ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය
මීට බොහෝ කලකට පෙර “සිරකරුවා” යන වවනයට සදාචාරයේ “අයිසින්” තැවරූ “රැඳවියා” යන වචනය හඳුන්වා දෙනු ලැබිණි. මේ දිනවල හීනෙන් බයවී ඇහැරෙන තරමේ තිගැස්මක් සහිතව මේ වචනය සිව් දෙසින් අප සවනේ වැකේ. මගේ මතකය බූස්ස, අගුණකොලපැලැස්ස, මහර හරහා දිවගොස් වැලිකඩ තාප්පය අසල නතර වේ. “සිරකරුවෝද මනුෂ්‍යයෝය” බිතු සිතුවම් සහිත තාප්පයේ ඇති ඒ අකුරු දැන් මරබියෙන් සලිතව ඇතැයි මට සිතේ. යළි මගේ මතකයට නැඟෙන්නේ ජාතික ජනබලවේගයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. එහි එක් පිටුවක ඇති “මනුෂ්‍යත්ව පාදක බන්ධනාගාරයක් – යුක්තිගරුක රැඳවුම් දිවියක් !” නැමැති වැකිය සිහිවී සිහින් සුසුමක් ඉහිරිණි. එක්වරම මීගමුව බන්ධනාගාරය සිහිවී තිගැස්සී ඒ හීනයෙන් ඇහැරිණි. මට පියවියේ අධිකරණ ඇමති සහ ජේලර්ලා හඬනු පෙනේ. “ඕකුන් ඔක්කොම එකට තියලා මරන්නයි තිබ්බේ” කියා බුකී මැරයින් වියරුවෙන් හඬ නඟනු ඇසේ. මම හිත හදාගමි. නැත! සිරකරුවෝ මනුෂ්‍යයෝ නොවේ. ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝ ය.
අපරාධයකට දඬුවමක් ලෙස හෝ නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් නීත්‍යානුකූලව රඳවා තබාගෙන සිටින පුද්ගලයන් රැඳවියන් ය. ඔවුන්ව හඳුන්වන වචනය සිරකරුවා යන්නෙන් බිඳී රැඳවියා ලෙස අර්ථ ගැන්වනුයේ ඒ සදාචාර සීමාවේ සිටය. සිරකරු අයිතිවාසිකම් පනතේ ප්‍රකාරව එකී රැඳවියන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් තිබේ. එය ආහාරපාන, නවාතැන් හා ඖෂධ යන මූලික අවශ්‍යාතා වල සිට දිනකට පැය කිහිපයක් හිරු එළිය හා වාතාශ්‍රය ලැබීමේ අයිතිය දක්වා මානුෂීය දිගුවකි. ඔවුන් රැඳවියන් ලෙස බන්ධනාගාරගත වන්නේ අධිකරණ පද්ධතිය තුළින් නියම කළ දඬුවමක් හේතුවෙනි. බන්ධනාගාරය තුළ කිසියම් නිලධාරියෙකුට හෝ තවත් රැඳවියෙකුට නැවත ඔවුන්ට කායිකව හෝ මානසිකව දඬුවම් පැමිණවීමේ කිසිඳු අයිතියක් නැත. 2012 වසරේ ලිස්ට් එකක් නිසා වැලිකඩ බන්ධනාගාරයේ 27 දෙනෙකු මියයන්නේත්, 2022 වසරේ PCR ඉල්ලා මහර බන්ධනාගාරයේ 11 දෙනෙකු මියයන්නේත්, 2026 වසරේ ඩෙංගු වලට බෙහෙත් ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ 30 ක් මියයන්නේත් නීතී පොත්වල රැඳවියන්ගේ අයිතිවාසිකම් තහවුරු කර තිබියදී ය.
තත්වය එසේ තිබියදී බිමල් රත්නායක පාර්ලිමේන්තු විත් අපෙන් අසන්නේ 5 වෙනිදා රාත්‍රියේ සංසුන්ව තිබූ මීගමුව බන්ධනාගාරයට 6 වෙනිදා උදේ කෑමෙන් පසු ගිණි ඇවිලුණේ කෙසේද? කියාය. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගෙන් මේ වන විට බන්ධනාගාරයේ තත්වය කෙසේදැයි මාධ්‍යවේදීන් විමසූ විට තමන්ට පැය කිහිපයකින් ෆේස්බුක් යන්නට නොහැකි වූ නිසා අප්ඩේට් එකක් නැතැයි කියයි. “ෆ්‍රී ලෝයර්ස්” නම් සංවිධානයක් මාධ්‍ය හමුවක් තියා 6 වෙනිදා උදෑසන මීගමුව බන්ධනාගාරයට ඇතුළුවූ 30ක පමණ පිරිසක් ගැන කියයි. චාමර සම්පත් මන්ත්‍රීවරයා එසේ ඇතුළු වූයේ “බන්දෙ පොලිස්” නමින් හඳුන්වන බන්ධනාගාර පොලීසිය බව පාර්ලිමේන්තුවේදී කියයි. බිමල් රත්නායක පමණක් මේ කිසිවක් නොදනියි. බන්ධනාගාර ගැටුම වූ අවස්ථාවේ එහි සේවය කළ නිලධාරීන් ගණන කියාගත නොහැකිව තටමන බන්ධනාගාර කොමසාරිස්වරයා තම නිලධාරියා වෙඩි නොතිබ්බේනම් මහා විනාශයක් වන බව ටක්කෙටම කියයි. බන්ධනාගාර නිලධාරින් අධිකරණ අමාත්‍යවරයාගේ මූණටම තමන්ට නිසි වේලාවට අවශ්‍ය උපදෙස් නොලැබුණු බව කියන අතර තවත් නිලධාරියෙක් “අපේ කොල්ලා බේරලා දෙන්න සර්” යැයි කියයි. මේ නිලධාරීන් නොකියා කියන්නේ තමන් සිය ධුරයේ වගකීම පැහැර හැරිය බව සහ මේ ඉල්ලා සිටින්නේ නිලධාරීන් වෙනුවෙන් නීතීය නවන්න යැයි කියනා එක තේරී හෝ නොතේරී අධිකරණ අමාත්‍යවරයා ද බන්ධනාගාර නිලධාරීන් හා එක්ව හඬයි.
