Hima Mal Renu හිම මල් රේණු
මා සිටියේ දුටු දෙයින් කම්පනයට පත්වය. එය සිහිනයක් මෙනි. ටෙලාන් පිළිබඳව මම දැනටම බොහෝ දේවල් දැන සිටියෙමි. ඒවා හුදෙක් කට කතා කියා බැහැර කළ හැකි දේවල් නොවන බව මම හොඳාකාරවම දනිමි. ඔහු තෙෂාරා සමඟත් සබඳකමක් තිබියදී නංගී සමඟත් මෙලෙස තුරුළුව සිටිනු දැකීම මා සිතේ ඇති කළේ අනියත බියකි. මා මනසේ ඇඳුණේ අවීශ් මා පසුකර පියමනින විට ඔහුගේ මුවේ ඇඳුණු උපහාසය මුසු සිනහාවය. එයට හේතුව දැන් මට වැටහේ.
“තවත් අලුත් එකක්…”
ඔහු එසේ සිතන්නට ඇතිවාට සැක නැත. මා අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි කියා මා සිතම මට ඒත්තු ගන්වමින් සිටියේය. බිය වන්නේ කුමකටද…? නංගීට යළිත් ටෙලාන් හමු වන්නේ නැත. ඔවුන් මේ මොහොතේ නිකමට දැන හඳුනා ගෙන කතා බහ කළා පමණි. මා විසින්ම මා සිත සනසා ගෙන හුනස්නෙන් නැඟී සිටියේ ඔවුන් දෙදෙන වෙනත් දොරකින් ඇතුළට පිවිසෙන විටය. ඒ අතර මා සිතන්නට වූයේ අවීශ් මා දැක දැකම නොදුටුවා සේ ඉවත ගියේ මන්ද කියාය. නොසතුටක් මා සිතේ ඇති විය. මා ඔහුට දොස් පැවරූ නිසා ඔහු පසු වන්නේ අමනාපයෙන් බවට සැකයක් නැත. ඔහු සොයා යාමට මට සිතුණේ මන්දැයි මම නොදනිමි. පැමිණි දොරින්ම මම යළි ඇතුළට පිවිස වට පිට බලමින් අවීශ් සොයන්නට වීමි.
“ඔයා දැක්කද මිසිස් නුගේරා…මනෝරිත් ඇවිත් ඉන්නවා…? ”
ඒ කතා බහ මට ඇසුණේ මා දෑස් අවීශ් සොයමින් එහෙ මෙහේ සැරි සරණ විටය. මා සිටගෙන සිටි තැන මේසයේ හිඳගෙන කාන්තාවන් දෙදෙනෙකු බර කතා බහකය. ඔවුන් කතා කරන්නේ පුංචි අම්මා ගැනදැයි සැකයෙන් මම සවන් දුනිමි.
“අපෝ… ඔව් මිසිස් මඩවල…මං දැක්කා… බලන්නකෝ තියන ආඩම්බර කම… නටපු නාඩගම් අපි දන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා ඇති…ආවේ ප්‍රයිවට් සෙක්‍රට්‍රි විදියට…දැන් කම්පැණි ඕනර්ත් වෙලා… අනුපමා මැරුණා විතරයි…මාවන්ගේ කරේ එල්ලුණා…”
ඇගේ හඬේ වූයේ ඊර්ෂ්‍යාවක්ද ද්වේෂයක්ද කියා මට සිතා ගැනීමට නොහැකි වූ මුත් ඔවුන් කතා බහ කළේ නම් පුංචි අම්මා ගැන බව දැන මා සිතේ ඇති වූයේ කැළඹීමකි.
