දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වූ බහුදින යාත්‍රාවේ සිටි දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා නාවික හමුදාව විසින් අද (31) අලුයම 5.00 ට පමණ හම්බන්තොට වරායට රැගෙන විත් තිබෙනවා.
අගෝස්තු මස 31 වැනි දින ධීවරයින් 06 දෙනෙකු සමඟ මෙම බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණු අතර, මෙරට ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300 ක පමණ දුරින් එය අනතුරට පත්ව තිබුණා.
යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවත්, තවත් අයෙක් දින 11 කට පමණ පසුව මිය ගොස් ඇති බවත් සඳහන්.
අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, එම ධීවරයින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් පිටත් කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණු අතර, ධීවර යාත්‍රාවේ හිමිකරුද සිය යාත්‍රාව අතුරුදන් වී ඇති බවට පැමිණිලි කර තිබුණා.
අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කර ඇති අතර, ඔවුන් අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ පසුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