රැඳවියන් යනු සුමට, සුචච, කීකරු අත දරුවන් නොවේ. ඔවුන් ස්වභාවයෙන්ම ආවේග හා පෙළඹවීම් මත ක්‍රියාකරන්නන් වෙති. ඔවුන්ව පාලනය සඳහා යොදවා ඇත්තේ නීතීය මෙන්ම එකී ස්වභාවයන් හා මානව හිමිකම්, පුද්ගල අයිතිවාසිකම්, හදිසි අවස්ථාවල හැසිරීම් වැනි දේ ප්‍රගුණ කළ පුහුණු කළ අය විය යුතුය. රැඳවියා පොලු, මුඟුරු රැගෙන එද්දී නිලධාරියා T56 කින් ඔවුනට උත්තර දෙන්නේනම් ඔවුන් දෙදෙනා අතර ඇති වෙනස කුමක්ද…? පොලීසිය උසාවි ගෙනයන නඩුවලින් 90%ක් පමණ හඳුන්වා දුන් නඩු නොහොත් බොරු නඩු බව කියවේ. ඇප නොදීමේ නීතියට හසුවනු පිණිස අල්ලන ලද මත්ද්‍රව්‍ය වල මාත්‍රාව වැඩිකර උසාවියට ඉදිරිපත් කරන බවට කතාබහක් පවතී. බන්ධනාගාර තුළ ජේලර්ලා අල්ලස් ගැනීම්, මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සහ තෝරාගත් පිරිස් වලට විශේෂ සැළකිලි පිළිබඳව අසන්නට ලැබේ. රැඳවියා බන්ධනාගාරගත වන්නේද, එහි රැඳී සිටින්නේද අර්බුද සමඟය. ගැටුම නීතීයේම නිර්මාණයකි. විසඳුම ඇත්තේද එහිමය. “අපරාධකරුවන් මැරුවාට කමක් නෑ” යන්න අතිශය කුරිරු ප්‍රකාශයකි. එක්තරා පිරිසක් එය දැඩිව සමාජය තුළ රෝපණය කරමින් සිටී. මේ වරදකරුවන් ය. ඔවුන්ට දඬුවම් කළ හැක්කේ නීතීමය රාමුවක් තුළ පමණය. ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කිසිවිටෙකත් “කැලෑ නීතිය” තිබිය නොහැකිය.
මේ බලය හොබවන්නේ බන්ධනාගාර වසා පාසල් අරින්නට ආ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා දවස් දෙකක් ඇතුලත මහමෝදරට සහ බෝගම්බරට නව බන්ධනාගාර දෙකක් විවෘත කරන්නට ගැසට් නිවේදන නිකුත් කළේය. ඒ ආණ්ඩුවේම “ගව විශේෂණ” යැයි කියාගන්නා විශේෂ සත්ව කොට්ඨාශයක් සිටී. “පාර රාජ්‍යයක්” ගැන පම්පෝරි ගසන උන්දලා, ආණ්ඩුවට වාසි පැත්තට ඉතා ක්‍රියාශීලීය, අනෙක් හැමදේටම නිද්‍රාශීලී ය. “ඉල්ලුවේ PCR ලැබුණේ Bullet ” කියා සටන් පාඨ කියන්නට දැන් කිසිවෙක් ඉතිරිව නැත. උද්ඝෝෂකයෝ සියල්ල දැන් රාජ්‍ය පාලනයේය. ආණ්ඩුව මවන ලෙසට රාජපක්ෂ පාලනයට Deep State තිබුණේනම් මහින්ද රාජපක්ෂට, මෛත්‍රීපාල සිරිසේනට පරාදවී තංගල්ලේ ජනෙල් ගැට්ටක එල්ලෙන්නට වන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂට කොල්ලො කුරුට්ටන්ගේ කැරැල්ලකට බයේ රජකම අතැර පලායන්නට වන්නේද නැත. බලයෙන් පහවූ රාජපක්ෂලාට මේ ආණ්ඩුව ඇතුලේත් Deep State තිබේනම්, හෙළුව වසා ගැනීමට ආණ්ඩුව කුරහන් සාටකයක් හෝ පැළඳිය යුතුය. “යුක්තිය” මෙන්ම “රටම එකට” මෙහෙයුමෙන් කළේත් තෝරු, මෝරු බේරා හාල්මැස්සන්, කූනිස්සන්ට දැල එළීමය. ඒවායේ මහිමයෙන් 11000 කට පහසුකම් ඇති බන්ධනාගාරවල 41000 කට “සැමන් ගැසීමට” සිදුව තිබේ. අප කියනා මේ කිසිත් මෙරට ජන මනසට ගෝචර දෑ නොවේ. ආණ්ඩුව ඔවුනට අවැසි “සතියේ සිඟිති ආතල් එක” සපයා අවසන් ය. මහර බන්ධනාගාරයේ වහලය උඩ කොණ්ඩය හැදූ නංගීත්, ගේට්ටු කටෙන් රැඳවියන්ට කොකා ගැස්සු මල්ලීත් ඊළඟ සතියේ ආණ්ඩු ආතල් එනතුරැ බුකී ජහමනයාට ප්‍රමාණවත් ය. මේ රට එහෙම ය. ආතල් උපරිම ය.