NovelsMandaramen EhaMandaramen Eha - 37 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 37 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – සිරිවර්ධන මුදළාලී සාලය හරහා කෑම මේසය වෙතට ඇවිද ආයේය. මේසයට උදෑසන ආහාර වේල එක් කරමින් හුන් මැදිවියේ කාන්තාව, සිරිවර්ධන මුදළාලි දැක එකත්පස්ව සිටගත්තාය. මේසය අසළ කිසිවෙකු නොවූයෙන්, සිරිවර්ධන මුදළාලී තරප්පු පෙළ සිසාරා ඉහළ මාලයට දෑස් යැව්වේය.

“ලොකු මහත්තයා ලේස්ති වෙලා අහවරයි මුදළාලි..පොඩි මහත්තයා සුටුස් ගාලා එන්නංය කීවා….”

මැදිවියේ ගැහැණිය ඒ හේතූ කීයේ සුදු මහත්තයා සහ ලක්මාල් කෑම මේසයට පැමිණීමට ප්‍රමාද වීම වෙනුවෙනි.

“මේ සම්මජ්ජාතියට මුං දෙන්න වෙලාවට,කලාවට නම් වැඩක් කරගන්නෑ…”

සිය අත් ඔරලෝසුව දෙස බලමින් සිරිවර්ධන මුදළාලී මේසයට වාඩිවත්දීම සුදු මහත්තයා තරප්පු පෙළ බැස ආයේය.

“ගුඩ් මෝනිං පප්පේ..”

සිරිවර්ධන මුදළාලිට එසේ කියමින් සුදු මහත්තයා මේසයට වාඩි වූයේය.

“කටට ආවට ඔය සුද්දගෙ ඉංගිරිසි කෑල්ල ඇද බෑවට හරියන්නෑ ලොකු ළමයා…දවසක් සුබ වෙන්ඩ නම් ඒක සකසුරුවමට පටං ගන්ඩෝනෙ..”

සුදු මහත්තයා මුවින් වදනකුදු බිනුයේ නැත. මේසය අසල හුන් ගැහැණිය ඔහුට කෑම බෙදන්නට සැරසුණාය.

“ඔහේ කුස්සියට ගිහිං වැඩක් බලාගන්නවා මැක්කම්මා..එයැයිලා බෙදා,හදාගෙන කාවී..”

ගැහැණිය හිස පහත් කොට එතැනින් පිටව ගියාය. සුදු මහත්තයා කෑම බෙදාගන්නට ගොස්, නැවත සිය පියා දෙස බැලුවේය.

“බෙදාගන්නවා ලොකු ළමයා…එයැයිට ආපු වෙලාවක කාගන්ඩ කියලා..අපිට චාරිත්‍තර, වාරිත්තර රකින්ඩ එයාගේ වෙලාව එනකං කල් මරන්ඩ බෑනේ..”

පප්..පේ..”

කෑම බෙදමින්ම සිරිවර්ධන මුදළාලී සිය වැඩිමහල් පුතු දෙසට ඇස් කැරකුවේය.

“මං.. මේ පප්පගෙන්…”

“පිරිමියෙක් වුණාම තෙපරබාන්නැතුව දෙයක් කෙලිං අහන්න ඉගෙනගන්නවා ලොකු ළමයා…”

“අර ගල්ගමුවෙ කඩේට අරං ඉන්න කොල්ලා ගැන..”

“මොනාද තමුන්ට මිනිහා ගැන දැන කියාගන්ඩ තියෙන්නේ..”

“ඒ කොල්ලා ගල්ගමුවෙ කඩේ වැඩට ගත්තද කියලා පප්පේ..”

සිරිවර්ධන මුදළාලී සුදු මහත්තයා දෙස ක්ෂණික බැල්මක් හෙලීය.

“නෑ…මේ මිනිහා අරහෙ,මෙහෙ කැරකි,කැරකි ඉන්න නිසයි මං ඇහුවෙ..”