“ඒ ගැන මොකට කියනවද…? මාවන් එයාව මැරි කළාට පස්සේ තමා මාවන් නැත්තටම නැති වුණේ…”
“අනේ…ඔව්…ඒක නෙවේ…ඔයාගේ නෙක්ලස් එක ලස්සනයි…”
ඔවුන්ගේ කතා බහ වහා වෙනස් වූයේ එතනට තවත් අයෙක් පැමිණි නිසාය. මා හදේ ඇති වූ කැළඹීම එසේම තිබියදී මම හුන් තැනින් මෑත්ව අවීශ් සොයන්නට පටන් ගතිමි. මේ මොහොතේ නැටුම් ආරම්භ වී තිබූ නිසා ඔහු නැටුමේ යෙදෙන අය අතර සිටිනවාදැයි සිතමින් මම ඔවුන් වටා ඔහු සොයමින් වෙහෙසුණද විවිධ වර්ණ වල විදුලි බුබුළු නිවෙමින්, දැල්වෙමින්, වටේට කැරකෙමින් ශාලාව පුරා දේදුණු වර්ණ මවමින් තිබූ නිසා මට ඔහු සොයා ගන්නට නොහැකි විය. ඔහු සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි සිතා මම යළිත් මා සිටි අසුන කරා යාමට සූදානම් වන මොහොතේ මම ඔහු දුටිමි. බීර වීදුරුවක්ද ඇතැතිව ඔහු පැති දොරකින් පිටතට යනු දැක මම ඔහු පසු පස ලුහුබැඳීමි. ඒ පැති දොරටුව විවර වූයේ ද පෙර මා සිටි උද්‍යානය දෙසටමය. දොර මා පසුපසින් සෙමෙන් වසා ගෙන මම කොරිඩෝවට පැමිණියෙමි. අවීශ් මට පිටුපා සිටගෙන මුහුද දෙසට මුහුණලා බීර වීදුරුව රස බලමින් සිටි තැනට මම යන විට ඔහු ගෙල හරවා මදෙස උදාසීන බැල්මක් හෙළා, නැවත ඉවත බලා ගත්තේ මා කවදාකවත් නොදුටු අයෙකු මෙන් සළකා මෙනි. පිටත උද්‍යානයේ තැන් තැන් වල හිඳ කිහිප දෙනෙකු කතා බස් කරන අයුරු මා දෑසට හසු විය. මම අවීශ් පසු පස පැමිණියේ කුමන අරමුණකින්දැයි නොදත් මම නිහඬවම පිටත බලා සිටියේ ඔහු සේමය. දකුණත දරා සිටි බීර වීදුරුව ඔහු වමතට මාරු කළේ මම සිගරට්ටුව ඇද බිම දමුවාක් මෙන් ඔහුගේ බීර වීදුරුවද බිම ඉහිරුවා දමාවි යයි සැකයෙන් වන්නට ඇතැයි කියා සිතී මම සිත යටින් සිනහාසුණෙමි.
“මම ආවේ ඔයාගේ බියර් ග්ලාස් එක අරන් විසි කරන්න නෙවේ…”
ඔහු මෙන්ම ඔහු දෙස නොබලාම මම කීවේ රාත්‍රී අඳුරටය. එවැනි දෙයකින් හෝ ඔහු නෙත් කොණින් හෝ මා දෙස බැලීමට උනන්දු නොවන බව මේ වන විටත් ඔහුගේ ගති පැවතුම් හැඳින සිටි මම දැන සිටියෙමි. ඔහුගේ අවධානය මා වෙත යොමු කර ගැනීමට මට වුවමනා නොවුවද මම දිගටම කතා කළෙමි.
“ඒ කරපු දේ ගැන මම ඔයාගෙන් සමාව ඉල්ලයි කියලා හිතන්න නම් එපා… මොකද,….ඔයා කළේ ලොකු වරදක්… යාළුවෝ කියලා හිතාගෙන හිටපු අය ඉස්සරහා මට ඔයාව අපහාසුතාවයට පත් කරන්න ඕන වුණේ නැහැ….හැබැයි මං ඒ කරපු දේ ගැන පසුතැවෙන්නෙත් නැහැ…”
ඔහු නිහඬය. කතා කරනු ඇතැයි කියා අප සිතන තැන්වල පවා සමහරු නිහඬව හිඳින්නේ කෙසේද කියා මම පුදුම වූයෙමි. නමුත් ඉතින් අවීශ් යනු බස්සෙකි.
ඝනව වැවුණු ඔහුගේ කෙස්, මුහුද දෙසින් හමා ආ සුළඟට අකීකරු ලෙස මුහුණ වසා පහළට වැටෙන සෑම විටකම ඔහු ඒවා අතින් පිටුපසට කරමින් සිටියේ මා මුවට සිනහා නංවමිනි.
“ඔයාගේ කොණ්ඩේ නම් ලස්සනයි…ඒත් ඉතින්…ස්කූල් එකට ගැළපෙන්නේ නැහැ… සැලෝන් එකක් ළඟ පාතින්වත් ගිහින් නැද්ද මංදා…”
උපහාසය මුසුව මම ගිරවියක සේ ඔහේ කියවමින් සිටියෙමි. ඔහුට කේන්ති ගොස් මට බැන වදිනු හෝ ඔහු මෙතනින් යන්නට යාවිදැයි සිතා මම නිහඬ වූයෙමි.
