්වක් නොවන්නීය. වසරක් ගෙවී නව වසරක් උදාවූ මොහොතේම තමා පෙළන මේ ආගන්තුක පාළුව කුමක්දැයි වටහා ගන්නට ඈ තනිවම වෙහෙස දැරුවාය. සිය සැමියාගේ හදිසි වියෝව හමුවේ පවා දෙපසින් දෙදරුවන් මිරිකාගෙන එය දරාගත් තමාට අද,සරලා සහ ශාරික යන දෙදෙනාම නිවසේ නොමැතිව ගෙවන මේ පැය කිහිපය එතරම් අපහසුවක් ගෙන දේවියැයි ඈ සිහිනෙනුදු නොසිතුවාය. කලින් එසේ දැණුනානම් කැලේගම මැණිකේ සරලාව ටික දිනක් එහි නතර කර යන්නැයි ඉල්ලද්දී එකඟ නොවී ඉන්නට තිබිණි. ශාරික නව රැකියාවක් ගැන විමසද්දීම ඊට එරෙහි වන්නට තිබිණි. නමුත් හිත සනසා ගන්නට එසේ සිතුවද ඈට කිසිදාක එය කළ නොහැකි බව ඈ දන්නීය. මන්ද ශාරික විෂයෙහිත්,කැලේගම මැණිකේ විෂයෙහිත් ඈට ඇත්තේ සිය සැමියා කෙරෙහි පැවති භක්තිය මුසු ගෞරවයයි. ආලින්දයේ හාන්සි පුටුවෙහි කිසිදා වාඩි නොවූ ඈ ,අද එහි වාඩිවී මෘදු ලෙස එහි අත්වාරු ස්පර්ෂ කළාය. ඇගේ මතකය සැනෙන් පෙරදා කැලේගම ගිය දිනය දක්වා ඇදී ගියාය.

හෙරක ලෙසින් කැලේගම වලව්වේ සාලයට ගෙල එබූ රිදී නැන්දා පිරිස දුටු සැනින්ම ආපසු හැරෙනු ඊට මුහුණලා වාඩිගෙන සිටි හීන් බංඩාරමැණිකේ දුටුවාය.

“රිදී නැන්දේ..”

විධානයක හඬින් එසේ කීවේ කැලේගම මැණිකේය. රිදී නැන්දා ඉදිරියට තැබූ පය ගල් කරගෙන ආපසු හැරුණාය.

“දන්නවනෙ මේ ඇවිත් ඉන්න අය කවුද කියලා..”

කැලේගම මැණිකේගේ පැනයට රිදී නැන්දා පිළිතුරු බැන්දේ හිසෙනි.

“වත්තෙන් කඩපු කෝපී තියනවා නේද කුස්සියෙ..අඹරපුවා…”

එවරද රිදී නැන්දා කළේ හිස ඉහළ,පහළ හෙලීම පමණකි.

“මොකක්ද වෙලා තියෙන්නෙ රිදී නැන්දේ..කට ඇරලා කතා කරන්න බැරිද..”

“තියනව පුංචි අම්මණ්ඩී..”

“එහෙමනං ගිහිං කෝපි ටිකක් වක්කරමු…අර ඉස්සර බංඩාර නිළමෙට හදනවා වගේ ආදරෙන් රසට..හොඳද..”

රිදී නැන්දා සාලය හරහා පිටුපසට ඇදී ගියේ පිරිස දෙස නෙත් කොනින්වත් බැල්මක් නොහෙලාය. ශාරික සහ සරලා උන්නේ විමතියෙනි. දෙදරුවන් හරහා ඇදී ගිය හීන් බංඩාරමැණිකේගේ බැල්ම නතර වූයේ කැලේගම මැණිකේ අසළය.

“පරණ හිත් නොහොඳකම් තාමත් එයාගේ හිතේ තියනවා…ඒකයි ඔය…”

“පරණ හිත් නොහොඳකම් කීවෙ ඉස්කෝල නැන්දේ..”

සරලාගේ පැනයෙන් අසරණ වූ හීන් බංඩාරමැණිකේ ඒ බැල්ම ශාරික වෙත මුදා හැරියාය.

“චූටී..අපි යං කුස්සිය පැත්තට..රිදී නැන්දා මොනාද කරන්නෙ බලන්ඩ…”

කුකුසෙන් ඒ මේ අත ඇඹරෙමින් හුන් සරලාවද ඇදගෙන ශාරික පිටව යනතුරු මොහොතක් නිහඬව සිටි හීන් බංඩාරමැණිකේ කැලේගම මැණිකේ වෙත හැරුණාය.

