NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 45

Tharu Mal Viyan තරු මල් වියන් – 45

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

පරිසරය නිහඬය. රේණුකා කතා බහ කිරීමට පැමිණි නිසා කතා බහ වෙනස් මාතෘකා ඔස්සේ විහිද ගියේය. හේෂාන් අංජලී කැඳවාගෙන පිටතට ගියේ ඇයත් සමඟ තනිව කතා බහ කරන්නටය. දෙමළිච්චන් රංචුවක් හඬ නඟමින් ඉගිළ විත් අඹ ගසේ ලැග්ගෝය.

“දුව…අපි ඔයාට මේ මොකුත් නොකියා හිටියේ ඔයාට ආදරේ නැති නිසා නෙවේ…ඔයා අපේම දුව නිසා…තාමත් එහෙමයි…ඒක හෙටත් හැමදාමත් එහෙමයි…ඔයාගේ හිතේ දුක අපිට තේරෙනවා…”

හේෂාන් අංජලීගේ හිස පිරිමදිමින් කීවේය.

“හිතේ දුක තේරෙනවා නම් ඔයාලා අද මෙහෙ එන්නේ නැහැ…මට පාඩුවේ ඉන්න දෙන එකයි කරන්නේ…ඔයාලා කාටවත් ඒක තේරුම් ගන්න බැහැ…මොකද ඔයාලා කාවවත් අරන් හදා ගන්න ගත්ත නෙවේනේ…කරුණාකරලා මගේ හිත හදන්න කියලා හිතන් මට අනුකම්පා කරන්න එපා…මං වෙනුවෙන් ඔයාලා කරපු හැමදේටම ගොඩාක් ස්තූතියි…”

අංජලී ගෙතුළට පැමිණියේ හේෂාන් එහිම හිඳ බලා සිටින විටය. ඊටත් මොහොතකට පසුව ඔවුන් පිටව යෑමට සැරසෙන මොහොතේවත් අංජලී පිටතට නොආවාය. ඔවුන්ගේ මෝටර් රථය තෙක් ඇවිද ආ ගයානි ඉන්ද්‍රාණි අතින් අල්ලා ගත්තේ ශෝකයෙනි.

“අනේ…නැන්දා…අංජලී එක්ක තරහා වෙන්න එපා…එයා ඉන්නේ දුකෙන්…”

මිතුරිය කෙරෙහි උපන් අනුකමොආවෙනුත් ශෝකයෙනුත් ඈ කීවාය.

“අපිට තේරෙනවා දුව…මේවා අපේම වැරදි…දැන් ඒ ගැන හිතන්න පරක්කු වැඩියි…අපිම මේ ගැන දුවට කියලා තියෙන්න මේවා මේ විදියට සිද්ධ නොවෙන්න ඉඩ තිබුණා…දැන් කරන්න දෙයක් නැහැ…”

ඉන්ද්‍රාණි කීවේ ලැතැවුළෙනි.

“අපේ කෙල්ලව බලාගන්න දුව…”

සිරිවර්ධන කීවේ ගයානිගේ හිස පිරිමදිමිනි. ඔවුන් රථයට නැඟී පිටව ගොස් මොහොතක් ගත වන තුරුම ගයානි හිස් දෑසින් මාවත දෙස බලා සිටියාය.
ඇයට පවා කළ හැකි කිසිත් නැත. කළ යුත්තේ නිහඬව බලා හිඳීම පමණි. අංජලී දැන් දැන් තමා කියන කිසිවකට හෝ සවන් දෙන්නේ නැත. ඇගේ වේදනාව නොවැටහුණා නොවුණද එයට තමාගේ ඇති වරද කුමක්දැයි කියා ඇයට සිතා ගත නොහැකිය. ඈ ගෙතුළට ආවේ පෑරුණු සිතිනි. අංජලී සිටියේ යහන මත හිඳගෙන හිස් දෑසින් ජනේලයෙන් එපිටට දෙනෙත් යොමාගෙනය.

“නැන්දලා ගියා…”

ගයානි කීවේ යහන මත අඩ මානයට හිඳ ගෙන අංජලීගේ ඊළඟ ඇනුම්පදයට මුහුණ දෙන්නට සූදානමිනි.

“හ්ම්ම්…”

ඈ හූ මිටි තැබුවේ නොසැළකිලිමත් ලෙසිනි.

“එයාලා ආවේ ඔයාව බලන්න…ටිකක් හරි හිත නොරිදෙන්න කතා කරන්න තිබුණා…”

නොසතුටෙන් ගයානි කීවාය.

“මං කාවවත් රිද්දුවේ නැහැ…එයාලා රිදව ගත්තට මට කරන්න දෙයක් නැහැ…එයාලා මට ආදරේටද මාව අනාථ මඩමෙන් අරන් ආවේ…නැහැනේ…මං බලෙන් එයාලා එක්ක ආවද නැහැනේ…ඕනෑම මනුස්සයෙක්ට ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තියනවා…මේ හැමදේම එයාලා කළේ එයාලගේ ආත්මාර්ථකාමි කමට නෙවේද…? කවදා හරි මං මේක දැනගනියි කියලා හිතලා එයාලට තිබුණා මට මේ හැමදේම කියලා තියන්න…අන්තිමේදි මං මේක කොහොමද දැන ගත්තේ…මට හදවතක් නැහැ කියලාද හිතන් ඉන්නේ…දුක හිතෙන්නේ නැත්ද…මාත් මනුස්සයෙක්…රොබෝ කෙනෙක් නෙවේ…”

ගයානි නිහඬව අසා සිටියාය.