සමහරවිට ඔහුගේ නිවැසියන් ඔහු පිළිබඳව සොයා බලන්නේ නැතුවා වන්නට ඇතැයි කියා අනෙක් අතට මට සිතිණ. ඔහුගේ මව්පියන්ට ඔහු පිළිබඳ සොයා බැලීමට කාලයක් නැතිවා විය යුතුය. සමහර ධනවත් පවුල් වල දරුවන් මෙලෙස සිතූ මනාපයේ ක්‍රියා කරන්නේ මෙවන් හේතු නිසාය.
“පව්…”
මා මුවින් පිට වූයේ තරමක් උස් හඬිනි.ඔහු එවර හැරී මා දෙස බලන විට මටද ඔහු දෙස බැලිණ. තත්පර කීපයක් එලෙස අපි එකිනෙකා දෙස එසේ බලා සිටින්නට ඇත. ඔහු තුළ වූයේ පුදුමාකාර කඩවසම් බවකැයි කියා මට නොසිතා බැරි විය. ඔහු ගැන සිතමින් මම ඔහු පිළිබඳව නොයෙකුත් දේ අනුමාන වශයෙන් සිතන්නට උත්සාහ දරන්නේ මන්ද කියා මටම වැටහුමක් නැත.
“අවී…ශ්…”
දොර හැරගෙන ඔහු නම අමතන හඬ ඇසී අපි දෙදෙනම වහා එදෙස හැරී බැලීමු.
“අනේ….සොරි ඩිස්ටර්බ් වුණා නම්…මම ඔයාව හෙව්වේ අනේ…”
සිහින් සිරරුරක් සහිත කොණ්ඩය කෙටි වන්නට කැපූ, තරමක් උස, රූමත්, තරුණියක් අමුතුම තාලයකට පාද තබමින් අප වෙත එන විට මම අවීශ් අසළින් මඳක් ඈත් වූයෙමි. ඈ නිරූපණ ශිල්පිණියක්ද කියාත් මට සිතිණ. මම අවීශ් දෙස වුවමනාවෙන් බලා සිටියේ ඔහුගේ මුහුණේ ඇති වන හැඟීම් දැක ගැනීමට වුවද එය නිරර්ථක වූයේ මුහුදු සුළඟ නිසා මුහුණ වසා ගත් ඔහුගේ කොණ්ඩය නිසාය. අර යුවතියගේ කෙටි කොණ්ඩයට වඩා ඔහුගේ කොණ්ඩය ලස්සන යැයි කියා මට ඒ මොහොතේත් සිතිණ.
“හායි…සොරි…” ඈ මා දෙස බලා ඉතා සුන්දර සිනහාවක් පාමින් කීවාය.
” හායි…” මමද කීවෙමි.
“ඔයා ඇයි අනේ මෙතන…? මම හැමතැනම හෙව්වා…”
ඈ කීවේ ඔහුගේ බාහුවේ එල්ලෙමින් ඉතා මිහිරි හඬකිනි. එහි ව්‍යාජ බවක් හෝ තොඳොල් බවක් නොවිණ. ඈ හැඳ සිටි තද නිල් පැහැගත් ගවුම දිස්නයක් සහිත රෙද්දකින් මසා තිබුණේ ඇගේ සිරුරේ හැඩය ඔප නැංවෙන පරිදි මිස අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන ලෙසය. පුළුල් කරක් සහිත එම ගවුම දිගු අත් සහිත දණහිස තෙක් දිගු වූවකි. මා දුටු සමහර අයගේ ඇඳුම් වලට වඩා ඇගේ ඇඳුම සංවරය. ඊටත් වඩා ඇගේ හැසිරීමත් කතා බහත් විනීතය. අවීශ් සෙමෙන් ඇගේ අත මුදාහැරියේ ඇයට නොදැනෙන ලෙසිනි. සියුම් සතුටක් මා සිතේ ඇති වුවද ඔහු එසේ කරන්නට ඇත්තේ මා සිටි නිසාද කියා සැකයකුත් මා සිතේ ඇති විය.
“හායි…මගේ නම ෂානු…”
ඈ මා වෙත සියත දිගු කරමින් පවසන විට මමද මා හඳුන්වා දෙමින් ඇගේ අත ගෙන සෙළවූයෙමි.
“ඔයා…අවීශ් ගේ යාළුවෙක් වෙන්නැති…”
ඔහු එයට කුමක් හෝ පවසනු ඇතැයි මා සිතුවද පෙර මෙන්ම නිහඬව සිටින විට මම කතා කළෙමි.