“මං දරුවො දෙන්නට මේ කිසි දෙයක් කියලා නෑ අක්කේ..”

“ඇයි දරුවන්ට මේවා හංඟන්නෙ..උන් දැන් පොඩි උන් නෙමේනේ..”

“දරුවො හිතාවි මේ සේරටම වැරදිකාරී මංය කියලා අක්කේ..”

“සේරටම නූනත්, අපේ අම්මගෙ,අප්පච්චිගෙ මරණවල ඉඳලා…අදටත් මේ වලව්වෙ තනිකඩව ඉන්න මං දක්වා…වෙච්ච හැමදෙයකම වගකීමෙන් කොටසක් ඔයාටත් බාරගන්න වෙනවා…ඒක තමයි ඇත්ත..”

කැලේගම මැණිකේගේ වචන යවුල් මෙන් හිතේ ඇනී හීන් බංඩාරමැණිකේගේ නෙතේ කඳුලක් උපන්නාය.

“නැන්දම්මේ..”

ඒ හඬ තාරුකාගේය. හීන් බංඩාරමැණිකේ කල්පනා ලොවින් මිඳී හිඳ උන් හාන්සි පුටුවෙන් නැඟිට්ටා නොව ඈට ඉබේම ඉන් නැගිට්ටවිණි. ඔසරි පොටකින් දෑස තෙත මාත්තු කරමින් ඈ සිනහවකින් මුව සරසා ගත්තාය.

“එන්න දූ ඇතුළට..”

“චූටී තාම නිදිද නැන්දම්මා…”

“එයැයි ටික දොහකට ඉස්කෝලෙ අක්කලැයි දිහා නතර වුණා නොවැ දූ..”

“ඕහ්..එහෙමද..ඒත් මං බැලුවා නැන්දම්මා මොකෝ මේ තනියම ඉස්සරහට වෙලා කියලා..”

“දරුවො දෙන්නා නැතුව මුළු ගේම පාළුවට ගිහින් දූ..”

“ඇයි..ශාරිකයියා කොහේ ගිහින්ද නැන්දම්මා..”

“එයැයි අද හා හා පුරා කියලා අලුත් රස්සාවට ගියානේ..කිව්වනෙ දූ දන්නවා කියලා…”

” ආහ්..මේ..මට අමතක වුණානෙ නැන්දම්මා.. කලිං කීවා තමා….”

තාරුකා අපහසුවෙන් වචන ගළපා එසේ කීවද, ඈ එය දැනගත්තේ මේ මොහොතේ බව වටහාගන්නට හීන් බංඩාරමැණිකේ සමත් වූවාය. මෘදුව තාරුකාගේ හිස පිරිමැද ඇයව ගෙතුලට රැගෙන ගියේ එහෙයිනි.

භාගෙට ඉදිකළ තම නිවසේ බිත්ති අතර ඇවිදිමින් සමන්තී එහි හැඩ බැලුවාය. කලකින් කිසිඳු ගොඩ නැගීමක් නොවූ බිත්ති අවර්ණව ගොස් තැනින් තැන ගඩොල් බිම හැලී ඇති අයුරු දුටු ඈ ඇතුලාන්තයෙන් දැවී ගියාය. සැමියා නැති නිවස දිනෙන් දින කඩා වැටෙනවා මිස ගොඩ නැගෙන්නේ නැතැයි ඇයට සිතුණාය. මෙහි අත්තිවාරම දැමූදා සිය සැමියා වූ වසන්ත කියූවක් සැණෙන් ඇගේ මතකයට පැමිණියාය.

“මේක ගෙයක් වෙනකං මං ඉඳීද දන්නෑ නෝනේ..ඒත් මගෙ පැටියයි නෝනෙයි මේ ගේ ඇතුලේ ජීවත් වෙනවා මට කොයි ලෝකේ ඉඳලා හරි දකින්න ඕනේ.”

දෙසවන දෝංකාර දුන් ඒ අතීතයේ හඬට ඈ වෙවුලා ගියාය.

“අම්මේ..”

පුතු කවිරූගේ හඬට ඈ ගෙයින් එළියට පැන්නාය. කඩුල්ලේ උණ බම්බුවක එල්ලී පාර බලන සිය පුතු දෙසට ඈ දිව ගියාය.