“මං තමුං ඇද,කුද නැති කෙලිං මිනිහෙක් හොයලා දෙනකං බලං ඉඳලා බැරිම තැන තමා ඒ මිනිහව හොයාගත්තෙ..හැබැයි මිනිහ මට අපේ ව්‍යාපාරේ නංවන්ඩ බොහොම වටිනා කෙලිං යෝජනා ටිකක් නං දුන්නා ඕං…”

“යෝජනා කිව්වේ පප්පේ…”

“තමුං දන්නවනෙ ලොකු ළමයා… මං යෝජනා ගැන කියව,කියවා ඉන්නෙ නැති ව්ත්තිය..ඉස්සරහට ඒවා ක්‍රියාවට නැංවෙද්දි තමුන්ට පෙනෙන්ඩ ගනීවී…”

ලක්මාල් කෑම මේසය දෙසට ඇවිද එනු දැක සිරිවර්ධන මුදළාලි සිය කතාව නවතා දැමීය.

“තමුන් හමුදා රස්සාව අතෑරලා ආපු එක ගැන දැන්නම් මට ලොකු සැකයක් නෑ පොඩි ළමයා…ඒවයෙ ඔහොම හිතූමතේට වැඩ කරන්ඩ බෑ නෙව නේද..”

“ඊයේ නින්ද යනකොට පාන්දර වුණා පප්පේ..ඒකයි ඇහැරෙන්ඩ පරක්කු වුණේ..”

ලක්මාල් එසේ කීයේ සිය පියාට උත්තරයක් දිය යුතු නිසා මිස, වුවමනාවෙන් නොවේ.

“මං මේ දෙන්නටම කියන්නෙ..ව්‍යාපාර කොරද්දි තප්පරේක පරක්කුවත් ඇති කෝටී,ප්‍රකෝටී පාඩු ලබන්ඩ..ඒ නිසා ඔය විනෝද සාජ්ජ වලට සතියකට එක දවසක් වැය කොරාම හොඳටම ඇති..”

තමා ඊයේ නිවසට පැමිණියේ අළුයම බව සිය පියාට තව දුරටත් රහසක් නොවන බව ලක්මාල් හැඳින්නේය.

“පප්පෙ අර කාලිංග කියන මනුස්සයා අපිත් එක්ක ගල්ගමුවෙ කඩේ වැඩද..”

“එයා ගල්ගමුවෙ කඩේට විතරක් නෙවේ, අපේ මුළු ව්‍යාපාරෙටම වැඩ..ඒ නිසා තමුන් අර ගෑණු ළමයගෙන් ලියකියවිලි වැඩ ටික ලකේට කරගන්න බලනවා…මං මිනිහ ගැන බලාගන්නං..අනික ඒ මිනිහගෙ නම කාලිංග නෙමේ කාලිදාස.”

සුදු මහත්තයාට හිනහවක් නැඟී කෑම ඉස්පොල්ලේ ගියේය.

“තමුන්ට හිනා ගියේ මිනිහගෙ නමටද ලොකු ළමයා…කාලිදාස කියන්නෙ මහා කවියෙක් බව හැබෑව..මිනිහ කවියෙක් තරං කෙරුමෙක් නොවෙන්නැති..ඒත් කරන හැම වැඩකම තමුන්ල දෙන්නටම නැති අමුතු කලාවක් නම් තියනවා… ආන්න ඒකයි මිනිහ මගේ ළඟට එන්ඩ හේතුව..”

සිය අත සෝදාගත් සිරිවර්ධන මුදළාලි මේසයෙන් නැඟිට්ටේය.

“තමුන්ලා දෙන්නට මගේ උපදේශෙ තමා, ව්‍යාපාර කෙරුවාව කෙසේ වෙතත්,තමන්ගේ කෑම වේලවත් කලට,වෙලාවට ගත්තොත් ඒක ගුණ තමන්ගේ ශරීරෙට කියනෙක..”

