Featuresතමිල්නාඩුව බිහිකළ ජනතාවගේ නායකයා

තමිල්නාඩුව බිහිකළ ජනතාවගේ නායකයා

-

spot_img

තමිල්නාඩුව බිහිකළ ජනතාවගේ නායකයා – Jana Nayagan

තලපති විජේ යනු දකුණු ඉන්දියානු සිනමාව තුළ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ වැජඹෙන තාරකාවකි. තිරයේ දුටු ඒ තාරකාවට සමහර රසික රසිකාවියන් ජීවිතය දෙවෙනි තැනට තබා ආදරය කළේය. තමිල්නාඩු ජනතාව මේ වන විට සිය වීරයාට ඔවුන්ගේ අනාගතය බාර දී තිබේ. රඟපෑමට සමුදුන් තලපති විජේ Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය තුළින් දේශපාලනයට පිවිස ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තේ තමිල්නාඩුවේ ප්‍රබලතම දේශපාලන පක්ෂ දෙකක් වන Dravida Munnetra Kazhagam (DMK) සහ All India Anna Dravida Munnetra Kazhagam (AIADMK) යන පක්ෂ පරාජය කරමිනි. ඔහුගේ ජයග්‍රහණය සම්ප්‍රදායික පවුල් පාලනයට එහා ගිය ජනතාවගේ ආදරය මතින් ලැබුණක් බව පැවසුවද, සිනමා තරු දේශපාලන බලවතුන් බවට පත්වීම තමිල්නාඩුවට අලුත් දෙයක් නොවේ. සිනමාවේ කවදත් වීරයා වූ තලපති විජේ සිනමාව තුළින් දූෂණයට එරෙහි වීම, සමාජ සාධාරණත්වය, ජනතා අයිතිවාසිකම් ගැන කතා බහ කළේය. එම වීරයාගේ භූමිකාවම ඔහු දේශපාලනය තුළද රඟ දක්වනු ඇතැයි සුවහසක් තමිල්නාඩු ජනතාව අපේක්ෂා සහගතව බලා සිටිති. පෙම්වතෙකු, වීරයෙකු ලෙසින් සිනමාවට නැතිවම බැරි නළුවෙකුව සිට බලගතු දේශපාලන චරිතයක් වීම දක්වා පැමිණි ඔහුගේ ගමන ලෙහෙසි පහසු එකක් නොවීය. තමිල්නාඩුව තුළ ඔහුගේ මෑත කාලීන දේශපාලන දියුණුව එතුළ දිගු කාලීනව මුල් බැසගත් දේශපාලන පක්ෂවලට අභියෝග කළේය. ඔහු සිය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සහ තරුණ නායකත්වය විසින් මෙහෙයවන දේශපාලනය පිළිබඳව පොරොන්දු ලබා දී තිබේ. 

Vijay

කලා පවුලක පුතෙකු ලෙසින් ජෝසප් විජේ චන්ද්‍රසේකර් 1974 ජුනි 22 වන දින චෙන්නායිවල දී උපත ලැබුවේය. ඔහුගේ පියා එස්. ඒ. චන්ද්‍රසේකර් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වූ අතර මව ශෝබා චන්ද්‍රසේකර්ද නිෂ්පාදකවරියක් සහ ගායිකාවක් ලෙසින් කටයුතු කළාය. කුඩා වියේදීම ඔහුට සිය බාල සොහොයුරිය අහිමි වූ අතර එය තම ජීවිතයේ මැකිය නොහැකි වේදනාවක් බව වරක් ඔහු සඳහන් කළේය. පාසල් අවධියේ සිටම රංගනයට ඇළුම් කෙරූ ඔහු ළමා නළුවෙක් ලෙසින් චිත්‍රපට කිහිපයක රඟපෑමෙන් අනතුරුව 1992 වසරේදී Naalaiya Theerpu චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. එම චිත්‍රපටය අසාර්ථක වූ අතර එය දැඩි විවේචනවලට මුහුණ දුන්නද ඉන් අධෛර්යමත් නොවුන ඔහු අනූව දශකයේ අගභාගය වන විට සැළකිය යුතු තරම් රසික අවධානය දිනා ගනිමින් රිදී තිරයේ ප්‍රේමවන්තයා බවට පත් විය. 2000 දශකය වනවිට විජේ දමිළ සිනමාවේ ජනප්‍රියම තරුවක් බවට පත්ව සිටි අතර, ඔහු රඟපෑ චිත්‍රපට ඉහළ වාණිජ සාර්ථකත්වයක් ලඟා කර ගත්තේය.