“කියලා තියනවා නේද අම්මට නොකියා පාරට එන්න එපා කියලා..”

සමන්තී එසේ කීවේ සිය පුතුව රැගෙන කඩුල්ලෙන් බිම තබන අතරවාරයේ මඳක් සැරෙනි.

” ඉතිං මං අම්මට කීවේ..අම්මා ඔලුව වනලා හා කීවෙ..”

පුතුගේ වදන් වලින් ඈට ඈ කෙරෙහිම සියුම් ලැජ්ජාවක් ඇති වූවාය. තමාගේ ගැඹුරු කල්පනාව පුතු කෙරෙහි දැක්වූ නොසැලකිලිමත් කමක් සේ ඈට දැණුනාය. ඈ සිය පුතුව තරයේ වැළඳගත්තේ එහෙයිනි.

“මයෙ අම්මා ඉතිං මේ කවුරු එනකංද කඩුල්ල ළඟ ඉන්නෙ..”

“සාලා පුංචි එනකං..”

“පුංචී දුර..ගමනක් ගිහින්..එයා අද එන්නෑ මයෙ අම්මේ..”

“පුංචි කවදද එන්නෙ අම්මෙ..”

“ම්ම්ම්..එයා හෙට එයි..”

“හෙට කියන්නෙ කවදද අම්මේ..”

“මේ ඉර නැතුව ගිහිං කළුවර වෙලා…ආය ඉර පායන දවස තමයි මයෙ අම්මේ හෙට කියන්නෙ..”

“අප්පච්චිත් හෙට එනවද අම්මේ…”

සමන්තී එකවරම නිරුත්තර වී ගියාය. සැමියෙකුගේ අහිමි වීම බිරිඳකට වඩා දරුවෙකුට කෙතරම් තදින් බලපාන්නේදැයි ඈට සිතුණාය. සැමියන්ගේ බිරින්ඳෑවරුන් සහ දරුවන්ගේ අයිතියෙන් කර අරින්නට උසාවිවල එකිනෙකාට එරෙහිව ගතු කියාගන්නා මිනිසුන් වසන ලෝකයක, උදේ හවා සිය පියා වෙනුවෙන් මඟ බලන මේ හය හතර නොදත් දරුවාගේ පියා කොහේ සිට හෝ ඔහු වෙත එවන්නැයි තමා නඩු අසන්නේ කුමන උසාවියේ,කුමන විනිසුරු ඉදිරියේදීදැයි ඈ සිතුවාය.

“මාමා….මාමා..”

යැයි සතුටින් කෑගසමින් කඩුල්ල වෙත දුවන කවිරූගේ වේගයෙන්ම සමන්තීගේ දෑස්ද ඒ වෙත ඇදුණාය. සිය මේට් වර්ගයේ යතුරු පැදිය කඩුල්ල ළඟ නවතා කාලිංග ඉන් බැස්සේය. තමා වෙත පිම්මේ දිව ආ කවිරූව කිහිලි දෙක යටින් අත දමා ඔසවා වටයක් කැරකූ කාලිංග, තමා අත තිබූ පාර්සලයෙන් යමක් ගෙන කවිරූ අත තබා ඔහු සමඟ සමන්තී දෙසට ආවේය.

“මාමා…කළුවර වැටිලා ඉර පායනකම්ම මෙහේ ඉන්නවා නේද..”

“ඇයි පැටියො..උඔ කළුවරට බයද..”

“අම්මා කීවා සාලා පුංචි එන්නෙ කළුවර වැටිලා ඉර පායනකොට කියලා..සාලා පුංචි එනකං මාමා මෙහෙ ඉන්න..”

කවිරූ කී දෙය වටහාගන්නට මෙන් කාලිංග සමන්තී දෙස බැලීය.

“එළිය වැටුණු වෙලේ ඉඳලා අහන්නෙ සරලා ගැන..නැන්දම්මා එයාව කැලේගම නතර කරලා ඇවිත්..මං කීවා හෙට ඒවී කියලා..ඒක තමා ඔය කියවන්නෙ..”

තම දඩබ්බර සහෝදරයාගේ මුහුණේ ඉරියව් ක්ෂණයකින් වෙනස් වී යන අයුරු සමන්තී හොඳින් දුටුවාය. සරලා කෙරේ ඔහුගේ ඇති බැඳීම වටහාගන්නට සමන්තීට එය හොඳටම ප්‍රමාණවත්ය.