සුදු මහත්තයා සහ ලක්මාල් එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තෝය.

ශාරික ගල්නෑව කෘෂි අළෙවිහලෙහි සිය මේසය මත හිස තබා ගත්තේ, ඊයේ රාත්‍රියේ සිට හරිහමන් නින්දක් නොවූයෙන් හිස කැක්කුම් දෙන්නට ආ නිසාය. ඔහුගේ මතකය පෙරදා සන්ධ්‍යාවේ පන්සලේදී තාරුකා මුණගැසීම තෙක් ඇදී ගියේය. තාරුකා උන්නේ බෝමළුවෙහි වාඩි වී එහි බෝ පත් සෙළවෙන රටාව දෙස ඇස් දල්වාගෙනය. ඒ නිසාම ශාරික ඇයට තරමක් සමීපව වාඩිවනු පවා ඇයට නොදැණිනි.

“තාරූ..”

ඒ හඬ දැහැනක උන් තාරුකාව අවට විමසිලිමත් කිරීමට පෙළඹවූවාය. ශාරික තමාට පසෙකින් සිටිනු දැක තාරුකා එය වටහාගන්නට මෙන් දෑස් පිස දැමුවාය.

“පුදුම වෙන්න දෙයක් නෑ තාරූ…මේ මං ඒක ඇත්තක්..”

ශාරික කීයේය. තාරුකාගේ මුව මදහස විසිර ගියාය.

“ඇත්තමයි මගෙ අයියේ..හිතුවෙම ඇස් රැවටුණා කියලා…”

කලකට පසුව තාරුකාගේ මුවින් තමාගේ හුරුපුරුදු නෑකම ඇසුනෙන්, ශාරිකගේ හිතට ශාන්තියක සේයාවක් නැඟී ආවේය.

“මටත් එහෙම සිද්ධියක් වුණා…තාම ඒක ඇත්තක්ද,බොරුවක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..”

“මට තේරුන්නෑ ශාරූ..”

“නැන්දම්මා බලන්න ඉස්පිරිතාලෙ ගිය දවසෙ ඔයා කාගෙදෝ බයික්කෙකක නැඟලා යනවා මං දැක්කා …”

තාරුකා ගැස්සෙණු දැක, තමා දුටු දසුන සනාථ කර ගත්තද, ශාරික ඒ බව තාරුකාට පෙන්වීමට ඉක්මන් වූයේ නැත.

“මං කාටහරි රැවටෙන්නැති..මේ දවස්වල මගේ ඔලුවත් එච්චර නිදහස් නෑ තාරූ..”

“නෑ…ඔයා දැක්ක දේ ඇත්ත..ඒ මං තමා…”

“කාලිංගයියා එක්කද..”

“නෑ ..ලක්මාල් අයියා එක්ක..”

එවර තිගැස්සුණේ ශාරිකය. තාරුකා එය බලාපොරොත්තු වූවාය. මෙතෙක් කල් ඔහුට නොකී දෑ , කියවා නිදහස් වෙන්නෙමියි සිතා ඇය ශාරික දෙසට හැරුණාය.

“ඔයාට මං ගැන සැක හිතෙන්න පටං අරං නේද මගෙ අයියේ..”

“මේක පන්සල..ඒ නිසා බොරු කියන්ඩෝනෙ නෑනේ තාරූ…මගේ හිතේ ඒ කවුද කියන සැකේ තිබ්බා…”

“මං වැඩ කරන්නෙ ලක්මාල් අයියා ගාව..එයා තමා මගේ බොස්..එදා එයා අම්මා බලන්න ආවා…සමන්ති අක්කා හිටපු නිසා මං එයාට වාට්ටුවට යන්න එපා කීවා…උදේ වරුවෙ වැඩට ගියෙත් නැති නිසා, ඔෆිස්සෙකට යන්න එයා බයික්කෙකට නඟින්න කීවාම මට ඒක නොකර බැරිවුණා…”

“ඇයි මෙච්චර දවසක් ඔයා ලක්මාල් ගාව වැඩ කරනවා කියලා මට නොකියා හිටියේ…”

“කාටවත් කියන්නෑ කියලා අයියට පොරොන්දු වුණු නිසා…”

“එහෙනං ඇයි දැන් කීවේ..”