Vijay

ක්‍රියාදාම වීරයෙකු ලෙසින් ඔහු රඟපෑ චරිත, දේශපාලනය, බල පුළුවන්කාරකම් හේතුවෙන් පීඩාවට පත්ව, හෙම්බත්ව සිටිනා ජනතාවගේ හදවතටම දැණුනේය. ඔවුන් තම වීරයාට ආදරය කළා නොව වඩාත් නිවැරදි ඔවුන් ඔහුව අදහන්නට පටන් ගත්තේය යන්නයි. තලපති විජේගේ චිත්‍රපටවල මංගල දර්ශන දේශපාලන රැළියක ස්වභාවය ගැනීමට මහ කාලයක් ගත වුයේ නැත. යථාර්ථයෙන් එහා ගිය තමිල්නාඩුවක වීරයෙකුගේ චරිතය රඟපෑ විජේ ජනතාවගේ කරමතින් දේශපාලනයට පිවිසෙන්නට මාවත සකසා ගත්තේය. ක්‍රම ක්‍රමයෙන් ඔහු සිය චිත්‍රපටිවලට දේශපාලනය ඇතුළත් කිරීමට වග බලාගත්තේය. සෞඛ්‍ය සේවාවල සිදුවන දූෂණය, මැතිවරණ අක්‍රමිකතා, තරුණ ප්‍රජාවගේ කළකිරීම තේමා කරගත් Mersal, Sarkar, Master වැනි චිත්‍රපට ඒ සඳහා උදාහරණ වේ. සංවිධානාත්මකව ක්‍රියාත්මක වූ ඔහුගේ රසික සමාජ බිම් මට්ටමේ ජාල ලෙසින් ජනතාවට ආපදා සහන, ආහාර බෙදා හැරීම සහ අධ්‍යාපනික කටයුතුවලට සහය දීම වැනි සමාජ සේවා කටයුතු සිදු කළෝය. කාලයත් සමග මේ සංවිධාන ප්‍රබල ඒවා බවට පත් විය.

Vijay
විජේ සහ සිය බිරිඳ සංගීතා

සංගීතා සෝනලිංගම් සමඟ විවාහ වූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. එවකට පටන්ම සිය පෞද්ගලික ජීවිතය මාධ්‍යයට නිරාවරණය නොකරන නළුවෙකු ලෙසින් ඔහු හැඳින්වූ නමුත් දේශපාලනයට පිවිසි පසු විජේගේ පවුල් ජීවිතය අසාර්ථක බවට විවිධාකාරයේ කතා පැතිරුණේ ජනප්‍රිය කොලිවුඩ් රංගන ශිල්පිනියක් වන ට්‍රිෂා ක්‍රිෂ්ණන් සහ විජේ පෙම්වතුන්ය යන ආරංචියද සමගිනි. නමුත් විජේගේ රසිකයින්ට ඒවා අදාළ වූයේ නැත.