“පැටියෝ…කුස්සියට දුවලා ගිහින් පොල්කටු ටිකක් අරං වරෙංකෝ…අපි කෝම්පිට්ටු හදමු..”

කාලිංගගේ වචනයේ පමාවට කවිරූ කුස්සිය දෙසට දුවගොස් හමාරය. කාලිංග සමන්තී සමීපයට පැමිණියේය.

“තාරුකා මං එද්දි මූණ එල්ලං හිටියා..හොයලා බලද්දි ශාරික මලයා ඒකිටත් නොකියා ගල්නෑව පැත්තෙ රස්සාක් හොයාගෙනලු..”

“මෙයැයි මුල ඉඳලම එයා රස්සාවකට යනවට ගොරෝ, ගොරෝ හිටියෙ..ඒක නිසා නොකියම යන්ටැති..”

“ඒ කියන්නෙ ඉස්සරහටත් අපි අකමැති බොහොමයක් දේවල්වලට මූණ දෙන්න අපිට සිද්ධ වෙයි..උඔට මේ ගෙදර දාල එන්නම බැරිනං..තාරුකා එක්කාන ඇවිත් දවල්ට මෙහෙ ඉඳලා රෑට එහෙට වරෙං..”

සමන්තී යමක් කියන්නට සැරසෙනු දැක කාලිංග ඇයව නැවැත්වූයේ අතින් සන් කොටය.

“මං කියන දේ හොඳට අහගනිං ලොකු නංගී..අපේ කියලා අපි හිතපු කිසි එකෙක් මේ වෙනකං අපි ගැන හිතලා නෑ…උඔටත් ඕනේනං උන්ගෙ ගොඩට වැටියං..නැත්තං පුළුවන් විදිහට අපිත් එක්ක වැටිලා හිටහං…එච්චරයි..”

එසේ කියා කාලිංග කඩුල්ල වෙත හැරෙත්ම, කඩුල්ල පසුකර ඇදෙන සුදු මහත්තයාගේ යතුරු පැදිය දිටීය. වහ,වහා සිය යතුරු පැදිය වෙත ගිය කාලිංග එය පණ ගන්වාගෙන සුදු මහත්තයා ගිය දෙසට ගමන් කළේය.

තඹුත්තේගම නගරයේ සිට අනුරාධපුර දෙසට මීටර් පන්සියයක් පමණ ගිය තැන “රැජිණ හන්දිය ” හමුවේ. ඉන් දකුණු දෙසට ඇති මාර්ගය දිවෙන්නේ ගල්නෑව නගරයටයි. එම මාර්ගය දෙපසින් උස්ව නැගෙන්නාවූ රූස්ස මැයි මාර ගස්වල හෙවනින් දෙන සිසිලස වෙහෙසකර නොවූ ගමනාන්තයකට ලබා දෙන්නේ කදිම පිටුවහලකි. මෙම මාර්ගය පසෙක බුල්නෑව සහ ගල්නෑව නගර අතර නිදහස් වෙල්‍ යායක උස් බිම් කඩක පිහිටි තරමක් විශාල ගොඩනැගිල්ලකි. එහි කෘෂි රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් ගොවි උපකරණ අලෙවි කරන වෙළෙඳසලක් පවත්වාගෙන යයි. වෙළෙඳසල ඇතුළතින් කොටස් දෙකකට බෙදා වෙන්කර තිබේ. ඉදිරිපස කොටස මාර්ගයට විනිවිඳ පෙනෙන සේ වීදුරු වලින් ආවරණය කොට ඇති අතර මාර්ගයේ සිට බලන්නෙකුට ප්‍රිය උපදවන ලෙසින් විවිධ වර්ණයේ කෘෂි රසායන වර්ග රාක්කවල අසුරා තිබේ. පාරිභෝගිකයන් සමඟ ගණුදෙනු කිරීම සඳහා පිටතට විවර වූ කුඩා කවුළුවක් අසළම මුදල් කවුන්ටරයක් සකසා ඇත. පිවිසුමේ ඇති මේ ප්‍රදේශයෙන් පිටුපසට යා හැකි තල්ලු කර ඇරිය හැකි දොරකි. එම දොරින් ඇතුලේ ප්‍රදේශය ගබඩාවක ස්වරූපය ගනී. එහි විවිධ වර්ගයේ පොහොර සහ ධාන්‍ය ගොඩ ගසා ඇති අයුරු පෙනේ. ගබඩාවේ එක් මුල්ලක තබා ඇති ලියන මේසයකි. ලියන මේසයට පසෙකින් සිටවූ විදුලි පංකාවක් නොනවත්වා කැරකෙයි. ෆයිල් ගොඩක් අතර හිස හොවාගත් ශාරික එම ලියන මේසයේ වාඩි වී සිටියි.