“පොරොන්දු කැඩුණත් විශ්වාසෙ බිඳෙන්න හොඳ නැති නිසා…”

“මේං බලාපල්ලකො මෙයා…”

ඒ හඬ මාධවීගේය. ශාරික වහා මේසයෙන් හිස ඔසවා ගත්තේය.

“කා ගැනද කල්පනා කරේ..නෝනා ගැනද..පුතා ගැනද..”

“මාධවී…ගිහිං වැඩක් බලාගන්නවද මෙතන විකාර කියවන්නැතුව…”

ශාරිකට එය කියවුණේ තරමක් වේගවත්වය. මාධවී නොරිස්සුමෙන් මෙන් ඔහු දෙසම බලාගෙන උන්නාය.

“හැබැයි පුතා ඔයා වගේ නෙමේ…ටිකක් කලුයි..මං හිතන්නෙ නෝනගෙ පාට…”

“මාධවී මේහ්…”

“අනේ..මේ..දොඩවන්ඩනම් තියාගන්ඩෙපා මෙතන..දැන් දවසකට,දෙකකට කලින් ඔයාගේ ඇවැස්ස මස්සිනා…අර මං පස්සෙන් ආවේ මෙහෙටත් දවසක් ආං එයා…ඔයාගේ පුතාවත් බයික් එකේ නග්ගගෙන මෙහේ ආවා මට පෙන්නන්ඩ වෙන්නැති..දැන්නෙ තේරුණේ එයා මගේ පස්සෙ ආවේ මොකටදෑ කියලා…මට පිස්සියැ මෙතන බැඳපු මිනිස්සු කරේ එල්ලගන්ඩ..”

මාධවී එසේ කියවමින් කැෂියර් කූඩුව දෙසට යන්නට ගියාය. ඈ කියූ කිසි දෙයක අග,මුල නොතේරුණු ශාරික ඇඟිලි තුඩුවලින් නළල මිරිකමින් යළි මේසය මත සිය හිස ගසා ගත්තේය.

සමන්තී සිය මහගෙදර පිටුපස පෙදෙසෙහි ලොකු බණ්ඩාරමැණිකේ සහ සිය පුතු කවිරූ සමඟය. ලොකු තඹ හැලියක් ලිප් ගල් තුනක් මත දුම් දමමින් තිබිණි. නෑඹිලියක් ආධාරයෙන් ඉන් ඉවතට ගන්නා උණුවතුර, ඇල්වතුර පිරවූ තවත් බේසමකට මුහු කරමින් සිය මව විසින් මිත්තණිය නහවා පිරිසිදු කරනු, කුඩා කවිරූ ඉතා ඕනෑකමින් බලා සිටියි.

“ලොකු කිරිඅම්මා බබෙක් වෙලා…”

කවිරු කීයේ අත්ල එකට ගසා සිනාසෙමිනි. එයට සමන්තිටද සිනහ නැඟිණි.

“පඩත්තල කතා නොකියා හිටු කොල්ලෝ…” ලොකුබණ්ඩාර මැණිකේ කවිරුට ඔරවා කීවාය.

“ලොකු කිරිඅම්මා ඇයි මේ මුට්ටියෙන් නාන්නේ..හීන් කිරිඅම්මට නාන්න නං ළිඳ ගාව වතුර මලක් තියනවා…”

“ඉතිං තෝ ගෙහුං නාපිය ඒකිගෙ පයිප්පෙං මට කියන්ඩ එන්නෙ මෙතන..”