“මං එයාලගේ දෙපතුල් ළඟ වැටිලා අඬ අඬා ඉන්න ඕන කියලද ඔයා හිතන්නේ…?”

ඒ ප්‍රශ්නයට නම් ගයානිද නිරුත්තරය. අංජලී යහන මතින් නැඟිට පිටතට ගියේ ගයානි ඔහේ බලා සිටින විටය.
——————————————————————————————————
දින සති කීපයක්ම ගෙවී ගියේ පියාපත් ලද්දාක් මෙනි. මේ අතර මාලක විදෙස් ගත වූ බව ගයානි හා කීවේ රංගිකාය.

“අංජලීට ඕවා කියන්න එපා…එයාට ඕවා වැඩකුත් නැහැනේ…”

රංගිකා ආදිත්‍යගෙන් දැනගත් පුවත එසේ කියා සිටියාය.

“හැමදේම විනාශ කරලා මිනිහා පැනලා ගියා එහෙනම්…”

ගයානි කීවේ කෝපය මුසුවය.

“ඔයා කේන්ති ගන්න එපා…වෙච්ච දේවල් අපිට හදන්න බැහැනේ…මොනවා කරන්නද…?”

සුසුමක් හෙළමින් රංගිකා ඒ මොහොතේ කීවාය. මේනක අංජලී හමුවන්නට එන්නට සූදානම්ව ගයානිට කීප වතාවක්ම ඇමතුම් ගත්තද ගයානි කීවේ දැන්ම ඇයව හමුවන්නට නොඑන ලෙසය. සිත් රිදුම් ඇතිකරගෙන යන්නට සිදුවෙනු ඇතැයි ඈ බිය වූවාය.

“ටික කාලයක් ඔහොම ගියාවේ සුදු අයියා…එයා තාම හිත හදන් නැහැ…”

ගයානි කියන්නක්ද සැබෑවක් කියා සිතුවද මේනක දිනක් අංජලී හමුවන්නට ආවේ නොදන්වාමය. මේනක පැමිණ ඇති බව ඇසූ අංජලී සිත තුළ තිගැස්මක් ඇති විය. ඈ ආලින්දයට ගියේ නොකැමැත්තෙනි.

“ෆෝන් එකත් ඕෆ්…කවදාවෙනකල් අපිව රිදවන්නද ඔයා හිතාගෙන ඉන්නේ…”

අංජලී නිහඬය. මේනක දිගටම කතා කරන්නට විය. ගයානි පසෙක සිටියේ ඔවුන්ගේ කතා බහට සවන් දීමේ වුවමනාවෙන් නොවේ. අංජලී මේනක ඉදිරියේදිවත් සිත මෘදු වනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

“ඔයා මගේ නංගී…ඒකට ලේ නෑකමක් ඕන නැහැ…ඒක ආත්මීය බැඳීමක්…”

අංජලී සිතින් හඬමින් සිටියාය. මේනක වැළඳගෙන මහා හඬින් හඬන්නට වුවමනා වුවද ඈ සිත ගලක් කරගෙන නොසැළී සිටියාය.

“ඔයාට බැහැ මෙහෙම හිතින් විඳෝ විඳෝ ජිවත් වෙන්න…මල්ලිත් රටින් යන්න ගියා…අපේ පවුලට මොකද මේ වුණේ…?”

මාලක විදෙස් ගත වූ බවක් ඇසූ අංජලී මවිත වූවාය. මේ සියල්ලට මුළ ඔහුය.

“මට පවුලක් තියනවා කියලා මාත් හිතන් හිටියා…ඒත් ඒක ඇත්ත නෙවේනේ…මට මාවම රවට්ට ගන්න ඕන නැහැ…අපි ඇත්ත කියන දේට මුහුණ දෙන්න ඕන…මේ තුවාලෙ කවදාවත් හොඳ වෙන්නේ නැහැ කියලා මං දන්නවා…”

“මං…කියන…දේ…”

“මට මොකුත් අහන්න ඕන නැහැ…මීට පස්සේ මෙහෙ එන්න එපා මාව බලන්න හිතාගෙන…”

අංජලී ඔහුට පිටුපා කාමරයට වැදුණාය. මේනක සුළු මොහොතක් රැඳි හිඳ පිටව ගියේ දොම්නස් සිතිනි. අංජලීගේ වෙනස තුෂාරට මෙන්ම අනික් අයටද පැහැදිලිවම දැනී, පෙනී තිබිණි. මියුර ගයානිගෙන් ඒ පිළිබඳව විමසුවේ කල්‍ යල් බලා හිඳ බැරිම තැනය.