“නැහැ ෂානු…අපි තවම අඳුන ගත්තා විතරයි…යාළුවෝ වුණේ නැහැ…”
මම අවීශ් දෙසත් බලමින් කියන විට ඈ තරමක් උස් හඬින් සිනහසුණ අතර ඔහු අවුල් වූ හිසකෙස් අතින් පිටුපසට කරමින් හැඟීම් විරහිත බැල්මක් හෙළා ඉවත බලා ගත්තේය.
“මෙයාව යාළු කරගන්නවා කියන එක නම් ලේසි නැහැ ආරණ්‍යා….පේනවනේ තියන ආඩම්බරකම…”
ෂානු මා හා කීවේ බොහෝ කලක් පටන් මා හඳුනාගෙන සිටියාක් තරම් කුළුපඟ ලෙසිනි.
“ඔව් අනේ…ඒක නම් ඇත්ත….බස්සෙක්ටයි, ගිරවෙක්ටයි ඉතින් යාළුවෝ වෙන්න බැහැනේ…”
මා එසේ කියන විට ඈ පෙරටත් වඩා උස් හඬින් සිනහාසෙන විට ඔහු නෙරවා ගත් බැල්මක් මවෙත හෙළීය.
“ඔයා තමා හරිම කතාව කිව්වේ…”
ඈ කීවාය. තව දුරටත් ඔවුනට බාධාවක් වෙමින් මා මෙහි සිටිය යුතු නැතැයි මට සිතිණ.
“තාත්තා මාව හොයනවා ඇති…මම යනවා…සී.යූ.ෂානු. නයිස් ටු මීට් යූ වන්ස් අගේන්…”
මම දෙදෙනාටම පොදුවේ පවසා ඔවුනතරින් මෑත් වූයෙමි.
“එන්නකෝ අනේ….ඩාන්ස් කරන්නවත්… මොකද්ද අප්ප… ඔයාට වෙලා තියෙන්නේ…? මාත් තනියම…”
මා දොර හරින විට මට ඇගේ හඬ මා පසුපසින් ඇසිණි. මා යළි මගේ අසුන කරා යන විට නංගී පැමිණ සිටියාය.
“ඔයා කොහෙද ලොකූ හිටියේ…?”
මම අසුන ඇද හිඳ ගන්නා විට ඈ ඇසුවාය. මා ඇයට කුමන පිළිතුරක් දිය යුතුද කියා මට සිතා ගැනීමට අපහාසු වූයේ දුටු දසුන නිසා මා සිතේ ඇති වූ බිය, අප්‍රසාදය සියල්ල යළිත් වරක් හිස ඔසවන්නට වූ නිසාය. නංගීගේ මුහුණ ප්‍රීතියෙන් ඔප වැටී ඇති සැටි මට පැහැදිලිව පෙනිණ.
“මං ටිකක් ඇවිඳින්න ගියා…”
නොසැළකිලිමත් ලෙස මම පිළිතුරු දුනිමි.
“ඔයා නම් හොඳට එන්ජෝයි කළා වගේ…”
මා සිතේ හැඟීම් පිටතට නොපෙන්වා මම කීවෙමි. පුංචි අම්මා කිහිප දෙනෙකු සමඟ බීර බොමින් බර කතා බහකය.
“ඔව් අනේ…ඔයාට තිබුණා අපි එක්ක ජොයින් වෙන්න….මට නම් අලුත් යාළුවෝ ටිකක් හමුවුණා…හරි ෂෝක් අනේ…”
නංගීගේ හඬ පවා ප්‍රීතියෙන් පිරී තිබිණ.
“යාළුවෝද…යාළුවෙක් ද…?”
කියා ඇසීමට මුව පොපියෑවද මම නිහඬව සිටියේ ඈ කී කිසිවක් පිළිබඳව මා සිතේ උනන්දුවක් ඇති නොවූ නිසාය. මා සිතමින් සිටියේ වෙනත් දෙයකි. මාත් තෙෂාරාත් එකම පන්තියේ බව ටෙලාන් දන්නා බව නොරහසකි. ඔහු පෙර දින මා දැක උනන්දුවෙන් මා දෙස බැලූ බව මම යාන්තමට දුටිමි. ඒ දුටු තෙෂාරා ඔහුගේ මුහුණ ඉවත හරවන බවත් මා දෑසට හසු විය.