“අම්මේඒඒ..පොඩි එකා එක්ක එල්ලෙන්නැතුව ඉන්ඩකො අනේ..”

“මුං දැන්මම අපිට ඕනෑ විදිහට හදලා නොගත්තොත්,එල්ලෙන්ඩ වැල නැතිවෙන්නේ බොටයි,මටයි සමන්තියෝ…ආං ඒක හිතට ගත්තොත් හොඳා….”

කාලිංග ඔවුන් අතරට පැමිණියේ ඒ කතාබහ අතරතුරය. ඔහු කුඩා පාර්සලයක් කවිරූ අත තැබුවේය.

“ඕක ඇන්න ගිහිං ඉස්සරහා බංකුවට වෙලා කාපං කොල්ලෝ…”

කියූ සැනෙන් කුඩා කවිරූ එය රැඟෙන ගේ මැදින් ඉදිරියට දිව ගියේය.

“සමන්තියෝ…මං උඔට අර ගේ කෑල්ල පිළිවෙලක් කරලා දෙන්ඩය කියලා බැලුවේ..” සමන්තී සිය සොහොයුරා දෙස බැලූයේ කුහුලෙනි.

“ඒ ගමන මේකිටත් නඩලමේ යන්න පොටක් පාදන්ඩද උඔ හදන්නේ..”

ලොකුබණ්ඩාර මැණිකේ සමන්තීට පෙර කට ඉස්සර කළාය.

“උඔ පොඩ්ඩක් කටයි..පුකයි වහගෙන හිටපංකෝ අම්මේ…බැලුවොත් ඕනෑ දේටයි,එපා දේටයි කියවගත්ත ගමං..”

සමන්තී සිය සොහොයුරා දෙස බැලූයේ,

“අම්මා අවුස්සනේ නැතුව ඉන්නකො අයියේ..” යන බැල්මෙනි.

“ඔව්..වොව් මං ඇස්,කන් පියාගත්තම ලේසිනෙ බොලාට ඩෙඟා නටන්ඩ මෙතන..”

නැඟී සිටි ලොකුබණ්ඩාර මැණිකේ දිය රෙද්ද පිටින්ම එතැනින් පිටව ගියාය.

“එයැයිට ඩෝං ගියේ මං අහවල් දෙයක් කොරාටද බං..”

“මොකුත් කොරන්ඩෝනෙනෑ අයියේ..පොඩි එකත් ඇති එයාට ජල්ලි අල්ලන්ඩ..”

“ඒක පැත්තක දාපංකෝ… මං උඔට අර ගේ කෑල්ල පිළිවෙලක් කරලා පොඩි වැඩක් බාරදෙන්ඩ යන්නෙ උඔ මොකදෑ කියන්නෙ…”

සමන්තී ප්‍රශ්නාර්ථයකින් සිය සොහොයුරා දෙස බලා සිටියාය.

“දැන් මෙතන අරක,මේක අහන්ඩ තියාගන්නැතුව, මං කියන දේ විතරක් අහගනිං…උඔ කරපු ගොංකම්,මෝඩකම් දැන්වත් අකා, මකා යන්ඩ ඕනේ කියලා හිතෙනවනං…මින් ඉදිරියට උඔ වැඩ කරන්ඩෝනෙ මං කියන විදිහට නංගියේ..එහෙම නැතුව පරණ පුරුදු පාරෙම යනවා කියලා හිතං ඉන්නවනම් මට පව් නොදී යන අහක තොලොංචි වෙලා පලයං…”

සමන්තිගේ තොල,කට වියළී ගොස් තිබිණි. සිය සොහොයුරා කිසිම දිනෙක මෙවන් බැරෑරුම් කතාබහකට තමා සමඟ එළැඹ නැති හෙයින්, ඊළඟ තත්පරය ගැන මහා බියකින් ඇගේ ගත ,හිත දෙකම වෙව්ලා ගියාය.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you