Vijay
විජේ සහ ට්‍රිෂා ක්‍රිෂ්ණන්

චිත්‍රපට තරු දේශපාලනයට පිවිසීමේ දිගු ඉතිහාසයක් තමිල්නාඩුවට තිබේ. එම්. ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා ඒ සඳහා ප්‍රබල උදාහරණ වේ. 2024 දී, විජේ නිල වශයෙන් ඔහුගේ තමිලග වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය දියත් කළේ සිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ගැන ප්‍රකාශයට පත් කරමිනි. තමන් සිනමාවෙන් සමු ගන්නා බවත්, සම්පූර්ණයෙන්ම මහජන සේවය උදෙසා කැපවන බවටත් ජනතාව ඉදිරියේ පොරොන්දු දුන්නේය. ජනතා සේවය උදෙසා සිනමාව කැප කිරීමට ගත් තීරණය නිසාවෙන් ඔහුගේ ඡන්ද පදනම තව තවත් ශක්තිමත් විය. දූෂණ විරෝධී, විනිවිදභාවයෙන් යුතු, තරුණ බල ගැන්වීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සමාජ සාධාරණත්වය ගැන විජේ සාමාන්‍ය ජනතාවට තේරෙන දෙමළෙන් කියා දුන්නේය. එය ජනතාව ඔහුට ආකර්ෂණය වීමේ තවත් හේතුවක් බව පැවසේ. සම්ප්‍රදායික මැතිවරණ උපායමාර්ග ඉවත දැමූ ඔහු සිය රසික ජාලය උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍යය, බිම් මට්ටමේ වැඩසටහන්, මහා පරිමාණ රැළි ආදියෙන් ක්‍රියාකාරී ප්‍රචාරක බලවේගයක් නිර්මාණය කර ගැනීමට සමත් විය. ඔහුගේ දේශපාලන ගමන සුමටව සිදු වූ එකක් නොවේ. වඩාත්ම බරපතල සිදුවීම්වලින් එකක් වූයේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඇති වූ තෙරපීමකින් ජීවිත හානි සිදුවීමයි. එහිදී ඔහුට චෝදනා එල්ල වුණේය. එමෙන්ම ඔහුගේ අවසාන චිත්‍රපටය වූ Jana Nayagan චිත්‍රපටයට වාරණ පැනවු අතර එයම සෘණාත්මක ප්‍රචාරක රැල්ලක් ක්‍රියාත්මක වීමට හේතු වුණි.

mgr-jaya
එම්. ජී ආර් සහ ජයලලිතා

2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) සහ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) වැනි ප්‍රබල පක්ෂ සමග තරඟ කළ නොහැකි බවට පැවසුණු TVK පක්ෂයේ ඡන්ද ප්‍රතිඵල නිරීක්ෂකයින් පවා සසළ කරවන්නට සමත් විය. තමිල්නාඩු දේශපාලනය තුළ පැවති දිගුකාලීන ආධිපත්‍යය බිඳ දමමින් TVK පක්ෂය එහි උපරිම ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය.

vijay
විජේගේ පුතු ජේසන් සහ දියණිය දිව්‍යා

මේ ලැබූ ජයග්‍රහණයත් සමගින් තලපති විජේ හට භාර වී තිබෙන්නේ තමිල්නාඩුවේ අනාගතයයි. දේශපාලන විචාරකයින් තර්ක කරන්නේ පාලනයට පරිපාලන කුසලතා සහ දේශපාලන පරිණතභාවය අවශ්‍ය බවත් සිනමා තරුවකට ඒ පරිණතභාවය තිබේද යන්න සැක සහිත බවත් ය. රජයක් පිහිටුවීමට අන් පක්ෂවල සහය අවශ්‍ය අතර එය ඔහු මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් වනු ඇති බවද පැවසේ. පොරොන්දු වූ පරිදි සම්ප්‍රදායික පාලනය මුලිනුපුටා දමා අලුත් තමිල්නාඩුවක් ඇති කිරීමට ඔහුට හැකිවේද? ඔහුගේ දේශපාලන ගමන තවම ආරම්භක අවධියේ පවතින අතර, එය ඉදිරියට ගමන් කරන්නේ ජනතා අපේක්ෂා සහ ප්‍රායෝගික යථාර්ථය අතර සංකීර්ණ සටන මතය. සිනමාවේදී මෙන් නොව, දේශපාලනයේදී ජනතාවගේ සැබෑ ජීවිත ගැටළු විසඳීම සඳහා තීරණ ගැනීමට ඔහුට සිදුවනු ඇත. දේශපාලනය, නායකත්වය ඔහුට අලුත්ම ක්ෂේත්‍රයක් වන අතර, Jana Nayagan නොහොත් ජනතාවගේ නායකයා කෙතරම් සාර්ථකදැයි තීරණය කරනු ඇත්තේ අනාගතය විසිනි.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you