“ෂ්ෂ්ෂ්..මේහ්ං..”

ඒ තරුණ ගැහැණු කටහඬින් ශාරික හිස නගා බැලීය. උරහිස් තෙක් වැටුණු කෙටි කැරළි කොණ්ඩයකින් හා සකස් කළ ඇහි බැමකිනුත් යුත් ප්‍රියමනාප තරුණියක් සිය සායම් කළ පළල් දෙතොල් විහිදමින් ශාරිකට සිනාසෙමින් උන්නාය.
සිනාවට සිනාවකින් සංග්‍රහ කළ ශාරික නැවතත් ෆයිල් ගොඩට එබුණේය.

“මොනාද අනේ..මං අර කැෂියර් කූඩුවෙ වේලි,වේලී ඉන්නවා…ආපු වෙලේ ඉඳන් ඔයා මෙතන ෆයිල් ගොඩක ඔලුව ඔබං ඉන්නවා…”

යුවතිය එසේ කීයේ නාභිය විවර වෙන්නට හැඳි සාරියේ ඉඟ දෙපසට දෑත් ගසා උකුල දෙපසට සොලවමිනි.

“මොනා කරන්නද නංගි..මේක ඉතිං අපි රස්සාව විදිහට තෝරගත්ත එකනෙ..”

“නංගී..මං ඔයාගේ එකුස උපන් සහෝදරී නෙමේනේ අනේ..මං මාධවී..ඔයා…”

“මං ශාරික..” මාධවී දිගු කර හුන් අතට සිය අත පිරිනමමින් ශාරික පැවසීය.

“හම්මේ..අතේ සිනිඳු..ගම ගිරාතලාන කිව්වට මොකෝ ජීවිතේට කැත්තක්, උදැල්ලක් අතින් අල්ලලා නැති පාටයි..”

“නංගි..මේ..මාධවී..හුඟක් කල්ද මෙහෙ වැඩට ඇවිත්..”

“අවුරුදු වලින්ම පහක්..”

“එදා මාව ඉන්ටර්වීව් කරද්දි කිව්වෙ මේක තාම පටං ගත්තා විතරයි කියලනෙ..”

“ඒ අලුත් බොස් මේක පටං අරගෙන..පරණ බොස්ගෙ කාලෙ ඉඳලා මං මෙතන වැඩ..අලුත් බොස් මේක ගද්දි ගත්තෙ මාවත් එක්කම..”

මාධවී එසේ පවසා හඬ නඟා සිනාසෙද්දි ශාරික බියෙන් මෙන් වටපිට බලන්නට වූයේය.

“මොනාද අනේ..බොස් කෙනෙක් වුණාම ටිකක් ෆිට් එකේ ඉන්නකෝ…ඔයා ඉන්නෙ නිකං සියඹලා කොලයක් බිම වැටුනත් ගැස්සෙන සයිස් එකේනෙ..”

“බොස් කෙනෙක්..කවුද මේ මම..”

“ඔව්..ඔයා තමා…අපේ බොස් කිව්වෙ මීට පස්සෙ ඔයයි මගෙ බොස් කියලා..”

ඔවුන්ගේ කතාබහ අතරතුර වෙළෙඳසල ඉදිරිපිට නවතන වාහනයක හඬ ඇසී මාධවී කැෂියර් කූඩුව දෙසට දිව ගියේ “මොහොතක් රැඳෙන්නැයි ” ශාරිකට අතින් සන් කරමින්‍ ය. වෙළෙඳසල ඉදිරිපිට නැවතූ සුදු මහත්තයාගේ යතුරු පැදියත්, නළලේ තුවාල ප්ලාස්ටර් සහිතව ඉන් බැස කොර ගසමින් ගබඩා පෙදෙසට ඔහු ඇවිද යනුත් ,මාධවී බලා උන්නේ කුහුලෙනි.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you