“එයා ඉතින් වැලක චීත්තයක් වනලා තිබ්බත් බලන ජාතියේ කෙනෙක්නෙ…”
ඒ දැක තිබූ නදීරාද කීවාය. ටෙලාන් දැන් නංගී සමඟ මිතුරුව සිටින නිසා ඔහුගේ දෑසට හසු නොවන සේ සිටීමට මට වුවමනා විය. මා ඇගේ සොහොයුරිය බව ඔහු දැනගන්නවාට මා තුළ කැමැත්තක් නැති වූයේ මන්ද කියා මට සිතා ගැනීමට නොහැකි විය. මට නංගී හා ටෙලාන් පිළිබඳව පැවසිය නොහැකිය. මා ඔවුන් දුටු බව හෝ නොඇඟවිය යුතුය. අදින් පසුව ඔවුන් හමුවන්නේද නැත.
“ඩාන්ස් කරලා….හරී…මහන්සියි අනේ…”
නංගී අතින් පවන් සළා ගනිමින් කීවාය.
“හොඳට නටලා වගේ…? ”
සිනහාවක් පාමින් මම කීවෙමි. මියුරු සංගීත රාවයක් මෙවිට වාදනය වෙමින් තිබුණේ සියළු දෙනම භෝජන ගනිමින් සිටි නිසාය. අපිද ඔවුන් සමඟ එකතු වීමු.
තාත්තා නම් පෙනෙන්නට නොවීය. ඔහු තවමත් මිතුරන් සමඟ විනෝද වෙනවා විය යුතුය.
“අර ඉන්නේ දැරණියගලගේ පුතාද…?”
පුංචි අම්මා ඈ අසල සිටි අයෙකුගෙන් අසන විට මමද එදෙස බැලුවේ ඒ නම සවන් වැකුණු නිසාය. පුංචි අම්මා මේ තරම් ඔවුන් පිළිබඳ උනන්දු වන්නේ මන්දැයි කියා මම පුදුම වීමි. ඈ පැවසූ දැරණියගල අවීශ් සමඟ කුමක් හෝ දෙයක් කතා කරමින් සිටිනු මම දිටිමි.එසේ නම් ඔහු අවීශ් ගේ තාත්තාද..? අවීශ්ගේ වාසගම කුමක්ද කියා මා දැන සිටියේම නැත.
“ඔව්….ඒ අවීශ්…කොල්ලා නම් හොඳයි…තාත්තා ගෑණු පස්සේ ගියාට පුතා එහෙම නැහැ…”
අර කාන්තාව පිළිතුරු දුන්නේ උපහාසයෙන් මෙනි. ඒ අතර නංගී මා හා මොන මොනවාදෝ පවසමින් සිටියද මා සවනට ඒවා ගලා නොආවේ දෙසවන් තිබුණේ පෙර කතා බහ අසළ නිසාය.
“අර මිස්ටර් ආරියරත්න එක්ක තිබුණු ප්‍රශ්නෙ මොකද වුණේ දැරණියගලගේ…?”
පුංචි අම්මා මෙසේ හාර හාරා ප්‍රශ්න අසන්නෙ මන්ද ?
“අනේ…අනේ මනෝරි….එයාට ප්‍රශ්න නොතිබුණේ කා එක්කද….? මාවන් එක්කත් ප්‍රශ්නයක් දාගෙන නේ හිටියේ. මිසිස් ආටිගල එක්කත් අෆෙයාර් එකක් තිබ්බා කියනවා…මිස්ටර් ආරියරත්න නම් ෆැමිලි එකත් එක්කම ඕස්ට්‍රේලියා ගියා…ආටිගලත් ඉතින් ඉන්නේ එන්ග්ලන්ඩ්…මාස පහ හයකට සැරයක් එනවා…දෙන්නා එකටනේ බිස්නස් කරන්නේ…අද ආටිගල ඇවිත් නැහැ…පුතා නම් හිටියා…දැරණියගලගෙන් බේරුණ ගෑණියෙක් ඉන්නවද මේ ලංකාවේ…?”
මා ගත කිළිපොලා ගියේය. නදීරා කියා තිබුණේ සත්‍යයකි. මෙම සාදයට පැමිණීම ගැන දැන් නම් මා සිතට සියුම් සතුටක් දැනේ. පුංචි අම්මා පිළිබඳව වුවද අසන්නට ලැබුණු කතා බහ එතරම් හොඳ ඒවා නොවේ. ඈ එසේ නම් තාත්තාගේ කරේ එල්ලී තිබුණේ බලෙන්ද ?