“ඒ ගැන කතා කරන්න එපා…එයාට ගෙදර ප්‍රශ්නයක්…”

ගයානි කීවේ සියළු දෙනම සිටින තැනය. තුෂර අනුමාන කළේ එයටත් මාලකගේ යම් සම්බන්ධකමක් ඇතැයි කියාය.

“පර්සනල් දේවලට අපිට ඇඟිලි ගහන්න බැහැනේ…”

මියුර ඒ කතාව මෙතනින් නවතමු යැයි කියන්නාක් මෙන් කීය. කෙසේ වුවද ගයානිගේ සිතේ නම් වූයේ පැහැදිලිවම වේදනාවකි. තම මිතුරිය දිනෙන් දින තමාගෙන් ඈත් වන බවක් ඇයට දැනී තිබිණි. අංජලී සමඟ කුමන දෙයක් කතා කළද ඇගෙන් පිට වන්නේ ඇනුම්පදයක්ම පමණි. ගයානි මේ නිසා පසුවූයේ දැඩි සිත් වේදනාවකිනි. ඈ මියුර සමඟ වුවද කිසිත් නොකීවාය.
——————————————————————————————————
නුවර ගොස් පැමිණ දැන් සති තුනකුත් ඉක්ම ගොසිනි. මේ සති ගානම අංජලී වික්‍රාමාරච්චි යුවළ සමඟ දුරකථන ඇමතුම් මඟින් කතා බහ කළාය. ඔවුනතර මේ වන විටත් දැඩි මිතු දමක් ඇරඹී තිබුණේ පුදුමාකාර ලෙසිනි. අංජලීගේ දැන් එකම අරමුණ රැකියාවක් සොයාගෙන පිටව යෑමය. ඈ එයට පිඹුරුපත් සකසමින් සිටියාය. ඇයට තුෂර සමඟ මේ සියල්ල පැවසීමට වුවමනාය. ඇය වෙනුවට කිසිවෙකු සොයා ගන්නට ඔහුට කල් ලබා දිය යුතුය. එක්වරම රැකියාවෙන් ඉවත් වන බව නොපැවසිය යුතුය. එසේ සිතූ ඈ දිනක් සංදීපා නිවාඩු දිනයක තුෂර සමඟ කතා බහ කළාය.

“මට මෙහෙම වැඩ කරන්න බැහැ තුෂර…මට මගේ හිත හදාගන්න බැහැ…”

ඈ කීවේ මුසාවක් නොවේ. ඒ මොහොතේත් ඇගේ දෑස් වලට අලුතින් කඳුළු එක් රොක් වන්නට විය. තුෂර අසා සිටියේ අනුකම්පා මුසු සිතිනි.

“මට මොනවද කරන්න පුළුවන් අංජලී…?”

“මට මෙහෙන් යන්නයි ඕන…”

තුෂර තිගැස්මට පත් විය.

“අයින් වෙලා…?”

ඈ හිස සැළුවාය. තුෂර කිසිත් නොකියා මොහොතක් නිහඬවම බලා සිටියේය.

“ජොබ් එකක් හම්බුණාද…?”

ඈ එයට පිළිතුරක් නොදුන්නාය. රැකියාවක් දැනටමත් ලැබී ඇති බවක් ඈ නොකීවාය.

“නැහැ…හොයා ගන්නවා…හැබැයි මම යනවා කියලා කාටවත්ම කියන්න එපා…මට දැන් හැම දෙයක්ම වදයක් වෙලා තියෙන්නේ තුෂර…මට පාඩුවේ ජීවත් වෙන්න ඕන…අඩුම තරමේ මම ගයාටවත් කිව්වේ නැහැ…ප්ලීස් එයාටවත් කියන්න එපා…”

“ඒත්…”

“ඔයා මට ඒක පොරොන්දු වෙනවද…?”

තුෂරට වෙන කළ හැකි දෙයක් නැත. ඔහු හිස සැළුවේ නොකැමැත්තෙනි.

“ඒත් ඔයා කොහෙද යන්නේ…?”

ඈ මඳහසක් පෑවා මිස කිසිත් නොකීය.

“ඔෆිස් එකට කෙනෙක් ගන්න එක නෙවේ වැඩේ…ඔයාලා වගේ හොඳ යාළුවෝ ඈත් වෙන එකයි දුක…”

තුෂර කීවේ සැබෑ වේදනාවකිනි.

“කොහේ හිටියත් අපේ යාළුකම් හැමදාම ඒ වගේම තියෙයි තුෂර…හදිසියේම මම නෑවිත් හිටියොත්…හිතන්න මං හුඟාක් දුර ගිහින් කියලා…”

එවර ඇගේ දෑස් කඳුලින් තෙත් විය. තුෂර බලා සිටියේ වේදනාබර දෑසිනි. ඇගේ සිතේ කිව නොහැකි යමක් ඇති බව ඔහුට හැඟේ. නොඑසේ නම් ඈ මෙවන් තීරණයක් නොගනු ඇත. ඔහු මුවින් ශෝකී සුසුමක් පිට විය.

-25 වෙනි සඳුදා නැවත හමුවෙමු-

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you